Home » ජනපති නියමයෙන් පරීක්ෂණ
මුලතිව් මහේස්ත්‍රාත්ගේ ඉල්ලා අස්වීම ගැන

ජනපති නියමයෙන් පරීක්ෂණ

by Mahesh Lakehouse
September 30, 2023 12:32 am 0 comment

මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජාට මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායකට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලිසියට හෝ අධිකරණ සේවා කොමිසමට හෝ දැනුම් නොදී ඉල්ලා අස්වී තිබීම නිසාවෙනි. එම නිසා මෙම සිද්ධියේ සුල මුල ගැන වහාම සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් උපදෙස් දී තිබේ. තර්ජන තිබුණේ ද යන්න ගැන සොයා බලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සිද්ධිය ගැන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් යන මහත්වරුන් සමඟ සාකච්ඡා කර ඇති අතර එහිදී හෙළිවී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා මරණ තර්ජන ගැන මීට පෙර කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවය.

මහේස්ත්‍රාත්වරයා ඉකුත් 24 දා විදේශගතව ඇත්තේ සැප්තැම්බර් 23 දා තම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරමිනි. මහේස්ත්‍රාත්වරයා නීතිපති සම්බන්ධයෙන් කර ඇති චෝදනාව ගැන ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවක් වෙනුවෙන් පෙනී සිටින ලෙස අධිකරණ සේවා කොමිසම හරහා කළ ඉල්ලීමකට අනුව සිය නිල මැදිරියේදී ඔහු සමඟ සාකච්ඡා කළ බවයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් තිදෙනකු ඉදිරියේ මුලතිව් මහේස්ත්‍රාත් සමඟ නීතිමය කටයුතු සාකච්ඡා කළ බවත් එහිදී මහේස්ත්‍රාත් වෙනුවෙන් පෙනී සිටිමින් මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස නම් කිරීම වැරදි බවට දැනුම්දීමට කතාකරගත් බව නීතිපතිවරයා ජනාධිපති කාර්යාලය කළ විමසීමේදී සඳහන් කර තිබේ. ඊට අමතරව බුද්ධි අංශ ජනාධිපති කාර්යාලය වෙත වාර්තා කර ඇත්තේ මහේස්ත්‍රාත්වරයා තානාපති කාර්යාල කිහිපයක නිලධාරීන් සමඟ සමීපව ගනුදෙනු කර ඇති බවකි.

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division