Home » විපස්සනා භාවනාවේ අරමුණු

විපස්සනා භාවනාවේ අරමුණු

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

ලවත් සමාධියක් පවතින විට බාධා විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලියට අවකාශ අඩුවන බව අපි දන්නෙමු. මෙහිදී එකම නීතිය වන්නේ ආරම්භයේදී ඇතිවන “වදුරු මනස” මෙල්ලවන තුරු සමාධිය වඩා ගැනීමට වැඩිපුර වෙර දැරීමයි. පසුව සිහිය ගැන අවධාරණය යොමු කරන්න. ඔබ කලබලයට පත් වූ බව දැනෙන විට සමාධිය අවධාරණය කරන්න. බර නිදිමතකට යොමුවෙනවා නම් සිහියට මුල්තැන දෙන්න. මුළුමනින්ම ගත් කල සිහිය පිහිටුවා ගැනීමට මුල්තැන දිය යුතුය.  

එය ගැනම දැන ගැනීමට තිබෙන හැකියාව හේතුවෙන් සිහිය ඔබගේ භාවනාවේ දියුණුවට මඟ පෙන්වයි. ඔබගේ පුහුණුව පිළිබඳව ඔබට අවබෝධයක් ලබා දෙන්නේ සිහියයි. ඔබගේ දියුණුවේ මට්ටම එය ඔබට දැන ගන්නට සලස්වයි. නමුත් ඒ ගැන එතරම් කරදර නොවන්න. මෙය ධාවන තරගයක් නොවේ. ඔබ කිසිවක් හෝ සමඟ තරග වැදී නැතිවාක් මෙන්ම තරග කාලසීමාවක් ද නැත.

සිහිය කිසිම චිත්තවේගී හෝ මානසික හෝ ස්වභාවයක් මත රඳා නොපවතින බව ඉගෙන ගැනීම ඉතා අසීරු කාරණයකි. භාවනාව පිළිබඳ අප තුළ විවිධ දර්ශන තිබේ. “භාවනාව සෙමින් ඇවිදින සන්සුන් මිනිසුන් විසින් නිසල ගල්ගුහා තුළ සිටිමින් පුහුණවන්නකි” යනු එබඳු දර්ශනයකි. ඉන් ගම්‍ය වන්නේ පුහුණුවීමට අවශ්‍ය තත්ත්වයන් පමණි. සිහිය හා සමාධිය ඇති කරන නිපුණතා ගොඩනැංවීම සඳහා එම තත්ත්වයන් භාවිතා කෙරෙයි. නිපුණතා ඉගෙනගත් පසු පුහුණු සීමා විසිකර දැමිය යුතුයි. සිහිය පවත්වා ගැනීමට ගොළුබෙල්ලෙකු සේ සෙමෙන් ඇවිදීම අවශ්‍ය නොකරයි. සන්සුන්වීම ද අවශ්‍ය නැත. සංකීර්ණ ගණිත ගැටලුවක් විසඳීම සඳහා වන කෙටි ක්‍රමය වූ සියුම් කලනය භාවිතයේදී වුවද ඔබට සිහියෙන් සිටිය හැකිය. පාපන්දු ක්‍රීඩාවේ පොර බැදීමක් මැදදී වුවද ඔබට සිහියෙන් සිටිය හැක. කෝපයෙන් වියරු වැටී සිටින අවස්ථාවකදී පවා, ඔබට සිහියෙන් සිටීමට පුළුවන. ශාරීරික හෝ මානසික ක්‍රියාවන් සිහිය පවත්වා ගැනීමට බාධාවක් නොවේ. ඔබගේ මනස දැඩි ක්‍රියාකාරී මට්ටමක ඇති බව දැනුන විට, හුදෙක් එහි ස්වභාවය හා ක්‍රියාකාරිත්වයේ ප්‍රමාණය නිරීක්ෂණය කරන්න. එය සිත හරහා යන සංදර්ශනයක කොටසක්ම පමණි.

සෑම සංගීතඥයෙක්ම ස්වර වාදනය කරයි. පියානෝ වාදනය ඉගෙන ගන්නා ඔබ, පළමුව ඉගෙන ගන්නා ස්වර වාදනය කිසිදා නවත්වන්නේ නැත. ඉතාම දක්ෂම පියානෝ වාදකයා පවා ස්වර වාදනය දිගටම කරගෙන යයි. එය මළකඩ කෑමට ඉඩදිය නොදිය යුතු මූලික නිපුණතාවයකි.

සෑම බේස්බෝල් ක්‍රීඩකයෙක් ම පන්දුවට පහර දීමට පුහුණු වෙයි. ඔවුන් ඉගෙන ගන්නා මුල්ම දෙය එය මෙන්ම කවදාවත් එම පුහුණුව නතර නොකරයි. සෑම ලෝක තරගමාලාවක්ම ආරම්භ වන්නේ පන්දුවට පහරදිම පුහුණුවෙනි. මූලික නිපුණතා සෑමවිටම මනාව මුවහත්ව පවත්වා ගත යුතුයි.

