Home » බීඩිය හා සුරුට්ටුව

බීඩිය හා සුරුට්ටුව

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

දේවවාදී සහ අදේවවාදී යනුවෙන් මනුෂ්‍ය කොටස් දෙකක් මේ පෘථිවි තලය මත වාසය කරති. මේ ලෝකයේ සිදුවන සහ සිදුවීමට නියමිත හැමදෙයක්ම දෙවියන් විසින් සැලසුම් කරන ලද බව දේවවාදීහු විශ්වාස කරති. අදේවවාදීන් කියන්නේ එකී හැමදේකම සැලසුම සොබාදහම බවය. කම්කරුවන් සූරාකෑම වැළැක්වීම සඳහා පෙරකී පාර්ශ්ව දෙකෙන් එකක් වැඩ වර්ජන නැමැති මෙවලම නිර්මාණය කර ඇත. අද වන විට කම්කරුවන් සූරාකෑම වැළැක්වීම සඳහා නිර්මාණය කෙරුණු ඒ මෙවලම අපේ රටේදී, රට කෑමට පටන්ගෙන ඇත. එකම පිහිය පාන් කැපීමටත්, මිනී මැරීමටත් යන දෙකටම යොදාගත හැකිය. එකම කට බොරු කීමටත්, ඇත්ත කීමටත් යොදාගත හැකිය. ලණුව බාල්දියක ගැට ගසා වතුර ඇදීමට පුළුවන. එසේම ලණුවෙන් තොණ්ඩුවක් හදා එයින් ගෙල වැලලාගෙන මියයාමට ද පුළුවන. අද වැඩ වර්ජනය යන මෙවලම ක්‍රියා කරන්නේ භයානක තොණ්ඩුවක් ලෙසිනි. අපේ කතාවේ ඉතිරි හරිය මෙතැන් සිට පටන් ගනිමු.

පුරාණ සිංහල රජවරු වැව් හා විහාර කර්මාන්ත සඳහා කම්කරුවන් වශයෙන් බඳවා ගත් සාමාන්‍ය ජනතාවට ආහාර පානාදිය දී පඩිත් ගෙවන ලදී. එහෙත් ඊජිප්තුවේ විසූ පාරාවෝ රජවරු තඩි පිරමීඩ ඉදි කිරීම සඳහා යොදාගත් සේවකයන්ට වැටුප් නොගෙවා තුන් වේල කන්නට දුන්නේය. මුදලින් වැටුප් ගැනීම ගැන කිසිම තේරුමක් නැති ඊජිප්තු කම්කරුවෝ මේ කියන කෑම වේල් තුනෙන් තෘප්තිමත් වූහ. මේ මිනිසුන් කෑම පමණක් කා හෙලුවෙන් වැඩ කළේ ද යන ප්‍රශ්නය මෙහිදී මතුවනවා ඇත. කම්කරුවන්ට විලි වසා ගැනීම සඳහා අවශ්‍ය රෙදි සපයන ලද්දේ ද රජතුමාම විසිනි. එකල මේ ලෝකයේ ඇඟ වැහෙන පරිදි සම්පූර්ණයෙන් ඇඳුම් ඇඳීමක් හෝ යට ඇඳුම් ඇඳීමේ සම්ප්‍රදායක් ඊජිප්තුවේ සාමාන්‍ය ජනතාව අතර තිබුණේ නැත. එබැවින් ඔවුන්ට දෙන ලද්දේ විලි වසා ගැනීමට ප්‍රමාණවත් කුඩා රෙදිකඩවල් දෙකක් පමණි. මේ දෙක මාරුවෙන් මාරුවට පාවිච්චි කරන ලදී.

ක්‍රිස්තු පූර්ව 1170දී ඊජිප්තුවේ රජ කළ තුන්වන රැම්සේස් රජතුමා තම ආදිතමයන් මෙන්ම රජවූ දවසේ සිටම පිරමීඩ සෑදීමට පටන් ගත්තේය. මේ පිස්සුව සඳහා කම්කරුවන් ලක්ෂ ගණනින් යොදවන ලදී. අද ජීවත් වන අපට මෙන්ම එකල සිටි ඊජිප්තු රජවරුන්ට ද හිටි ගමන් සල්ලි හිර වෙයි. මේ නිසා පිරමීඩ් හදන කම්කරුවන්ට ප්‍රමාණවත් තරම් ආහාර සලාකයක් ලබාදීමට රජුට බැරි විය. ඇඳුම් නැතිව වැඩ කළත් කන්න නැතිව වැඩ කළ නොහැකිය. මේ හේතුවෙන් පිරමීඩ කම්කරුවෝ ප්‍රමාණවත් ආහාර සලාකයක් දෙනතුරු වැඩ වර්ජනයක් පටන් ගත්හ. මෙය කඩුවෙන් විසඳිය හැකි දැයි රජතුමා විසින් උත්සාහ කර බලන ලදී. එහෙත් වැඩ වර්ජිත කම්කරුවන් එකෙක්වත් හෙල්ලුණේ නැත. කඩුවෙන් මේ ප්‍රශ්නය විසඳනවා නම් ලක්ෂ ගණනක් මැරිය යුතු වූ අතර, එවිට රජතුමාත් අගමෙහෙසියත් පමණක් රටේ ඉතිරි වන තත්ත්වයක් මතු විය. එබැවින් තුන්වන රැම්සේස් රජු රෝලක් ගසා ආහාර සලාකය යළි ප්‍රමාණවත් කළේය. කම්කරුවන් විසින් වර්ජන ක්‍රියාවලියක් මඟින් ලබාගත් පළමු ජයග්‍රහණය මෙය බව දැන ගන්නට තිබේ. මේ සිද්ධිය ඒ කාලයේම පැපිරස් පත්‍රවල ලියා පුස්තකාලයක තැන්පත් කරන ලදී. අප මේ කතාව ඔබට කියන්නේ එකී පැපිරස් පත්‍රවල තිබූ ඉතිහාසය ආශ්‍රයෙනි.

