* ආසු නිමවන්නේ හිටපු කථානායක කරු ජයසූරියගේ කනිටු දියණිය ඉන්දිරාගේ ජීවන කතාවේ අනුප්‍රාණය ලබමින්
* ආසු හරහා මම උත්සාහ කළේ මනුෂ්‍ය ජීවිතය ඇතුළට යන්න පුළුවන් සිනමාවක් නිර්මාණය කරන්න
– ආසු අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර
* ඉන්දිරා පිළිකා භාරයට මෙයින් මුදල් එකතු කිරීමක් හෝ කිසිම දෙයක් සිදු වෙන්නේ නෑ. අපිට අවශ්‍ය නංගිගෙ කතාව සමාජගත කිරීමෙන් අනෙක් කාන්තාවන්ට යම් දිරිගැන්වීමක් කරන්න
– ඉන්දිරාගේ වැඩිමල් සොයුරිය වෛද්‍ය ලංකා ජයසූරිය
ජීවිතය මැනිය යුත්තේ අප ගන්නා හුස්ම ප්‍රමාණයෙන් නොවේ. අපට හමුවෙන හුස්ම ගැන්මට අමතක කරන තරමේ අවස්ථා ගණන අනුවය යනුවෙන් කියන්නේ ප්‍රකට කිවිඳියක වන මායා අන්ජලෝ ය. එවන් වූ අමතක කළ නොහැකි නැත්නම්, හුස්ම ගැන්මට අමතක කරන අවස්ථා ජීවිතයේ අපට නිතර ම හමු වෙන ඒවා නොවේ. ඒ අවස්ථා දුලබ ය. දුලබ තරමට ම ඒවා දැනෙන සුළු ය. එවන් අවස්ථාවකදී ගන්නා තීරණ ගැන නැවත හැරී බලද්දී දැනෙන හැඟීමට අර්ථකථන නැත. එහෙත් අර්ථකථන දීමට හෝ එවැනි අවස්ථාවකින් පසුව ජීවත්වීමට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි.
ඉන්දිරා ජයසූරිය ගැන මතකය ද එසේ ය. හුස්ම ගැන්මට අපහසු වන තරමේ අවස්ථාවකට මුහුණ දුන් ඇය අවසානයේ දරුවාගේ ජීවිතය වෙනුවෙන් හුස්ම අතහැරීමට තීරණය කළේ හුදු හැඟීම්බර බවකින් නම් නොවේ. ඇය තමා ගත් තීරණය ගැන හොඳින් ම දැන සිටියා ය. එහි දිග පළල සහ ගැඹුර ගැන ඇය සක්සුදක් සේ දත්තී ය. සවිඥානිකව ගත් තීරණය හමුවේ ඇයට මෙලොව ජීවිතය ගත කරන්නට අවස්ථාව ලැබී තිබුණේ වසරකටත් අඩු කාලයකි. එහෙත් ඈ ඒ වසර ගත කළේ තමා ගත් තීරණය ගැන බොහෝ තුටු වෙමිනි. කුටුම්බයේ අනේක විධ ගැටලු හමුවේ ඇය ජීවිතය අත් නොහැරියා ය. ජීවිතයේ ගත් බොහෝ තීරණ ඇය ගත්තේ මවකගේ ස්නේහයේ පරිමාව ගැන දැනුම්වත්ව ය.
2016 නොවැම්බර් මස 02 වැනිදා සිය දිවිය හැරයන විට ඇය පසු වූයේ 40 වැනි වියේ ය. ජීවිතයේ පරිණතම අවදිය පටන් ගත්තා පමණෙකි. අත දරුවා සමඟ ඇගේ වැඩිමල් දියණිය ද සැමියා මාටින් ද මවුපියන් හා එකම සහෝදරියගෙන් ද ඇය සමුගන්නේ මනුෂ්‍යත්වය පිළිබඳ අපමණ පාඩම් ලොවට ක්‍රියාවෙන් දායාද කරමිනි. වැටෙන සහ වැටුණු කාන්තාවන්ට ඈ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දිරිය ගැහැනියක වූවාය.
