Home » පශු සම්පත් ප්‍රදර්ශනය බලන්න ඔක්තෝබර් 6-7 මැල්සිරිපුරට එන්න!

පශු සම්පත් ප්‍රදර්ශනය බලන්න ඔක්තෝබර් 6-7 මැල්සිරිපුරට එන්න!

පශු සම්පත් මණ්ඩලයට වසර 50යි

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

1963 වසරේ ශ්‍රී ලංකාවේ පිහිටු වූ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, මේ වසරේ සිය අභිමානවත් 50 වන සංවත්සරය සමරයි. ඊට සමගාමීව සංවිධානය කරන ‘පශු සම්පත් ප්‍රදර්ශනය – 2023’ ඔක්තෝබර් මස 6 සහ 7 දිනවල කුරුණෑගල මැල්සිරිපුර ගොවිපළේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ පිළිබඳ ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති, සත්ත්ව පාලනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්. ඩබ්ලිව්. සිරිල් අදහස් දැක්වූයේ මෙලෙසිනි.

” ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කියන්නේ, ශ්‍රී ලංකාවේ පශු සම්පත් අංශයේ විශාලතම රාජ්‍ය සංවිධානය. එය 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂිකර්ම සංස්ථා පනත යටතේ 1973 දී පිහිටුවන්නට කටයුතු කළේ, ග්‍රාමීය සමාජයේ ආර්ථික ප්‍රමිතීන් නංවාලීමේ ප්‍රධාන අරමුණෙන්.

මෙහිදී වසර 50 ක් සපුරන ජාතික පශු සම්පත් මණ්ඩලයේ කාර්යභාරය පිළිබඳ සහ සත්ත්ව පාලනය පිළිබඳ වැඩසටහන් ගණනාවක් මෙම ප්‍රදර්ශනයේ දී මහජනතාවට දැක බලා ගන්නට හැකි වෙයි.

ඔක්තෝබර් 6 සහ 7 යන දෙදින උදේ 9 සිට හවස 6 තෙක් මෙම ප්‍රදර්ශනය, කුරුණෑගල අක්කර දහයක් පුරා විහිදුණු මැල්සිරිපුර ගොවිපළේ දී මහජනතාවට විවෘත වනවා. මෙම ප්‍රදර්ශනයේ දී, පශු සම්පත් ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවේ සත්ත්ව පාලන ක්ෂේත්‍රයේ නියැළී සිටින ගොවීන්ගේ දෙනුන්, ගවයන්, මී ගවයන්, ඌරන් වැනි සතුන් අතරින්, හොඳම සත්ත්වයා තේරීමේ තරගයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ජයග්‍රහණය කරන සත්ත්වයා වෙනුවෙන්, ත්‍යාග වශයෙන් මණ්ඩලයෙන් තවත් සත්ත්වයෙක් එම ගොවීන්ට ලබා දෙනවා. ගවයින් ගත්තත්, මී ගවයින් ගත්තත් කිරි දෙනුන් වුවත් ඔවුන්ගේ විවිධ වර්ග සිටිනවා. ඒ සෑම වර්ගයකින් ම එක් තරගකරුවකු බැගින් අප තෝරනවා.

එම සත්ත්වයාගේ හැඩරුව, වර්ගයට අදාළ පූර්ණ ලක්ෂණ, නීරෝගිභාවය යන අංශ සඳහා ලකුණු ලබා දීමෙනුයි, හොඳම සත්ත්වයා නම් කරන්නේ.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රටවල් විතරක් නෙවෙයි, ඉන්දියාවත් මේ තරගය සෑම වසරකම ඉතාමත් උත්සවශ්‍රීයෙන් තමන්ගේ රටවල පවත්වනවා. ගොවිපළ හිමියන් මේ සඳහා ම වසර පුරා තම සතුන් සූදානම් කරනවා. නමුත් අපේ රටේ මෙවැනි දෙයක් සිදු වන්නේ පළමු වතාවට.

