Home » පොසිල ඉන්ධන මත පදනම් ප්‍රවාහනයේ සිට බලශක්ති පාදක ප්‍රවාහනයට මාරුවීම කාලෝචිතයි

පොසිල ඉන්ධන මත පදනම් ප්‍රවාහනයේ සිට බලශක්ති පාදක ප්‍රවාහනයට මාරුවීම කාලෝචිතයි

චීනයේ තිරසර ප්‍රවාහන සංසද සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

2023 ගෝලීය තිරසර ප්‍රවාහන සංසදය චීනයේ බීජිං නුවරදී සාර්ථකව නිමාවට පත් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ජාත්‍යන්තර සංවිධාන රැසක නියෝජිතයන්, විදේශ රටවල් රැසක ප්‍රවාහන අමාත්‍යවරුන් ඇතුළු විශේෂ ආරාධිතයන් 60කට අධික පිරිසක් මෙවර සමුළුව නියෝජනය කිරීම විශේෂත්වයකි.

“තිරසර ප්‍රවාහනය – ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය උදෙසා එක්ව කටයුතු කිරීම’ යන තේමාව යටතේ පැවති මෙවර සමුළුවට සමාරම්භක උත්සවය, මහා සභාව, චීනයේ ප්‍රමුඛ ඉදිකිරීම් සමාගම්වල නියෝජිත හමුව සහ ප්‍රදර්ශනය, ප්‍රවාහන අමාත්‍යවරුන්ගේ වට මේස සාකච්ඡාව ඇතුළු විශේෂ වැඩසටහන් රැසක් ඇතුළත් විය.

ඊට සමගාමීව පහළොස් වැනි චීන ජාත්‍යන්තර ප්‍රවාහන තාක්ෂණ සහ උපාංග ප්‍රදර්ශනය (China TRANSPO) ද සංවිධානය කර තිබිණි.

ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන 2023 ගෝලීය තිරසර ප්‍රවාහන සංසදය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී විය. සමුළුවේ සුවිශේෂී වැදගත්කමක් හිමි වූ “උසස් තත්ත්වයේ ජාත්‍යන්තර යටිතල පහසුකම් සම්බන්ධතාව ප්‍රවර්ධනය කිරීම සහ කලාපීය ආර්ථික සම්බන්ධතා සංවර්ධනය ප්‍රවර්ධනය” තේමාව යටතේ පැවති සැසිවාරයේදී ප්‍රධාන දේශනය සිදු කරනු ලැබුවේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසිනි.

සමුළුවට එක්වූ සියලු රටවල ප්‍රවාහන අමාත්‍යවරුන් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයින්ගේ විශේෂ අවධානය හිමිවූ අමාත්‍යවරයාගේ දේශනයට සුවිශේෂී කරුණු රැසක් ඇතුළත් විය.

• ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම තුළින් කලාපීය සංවර්ධනය සඳහා සම්බන්ධීකරණය, සහයෝගීතාව සහ සහභාගීත්වය.

• UNDP, UNEP, UNESCAP වැනි ජාත්‍යන්තර සංවිධාන සහ අනෙකුත් ආයතන සමඟ මනා ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීම.

• ෆොසිල ඉන්ධන මත පදනම් වූ ප්‍රවාහනය, බලශක්ති මත පදනම් වූ ප්‍රවාහන ක්‍රමවේද වෙත මාරු වීම.

• ජාත්‍යන්තර විශේෂඥ සහ විශේෂඥ සංවිධානවල සහයෝගයෙන් ප්‍රතිපත්ති සහ උපාය මාර්ග සැකසීම.

• ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ සියලුම සේවා ඩිජිටල්කරණය සහ විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ප්‍රවාහන අංශය නවීකරණය සඳහා සක්‍රිය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මූල්‍ය සහ ආයෝජන අවස්ථා වැඩි දියුණු කිරීම.

යන කරුණු පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී සමුළුවට එක්වූ නියෝජිතයන්ගේ අවධානය යොමු කළේය.

එමෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් බොරතෙල්, ගල් අඟුරු නිස්සාරණය කිරීම සහ කැණීම, ජල විදුලි උත්පාදනයේ පවතින සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව පුරා බලවත් ගැටලුවක් බවට පත්වෙමින් පවතින බලශක්ති අර්බුදය පිළිබඳව ද අමාත්‍යවරයා සිය දේශනයේදී කරුණු රැසක් ඉදිරිපත් කළේය.

බලශක්ති අර්බුදය පිළිබඳ පැහැදිලි අවබෝධයක් සහිතව පොසිල ඉන්ධන මත පදනම් වූ ප්‍රවාහනයේ සිට බලශක්ති පාදක ප්‍රවාහන පද්ධතියට මාරුවීම මෙම අවස්ථාවේදී වඩාත් කාලෝචිත බවත් ඒ උදෙසා පුනර්ජනනීය බලශක්තිය, සූර්ය බලශක්තිය, සුළං බලශක්තිය, තරංග ශක්තිය සහ ප්‍රවාහන අංශය සඳහා අවශ්‍යතාවය අනුව විද්‍යුත් වාහන ප්‍රචලිත කිරීම ද ඉතා වැදගත් බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

“හරිත ආර්ථිකය” සහ “හරිත ප්‍රවාහනය” සංකල්ප ක්‍රියාවට නැංවීමේදී නව තාක්‍ෂණය, පර්යේෂණ සහ සංවර්ධනය, දියුණු යටිතල පහසුකම්, ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය, අධ්‍යාපනය සහ පුහුණුව වැනි අංශවලට ප්‍රමුඛතාව ලබා දීමේ වැදගත්කම ද මෙහිදී අමාත්‍යවරයාගේ දේශනයට ඇතුළත් විය.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ප්‍රවාහන පද්ධති නවීන ප්‍රවාහන පද්ධති බවට පරිවර්තනය කිරීමේදී, මාර්ග යටිතල පහසුකම් සහ වාහන ඇණිය යන අංශවලට අවශ්‍ය ආයෝජන ලබාගැනීම පවතින ගැටලුව පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයා විසින් විදේශීය යෝජිත වෙත කරුණු පැහැදිලි කරන ලදී. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ බස්නාහිර පළාතේ සිදු කිරීමට සැලසුම් කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ( LRT) ව්‍යාපෘතිය සහ අධිවේගී මාර්ග ව්‍යාපෘති, නැවත ආරම්භ කිරීම සඳහා රාජ්‍ය සහ පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ( PPP) BOO සහ BOT යන ආයෝජන ක්‍රම යටතේ එවැනි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් රටවලින් සහ පරිත්‍යාගශීලී නියෝජිතායතනවල මූල්‍ය සහාය මේ මොහොතේ ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගම් වන china communication construction company (CCCC) සහ china harbour engineering company(CHEC) ආයතනවල විශේෂ නිරීක්ෂණයට ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එහිදී එක් විය.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා එම ආයතන විසින් හඳුන්වා දී ඇති නව තාක්ෂණික ඉදිකිරීම් නිර්මාණ ක්‍රමවේදයන් පිළිබඳව හඳුන්වාදීම එම ආයතනවල සභාපතිවරු ඇතුළු ප්‍රධානීන් විසින් සිදු කරන ලදී.

සංචාරය අතර අමාත්‍යවරයා විසින් චීන වාණිජ මණ්ඩලය (TBD)නියෝජිතයින්, ශ්‍රී ලංකාවට අධි සුඛෝපභෝගී බස් රථ අපනයන සිදු කරන Yutong බස් රථ සමාගමේ ප්‍රධානීන් ඇතුළු ආයතන රැසක් සමඟ මෙරට ප්‍රවාහන හා මහා මාර්ග ක්ෂේත්‍රයේ ආයෝජන කටයුතු පිළිබඳව සාකච්ඡා කිහිපයකට ද එක්විය.


You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division