ආසු සිනමාපටය හැදෙන්නේ ඇගේ මේ කතාවේ අනුප්‍රාණය ලබමිනි. අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර ද ආසු ඔස්සේ නව සිනමා ආරකට පිළිපන්නේ ය. සමාජ දේශපාලන ඛේදවාචක පිළිබඳව සිය ගවේෂණාත්මක විශ්වාසය දිගින් දිගට ම රූපය හරහා සිනමා ප්‍රේක්ෂකයන් වෙත ගෙන ආ සංජීව, ආසු හරහා මනුෂ්‍ය ජීවිතයේ විඳීම් විඳවීම් හා සෞන්දර්යාත්මක ප්‍රවේශ පිළිබඳ සිය විචාරාක්ෂිය යොමු කරන්නට පටන් ගන්නේය.
‘මගේ චිත්‍රපටි ඔස්සේ මම මනුෂ්‍යයන් විදියට අපි මුහුණ දීලා ඉන්න සමාජ දේශපාලනික උභතෝකෝටික ගවේෂණය කරන්න තමයි දිගට ම උත්සාහ කළේ. මගේ අත්දැකීම් එක්ක ඒකෙන් මිදෙන්න මට අමාරුයි. නමුත් මට හිතෙනවා අවුරුදු හතළිහකට වැඩි ජීවිතයේ මට තිබුණු සිනමාව, සාහිත්‍යය පිළිබඳ දැනුම දැන් වෙනස් තත්ත්වයකට එළඹිලා තියෙන බව. සිනමාව සහ කලා ප්‍රවාහ ගැන මම ලබන අවබෝධය, දවසින් දවස වැඩි වෙනවා කියලා මම හිතනවා. හරියටම කිව්වොත් මම නොදන්නා කලාපය තව තවත් පළල් වෙනවා.
ආසු හරහා මම උත්සාහ කළේ මනුෂ්‍ය ජීවිතය ඇතුළට යන්න පුළුවන් සිනමාවක් නිර්මාණය කරන්න. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ මම සමාජ දේශපාලන අර්බුදයෙන් වියුක්ත වෙලා චිත්‍රපටි හදනවා කියන එක නෙවෙයි. සිනමාව ගැන මට තියෙන අවබෝධය ටික ටික වැඩි වෙන කොට මං උත්සාහ කරනවා මනුෂ්‍යත්වය සමඟ දැඩි ලෙස බැඳුණු කතා ආඛ්‍යානයක් ගොඩනඟන්න.
සංජීව ආසු සිනමාපටයේ තිර රචනය ගොඩනඟන්නේ සිය බිරිය සංගීතා නිල්නදී ගොඩගම සමඟ සම තිර රචනයක් ලෙසිනි. තිර රචනයේදී සත්‍ය කතාවක් මත පදනම් වීම පහසුවක් ද නැත්නම් අභියෝගයක් ද යන්න ගැන සංජීව දරන මතය මෙපරිදි ය.
‘ඉන්දිරාගෙ කතාව අපි කොහොමද සිනමාපටයකට ගේන්නෙ කියන අභියෝගය අපි ඉස්සරහ තිබුණා. ඒ වගේම අපිට චිත්‍රපටය නිම කළ යුතු නියමිත කාලවකවානුවකුත් දන්වලා තිබුණා. අවුරුද්දකට කිට්ටු කාලයක් අපි මේක හදමින් කපමින් ලියමින් සකස් කළා. ඒකෙදි ඉන්දිරාගෙ චරිතය විතරක් ම නොවෙයි, අපි පාදක කරගන්නෙ. පියයුරු පිළිකා රෝගයට මුහුණ දුන්නු තවත් කාන්තාවන් කිහිපදෙනෙක්ගෙනුත් තොරතුරු ගත්තා. තවත් බොහෝ පර්යේෂණ කළා. මට අවශ්‍ය වුණා ආසු චිත්‍රපටය බෞද්ධ පුරුෂාර්ථ මත පදනම් වුණු චිත්‍රපටයක් විදියට ගොඩනඟන්න.
