Home » වසර 153ක ඉපැරණි ඉතිහාසයක් හිමි ගම් / ඉඹුල්ගොඩ රාජසිංහ ජාතික පාසල

වසර 153ක ඉපැරණි ඉතිහාසයක් හිමි ගම් / ඉඹුල්ගොඩ රාජසිංහ ජාතික පාසල

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

සර 153ක ඉපැරණි ඉතිහාසයකට හිමිකම් කියන ඉඹුල්ගොඩ රාජසිංහ ජාතික පාසල කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා තිබීම නිසා පාසල පිහිටි ස්ථානය ” ඉස්කෝලෙ හන්දිය” නමින් ප්‍රකටය. අක්කර 3ක භූමියක පිහිටි මනරම් හරිත පරිසරයක පිහිටි රාජසිංහ විද්‍යාලයේ ආරම්භය සටහන් වී ඇත්තේ වර්ෂ 1870දී කුඩා පොල්අතු මඩුවකය. එදා එක් ගුරුවරකුගෙන් ඇරඹි විද්‍යාලය බැප්ටිස්ට් පිරිමි විදුහල නමින් නම් කෙරිණි.

පසුව මිශ්‍ර පාසලක් බවට පත්වූ එම විදුහල නැවත වරක් ඉඹුල්ගොඩ ජූනියර් ඉංග්‍රීසි පාඨශාලාව ලෙස නම් කර ඇත. 1964දී පාසල් රජයට පවරා ගැනීමේ ව්‍යාපෘතිය සමඟ මෙම විදුහල ද ඉඹුල්ගොඩ රාජසිංහ මහා විද්‍යාලය බවට පත්වූ අතර, 2021 වසරේදී ජාතික පාසලක් බවට උසස් විය. මේ වන විට මෙම පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් සිදු වුවත් කලක් 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වාම ඉගැන්වීම් කටයුතු සිදු කළ දෙදහස ඉක්මවූ සිසුන් සංඛ්‍යාවකට සිප්සතර ලබා දුන් අධ්‍යාපන කෙම්බිමක්ව තිබිණ. විද්‍යාලයේ වත්මන් විදුහල්පතිවරයා වන්නේ ශ්‍රී ලංකා විදුහල්පති ශ්‍රේණියේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයකු වන වෘත්තීය ජීවිතයේ වසර 34ක පළපුරුද්දක් සහිත අමරවීර එම්. මුදලිගේ ය. ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ හෙතෙම නියෝජ්‍ය විදුහල්පතිවරයකු, සහකාර විදුහල්පතිවරයකු සහ විදුහල්පතිවරයකු ලෙස ප්‍රසිද්ධ පාසල් කිහිපයක සේවය කිරීමෙන් පසු රාජසිංහ විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පත්වීම් ලබන්නේ 2021 වසරේදීය. මේ වන විට විද්‍යාලයේ දහසකට ආසන්න සිසු සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර, ආචාර්ය මණ්ඩය 45 දෙනකුගෙන් සහ සංවර්ධන නිලධාරීන් 8 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනකු ද විදුහලේ කටයුතු සඳහා සිය දායකත්වය ලබා දෙයි.

මහින්දෝදය විද්‍යාගාරය, ගණිතාගාරය, පුස්තකාලය, තාක්ෂණ විද්‍යාගාර, සුහුරු පන්ති කාමර, විශේෂ ඉංග්‍රීසි ඒකකය, අංග සම්පූර්ණ ගෘහවිද්‍යාගාරය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විද්‍යාගාර, නවෝත්පාදන විද්‍යාගාරය සහ සංගීත සහ නර්තන අංශ ආදී භෞතික පහසුකම්වලින් සමන්විත විද්‍යාලය තුළ පරිසර නියමු, ශිෂ්‍ය භට බාලක බාලිකා අනු කමිටු, පොලිස් ශිෂ්‍ය භට, වාණිජ සංගමය, මාධ්‍ය ඒකකය, පෙරදිග සහ අපරදිග තූර්යවාදක කණ්ඩායම් ඇතුළු බාහිර ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක වේ. චෙස්, එල්ලේ, ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල්, මලල ක්‍රීඩා සහ කරාතේ තරගවලින් විද්‍යාලයීය දරුවන් දිනා ඇති ජයග්‍රහණ බොහෝය. සංගීත සහ නර්තන අංශවලින් සමස්ත ලංකා ජයග්‍රහණ හිමිකරගෙන ඇති අතර, ඉකුත් වසරේදී චිත්‍ර අංශයෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලැබූ අතර, මේ වසරේදී ද සමස්ත ලංකා චිත්‍ර තරගයේ අවසන් වටය සඳහා රාජසිංහ දරුවෝ සුදුසුකම් ලැබූහ.

