Home » අපට සම්පත් හා විසඳුම් තිබෙනවා අවශ්‍ය අධිෂ්ඨානය විතරයි
2024 ඵලදායි නියෝජනයක් සපයන නව ජාත්‍යන්තර සැලැස්මක් සඳහා

අපට සම්පත් හා විසඳුම් තිබෙනවා අවශ්‍ය අධිෂ්ඨානය විතරයි

ජනපති රනිල් ‘බර්ලින් ග්ලෝබල්’ සමුළුව අමතමින් කියයි

by Mahesh Lakehouse
September 30, 2023 12:40 am 0 comment
ජනා­ධි­ප­ති­ව­රයා ‘බර්ලින් ග්ලෝබල්‘ සමු­ළුවේ පළමු දින රාජ්‍ය නායක සංවා­දයේ සමා­ර­ම්භක දේශ­නය සිදු කළ අයුරු හා රාජ්‍ය නාය­ක­යන් විදෙස් නියෝ­ජි­ත­යන් සහ ප්‍රධාන පෙළේ සමා­ගම් රැසක විධා­යක නිල­ධා­රී­හුද මෙහි වෙති

– 2024 ඵලදායි නියෝජනයක් සපයන නව ජාත්‍යන්තර සැලැස්මක් සඳහා අපට සම්පත් හා විසඳුම් තිබෙනවා අවශ්‍ය අධිෂ්ඨානය විතරයි
– නව තත්ත්වයන්ට මුහුණදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාන්ත්‍රණයක් නෑ
– හරිත දේශගුණික අරමුදලේ විශාලතම දායකත්වය දරන රට විදියට ජර්මනිය සිය කාර්යභාරය ඉටු කිරීම ගැන සතුටුයි
– අභියෝග ජය ගැනීමේදී ගෝලීය සම්බන්ධීකරණය හා නායකත්වය මෙම ගැටලුව කඩනමින් විසඳීමට ප්‍රමාණවත් නෑ
– ගෝලීය දකුණේ රටවල් දැන් විකල්ප නායකත්වයක් සොයමින් සිටිනවා
– යුරෝපා සංගමයට අනෙක් රටවල් සමඟ වැඩ කිරීමට අවස්ථාවක් මේ තුළ පවතිනවා
– ආර්ථිකය නිවැරදි මාවතකට යොමු නොකළහොත් ලෝකය තවත් අර්බුදයකට පැටලෙන්න පුළුවන්
– බංකොලොත්භාවය ප්‍රකාශ කරන ඕනෑම රටකට උපකාර කළ හැකි විධිමත් ක්‍රමවේදයක් නෑ
– ඒ සඳහා අපට බටහිර හා චීනය සමඟ නිර්මාණාත්මක සංවාදයක් ඕනෑ
– අමෙරිකාව හා චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍යයි
– යුරෝපා සංගමය හා චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් වුවමනායි

අද පවතින ගෝලීය යථාර්ථයන් වඩාත් හොඳින් පිළිබිඹු කරන, අවශ්‍ය අයට ඵලදායී නියෝජනයක් සපයන නව ජාත්‍යන්තර සැලැස්මක් අප ඉදිරිපත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ‘බර්ලින් ග්ලෝබල්‘ සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය සිදු කරමින් පැවසුවේය.

ඒ සඳහා සැමට ඉදිරිපත් විය හැකි බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා කීවේ අපට සම්පත් හා විසඳුම් ඇති බවත් අවශ්‍ය වන්නේ එය ක්‍රියාත්මක කිරීමට අධිෂ්ඨානය බවද පෙන්වා දුන්නේය. ඒ සඳහා අප 2024 වසරේ ක්‍රියාත්මක විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එය කඩිනමින් කළ යුතු බවත් ඒ සඳහා බටහිර හා චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බවත් ඒ ලෙසින්ම යුරෝපා සංගමය සහ චීනය අතර නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ එසේ සිදු නොවුණහොත් අපට ඉදිරියට යාමට නොහැකි බවයි.

