Home » දුර සිටින ළඟම නෑයා සීතාවකට දුන් තෑගි..

දුර සිටින ළඟම නෑයා සීතාවකට දුන් තෑගි..

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

නාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව හා චීනය අතර ඇති අවියෝජනීය ඓතිහාසික බැඳීම ආරක්ෂා කර ගැනීමට හැමකල්හිම දෙරටේ නායකයෝ කටයුතු කළහ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පියා වූ ජාතික වීරවර පිලිප් ගුණවර්ධනයන්, චීනය හා බැඳුණු කලණ මිතුදමේ මුල් පුරුකකි.

බටහිර රටවල් චීනය පිළිකෙව් කළ මොහොතක ඔහු චීනය වෙනුවෙන් පෙනී සිටියේය. චීනය හා ආසියාවේ පළමු රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ශ්‍රී ලංකාව ආරම්භ කළේය. පසුව, ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය පිහිටුවීමට අග්‍රමාත්‍යවරයා ගේ මව පාර්ලිමේන්තු මන්ත්‍රී කුසුමා ගුණවර්ධන මූලිකත්වය ගෙන කටයුතු කළා ය.

එවක් පටන් මේ දක්වා චීන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තුළ මෙරටට හිමි වූ දෑ බොහෝය. චීනය තීරණාත්මක සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි මිත්‍රශීලී රටකි.

කලණ මිතුදම හා බැඳී එකී අතීත ආවර්ජනයන් ස්මාරකය කරමින් පිලීප් ගුණවර්ධන පාර්ලිමේන්තුවට තේරීපත් වූ අවිස්සාවේල්ල ආසනයේ සිසු දරු දැරියන් අතර බෙදා දීම සඳහා පාසල් උපකරණ කට්ටල හා ඇඟලුම් ප්‍රදානයක් පසුගියදා චීන මහජන ආණ්ඩුව මඟින් සිදු කරනු ලැබීය.

ඒ අනුව ඇරඹි ‘සීතාවක සිසු අරුණලු’ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කීවු ෂෙන්හොන්ග්ගේ සහභාගීත්වයෙන් ඉකුත්දා හංවැල්ල රාජසිංහ විද්‍යාලයෙන් ඇරඹිණි.

ප්‍රාථමික අංශයේ දූ දරුවන් දාහතරදහස් පන්සියක් අතරේ මේ පාසල් උපකරණ බෙදාදීම සිදු විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන් ඉකුත් මාසයේ චීනයේ නිල සංචාරයකට එක් වූ අතර, චීන මහජන රජයෙන් ලැබුණු මෙම ආධාරය එකී සංචාරයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස මෙරටට හිමිවූවක් ද වෙයි.

‘සීතාවක සිසු අරුණලු’ මැයෙන් වූ මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ප්‍රකාශ කළේ..

“චීනය හා ශ්‍රී ලංකාව අතර පැවැති දිගුකාලීන සබඳතාව තව තවත් අර්තගන්වමින් සිදු කෙරුනු මෙම පාසල් උපකරණ හා නිල ඇඳුම් පරිත්‍යාගය දෙරටේ මිත්‍රත්වය තව තවත් ඉදිරියට යෑමක් බවයි.

අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ..

“දුර සිටින අපේ ළඟම නෑයා වූ චීනය අපේ රටේ ස්වෛරීභාවය ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට හැම විටම පෙනී සිටි බවයි.”

චීන තානාපතිවරයා සඳහන් කළේ…

“ජාතීන් දෙකම නිරන්තරයෙන් එකිනෙකාට සහය වන සහ උපකාර කරන සබඳතාවයේ සහයෝගීතා ස්වභාවය අගය කරන බව හා

ශ්‍රී ලාංකේය ජනතාව මුහුණ දී ඇති තාවකාලික දුෂ්කරතාවලින් රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ගේ නායකත්වය යටතේ ජයගත හැකි බවත්ය.

දරු දැරියෝ තමන්ට හිමි වූ මිල අධික අලුත් පොත් බෑගය හා පාසල් උපකරණ ගෙන තුරුලු කොට මහත් සතුටට පත්ව සිටියහ.

නිල් කහ පැහැ එකම වර්ගයේ පාසල් බෑග්වලින් සැරසුණු දරුවෝ සමනල රෑනක් සේ කැලණි මිටියාවතේ විවිධ ඉසව් ඔස්සේ ආපසු යනු සුලබ දර්ශන මනස්කාන්ත විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division