Home » ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වැඩියෙන්ම විකිණෙන පොත් මෙන්න

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වැඩියෙන්ම විකිණෙන පොත් මෙන්න

by gayana
September 30, 2023 12:30 am 0 comment

2023 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ වැඩිම අලෙවිය ඇති පොත් – 5

කුරහඬකි වියැකෙන

නෝබට් අයගමගේ

ළමුතු අමයා

සුරත් ද මැල්

පහන් කන්ද

එරික් ඉලයප්ආරච්චි

මඩොල්දූව

මාර්ටින් වික්‍රමසිංහ

උත්පත්ති

කීර්ති වැලිසරගේ


 

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සම්මානලාභී පොත්

ගැනුම්කරුවන් ඕනෑකර තිබේ!

ස්වර්ණ පුස්තක සම්මාන

රජත පුස්තක සම්මාන

රාජ්‍ය සාහිත්‍ය සම්මාන

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන

සම්මාන! සම්මාන!! සම්මාන!!!

කරුණාරත්න අබේසේකර ලිව්වේ මල් නම් ජයරත්න. ජයරත්න නම් මල් කියාය. ලංකාවේ සිටි ජනප්‍රියතම බයිස්කෝප් අධ්‍යක්ෂවරයා වූයේ යසපාලිත නානායක්කාරය. කවුරුත් දන්න වාසුදේව නානායක්කාරගේ අයියාය. යසපාලිත නිර්මාණයක් රස සාගරයක් යන පාඨය යසපාලිතගේ තේමා පාඨය විය. යසපාලිතගේ බයිස්කෝප් බොක්ස් ඔෆිස් වාර්තා තබමින් දුවද්දි වරක් සිනමා විචාරකයකු ඇසුවේ ඔහුට ලැබී ඇති සම්මාන ගැනය.

“මට තියෙන්නේ මහජනතාවගේ සම්මාන තමයි” යසපාලිත පැවසීය. ලෝකය පුරා සම්මාන ලැබූ ලංකාවේ ඇතැම් චිත්‍රපට ලංකාවේදී සමහරවිට සති දෙකක්වත් සිනමා හල්වල දුවාගන්න වාරුව නැතුව ගලවනවා අප දැක ඇත.

අපට මේ සම්මාන කෙරුවාව මතකයට ආවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හාත්පස බලන බලන තැන බැනර් දමා තිබුණේ සම්මාන ලැබූ පොත් ගැන කතුවරුන්ගේ ‘පින්පාට’ මුහුණත් සමඟ වීමය. ග්‍රන්ථයක් – පොතක් – පුස්තකයක් සම්මානයට පාත්‍ර වීම හුදෙක් එහි අලෙවියට ලබා දෙන ප්‍රචාරාත්මක උත්තේජනයක් බව බොහෝ දෙනා දරන මතයයි.

පසුගිය සිකුරාදා ජාත්‍යන්තර පොත් සල්පිලේ ඇතුළු වීමේ පෝලිම කොන අන්තිමට වතුර මලටත් එහා ගොස් බණ්ඩාරනායක මහතා ජනසතු කළ බෙන්ස් බස් රථයත් පසුකර ගියේය. ටිකට් දෙන කවුන්ටරයත් පෝලිමේ කොනත් අතරදුර මීටර් 700කට අධිකය. එහි පෝලිම් ද 4ක් තිබුණි.

බිස්නස් කරද්දි එය සරු වන්නට ව්‍යාපාරිකයාගේ අත්ගුණයටත් වඩා බලපාන්නේ පෙර සංසාරේ සිට රැගෙන එන ‘වාසනා ගුණයයි’ ඒකට කියන්නේ ‘ලක්’ එක කියාය. ලේඛක ලේඛිකාවන් වැඩිම ගණනක් තමන්ගේ නමින් වෙළෙඳ කුටි පවත්වා ගෙන යන්නේ මෙවර පොත් ප්‍රදර්ශනයේදීය. වෙනදාට පොත් ප්‍රදර්ශනයේදී අලෙවි කුටි අවසන් වූවා යැයි ඇතිවන අඩදබරය මෙවර අසන්නට ලැබුණේ අලෙවි කුටි බෙදාගැනීමේදී ය. මෙවර වුණු සන්තෑසිය එක් ලේඛිකාවක් තමන්ගේ නමින් ඇති වෙළෙඳකුටියේ සිට අපට කිව්වේ එය පුවත්පතේ පළ නොකරන පොරොන්දුව පිටය.

