Home » දේශපාලන අධිෂ්ඨානයකින් තොරව කිසිවක් කරන්න බෑ

දේශපාලන අධිෂ්ඨානයකින් තොරව කිසිවක් කරන්න බෑ

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලි චම්පික රණවක

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

ඔබගේ එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන ගමන් මඟ කෙසේද?

දශක 8 ක කාලයක් පුරා අපි මේ රටේ බුද්ධිමතුන්, වෘත්තියවේදීන් ගොඩනඟා ගත්තේ බොහෝම අමාරුවෙන්. නමුත් අවාසනාවකට මෙන් අද මහා පරිමාණයෙන් මේ පිරිස් රට හැර යනවා. ඊට රටේ ආර්ථික අස්ථාවරත්වය මෙන්ම දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්න බලපාල තියෙනවා.

එසේම ඔවුන් ඉලක්ක කර ගනිමින් ගෙන ආ බදු ප්‍රතිපත්තියත් ඊට ප්‍රබලව බලපෑවා. ඒ නිසා ඉදිරියේදී අපි නිවැරැදි වැඩපිළිවෙළක් යටතේ මේ වෘත්තිකයන්ට බලාපොරොත්තුවක් ඇති කළ යුතුයි, මේ රට තුළ සිටිමින්ම රට වෙනස් කිරීම සම්බන්ධව. මේ වන විට අපි මහජනතාව අතරට ගිහින් කුඩා හා මධ්‍ය පරිමාණ ජනහමු ලෙස රට පුරාම දැනුම්වත් කිරීම් කරගෙන යනවා.

2022 වසරේ බදු ආදායමෙන් 72% ක්ම වෙන් වුණේ වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට. 28% ක් සහනාධාර හා ණය පොලී සඳහා වෙන් වුණා. බදු ආදායමෙන් ශත පහක මුදලක් හෝ සංවර්ධනය සඳහා වෙන් වූයේ නැහැ. කවර රජයක් බලයට පත් වූවත් මේ ක්‍රමයේ වෙනසක් අත්විඳිය හැකිද?

අපේ ආදායම් ක්‍රියාවලියේ යුක්තිසහගත හා කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු මතුවෙලා තියෙනවා.

යුක්ති සහගත බව ගැන කතා කළොත් අපි මුලින්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උදාහරණයට ගනිමු. මේ අය එකතු නොකළ බදු ප්‍රමාණය බිලියන 1000 ක්. ඒ කියන්නේ ආණ්ඩුව බලාපොරොත්තු වන ආදායමෙන් තුනෙන් එකක්වත් පසුගිය කාලයේ එකතු කරගෙන නැහැ. 2017 සිට බදු එකතු කිරීමේ ක්‍රියාවලිය ඒකාබද්ධ ඩිජිටල් වේදිකාවකට ගෙන ආයුතු බව කිව්වා. රැමිස් පද්ධතිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හඳුන්වා දුන්නා.

ආශිකුඩා පද්ධතිය රේගු දෙපාර්තමේන්තුවට හඳුන්වා දුන්නා. සුරාබදු දෙපාර්තමේන්තුවට කිසිවක් නැහැ. නමුත් මේ කිසිවක් මේ වන තෙක් ක්‍රියාත්මක වී නැහැ. අඩුම තරමින් අලුත් බදු ප්‍රතිපත්තියට අනුව දොළොස් ලක්ෂයක් දෙනා ලියාපදිංචි විය යුතු වුවත් ලියාපදිංචි වී ඇත්තේ හාර ලක්ෂයයි.

එතැන වැඩක් වෙන්නේ නැහැ. කතා විතරයි සිදු වන්නේ. රේගු දෙපාර්තමේන්තුව ඩොලර් බිලියන 3 ක් ආනයන අපනයනවලින් වංචා කරනවා. ඒවා වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් රේගු දෙපාර්තමේන්තුව ගෙන නැහැ. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව බිලියන හයහමාරක බදු එකතු කර නැහැ.