ශ්‍රී ලංකාව මුහුණ පෑ ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව සහ බංග්ලාදේශය ලබාදුන් සහාය ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය. 2024 ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි ශක්තිමත් ජාත්‍යන්තර සැලැස්මක් වෙනුවෙන් බටහිර රටවල් හා චීනය අතර මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතරත්, යුරෝපා සංගමය සහ චීනය අතරත් නිර්මාණාත්මක සංවාදයක් අවශ්‍ය බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

එසේම, “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අනෙකුත් රටවල් සැකයෙන් බැලීමට පටන් ගෙන තිබෙන බවත් මෙයින් ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට බලපෑමක් එල්ල කෙරෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටින බවත් එය තවදුරටත් අලුත් දෙයක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමක් ලෙසින් “බර්ලින් ග්ලෝබල්” සමුළුව ආරම්භ කෙරුණු අතර ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz), බෙල්ජියානු අග්‍රාමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩී ක්‍රෘ (Alexander de Croo) කසකස්ථාන් ජනාධිපති කැසෙම්-ජෝමාර්ට් ටෝකයෙව් (Kassym-Jomart Tokayev), යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) යන මහත්වරුන් ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින්, විදේශ අමාත්‍යවරුන් සහ ලොව පුරා සිටින ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍යකරණය පිළිබඳ විශේෂඥයින් සහභාගී වී සිටියහ. එමෙන්ම මෙම සංචාදය සඳහා ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක විධායක නිලධාරීන් ද එක්ව සිටියහ.

සමුළුව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

පළමුවෙන්ම මේ සඳහා සම්බන්ධවීමට මට අරාධනා කළ බර්ලින් ගෝලීය සංවාදයේ සභාපති මහාචාර්ය රෝව්ලෙට් මහතාට මම ස්තූතිවන්ත වෙනවා. මම දකින විදිහට පසුගිය දශක දෙක පුරාවටම ගෝලීය ආර්ථිකය බොහෝ අභියෝග‍වලට ලක්වී තිබෙනවා.

2008 දී යුරෝපීය ණය අර්බුදයට මුහුණ දීමට සිදුවුණා. ඉන් පසුව අපිට COVID-19 වසංගතය සහ එයින් ඇති වූ ආර්ථික අභියෝග, දේශගුණික විපර්යාස සඳහා අරමුදල් සොයා ගැනීමේ ගැටලුව සහ ස්වෛරී ණය අර්බුදය වැනි ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙනවා.

නූතන ඉතිහාසයේ වෙනත් කිසිදු යුගයක මෙවැනි අර්බුදයකට අපට මුහුණදීමට සිදුවී නැහැ. මෙම සෑම අවස්ථාවකදීම, දරුණු ලෙස පීඩාවට පත්ව ඇත්තේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් සහ ගෝලීය දකුණේ රටවලුයි.

දියුණු ආර්ථිකයන් තුළ දැඩි ලෙස උද්ධමනය ඉහළ යාම, තෙල් බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යාම සහ ගෝලීය මහ බැංකු විසින් සිදු කෙරෙන මුල්‍යමය සිර කිරීමකට අප දැන් මුහුණදී සිටිනවා.

ශ්‍රී ලංකාව යුරෝපයට සිදු කරන අපනයන, මේ වසරේ මේ දක්වා කිසිදු වැඩිවීමක් සිදුවී නොතිබීම එක් උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකියි.

සංවර්ධනය වෙමින් පවතින බොහේ රටවල් බරපතළ අර්බුදයකට මුහුණදී තිබෙන බව මේ අනුව පෙනී යනවා. ගෝලීය දකුණේ රටවල් ලෙස අප, ඉහළ යන ආනයන වියදම්, ආහාර, බලශක්ති, අනාරක්ෂිතභාවය සහ අපනයන යන ක්ෂේත්‍රවල ගැටලුවලට මුහුණදෙමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ගෙවුම් ශේෂ නිසා මුහුණදීමට සිදුවන ආතතිය, අප සියලු රටවල් දුර්වල ආර්ථිකයන් බවට පරිවර්තනය කරනවා.

දියුණු ආර්ථිකයන් පවතින රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙනස වන්නේ, මෙවැනි ආර්ථික අභියෝග සමඟ කටයුතු කිරීමට දියුණු රටවල් සියලු ආකාරයේ ස්වආරක්ෂක විධි සහ මූල්‍ය සංචිත පවත්වාගෙන යාමයි. නමුත් අපට එවැනි සංචිත නැහැ. ස්වෛරීත්ව ණය අර්බුදය ආරම්භ වූයේ මෙතැන් සිටයි. මේ තත්ත්වය හමුවේ, වහාම ආර්ථිකය නිවැරදි මාවතකට යොමු කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් ලෝකය තවත් අර්බුදයක පැටලිය හැකියි.

සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල් අද විශාල ණය බරකින් පෙළෙනවා. උදාහරණයක් ලෙස, මෙම නව තත්ත්වයට මුහුණදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ද යන්ත්‍රණයක් නැහැ. ශ්‍රී ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කළ අවස්ථාවේදී අපට ලැබෙන විදේශ අරමුදල් සියල්ල නතර වුණා. එය රටතුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය කළා.

ශ්‍රී ලංකාවට මෙම තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ලෝක බැංකුව සිදු කළ උපකාර සහ මගේ පැරණි මිතුරිය සමන්තා පවර් මහත්මිය අපට පොහොර ලබාගැනීම සඳහා කළ උපකාරය නොවන්නට මට අද මෙහි පැමිණීමට හැකිවන්නේ නැහැ. මොකද එම උපකාරය නොලැබුණා නම් අද මම මෙම තනතුරේ නොසිටින්නට ඉඩ තිබුණා.

මෙය ඉතා අයහපත් තත්ත්වයක් බව කිව යුතුයි. බංකොලොත්භාවය ප්‍රකාශ කරන ඕනෑම රටකට උපකාර කළ හැකි විධිමත් ක්‍රමවේදයක් නැහැ. නමුත් මෙම අවස්ථාවේ දී, විශේෂයෙන්, හරිත දේශගුණික අරමුදලේ විශාලතම දායකත්වය දරන රට ලෙස ජර්මනිය සිය කාර්යභාරය ඉටු කිරීම පිළිබඳ මම සතුටු වෙනවා.

දේශගුණික විපර්යාස අවම කර ගැනීම සහ ණය ප්‍රශස්තකරණය යන කරුණු දෙකම අපට මුහුණදීමට තිබෙන අභියෝග වන අතර, ඒ සඳහා අප සතුව පවතින අරමුදල් අවම ලෙස භාවිත කිරීමට සිදුව තිබෙනවා. අප සතුව ඇති අරමුදල්, අපට මෙම අභියෝගවලට මුහුණදීම සඳහා ප්‍රමාණවත් නොවීම කනගාටුවට කරුණක් බව කිවයුතුයි.

නමුත් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) බිලියන 100ක් තිබෙනවා. කිසි දෙයක් නැහැ කියනවට වඩා එම බිලියන 100න් අපේ වැඩකටයුතු ආරම්භ කළ යුතුයි. ඒ වගේම ඉතිරි කොටස ලබා ගැනීම පිළිබඳව ද අප කටයුතු කළ යුතුයි.

මොකද ශ්‍රී ලංකාව පිළිබඳ කතා කරන විට අප්‍රිකානු මහද්වීපයේ අඩු ආදායම්ලාභී රටවල අවශ්‍යතා අපට වඩා බෙහෙවින් වැඩි බව පැවසිය යුතුයි. මෙම ස්ථානයේ ප්‍රමාණවත් නියෝජනයක් සිදු වන නිසා අප්‍රිකානු මහද්වීපය මුහුණ දෙන ගැටලු මා විස්තර කළ යුතු නැහැ කියා මම හිතනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවලට එම රටවල් විසින් ජාතික වශයෙන් ඉලක්කගත කර ඇති දායකත්වයන් සපුරාලීම සඳහා ඩොලර් ට්‍රිලියන 5.9 දක්වා මුදල් අවශ්‍ය වෙනවා. ඒ වගේම ශුද්ධ ශුන්‍ය විමෝචනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා හරිත බලශක්ති තාක්ෂණය වෙනුවෙන් තවත් ඩොලර් ට්‍රිලියන 4ක් අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා අපට පවතින මූල්‍ය අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.

2030 වන විට ඒ සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 26.5ක් අවශ්‍යයි. අපි බංකොලොත් රටක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට අපි වාසනාවන්ත නම්, ඉදිරි වසර කිහිපය තුළ අපට 3.5%ක ආර්ථික වර්ධන වේගයක් ලැබෙනු ඇතැයි මම කියා විශ්වාස කරනවා.

ඒ වගේම මෙම අභියෝග ජය ගැනීමේ දී ගෝලීය වශයෙන් දැනට පවතින සම්බන්ධීකරණය සහ නායකත්වය මෙම ගැටලුව කඩිනමින් විසඳීම සඳහා ප්‍රමාණවත් නැහැ. අපට මෙහිදී අලුත් සැලැස්මක් අවශ්‍ය වෙනවා.