“මේකේ හොඳම ලොකු ස්ටෝල් ටික සංගමයේ ලොක්කෝ බෙදා ගන්නවා. ඉතුරු වෙන ඒවාට කුසපත් අදිනවා. සමහර වාරවල ස්ටෝල් හම්බුණේ නෑ කියලා සමහරු BMICH එක ඉස්සරහ පොල්අතු මඩු ගහගෙන පොත් වික්කා. සමහරු උසාවි ගිහින් තහනම් නියෝගත් ගත්තා. ඒත් මේ සැරේ 150,000/= ගානේ අරන් ඉල්ලපු ඔක්කොටම ස්ටෝල් දුන්නා.”

අප මුලින්ම පිවිසියේ ගොඩගේ පොත් සාප්පුවේ පොත් කුටියටය. සල්ලි ගන්න කැෂියර්වරු කීපදෙනෙක් ළඟට කිට්ටුවී සම්මාන ලැබු පොත්වල අලෙවිය කෙබඳුදැයි අසා සිටියත් ඔවුනට ඒවා නෑසුණාක් මෙන් සිටීමෙන් පෙනී ගියේ එම පොත් ගැන ඔවුනට අවබෝධයක් නැති බවය.

පොත් කවුන්ටරය රාක්ක අසල සිටි ගොඩගේ සේවකයකු අප අසලට පැමිණ අලෙවිය වැඩිම පොත් එකින් එක පෙන්නුවේය. එයින් සම්මතයක් ලෙස විද්‍යෝදය සම්මාන උලෙළේ හොඳම නවකතාවක් ලෙස නිර්දේශ වූ පහන්කන්ද නම් එරික් ඉලයප්ආරච්චිගේ නවකතාව පමණක් අලෙවි වාර්තා තබා තිබුණි. ලිපිය ආරම්භයේ තිබූ සම්මාන උලෙළවල් එකකවත් සම්මාන පිදූ ග්‍රන්ථ ජනප්‍රිය ඒවා අතර නොවීය.

“එහෙනම් අනෙක් වැඩිම අලෙවිය තිබුණ පොත් මොනවද?”

“වැඩිම අලෙවියක් තිබුණේ සුගතපාල ද සිල්වාගේ ඇටමැස්සා, මහගමසේකරගේ තුංමංහන්දිය, සරච්චන්ද්‍රගේ මළවුන්ගේ අවුරුදු දා, සෝමවීර සේනානායකගේ ගඟ අද්දර කැලේ වගේම නන්දසේන රත්නපාලගේ ශ්‍රී ලංකාවේ යාචකයා පොත් තමයි.

පොත් ප්‍රදර්ශන භූමියේ උඩුකය රූපය එවලේම ඇද දෙන චිත්‍ර ශිල්පීන් කිහිපදෙනකු ද සිටියේය. සඳුන් ජීවන් කුමාර ඉන් එක් අයෙකි. චිත්‍රය අඳින්න විනාඩි 15කින් පුළුවන. ගාස්තුව රුපියල් 2500 සිට ඉහළටය.

“යථාර්ථයේ කලාකරුවා’ කියන පාඨය මගේ නිර්මාණයක්.” සඳුන් අප සමඟ කිව්වේය. පොත් බලන්නට ආ උදවිය තමන්ගේ රූපයක් ඇද ගැනීමට ද අලුත් අත්දැකීමක් ලෙස ලබනු අපට දැකගත හැකි විය.