මෙයට අවුරුදු 3200 කට පමණ පෙර ඊජිප්තු වැසියන් ආහාර වේල සඳහා කළ වැඩ වර්ජනයම අද වන විට සිගරැට් එකටත් බීඩියටත් කරනු ලැබේ. මීට දෙදිනකට පමණ පෙර අවසන් වූ දුම්රිය වර්ජනය පටන් ගෙන තිබුණේ දුම්රිය සේවකයන් දෙදෙනෙක් සිගරැට් එකක් වෙනුවෙන් ඇති කර ගත් ආරවුලක් හේතුවෙනි. මේ නිසා කිසියම් කතාබහක් ඇතිවී එය ගුටි කෙළියක් දක්වා වර්ධනය විය. ගුටි කෙළියට සහභාගී වූ ප්‍රධාන තරගකරුවන් දෙදෙනා පස මිතුරු වෘත්තීය සමිති දෙකකට අයත් බව කියනු ලැබේ. අන්තිමේදී සිද්ධියට සම්බන්ධ වූ සේවකයන් දෙදෙනාගෙන් වැරදිකරු සොයා දඬුවම් කරන ලෙස ඉල්ලමින් මේ වෘත්තීය සමිති දෙක වැඩ වර්ජනයක් පටන් ගත් බව කියනු ලැබේ.

වැඩ වර්ජනයක් යනු බෝවන රෝගයක් හා සමාන දෙයකි. ඒ නිසා මේ වර්ජන ක්‍රියාවලිය දුම්රිය වෘත්තීය සමිති රැසකට එකෙනෙහිම බෝ විය. මතවාදී වශයෙන් ගත් කල මේ වැඩ වර්ජනයට කිසිදු විභවයක් නැත. එයට හේතුව මේ වර්ජනය සිගරැට් එකක් වෙනුවෙන් පටන් ගත් එකක් වීමය. මීළඟ වතාවේදී දුම්රිය අංගනයේ තිබෙන කෙහෙල් ලෙල්ලකට අඩිය තබා ලිස්සා වැටෙන එකා එකී කෙහෙල් ලෙල්ල එතැන දැමුවේ කවරෙක් දැයි සොයමින් වැඩ වර්ජනයක් පටන් ගන්නවා ඇත. වැඩ වර්ජනයකදී සේවකයන්ට නිකම් සිටිය හැකිය. වර්ජනය නිම වූ පසු වැඩ වර්ජනය කළ දින ගණනටත් එක්ක සේවකයන්ට පඩි ගෙවීමට ආණ්ඩුව කටයුතු කරයි. වර්ජනය කළ දිනවල අතිකාල දැමූ වර්ජකයන් එහෙම සිටියේ දැයි ආණ්ඩුව සොයා බැලිය යුතුය. දුම්රිය දෙපාර්තමේන්තුව යනු ඒ තරමටම පරිහානියට පත් ආයතනයකි.

සේවකයන් සූරාකනවාට මේ පුවත්පත ප්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධය. එබැවින් වැඩ වර්ජකයන්ගේ ප්‍රශ්න ඉතා සාධාරණ ලෙස නිරාකරණය කළ යුතු බව අපගේ මතය වේ. එසේම වැඩ වර්ජනය නැමැති තිරයට මුවාවී කම්කරුවන් රට කනවාට අප විරුද්ධය. මේ රටේ මේ මොහොතේ පවත්වන වැඩවර්ජන බහුතරයක් සුරුට්ටුවට, බීඩියට, සිගරැට් එකට කරන තුට්ටු දෙකේ වැඩ වර්ජන හා සමානය.

විශේෂයෙන් පසුගිය කාලයේදී ඇතැම් ගුරු සොරුන් සහ ඇතැම් දුම්රිය සේවකයන් කළ වැඩ වර්ජන තඹ සල්ලියක ප්‍රයෝජනයක් නැති දේශපාලන න්‍යායපත්‍ර මත පදනම් වූ ක්‍රියාකාරකම් ය. වැඩ වර්ජන සම්බන්ධයෙන් මාක්ස්, එන්ගල්ස්, ට්‍රොට්ස්කි කියූ මූලික හරය නූතන වැඩ වර්ජනවල නැත. එන්.එම්. පෙරේරා, පීටර් කෙනමන්, කොල්වින් ආර්. ද සිල්වා, බාලා තම්පෝ වැනි අය මේ රටේ වෘත්තීය සමිති ඉතිහාසයේදී වැඩ වර්ජන කළේ මාක්ස් හා එංගල්ස්ගේ පොත් බලාගෙනය. අද එම පොත් අස්ථානගතවී තිබේ. ඒ නිසා බීඩියට හා සුරුට්ටුවට වැඩ වර්ජනය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division