ජාතක කතා කියන්නේ අපට තියෙන විශාල දායාදයක්. මම හිතන්නෙ අපි බොහෝදෙනෙක් තාමත් එය නියමාකාරව භාවිත කරලා නැහැ කියලයි. නව ආකෘතියක් චිරන්තන ගද්‍ය සාහිත්‍ය එක්ක මිශ්‍ර කරන්නෙ කොහොමද කියන ගැටලුව අපට තිබුණා. සස ජාතකය අපි මේක ලියන්න මූලාශ්‍රික මට්ටමෙන් යොදා ගත්තා‘
සංජීවට මේ අවස්ථාව ලැබෙන්නේ ද අහඹු ලෙසිනි. ඒ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් හරහා ය. ආසු 34 වැනි ටෝකියෝ සිනමා උලෙළේ ආසියානු තරගකාරී අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලබන්නේ ද ඒ පසුබිමේ ය.
‘2021 දි සිංගප්පූරුව, මැලේසියාව සහ ලොස් ඇන්ජලීස් නුවර පදනම් කරගෙන තිබෙන චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් වන NextGen Ventures සිනමාකරුවන් 20 දෙනෙක් තෝරා ගත්තා වෘත්තාන්ත සිනමාපට කරන්න. මාත් ඒකට තේරුණා. එයාලගේ බලාපොරොත්තුව වුණේ ආසියාතික සමාජයේ තියෙන වටිනා පුරුෂාර්ථ පදනම් කරගෙන සිනමාපට නිර්මාණය කිරීම කියන එක. මම ඒ වෙනකොට ඉන්දිරාගෙ කතාව දැනගෙන හිටියා. මේ තේමාවත් එක්ක මගේ ඔළුවට ආවෙ ඉන්දිරාගෙ කතාව.
මුළුමනින් ම ඉන්දිරාගේ කතාව ම නොවෙන නමුත් ඇගේ දෘෂ්ටිවාදයට හානියක් කර නොගෙන මේ කතාව ගොඩනැඟීම සංජීවගේ අභිප්‍රාය වූවාට සැක නැත.
‘ඇත්තට ම මේක ඉන්දිරා ජයසූරිය ජීවත් වෙච්ච විදිය හෝ ඇයගේ පසුබිම සම්පූර්ණයෙන් නිරූපණය කරන සිනමාපටයක් නෙමෙයි. අපදාන සිනමාපටයක් කියන්නෙ සිනමාවේ එක්තරා ප්‍රවර්ගයක්. අපදාන සිනමාපටයක වැදගත්ම දේ තමා ඒ චරිතය නියෝජනය කරන දෘෂ්ටිවාදය. ඒ වගේම එයා නියෝජනය කරන සමාජ ආර්ථික දේශපාලන දෘෂ්ටිවාදය නිවැරැදිව නිරූපණය වෙනවද කියන කාරණය. නමුත් මේක වාර්තා සිනමාපටයක් නොවන නිසා කලාත්මක සිනමාපටයකට ගනිද්දි ඒක ප්‍රබන්ධකරණයට ලක්කරන්න සිදු වෙනවා. මම ආසු චිත්‍රපටයේදී කරල තියෙන්නෙ ඉන්දිරා ජයසූරිය කියන චරිතය අනුප්‍රාණය කිරීමක්. ඒකයි මේක සත්‍ය කතාවක් පදනම් කරගෙන හැදුවා කියන්නෙ. එත් ඉන්දිරාගේ සමාජ සංස්කෘතික දෘෂ්ටිවාදය සහ එයාගෙ ආකල්ප ඒ විදියට ම තියාගෙන මේ නිර්මාණය කරන්න උත්සාහ කළා. ඉන්දිරා කියන්නේ ඉතාමත් මවුවත් ගුණයෙන් යුතු කාන්තාවක්. ඒ තරම් කැප කිරීමක් කරන්න