අද අප සාකච්ඡා කළ බොහෝ අභියෝග එකිනෙකට සම්බන්ධ බව ප්‍රකාශ කෙරුණා. ඒ වගේම අප ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කළා. අද පවතින ජාත්‍යන්තර මූල්‍ය සැලැස්ම වසර 80කට පමණ පෙර නිර්මාණය කර ඇති බව අපි සියලු දෙනාම පිළිගෙන තිබෙනවා.

ආසියාව, මැදපෙරදිග, දකුණු ඇමරිකාව සහ අප්‍රිකාවේ බොහෝ නැඟී එන ආර්ථිකයන් සහිත රටවල් ගෝලීය ආර්ථික බලවතුන් බවට පත්වීමත් සමඟ ලෝකයේ විවිධ වෙනස්වීම් අප දැක තිබෙනවා. කෙසේ වෙතත්, ජාත්‍යන්තර සැලැස්ම සාපේක්ෂව සුළු ප්‍රතිසංස්කරණවලට ලක්ව තිබෙනවා. පවතින ජාත්‍යන්තර මූල්‍ය සැලැස්ම ණය ප්‍රශස්තකරණය ඉතා සංකීර්ණ කරනවා. මේ සඳහා අප සියලු දෙනා එකඟ වී තිබෙනවා. අද සාකච්ඡා කෙරෙන අභියෝගවලට මුහුණදීම සඳහා අප අධිෂ්ඨානශීලිව ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වෙනවා.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය මූල්‍යකරණය ශක්තිමත් කර ගැනීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකියාවක් නැහැ. බහුපාර්ශ්වික සංවර්ධන බැංකු හරහා ලබා ගත හැකි සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමේ ශීඝ්‍ර වැඩිවීමක අවශ්‍යතාව මේ වන විට මතුව තිබෙනවා.

බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සතුව සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් පවතිනවා. එය අපට අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ගවල යෙදවිය හැකියි. බදු ක්‍රමයන් තවමත් මෙම ගැටලුවෙන් බැහැරවයි පවතින්නේ. ආර්ථික අවදානම්වලට මුහුණදෙන මධ්‍ය ආදායම් ලබන රටවල් ද ඇතුළුව, තවත් රටවල් සමඟ අප සහනදායී මූල්‍යකරණයකට ප්‍රවේශ විය යුතුයි.

2022 ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේ බරපතළකම සමඟ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ඇතිව රට තුළ ශක්තිමත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් තිබුණද, එහි තත්ත්වය හෝ ණය පීඩාව හේතුවෙන් රටට කිසිදු විදේශ සහනදායී මූල්‍යකරණයකට ප්‍රවේශ වීමට හැකියාව ලැබී නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ජා මෙම තත්ත්වයන්ට ගැළපෙන සාකච්ඡා නොවන බව මම ඔබට පැවසිය යුතුයි. එය තවමත් පෙර පැවති පැරණි සාකච්ඡා ක්‍රමයමයි. එසේනම් අපට අවශ්‍ය වන්නේ කුමක්ද? බ්‍රිජ්ටවුන් මුලපිරීමේ සිට එය සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපට යෝජනා රාශියක් තිබෙනවා. පැරිස් දේශගුණ සමුළුවේ මාර්ග සිතියම සකස් කරමින් සිටිනවා.

මම දැන් එයට වැඩි යමක් එකතු කරන්නේ නෑ. මම කියන්නේ තෝරා ගැනීමක් සිදු කරන ලෙස පමණයි. ඒ අනුව අපි ක්‍රියා කරමු. එහෙත් පවතින තත්ත්වය උග්‍ර වී ඇත්තේ ණය ඉල්ලීම, තීරණාත්මක අවශ්‍යතාවයක් පැවතීම සහ වෙළඳාම, ආයෝජනය, ප්‍රාග්ධනය, තාක්‍ෂණය වැනි ක්ෂේත්‍ර සඳහා විවෘත ප්‍රවේශයක් පැවතීම ඇතුළු පවතින ආර්ථික අභියෝගවලින් ගොඩ ඒමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන අභියෝග නිසයි.