අද ව්‍යාජ ස්ටිකර් හා ව්‍යාජ සලකුණු හරහා ව්‍යාජ මත්පැන් අති විශාල සංඛ්‍යාවක් රට තුළ සැරිසරන බවට ඔප්පු වී තියෙනවා. ආදායම් උපදවන තැන්වල අඩුපාඩු සකස් කර ගන්නේ නැතිව වියදම් පාර්ශ්වය ගැන කීමෙන් කිසිදු පලක් ඇති වන්නේ නැහැ. අද තිබෙන ලොකුම වියදම පොලී ගෙවීමට නොහැකි වීමයි. පසුගිය මාස 6 ආණ්ඩුවේ වියදම බැලූ විට අපේ ආදායමෙන් 94% ක්ම පොලිය.

පොලිය දෙගුණ වෙලා. ඒ නිසා ආණ්ඩුවල වැරදි මූල්‍ය ප්‍රතිපත්තිවල තත්ත්වය එයයි. අධික පොලියට ණය අරගෙන මුදල් අච්චු ගසා කළ විනාශයේ ප්‍රතිඵලයි අද භුක්ති විඳින්නේ. මේ පිළිබඳ යුක්තිගරුක බවක් ඇති කරන්න නම් මේ නිලධාරීන්ට දඬුවම් දිය යුතුයි. නමුත් ඒ කිසිවක් ඉෂ්ට වන්නේ නැහැ.

මේ නිසා උගතුන් රට ගැන කලකිරිලා ඉන්නේ. වියදම් කප්පාදු කිරීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය ආයතන 1200ක් විද්‍යානුකූල ක්‍රමයට කළමනාකරණය කළ යුතු වෙනවා. ඒසේ නැතිව තැනින් තැන පුද්ගලීකරණය කිරීමෙන් මේ කටයුත්ත සිදු කරන්න බැහැ.

රාජ්‍ය බැංකු පද්ධතියට ඇමැතිවරු පිරිසක් පොලු තියලා තියෙනවා. ඒ ප්‍රමාණය බිලියන 1400 ක්.

එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වර්ෂයකට සෙවිය යුතු ධනයට සමානයි. බැංකු එය ලබා ගන්නේ අනිකුත් පාරිභෝගිකයන්ගෙන්.

මේ නිසා ව්‍යාපාරිකයන් රටින් පලා යනවා. පසුගිය දිනවල ව්‍යාපාරිකයන් 4000ක් ඩුබායි ගිහින්. යුක්තිසහගත ආකාරයකට මේ කටයුතු කළමනාකරණය නොවීම විශාල ගැටලුවක්.

ඔබ පවසන්නේ මේ ක්‍රමවේදයේ පූර්ණ වෙනසක් සිදු විය යුතු බවද? ඉදිරියේදි ඔබ ප්‍රමුඛ රජයක් බලයට පත්වුවහොත් මේ සඳහා ගන්නා ක්‍රියාමාර්ගය මොනවාද?

අනිවාර්යයෙන්ම. මගේ වාර්තාවක් මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපි පාලනය ගත්තොත් වසරක් තුළ මේ ඩිජිටල් වේදිකාව සකස් කර බදු ආදායම් එකතු කිරීම විධිමත් කර කිසිදු කෙනකුට බදු දැලෙන් රිංගීමට ඉඩ දෙන්නේ නැහැ.

සුරාබදු ක්‍රියාවලිය විධිමත් කරනවා. උදාහරණයක් ලෙස සුරාබදු ස්ටිකරය ගෙනාවේ 2018දී. නමුත් මම පාර්ලිමේන්තුවේ කතා කරනකම් මුදල් අමාත්‍යාංශය කිසිදු පියවරක් ගත්තේ නැහැ. මම මැදිහත් වුණාට පස්සේ තමයි අඩුම තරමින් දඩ මුදලක් හෝ ආවේ. දේශපාලන අධිෂ්ඨානයකින් තොරව කිසිවක් කරන්න බැහැ.