ජාතික මට්ටමේ විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට රාජසිංහ සිසුවෝ සමත්කම් දක්වති. සාමාන්‍ය පෙළ විභාගය සමත්වීමේ ප්‍රතිශතය මේ වන විට 72%ක් වන අතර, එය 75%දක්වා ඉහළ නංවා ගැනීමට අපේක්ෂිතය. 2021 උසස් පෙළ විභාගය සමත්වීමේ ප්‍රතිශතය විද්‍යා අංශය 51%ක්, ගණිත අංශය 100%ක්, වාණිජ අංශය 55%ක් සහ කලා අංශය 60%කි. මෙම පාසලේ 6 සිට 11 ශ්‍රේණිය දක්වා ඉංග්‍රීසි සහ සිංහල යන ද්විභාෂාවෙන්ම ඉගැන්වීමේ සිදු කෙරේ.

වත්මන් විදුහල්පතිවරයාගේ පරිපාලනය යටතේ ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන අතර, අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට ප්‍රමුඛත්වය දෙමින් දරුවන්ගේ විනය හා හැසිරීම ඉහළ මට්ටමක පවත්වා ගැනීම, විදුහලේ පරිසර අලංකරණය සහ භෞතික සම්පත් සංවර්ධනය වෙනුවෙන් ද විශාල සේවයක් ඉටු කර ඇත. මෙරට නවෝත්පාදන පාසල් 750 අතරෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නවෝත්පාදන පාසල් 5න් එකක් වන ඉඹුල්ගොඩ රාජසිංහ ජාතික පාසල තුළ නවෝත්පාදන විද්‍යාගාරය අවට පාසල්වල දරුවන්ගේ නව නිර්මාණ එළිදක්වන්නට ද කදිම අවස්ථාවක් බවට පත්ව ඇත. විද්‍යාලය තුළ ඉංග්‍රීසි සහ ජපන් භාෂාව ප්‍රවර්ධනය කිරීමට පුමුඛත්වය සලසා ඇති අතර, ජපන් රජයේ සම්පූර්ණ වියදමෙන් වාර්ෂිකව වෙනත් රටවල පාසල් සිසුන් වෙනුවෙන් පිරිනමන හකුහුදෝ ශිෂ්‍යත්වය හැදෑරීමට සති 3ක කාලයකට ජපානයට යෑමේ අවස්ථාව මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් හිමිවී ඇත්තේ මෙම පාසලට පමණක් වීම සුවිශේෂීය. ජපන් භාෂාවට අමතරව ඉංග්‍රීසි භාෂාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ගණිත විෂයය පිළිබඳ දැනුම පුළුල් කිරීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය. ගම්පහ අධ්‍යාපන කලාපය තුළ නිර්මාණකරණ සහ යාන්ත්‍රික තාක්ෂණය විෂයය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙන පාසල ලෙස ද මෙම විද්‍යාලය ප්‍රකටය.

විදුහලේ ඉදිරි සැලසුම් අතර ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනයට අමතරව ක්‍රීඩා ක්ෂේත්‍රය තවත් ඉහළ නැංවීම සහ ජපන් සහ ඉංග්‍රීසි භාෂා තවත් දියුණු කිරීමට ද අපේක්ෂිතය. විදුහල වෙනුවෙන් ගන්නා සෑම සාධනීය පියවරකදීම සහයෝගය ලබා දෙන අධ්‍යාපන බලධාරීන්, ආචාර්ය මණ්ඩලය, පාසල් සංවර්ධන කමිටුව, ආදි සිසුන් ඇතුළු සියලු දෙනාට විදුහල්පතිවරයා සිය ස්තුතිය පළ කළේය.

ඡායාරූප- නිශ්ශංක විජේරත්න

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division