එහෙත් අවාසනාවකට මෙන්, මහා බල එදිරිවාදිකම් සහ භූ දේශපාලනික තත්ත්වයන් එවැනි වෙළඳපොළ සාර්ථකත්වයක් සඳහා තර්ජනයක් වෙමින් තිබෙනවා. බෲකින්ස් ආයතනයේ ජේක් සුලිවන්ගේ දේශනයේදී වොෂින්ටන් සම්මුතිය ප්‍රතික්ෂේප වුණා. අවදානම ඉවත් කිරීම සහ විසංයෝජනය කිරීමේ නව සංකල්පය සමඟ, වොෂින්ටන් සම්මුතිය අනුගමනය කිරීමට බල කෙරුණු සංවර්ධනය වෙමින් පවතින දකුණේ රටවලට, දැන් අප සමඟ සාකච්ඡා නොකරම අංශක 180ක් හැරී ආපසු ගමන් කරන ලෙස ඉල්ලා සිටිනවා. බෲකින්ස් කතාවේ සිට, එය කුමක් වුවත්, පවතින ක්‍රමවේදය වෙනස් කරන ලෙස අපෙන් ඉල්ලා තිබෙනවා. අපට එයට ඇතුළු වෙන ලෙස ඔවුන් බල කළා. දැන් ඔවුන් අපිට කියනවා මෙය තවදුරටත් අපට අදාළ නැහැ කියලා.

ඒ වගේම, “එක් තීරයක් – එක් මාවතක්” වැඩසටහන ඒකාබද්ධ වැඩසටහනක් ලෙස, ශ්‍රී ලංකාව වැනි රටවල් දෙස අවධානය යොමු කර තිබෙනවා. මේ නිසා අනෙකුත් රටවල් අප දෙස සැකයෙන් බැලීමට පටන් ගෙන තිබෙනවා. මෙය ගෝලීය දකුණේ ආර්ථික අපේක්ෂාවන්ට පීඩාවක් වනු ඇති අතර, මේ හරහා ගෝලීය වශයෙන් සිදුවී තිබෙන ධ්‍රැවීකරණය වඩාත් පැහැදිලිව දර්ශනය වෙනවා. ශ්‍රී ලංකාව වැනි රටවල්, ඇමරිකාව, ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ කටයුතු කිරීමට පුරුදු වී සිටිනවා. එය අපට තවදුරටත් අලුත් දෙයක් නොවෙයි.

ඇමරිකා එක්සත් ජනපදය 2024 දී පැවැත්වෙන ඔවුන්ගේ මැතිවරණය සඳහා දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඒ නිසා මෙම අවස්ථාවේ මෙහි නායකත්වය ගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ. එම තත්ත්වය මේ වන විට රික්තයක් නිර්මාණය කරමින් සිටිනවා, මන්ද එක්සත් ජනපදයට නව පාලනයක් අවශ්‍ය නම්, එක්සත් ජනපදය ඒ සඳහා නායකත්වය දිය යුතුයි. නමුත් අපි දන්නවා මෙතැන් සිට ලබන වසර අවසානය දක්වා, ඔවුන් 2024 මැතිවරණයට වැඩි වශයෙන් අවධානය යොමු කිරීමට පටන් ගන්නා නිසා එම නායකත්වය ගැනීමට ඇති අවධානය ක්‍රමයෙන් අඩු වෙනවා.

ඒ වගේම, අනෙක් අතට බ්‍රික්ස් රටවල් අද වන විට G7 සහ කොඩ් සාමාජික රටවල් වෙත අභියෝගයක් වී තිබෙනවා.

ගෝලීය දකුණේ රටවල් දැන් විකල්ප නායකත්වයක් සොයමින් සිටිනවා. ඒ වගේම G20 කණ්ඩායම පසුබැස ඇති බව දැන් පෙනෙන්නට තිබෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ අපි 2024දී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළයුතුයි.

කවුද මේ කාර්යයභාරය ඉටු කරන්නේ? ඒ නිසා මම හිතන්නේ යුරෝපා සංගමයට අනෙක් රටවල් සමඟ වැඩ කිරීමට අවස්ථාවක් මේ තුළ පවතින බවයි. ඒ සඳහා වෙන කිසිවෙක් නැහැ.

ඒ නිසා G20 සහ බ්‍රික්ස් රටවල් (BRICS), ඇමරිකා එක්සත් ජනපදය සහ ඒවා නියෝජනය නොකරන වෙනත් තෝරාගත් ආසියානු සහ අප්‍රිකානු රටවල්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නව සංවර්ධන බැංකුව (NDB) ඇතුළු මූල්‍ය ආයතන මෙන්ම පුද්ගලික ආයතන සියල්ල එකම වේදිකාවකට ගැනීමෙන් හදිසි අවශ්‍යතා සඳහා විසඳුම් සෙවිය හැකි බව මම යුරෝපා සංගමයට යෝජනා කරනවා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන්ද මීට එක්ව සිටියහ.


සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division