ඒ වගේම මේ ප්‍රදර්ශනයේදී ජාතික පශු සම්පත් මණ්ඩලය සතු ගොවිපළවල ඇති කරන කුකුළු වර්ග, එනම් කළුකුම්, ගිනි කුකුළු, ගං කුකුළු වැනි සෑම කුකුළු වර්ගයක් මත්, තාරවුන්, පාත්තයන්, වටු කුරුල්ලන්, හාවුන් වර්ග, ගිනිපිග් ඇතුළු වර්ග 60ක සතුන් 400කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරනවා. ඒ වගේම සත්ත්ව ආහාර ක්ෂේත්‍රයට අදාළ ප්‍රදර්ශන කුටි ගණනාවකුත් එම බීජ නිෂ්පාදන සහ පැළ ලබා ගත හැකි අලෙවි කුටිත් මෙම ප්‍රදර්ශන භූමියට ඇතුළත්.

ඒ සඳහා රාජ්‍ය සහ පුද්ගලික අංශයේ නිෂ්පාදන ආයතන ගණනාවක් ප්‍රදර්ශන කුටි සූදානම් කර තිබෙනවා. ඒ වගේම, පශු ඖෂධ සහ ආහාර, කිරි සහ කිරි සැකසීම, කෘෂිකාර්මික යෙදවුම් සහ සැකසුම් ක්ෂේත්‍ර වැනි කෘෂිකාර්මික සහ පශු සම්පත් කර්මාන්තයේ පාර්ශ්වකරුවන් රැසක් මේ ප්‍රදර්ශන භූමියේ දී මහජනතාවට මුණගැසේවි.

මේ සියලු කාරණා අතර ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගොවිපළවල අවුරුදු විසි පහකට වැඩි කාලයක් සේවය කළ ජ්‍යේෂ්ඨ සේවකයන් ඇගයීමට ලක් කරමින් මූල්‍යමය තිළිණයක් ප්‍රදානය කිරීම ද එදින සිදු වනවා. අප මණ්ඩලය සතුව එවැනි සේවකයින් දෙසිය ගණනක් සිටිනවා.

මේ සඳහා වයඹ, මධ්‍යම, නැ‌ෙඟනහිර සහ බස්නාහිර පළාත්වල ගොවිපළවල සතුන් තමයි තරගයට සහභාගි වන්නේ. එම පළාත්වල මින් පෙර පළමු වටයෙන් තේරී පත් වූ සතුන් අතරින් ජයග්‍රහණය කළ සතුන් තමයි අන්තිම වටය සඳහා මෙම ප්‍රදර්ශනයේ දී තරග වදින්නේ. එම පළාත්වල සිට මැල්සිරිපුර ගොවිපොළ දක්වා සතුන් රැගෙන ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් අප මණ්ඩලය විසින් එම ගොවීන්ට සපයා දෙනවා. ඒ තමන් නියැළී සිටින ක්ෂේත්‍රය පිළිබඳ සෑම අංශයකින්ම ගොවීන් ධෛර්යවත් කිරීමේ අරමුණින්. මෙය විවෘත ප්‍රදර්ශනයක් නිසා ලංකාවේ ඕනෑම කෙනකුට මේ දෙදින පුරා ප්‍රදර්ශන භූමියට පැමිණිය හැකියි.

මේ සියලු කටයුතු සාර්ථක වන්නට නම්, රටක් ලෙස පශු සම්පත් කර්මාන්තය අඛණ්ඩව සහ සශ්‍රීකව ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අවශ්‍ය දැනුම ඇති පිරිස බිහි කිරීම සඳහා, සෑම වසරකම කෙටිකාලීන පුහුණු වැඩසටහන් පවත්වා, වරින් වර ගොවීන් ප්‍රායෝගිකව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මණ්ඩලය විසින් පවත්වනවා…”

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division