Home » ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 50වන සාංවත්සරික සැමරුම සහ සංජනනී 2023

ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 50වන සාංවත්සරික සැමරුම සහ සංජනනී 2023

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

කැලණිය විශ්වවිද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ 50වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ “සංජනනී 2023 – සන්නිවේදන හා මහජන සම්බන්ධතා උලෙළ” පසුගියදා (03 )කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විිද්‍යාපීඨ ශ්‍රවණාගාරයේ දී උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අධ්‍යයන අංශය මගින් පිරිනමනු ලබන හරසර සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ආචාර්ය සරත් අමුණුගම මහතාය. මෙම සම්මානය ආචාර්ය සරත් අමුණුගම සහතා වෙත පිරිනමන ලද්දේ සන්නිවේදන ක්ෂේත්‍රයට ඔහු සිදු කළ මහඟු සේවය වෙනුවෙනි.

50 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු කවරයක් හා මුද්දරයක් නිකුත් කිරීම, “සන්නිවේදන” ශාස්ත්‍රීය සංග්‍රහය හා මාධ්‍ය විමර්ශී 9 වැනි සහ 10 වැනි කලාපයන් එළි දැක්වීම, ගෞරව උපාධිය හදාරන ඉහළ සාමාර්ථයන් ලබා ගත් විද්‍යාර්ථීන් වෙනුවෙන් මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න අනුස්මරණ ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම අවස්ථාවේ දී සිදු කෙරිණි.

අධ්‍යයන අංශය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ විශ්‍රාමික ආචාර්ය මහාචාර්යවරුන් වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වුණු අතර සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ, සම්මානිත මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ආචාර්ය මාපා තිලකරත්න මෙහිදී උපහාර තිළිණ ලබා ගත්හ. ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ, සමාජීය විද්‍යාපීඨාධිපති එම්. එම්. ගුණතිලක, අනෙකුත් පීඨවල පීඨාධිපතිවරු, අංශාධිපතිවරු, ආචාර්ය මණ්ඩලය විද්‍යාර්ථින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

ඔක්තෝබර් 04 වැනි දින ශ්‍රී ධර්මාලෝක ප්‍රධාන ශාලාවෙහි “අපේ හැන්දෑව” ප්‍රසංගය පැවැත්වුණු අතර එහිදී අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන්ගේ නිර්මාණාත්මක සහ සෞන්දර්යාත්මක කුසලතා එළිදැක්විණි.

සංජනනී 2023 – සන්නිවේදන හා මහජන සම්බන්ධතා උලෙළෙහි ඉදිරි කාලය තුළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය විෂය ඉගැන්වීම් කටයුතුවල නියුතු පාසල් ගුරුවරුන් වෙනුවෙන් විෂය ක්ෂේත්‍රයේ යාවත්කාලීන අවබෝධයක් ලබාදීම උදෙසා ගුරු පුහුණු වැඩමුළුවක් පැවැත්වීමට නියමිතය. එපමණක් නොව, ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ගෞරව උපාධි හැදෑරූ ආදි විද්‍යාර්ථීන්ගේ සහභාගීත්වයෙන් සුහද හමුවක් ද මාධ්‍ය ක්ෂේත්‍රයේ ශාස්ත්‍රඥයන්, විද්වතුන් හා ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් ජාතික ජනමාධ්‍ය සමුළුවක් ද පැවැත් වේ.

ශ්‍රී ලංකාවේ ජනසන්නිවේදනය පිළිබඳ උපාධි පාඨමාලා පිරිනමන ප්‍රථම සහ පැරණිතම අධ්‍යයනාංශය ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය හැඳින්විය හැකිය. වර්ෂ 1973 දී මෙම අධ්‍යයන අංශය පිහිටුවීමේ අරමුණ වන්නේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට අවශ්‍ය වෘත්තියාභිමුඛ පුහුණුව ලබා දීම හා එමගින් ඔවුන්ගේ වෘත්තීය අවශ්‍යතාවන් සපුරාගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දීමයි. මහාචාර්ය විමල් දිසානායක සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මෙහි ආරම්භක අධ්‍යයන කාර්යමණ්ඩල සමාජිකයින් වූ අතර මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, මහාචාර්ය එම්. බී. ආරියපාල ආචාර්ය එඩ්වින් ආරියදාස ආචාර්ය ඩබ්. ඩී අමරදේව සහ ආචාර්ය ඩී. බී නිහාල්සිංහ මෙහි ආරාධිත දේශකවරුන් ලෙස කටයුතු කළහ.

ශෂි ගමගේ 
සන්නිවේදන හා මාධ්‍ය ඒ්කකය 
කැලණිය විශ්වවිද්‍යාලය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division