සිත්තර පවුර කුඩා ළමුන්ගේ චිත්‍ර තරගයත් ඒ අසලම දැවැන්තව ප්‍රදර්නය කොට තිබුණි. පොත් බලන්නට ආ අංකුර සිත්තරුන්ගේ දස්කම්වලින් එය විසිතුරු වී තිබුණි.

පොත් ප්‍රදර්ශනය සිකුරාදා උදේ 11 පමණ වන විට අතුරු සිදුරු නැතුව පිරී යන්නට විය. වැඩිදෙනා රු. 220/=ක නූඩ්ල්ස් ඩප්පියක් ගෙන කෑවේ එය ලෝක විනාශයට පෙර අවසන් වරට භුක්තිවිඳිය හැකි භෝජනය ලෙසය. තඩි සුදු යකඩ භාජනයේ තෙම්පරාදු කොට ඇති නූඩ්ල්ස් තේ හැඳි දෙකක් නූඩ්ල්ස් ඩප්පියට දාන නූඩ්ල්ස් හට් එකේ ‘කුක්’ එයට ගෑරුප්පු ගසා නූඩ්ල්ස් කප් එක පිරෙන්නට පොල්කටු හැඳි දෙකක් තරමට නූඩ්ල්ස් එක ප්‍රසාරණය කරන ලදී. එහි ග්‍රෑම් 20ක්වත් නූඩ්ල්ස් නම් තිබුණේ නැත.

විජිතයාපා පොත් කුටියේ ජනප්‍රියතම අලෙවි වාර්තා තැබූ පොත වූයේ සම්මාන ලාභී ඉංග්‍රීසි කෘතියක් වූ LIKE MOTHS TO A FLAME ය. එය මනුක විජේසිංහගේ රචනයකි. එම කුටියේ වැඩියෙන්ම අලෙවි වූ සිංහල කෘතිය වූයේ විජිත බස්නායකගේ තෝරාගත් ඉදිකිරීම් නමින් හැඳින්වූ කෘතියයි. එමෙන්ම ජයදේව උයන්ගොඩගේ DEMOCRASY AND DEMOCRATISATION IN SIRLANKA වැඩිම අලෙවිය සහිත තෙවැනි කෘතියයි.

සමුද්‍ර ප්‍රකාශන අධිපති සමුද්‍ර වෙත්තසිංහ අප සමඟ කිව්වේ තම කුටියේ වැඩියෙන්ම අලෙවි වූ කෘතිය ලූෂන් බුලත්සිංහලගේ ‘දවා හළු කළ නොහැක‘ කෘතිය බවය. එමෙන්ම ඔෂින් පොත් සඳහා ද දැඩි ඉල්ලුමක් තිබූ බව සමුද්‍ර අප සමඟ පැවසීය.

මෙම ප්‍රදර්ශනයේ ලේඛකයකු නමින් ඇති දැවැන්තම කුටිය ඇත්තේ මාර්ටින් වික්‍රමසිංහටය.

“මම සිළුමිණ පත්තරෙන්. වික්‍රමසිංහ මහත්තයා අපේ පත්තරේ හිටපු කර්තෘතුමා. මොනවද වැඩියෙන්ම විකිණෙන එතුමාගේ පොත්?

ගොඩක්ම විකිණෙන්නේ මඩොල්දූව, ගම්පෙරළිය. ළඟදි ගහපු අපේ ළමා සාහිත්‍ය කියා පොතත් විකිණෙනවා. වික්‍රමසිංහ මහත්මයාගේ පළවෙනි කෘතිය ‘පළාත් ආණ්ඩු’ එහෙම තියෙනවද? සේවිකාව එය සොයන්නට විය. මාර්ටින් වික්‍රමසිංහගේ එම කෘතිය වික්‍රමසිංහ භාරයට ලබා දුන්නේ මගේ සීයාගේ (මවගේ පියා) පුස්තකාලයේ තිබී හසුවීමෙන් පසුවය. එකල එම භාරදීම පුවත්පත්වල ප්‍රවෘත්තියක් ද විය.