තමන්ගේ ආත්මය සූදානම් කර ගන්නවා කියන්නේ වෙනම මානසිකත්වයක්. ආදරය කියන හැඟීම අපි හැමදෙනාට ම පොදු හැඟීමක්. විශේෂත්වය වෙන්නේ ඉන්දිරා අපි හැමෝට ම ඒක පොදු කරලා පෙන්නුවා. ඒක අපි හැමෝටම එල්ල කළ ආලෝක කදම්බයක්. ඒ ආලෝකය හැමෝට ම එල්ල කරන්න පුළුවන් ද කියලා බලපු එකයි අපි ආසු හරහා කළේ‘
සැබෑ ජීවිතයේදී ඉන්දිරා ගණකාධිකාරීවරියකි. ආසු සිනමාපටය ඇතුළත ඉන්දිරාගේ චරිතය ගොඩනැඟෙන්නේ චිත්‍ර ශිල්පිනියක් ලෙස ය. සිනමාපටයේදී ඇගේ සැමියා සංගීතඥයෙකි. සංජීවට අවැසි වන්නේ ඉන්දිරාගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීමේදී කලාත්මක හා සෞන්දර්යාත්මක ප්‍රවේශයක් ඔස්සේ ගොඩනැඟීමට ය. සස ජාතකයේ බලපෑමත් එයට හේතු වන්නට ඇත. එයින් චිත්‍රපටය ඇතුළත සෞන්දර්යාත්මක ප්‍රවේශය ඔපමට්ටම් වී ඇතැයි කීම යුක්ති යුක්ත ය. සංජීවගේ සිනමා භාවිතය ඇතුළත ප්‍රේක්ෂකයන්ට පැහැදිලි ව පෙනෙන රූපය කතා කිරීමේ බහු ප්‍රවණතාව මේ චිත්‍රපටයේදී යම් තරමක වෙනසකට ලක් කර ඇත. සංසන්දනාත්මක විග්‍රහයේදී ඔහුගේ අනෙක් චිත්‍රපටවලට සාපේක්ෂ ව මෙහි කතා ආඛ්‍යානය වැඩිවශයෙන් යොදා ගෙන ඇත.
උදාරි වර්ණකුලසූරිය, ශ්‍යාම් ප්‍රනාන්දු, ඩිනාරා පුංචිහේවා, චාන්දනි සෙනවිරත්න, සෝමරත්න දිසානායක, ස්වේතකි වාදිසිංහ සහ අතුල වේරගොඩ, යශෝදා රසඳුනි, රේණුකා බාලසූරිය ආසු සිනමාපටයට රංගනයෙන් දායකත්වය සපයයි. ආසු සංජීව පුෂ්පකුමාර සමඟ අමිල අබේසුන්දර සම නිෂ්පාදනයකි. සහයෝගීතා නිෂ්පාදනය රේණුකා බාලසූරිය සහ සුරංග හඳපාන්ගොඩගෙනි. ආසු චිත්‍රපටයේ සංස්කරණය අජිත් රාමනායක වන අතර, සංගීත නිර්මාණය කර ඇත්තේ අජිත් කුමාරසිරි සහ නාමිනි පංචාලි විසිනි. ඇඳුම් නිර්මාණය අජන්ත අලකකෝන් වන අතර, කලා අධ්‍යක්ෂණය පූර්ණ ජයශ්‍රී සිදු කර තිබේ. වෛද්‍ය තාක්‍ෂණික සහයෝගය ලබා ගෙන ඇත්තේ වෛද්‍ය නියොමාල් පෙරේරා ගෙනි. සංජීව පුෂ්පකුමාරගේ අධ්‍යක්ෂණයකි.
වෛද්‍ය ලංකා ජයසූරිය ඉන්දිරා ජයසූරියගේ වැඩිමල් සහෝදරියයි. ඇය සිය නැගණිය වෙනුවෙන් දහසකුත් දේ පිළිකා රෝගයෙන් බැටකන රෝගී සමාජය වෙනුවෙන් කරන්නේ හුදු මානුෂීය හැඟීමෙන් යුතුවම පමණකි. ඇය සිය වේදනාභරිත සිත අප හා හෙළි කළේ මේ අයුරෙනි.