2022 බදු ආදායම රුපියල් බිලියන 1751 ක්. එයින් සියලු වැටුප් සඳහා රු. බි. 1265 හා සහනාධාර සඳහා සඳහා රුපියල් බිලියන 506ක්. ඒ අනුව රුපියල් බිලියන 20 ක හිඟයක් තිබුණා. ඔබ රජයක් යටතේ බදු ආදායම වැඩි කර ගන්නේ මේ වෙනස්කම් හරහාද? ජනතාවට සහන සලසන්නේ කෙසේද?

අනිවාර්යයෙන්ම. ඒ පිළිබඳ යෝජනා මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙනවා. තක්කඩි කිහිපදෙනෙක්ගේ බොල් ණය අය කරගත් විට, බැංකු පද්ධතිය තවදුරටත් සුවපත් කර ගත් විට, පොලී අනුපාත අඩු වෙනවා. පොලී අනුපාත අඩු වූ විට ව්‍යාපාරික ප්‍රජාව සුවපත් වෙනවා. ලක්ෂ ගණනාවකට රැකියා හිමි වෙනවා. විදෙස්ගත ව්‍යාපාරිකයින් ලංකාවට ඒවි. එයින් ලංකාවේ ආර්ථිකය සුවපත් වෙනවා.

මේ සමාජයේ අත්‍යාවශයෙන්ම රැකගත යුතු වූ පිරිසට කෙටි කාලීන සහනාධාරයක් දිය යුතු වෙනවා. ඒ සඳහා විද්‍යානුකූල ක්‍රමයක් මඟින් සැබෑ දුප්පතුන් හඳුනාගත යුතුයි. එයට කරුණු 5 ක් බලනවා.

විදුලි පරිභෝජනය, ජංගම දුරකතන භාවිතය, ඉඩම් අයිතිය, රැකියාවක් කිරීම හා වාහන අයිතිය. මේ මූලික කරුණු 5 ඔස්සේ සැබෑ දුප්පතුන් හඳුනා ගත යුතුයි. සංවර්ධනය කියා පාරවල්වලට ප්‍රකෝටි ගණනක ධනයක් යට කළා. මේ තත්ත්වයට පත්වුණේ ඒ නිසයි. විධිමත් සක්‍යතා මූල්‍ය අධ්‍යයන නොමැතිව කිසිදු සංවර්ධනයක් සිදු කරන්නේ නැහැ.

එසේම රටේ ආර්ථිකයට ඉතාම වැදගත් ක්ෂේත්‍ර තුනක් ඖෂධ හා උපකරණ හා ආහාර ඵලදායිතාව හා බලශක්ති නිෂ්පාදනය දෙසට රාජ්‍ය ආයෝජන යොමු කැරනවා. ඊට අමතර තාක්ෂණ නගර ව්‍යාපෘතියට රජයේ ආයෝජන සිදු කරනවා. ඒ හරහා වසර කිහිපයක් තුළ ඩොලර් බිලියන 5ක ඩිජිටල් සේවා ආර්ථිකයක් සෑදීමේ වැඩ පිළිවෙළක් සකසනවා.

ඔබගේ මේ වැඩපිළිවෙළ ජන ජිවිතය ගොඩ දාන කෙටිකාලීන වැඩ පිළිවෙළක්ද?

මෙය වසර තුනක් තුළ සිදු කිරීමට නියමිත වැඩපිළිවෙළක්. වසර 3 කින් සිදු කිරීමට දුන් වරාය නගරය මාස 29 කින් නිම කළා.

කොළඹ කසළ ප්‍රශ්නය මාස 18කින් විසඳුවා. කොළඹ ගංවතුර ප්‍රශ්නය මාස 24 කින් විසඳුවා. අපිට භාර දෙන්න. අපි කරලා පෙන්වන්නම්.