දයාවංශ ජයකොඩි සමාගම කවදත් සම්මානනීය පොත් ප්‍රකාශන ආයතනයකි. සම්මානනීය පොත්වල අලෙවිය ගැන කළමනාකාරතුමාගෙන් අසා සිටියෙමි.

“අනේ ඔය සම්මාන ගත්ත පොත් කවුරුත් ඉල්ලුවේ නැති නිසා අපි ගත්තෙත් නෑ. මෙන්න මේ කෙල්ලො දෙන්නෙක් ලියපු Fogetme not කියල පොතක් නම් ඉල්ලනවා. මල්කිනිත්තක පුරාවෘත්තිය කියලා. ඒ පොත කොහේවත් නෑ. ෆේස්බුක් එක හරහා දැවැන්ත ව්‍යාපාරයක් ගෙනියනවා.”

“එතකොට වැඩියෙන්ම විකිණෙන පොත මොකක්ද?”

“ජයසංක කරුණාරත්නගේ – ලේ තැවරුණ රෝස මල්, ප්‍රභාත් මිරිගාගල්ලගේ – මැලෝරි ටවර්ස්, කුසුම්සිරි විජයවර්ධනගේ වැව රවුම, ප්‍රේමකීර්ති රණතුංගගේ – කොම්පැනිවීදියේ රොසලිනාහාමි, දමයන්ති ජයකොඩිගේ – මගේ මවගේ රහස් පොත් තමයි වැඩිම අලෙවිය තියෙන්නේ.

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ අධිපති මහාචාර්ය විජේසූරිය පවසා සිටියේ තමන් අලෙවි කරන්නේ තමන්ගේ ප්‍රකාශන පමණක් බවය.

“ඔය සම්මාන ලබපු පොත් අපි විකුණන්නෙත් නෑ. මිනිස්සු ඉල්ලන්නෙත් නැහැ. ගොඩක් ජනතාව ඉල්ලන්නේ අපේ පරිවර්තන. ඒ වගේම මනෝවිද්‍යාත්මක පොත්වලටත් විශාල ඉල්ලුමක් තියෙනවා.”

මෙරට පොත් ප්‍රකාශන ව්‍යාපාරයේ ප්‍රචලිත සන්නාමයක් වූ සූරිය ප්‍රකාශන අධිපති අතුල ජයකොඩි පවසා සිටියේ තමන් සම්මාන ගත් පොත් අලෙවි නොකරන බවය.

“වැඩියෙන්ම විකිණෙන්නෙ මෙමරි මෑන්, මංජුල දිසානායකගේ පරිවර්තනය, රම්‍යා ශ්‍රියානි ඒකනායකගේ උන්මාද තොටමුණ, ශ්‍රියානි සඳමාලිගේ – ෆා දූපතේ සිටුවරයා, යන්න මට අවසර – පරිවර්තනය මානෙල් කරුණාරත්න, මලිත් තුසිත ගුණරත්නගේ සිල්වර් ටිප්ස් වගේ පොත් තමයි වැඩිම අලෙවිය තියෙන්නේ.

අප කරක් ගැසූ පොත් ප්‍රදර්ශනයේ පොත් අතර නෝබට් අයගමගේගේ සම්මානනීය කුර හඬකි වියැකෙන කෘතිය වැඩිම අලෙවිය වූ බව කිව්වේ සරසවි පොත් කුටියයි. සරසවි කුටියේ වැඩිම අලෙවිය තිබූ තවත් පොත් දෙකක් වන්නේ කීර්ති වැලිසරගේ උත්පත්ති හා සුනේත්‍රා රාජකරුණානායකගේ පිසාචයෝ පොත්ය. අප යන අවස්ථාවේ සුනේත්‍රා සහ කීර්ති හිඳගෙන තම පාඨකයන්ට තම පොත් අත්සන් කරනු අපට දැකගත හැකි විය. සරසවි කුටියේ වැඩිම අලෙවිය තිබූ අනෙක් කෘති නම් විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලියා, සුරත් ද මැල්ගේ ළමුතු අමයා, හෂාන් රන්දිකගේ පරිවර්තනයක් වූ මැදියම් රෑ පුස්තකාලේ යන පොත්ය.