‘ආසු චිත්‍රපටය හදලා තියෙන්නේ මගේ නංගිගෙ ජීවන කතාව ඇසුරු කර ගනිමින්. ඒක ඔහු ඉතා කලාත්මක අයුරෙන් නිමවලා තියෙනවා. ඒකෙන් නිරූපණය වෙන්නේ අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවන් ගැන තියෙන ආදරය ගැන. මගේ නංගිට තිබුණෙ පියයුරු පිළිකාවක්. ඇයට ඒක මතු වුණේ 2008 දී විතර. එයා ඒකට අවශ්‍ය ප්‍රතිකාර අරන් හරි ලස්සනට ඒක පාලනය කර ගත්තා. නමුත් ඇයට තමන්ගෙ දෙවැනි දරුවා උපදින්න ඉද්දි ආයෙත් මේ පිළිකාව මතු වුණා.
ඇය තීරණයක් ගත්තා පිළිකා ධූලක බෙහෙත් මුකුත් ම ඒ අවස්ථාවේ ගන්නෙ නෑ කියලා. ඇයට හිතේ චකිතයක් තිබුණා දරුවට ඒක බලපායි කියලා. දරුවා ලැබුණට පස්සෙ තමයි ඇය යළිත් ප්‍රතිකාර සඳහා යොමු වුණේ. නමුත් ඒ වෙනකොට පිළිකාව සිරුරෙ ඇතුළෙ ඔඩු දුවලා ඉවරයි. දරුවට අවුරුද්දක් විතර වෙද්දි ඇය ජීවිතයෙන් සමුගත්තා. ඇයගේ මරණය සහ ඇය පිළිකාව එක්ක සටන් කළ විදිය ගොඩක් අයට ආදර්ශයක්. එයා ලෙඩේ දිහා බැලුවෙ සහ මුහුණ දුන්නෙ බොහොම ධනාත්මක විදියට. ඒ වගේම එයා දුක් වුණේ නෑ. ඇයගේ මුහුණෙන් කවදාවත් සිනහව නැති වුණේ නෑ. ඒවගේ ම නංගිගෙ මරණයත් බොහොම වේදනා රහිත සාමකාමී මරණයක්. අපි හැමෝම එ් වෙලාවෙ එයා ළඟ හිටියෙ. අපිට හැම කෙනෙක්ම උදව් කළා.
නංගි නැති වුණේ 2016 නොවැම්බර් 02 වැනිදා. අවසාන කටයුතු කළේ නොවැම්බර් 10 වැනිදා. අපි නොවැම්බර් 27 වැනිදා වෙන විට ආයතනයක් පිහිටෙව්වා පිළිකා රෝගීන්ගේ විවිධ අවැසිතා සඳහා. මේ ආයතනයෙන් පිළිකා රෝගියකුට අවශ්‍ය සියලුම දේවල් සිද්ධ වෙනවා. අපි මාස තුනකට පෙර කළ ව්‍යාපෘතිය තමයි පිළිකා රෝගය වැලඳුණු දරුවන් වෙනුවෙන් සුව අරණ සත්කාර මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම. ඒ දරුවන්ට පවුලක් වශයෙන් ජීවත් වෙන්න අවශ්‍ය සියලු පහසුකම් අපි නොමිලේ සම්පාදනය කරලා තියෙනවා. පියා තමයි මේවා පටන් ගත්තෙ. අපි මේ සියල්ල කරන්නෙ නංගි වෙනුවෙන්.