භාවනානුයෝගියා තමාගේ මූලික නිපුණතා පුහුණු වන්නේ වාඩි වී භාවනා කරමිනි. ඔහු තමාගේ පංච ඉන්ද්‍රියයන් භාවිතා කරමින් තමාගේ ජීවිත අත්දැකීම් ක්‍රීඩාවේ නිරතවී සිටියි. බොහෝ අත්දැකීම් සහිත භාවනානුයෝගීයා ද තමාගේ මූලික නිපුණතා මුවහත් කර වාඩි වී කරන භාවනාවේ නිරත වෙයි. කෙසේ වෙතත් වාඩි වී භාවනා කිරීම පමණක්ම ක්‍රීඩාව නොවන බව මතක තබා ගැනීම වැදගත්ය. එය පුහුණුවයි. එම නිපුණතා පාවිච්චි කළ යුතු ක්‍රීඩාව තමාගේ ජීවිත පැවැත්මය. එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනයට නොගන්නා භාවනාව ඵල රහිත හා සීමිත පුහුණුවකි.

විපස්සනා භාවනාවේ අරමුණ ඔබ ඉන්ද්‍රියයන් මඟින් හා සංජානනයෙන් ලබන අත්දැකීම්වල මූලික හා ස්ථිර වෙනසක් ඇති කිරීමයි. එමඟින් ඔබගේ මුළු ජීවිත අත්දැකීමේ ම පෙරළියක් ඇති කිරීම බලාපොරොත්තු වේ. වාඩි වී භාවනා කරන කාල සීමාවන් අලුත් මානසික පුරුදු අැති කර ගැනීම සඳහා වෙන්කර ඇති කාලයකි. සංවේදනා ලබා ගැනීමේ හා අවබෝධ කර ගැනීමේ නව ක්‍රම ඔබ ඉගෙන ගනියි. ඔබගේ සිතිවිලි සමඟ ගනුදෙනු කරන නව ක්‍රම හා නිරන්තර වේගයෙන් පහළවන හැඟීම් හසුරුවා ගැනීමේ නව ක්‍රම සොයාගනු ඇත. මෙම නව මානසික හැසිරීම් ඔබගේ එදිනෙදා ජීවන රටාවට එකතු කර ගත යුතුයි. එසේ නොකළ හොත් භාවනාව ඵල රහිත, ජීවිතයට සම්බන්ධ නොවූ, න්‍යායාත්මක අත්දැකීම් සමූහයක් පමණක් වනු ඇත. මෙම කොටස් දෙක සම්බන්ධ කිරීම සඳහා උත්සාහ දැරීම අත්‍යවශ්‍යය. යම් ප්‍රමාණයක ඒකාබද්ධ කිරීමක් ඉබේම සිදුවෙන නමුත් එය ඉතා සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් වන අතර, එතරම් විශ්වාසදායක ද නොවේ. මෙය ප්‍රතිඵල රහිත ක්‍රියාවක් යැයි සිතා මේ සියල්ල අත්හැර දැමීමට පවා ඔබට සිතෙනු ඇත.

එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතු කරමින් සිටියදී ම ඔබ භාවනාවේ යෙදෙමින් සිටින බව ප්‍රථම වතාවට දැන ගැනීම ඔබගේ භාවනා ජීවිතයේ වඩාත්ම මතකයේ රැඳෙන සිදුවීමක් වනු ඇත. ඔබ මහ මඟ ගමන් කරමින් සිටින විට හෝ, කැළිකසළ ඉවත් කරමින් සිටින විට හෝ ඉබේම එය සිදුවෙනු ඇත. ඔබ පරිස්සමින් ගොඩනඟාගත් මෙම නිපුණතාවය සැලසුම් නොකළ අවස්ථාවක මෙලෙස මතුවීම සැබෑ ප්‍රීතියට හේතුවකි. එය ඔබට අනාගතය දැකීම සඳහා කුඩා කවුළුවක් විවර කර දෙයි. පුහුණුවේ සැබෑ අරුත පිළිබඳ මොහොතක එබී බැලීමක් වැනි වැටහීමක් ඉබේම ලැබෙනු ඇත. විඥානික සිතිවිලිවල ඇතිවූ මෙම වෙනස සැබැවින්ම ඔබගේ අත්දැකීම්වල ස්ථිර අංගයක් වීමට තිබෙන ඉඩකඩ ඔබට දැනෙනු ඇත.

තවදුරටත් ආශාවන් හා ලෝභයන් ඔබ පසු පස ලුහු නොබඳින බවත් ඔබව බෙලහීන කරන සිතේ පැලපදියම් වී සිටින පීඩාකාරී සිතිවිලිවලින් මිදී ජීවිතය ගත කළ හැකි බවත් ඔබට තේරුම් යයි. පිටත සිට ඒ සියල්ල දෙස බලා සිටීමේ රසය ඔබට දැනෙනු ඇත. එය විශ්මයජනක මොහොතකි.

(භාවනාවට විශේෂ උපදෙස් මීළඟ

කලාපයෙන් බලාපොරොත්තු වන්න)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division