ප්‍රේම් දිසානායකගේ සුරස පොත් මැදුර අපට පෙන්වා සිටියේ 2023 ස්වර්ණ පුස්තක හොඳම සම්මානය දිනූ කුර හඬෙකි වියැකෙන කෘතිය වැඩිම අලෙවිය ඇති කෘතිය බවය. එය සුරස ප්‍රකාශනයකි. සුරත් ද මැල්ගෙ ඩුඔ කෘතිය මෙන්ම චූලාභය ශාන්ත කුමාරගේ ප්‍රේම සූත්‍ර පොත මෙන්ම දිලීප ජයකොඩිගේ ජුවෙල්ගේ කොල්ලයි පරිවර්තනය අලෙවිය අතින් සුරස කුටියේ මුල්තැනට ඇවිත් තිබුණි.

ඇම්.ඩී. ගුණසේන කුටියේ අලෙවි වාර්තා තබා තිබූ කෘති නම් සජිත් කුමාරගේ – කන්හි, නිරන්ජන් චමින්ද පරිවර්තනය කළ දකින්න වෙනස්වූ ජීවිතය නම්වූ පරිවර්තනය (James Clear) හා හෂාන් රන්දික පරිවර්තනය කළ මැදියම් රෑ පුස්තකාලේ ග්‍රන්ථයයි.

ජාත්‍යන්තර පොත්හලේ අඩු මිලට පොත් දෙනවා යයි බෝඩ් ලෑල්ලක් දමා තිබුණ අංශයට බෙල්ල දමා බැලුවෙමි. එහි ආයතන 14ක් ‘බාගෙන් කුටි’ පොත් ගොඩගසාගෙන තිබුණි. ආශිර්වාද, අකුර, සුසර, සදීපා, ජෙයා, සමයවර්ධන, ස්ටැන්ෆෝර්ඩ්, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, බුවාලසිංහම්, නිශාන්, විජේසූරිය, සුරස, කුරා හා විභාග දෙපාර්තමේන්තුව මේ කුටි අතර විය. මේ අතරෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ සහ විභාග දෙපාර්තමේන්තුව පිරී ඉතිරී යන තරමට සෙනගින් පිරී තිබුණි. මෙහි ඇතැම් කුටිවල රුපියල් 100/=ට පොත් තිබුණු අතර රුපියල් 100/=ට කුඩා පොත් 3ක් විකුණන තැන්ද දැකගත හැකි විය. බාගෙන් සේල් දමා තිබුණ බොහෝ පොත් ඇතුළත කඩදාසි දුර්වර්ණ වුණ බෝල්වුණ ඒවාය. අලුත් පොත් කිසිවක් මේ බාගෙන් කුටිවල අලෙවියට තිබුණේ නැත. මේ පැරණි මුද්‍රණ මිලදී ගන්නට ආ පිරිසගෙන් එය පිරී ඉතිරී ගොස් තිබුණි. එංගලන්තයේ සිට දෙව්සිරි විදානගමගේ මට පණිවුඩයක් එවා තිබුණේ ඔහු ආනන්දයේ බෝඩිම ගැන ලියූ පොත සරසවි බාගේන් කුටියේ ඇත්ද බලන ලෙසය.

ජාත්‍යන්තර පොත් සල්පිලේ පොත් බලනවාටත් වඩා එහි ආ උදවිය කළේ නූඩ්ල්ස්, අයිස්ක්‍රීම්, පොප්කෝන් කෑමය. සාමාන්‍ය වෙළෙඳපළේ කුඩා රුපියල් 60/= නෙස්කැෆේ එකක එහි මිල රුපියල් 100ක් විය.