සංජීවගේ බිරිය සංගීතා තමයි මේ චිත්‍රපටයේ සම තිර රචනය කරන්නේ. නංගිගේ ශක්තිය, ඇය ඒ සඳහා මුහුණ දුන් විශිෂ්ට ආකාරය ආදිය මෙහි නිරූපණය වෙනවා. ඇය කාන්තාවක් විදියට, මවක් විදියට, භාර්යාවක් විදියට, දුවෙක් විදියට සහ සහෝදරියක් විදියට මේ සිද්ධියට මුහුණ දුන් අයුරු මෙහි සටහන් වීම විශේෂත්වයක්. ඉන්දිරා පිළිකා භාරයට මෙයින් මුදල් එකතු කිරීමක් හෝ කිසිම දෙයක් සිදු වෙන්නේ නෑ. අපිට අවශ්‍ය නංගිගෙ කතාව සමාජගත කිරීමෙන් අනෙක් කාන්තාවන්ට යම් දිරිගැන්වීමක් කරන්න. පිළිකාව කියන්නෙ ජීවිතයේ අවසානය සටහන් කරන දෙයක් නෙවෙයි කියන කතාවයි අපිට ඒත්තු ගන්වන්න ඕන‘
කරු ජයසූරිය හිටපු කථානායකවරයා ජීනීවා පැවැති අන්තර් අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සමුළුවකට සහභාගී වෙමින් සිටියදී ඉන්දිරාගේ පිළිකා රෝගී තත්ත්වය උත්සන්න වී තිබේ. ඉන්දිරාගේ සැමියා මාටින්ගේ දැනුම් දීමක් අනුව ඇය යළිත් රෝහල්ගත කර ඇති බව දැනගන්නා ඔහු වහාම ලන්ඩන් බලා යන්නේ සිය දියණිය බැලීමට ය. එහෙත් ඒ වෙන විටත් හොඳ සිහිකල්පනාවක් නොතිබුණු ඉන්දිරාගේ අවසන් මොහොතේ ඇය අසල ම සිටිමින් ඇගේ අත අල්ලාගෙන සිතට දිරියක් වීමට හැකි වූ බව හිටපු කථානායක කරු ජයසූරිය පවසන්නේ නෙත් අග පිරි කඳුළු සඟවා ගනිමිනි.
වියෝවට ජාති ආගම් කුල භේද නැත. හිමි වූවා නම් අහිමි වීම බලාපොරොත්තු විය යුතුය. සෑම හිමිවීමක් පිටුපස ම අහිමි වීමේ සෙවණැල්ල වැටී තිබේ. අප උත්සාහ කළ යුතු වන්නේ සහ පරිස්සම් විය යුතු වන්නේ කිසිවක් නැතිව ඉපදීම ගැන නොව කිසිවක් ම සමාජයට නොකර මිය යෑමට සිදු වුවහොත් ය. ඉන්දිරා සමුගන්නේ ලෝකයට ඒ පාඩම උගන්වමිනි. ඇගේ දිරියේ හා මනුෂ්‍යත්වයේ කතාව ලෝකයට ගෙන යන්නේ ආසු චිත්‍රපටය හරහා ය. ඇයගේ ඒ කැප කිරීම වෙනුවෙන් ලැබුණු කලාත්මක ප්‍රවේශය ආසු සිනමාපටය ය. එපමණක් නොව ඈ නිසා ලෝකය දකින, සිය අනේකවිධ අපහසුතාවලට දිරියෙන් මුහුණ දීමට ශක්තිය ලබන පිරිසක් වෙනුවෙන් ගොඩනැඟුණු ඉන්දිරා පිළිකා භාරය ද වෙයි. මේ සියල්ල ඇගේ මවුවත් හා අප්‍රතිහත ධෛර්යය වෙනුවෙන් ලැබුණු වටිනාකම් ය. පිළිකාවට එරෙහිව සටන් කරන දහසකුත් ජනතාව අතරේ ඇය වීරවරියක් වෙන්නේ මේ කිසිවක් නිසා නොව මනුෂ්‍යත්වයට ඇය එක් කළ බලාපොරොත්තුව නිසා ය.
ඉන්දිරා ජයසූරියගේ ජීවිත කතාවෙන් අනුප්‍රාණය ලැබූ ආසු සිනමාපටය ඔක්තෝබර් 11 වැනිදා සම්භාව්‍ය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් One Galle Face හි PVR සිනමා සංකීර්ණයේ තිරගත කිරීමට නියමිතව ඇත. මිය යන මනුෂ්‍යත්වයට අපමණ අගයක් එක් කළ ඇගේ කතාවේ අනුප්‍රාණය ලැබූ ආසු සිනමා පටය තවත් බොහෝ ජීවිතවලට අනුප්‍රාණය සපයනු ඇති බැව් අපේ විශ්වාසයයි.
සුමුදු චතුරාණී ජයවර්ධන