ණයට අරගෙන ණය ගෙවන ක්‍රමය වෙනුවට වෙන ක්‍රමයක් ඔබට පවතිනවාද?

ණය ගත්තු මිනිසුන්ට මුලින්ම ණය ගෙවන්න ඕනෑනේ. නැතිනම් අන්තර්ජාතිකව නඩු දානවා. නිෂ්පාදනය වැඩි කිරීමට අපි රාජ්‍ය ආයෝජන සිදු කරනවා. ඉහත සඳහන් කළ ක්‍රම හරහා ණය ගෙවීම සිදු කරනවා. රටට සිදුකර ඇති විනාශවලට ණය ගෙවිය යුතුයි.‍

නමුත් වත්මන් නායකත්වය හරහා රට වැටුණු තැනින් ගොඩ ආ බව බොහෝදෙනා පවසනවා. මේ පිළිබඳ ඔබගේ අදහස?

එය කාටත් පෙනෙන්න තිබෙන තත්ත්වයත්. අද තෙල් පෝලිම් නැති වුණත් තෙල් මිල තුන් ගුණයක් වැඩි වෙලා. විදුලිය නොකැපුවත් විදුලි බිල තුන් ගුණයකින් ඉහළ ගිහින්.

පොහොර තිබුණත් විසි තිස් ගුණයකින් මිල ඉහළ ගිහින්. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා කළේ මහජනයා පිට බර දාලා 2028 න් පසුව එන ආණ්ඩුවට ගෙවන්න සැලැස්වීමයි.

මුලින් තිබූ කැරලිකාර තත්ත්වයත් එක්ක මෙය හොඳයි කියලා පෙනෙනවා. නමුත් ඒ යුගය දැන් ඉවරයි.

රෝහල්වල බෙහෙත් නැතිනම්, දරුවෝ පාසල් යන්නේ නැතිනම් ප්‍රශ්නය එතැනමයි. අද දහදෙනෙක්ගෙන් හයදෙනෙක් අනතුරුදායක තත්ත්වයට පත්වී ඇති බව යු. ඇන්. ඩී. පි. වාර්තාවකින් පවා පෙන්වා දී තියෙනවා.

එක්සත් ජනරජ පෙරමුණ නමින් නව පක්ෂයක් බිහිකරමින් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් ‌ෙවනවාද?

දේශපාලකයන්ට පමණක් දොස් කියලා වැඩක් නැහැ. මිනිස්සුත් මෙයට වගකිව යුතුයි. මාධ්‍ය මායාවන්ට හසු වී මිනිසුන් ඡන්දය දුන්නා. ලබන මැතිවරණයේදී ජනතාව තීරණය කළ යුතු වන්නේ අන්තිම දොස්තරත් රෝහලේ ඉන්නව ද නැද්ද, අතින්ම ඉංජිනේරුවත් විදුලිබල මණ්ඩලයේ ඉන්නවද නැද්ද, අන්තිම පරිපාලකයා, නීතිවේදියා ලංකාවේ ඉන්නව ද නැද්ද කියලයි.

පසුව සමාජ මාධ්‍ය හරහා කතා පවත්වා වැඩක් නැහැ. ඊළඟ ඡන්දය ජනාධිපති, විපක්ෂ නායක දිනවන ඡන්දයක් නොව අන්තිම දොස්තර ලංකාවේ ඉන්නවද නැද්ද කියලා තීරණය කරන තීරණාත්මක ඡන්දයක්.

තාත්තලාගේ කෙරුවාව, අම්මලාගේ පරම්පරාවේ කෙරුවාව කියාගෙන එන සම්ප්‍රදායික දේශපාලනයට එරෙහිව නව දේශපාලනයක් වෙනුවෙන් අපි කටයුතු කරනවා. අලුත් පරපුරක් වෙනුවෙන් රට දිනිය යුතුයි. එයට අපි වැඩ කටයුතු කරනවා.

සුභාෂිණී ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division