ප්‍රදර්ශන කුටියේ පසෙකට වී එහි එන ජනතාව රැගෙන යන ‘සිලිසිලි’ බෑග්වල ඇත්තේ මොනවාදැයි විමසිලිමත් වීමි. ඒවා සමහරක් ප්‍රශ්නෝත්තර කට්ටල, ස්ට්‍රේෂනරි වැනි දේවල් පිරී ඉතිරී ගොස් තිබුණි. මේ බොහෝ ගමන් මලු දෙස නිරීක්ෂණය කළ විට ජනප්‍රියම ග්‍රන්ථය තේරුව නම් සම්මානයට පාත්‍ර වන්නේ පිටු 120 තනිරූල් පොත බව නොකියමනාය.

BMICH ආපනශාලාව ඉදිරිපිට ඇත්තේ කැටපත් පවුරකි. එහි එන අයට පොත් ප්‍රදර්ශනය ගැන කවි සිතුවිලි එහි කඩදාසියක ලියා ඇලවිය හැකිය. ප්‍රදර්ශනයෙන් පසු ඒවා එක්කොට හොඳම ඒවා තෝරා පොතක් මුද්‍රණය කරනු ලැබේ. පොත් ප්‍රදර්ශනයේදී තවත් තහවුරු කරුණක් වූයේ මෙරට ජනතාව අතරින් ‘කවිය’ ගිලිහී ගොස් නැති බවය. කුටියේ නම ‘කවි පොත්’ ගැවසෙන්නට කැමතිම තැනය. එම කුටියේ මුළුමනින්ම තියෙන්නේ කවි පොත්ය.

“දැන් කවි පොත් විකිණෙනවාද?” කුටියේ අලෙවි නිලධාරියාගෙන් අසා සිටියෙමි.

“අපි හිතුවටත් වඩා ප්‍රතිචාරයක් තියෙනවා. කවි පොත් ගන්නම එන පිරිසක් ඉන්නවා.”

කවිපොත් කුටියට යාබදව ඇත්තේ පොත් පින්කමකි. එයින් කෙරෙන්නේ පරිත්‍යාගශීලීන්ගෙන් පොත් එක්කොට දුෂ්කර පාසල් වෙත බෙදා හැරීමය.

මේ පොත් මිලදී ගන්නට ආ පාඨකයින් නිරීක්ෂණයේදී පැහැදිලිව පෙනී යන කරුණක් නම් රුසියන් හා චීන සාහිත්‍යයට මෙරට දැඩි ඉල්ලුමක් ඇති බවය. එමෙන්ම වැඩිම ලේඛක පිරිසක් වෙළෙන්දන් ලෙස කුටි තුළ හිඳගෙන සිටීම මෙවර පොත් ප්‍රදර්ශනයේ විශේෂත්වයකි.

සමහර කර්තෘ ප්‍රකාශකයන් අලෙවි කුටි අසලට විත් තම අලුත් පොත අලෙවියට දරන මහන්සිය හා ලේඛක ශ්‍රමය හෙට්ටු වන අයුරු එළිපිට දැකගත හැකිය.

“ගිය සැරේ දීපු පොත්වලට දීපු චෙක් එකත් රිටන්, අවුරුද්දක් ගියා මට චෙක් එකේ සල්ලි ටික ගන්න පුළුවන්ද?”

“ඔය අලුත් පොතේත් 100ක් දාල යන්න. එක්සිබිෂන් එක ඉරිදා ඉවරයි. එදාට සල්ලි ඔක්කොම බේරන්නම්.”

“අනේ බෑ සියයට පනහක් කෑෂ් දෙන්න. ආයි රස්තියාදු වෙන්න බෑ. කොච්චර හොඳ කර්තෘ ප්‍රකාශනයක් වුණත් ලොකු පොත් ස්ටෝල්වල විකුණන්න ගන්නේ නෑ.”

අප බොහෝදෙනා සිතා සිටින්නේ සම්මානනීය පොතක් අලෙවි වාර්තා තබන බවය. ඒත් එවැනි සම්මානනීය පොතක් මිලදී ගෙන ප්‍රදර්ශනය භූමියේවූ පඩියක සිට කියවා අපට කිව්වේ මෙවැන්නකි.

“මේ පොත්වලට සම්මාන දුන්නේ මොකාද? පොතක පිටු 25ක් කියවන්න බෑ. කර්කෂයි. විකුණන්න තිබ්බ ස්ටෝල් එකක ඉඩ තිබ්බ නම් පිටු 10ක් කියවල පොත ගන්නෑ කීයටවත්. මේවට සම්මාන දුන්න එවුන් කාමරයකට දාල වහල දඬුවමක් විදියට මේ සම්මාන දුන්න පොත් කියවන්න දෙන්න ඕන.”

මෙම ප්‍රදර්ශනයේ ජනප්‍රියම වචනය වී ඇත්තේ ‘පරණ මිලට පොත්ය’ ‘නවකතා පරණ මිලට’ බොහෝ තැන්වල නාමපුවරු සවිකොට ඇත. අප ගිය පොත් අලෙවි කුටි එකකවත් ප්‍රකාශකයෙකු පොත මුද්‍රණය වෙනුවෙන් ලේඛකයාට 10% රෝයල්ටිය ගෙව්වාදැයි ඇසු විට උත්තර දුන්නේ නැත. ඇතැම් සම්මාන දිනූ පොත් පිටපත් 15,000 එකවර මුද්‍රණය කළ බව පැවසුවත් ලේඛකයාට කතා කොට රෝයල්ටිය ලැබුණාදැයි ඇසූ විට තමන්ට ලැබුණු රෝයල්ටිය ගැන කියන්නට මැළි විය.

“මං හිතන්නේ එක්සිබිෂන් එක ඉවරවෙලා ගණන් හිලව් බේරයි” බොහෝදෙනාගේ පිළිතුර විය.

පසුගිය 2022 වසරේ පොත් මුද්‍රණය කළ කඩදාසිවල මිල දැන් දැවැන්ත ලෙස අඩු වී ඇත. ඒත් ප්‍රදර්ශනයට අලුතෙන් එක්වන පොත් අලෙවි මිල තවමත් 2022 අධික මිලටම අලෙවි කෙරේ. පසුගිය සතියේ මුද්‍රණය කළ මේ ඇතැම් පොත්වල තීන්තවත් තවම වේළී නැත.

“ඇයිමේ කොළ මිල අඩුවෙච්ච වාසිය පාඨකයන්ට නොදෙන්නේ?” එක් ප්‍රකාශකයකුගෙන් අසා සිටියෙමි. ‍

“කොහොම අඩු කරන්නද? ප්‍රින්ටින් ඉන්ක්, ප්ලේට් තහඩු, ලයිට් බිල්, වතුර බිල් විතරද, ට්‍රාන්ස්පෝට් වියදමත් වැඩි වෙලානේ දරාගන්න බැරි විදිහට.” පොත් ප්‍රකාශකයකු පොත් පාරිභෝගිකයන්ට පොත දැමුවේ ඕං ඔහොමය.

පොතක මූලික අමුද්‍රව්‍ය වන්නේ ග්‍රෑම් 70ක සුදු කඩදාසි සහ කවරය මුද්‍රණය කරන ‘ආට්බෝඩ්’ය 70 දශකයේ ලංකාවේ ක්‍රීම්බෝඩ් සහ වයිට් ප්‍රින්ටින් ඉන්දියාවට පවා අපනයනය කොට ඇත. ඒත් අද අප පොත් මුද්‍රණය කරන්නේ ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන් හා චීනයෙන් ආනයනික කඩදාසිවලය. මෙවර පොත් ප්‍රදර්ශනයට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව පොත් මිල වැඩිවීමය. මෙහෙම ගියොත් අන්තිමට වන්නේ ‘බිත්තර මිල’ බස්සන්නට ඉන්දියාවෙන් බිත්තර ගෙනාවාක් මෙන් ඉන්දියාවේ මුළුමනින්ම පොත් මුද්‍රණය කොට ගෙඩිය පිටින් ලංකාවට පොත් ගෙන ඒමට සිදුවීම නොවේද?

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division