ගැඹුරු සමාධිය ඇතිවන්නේ සුවිශේෂී තත්ත්වයක් යටතේ පමණක් බව අපි පසුගිය කලාපයෙන් සාකච්ඡා කළෙමු. පංච නීවරණ (බාධාවන්) සේ අප හඳුන්වන මානසික ස්වභාවයන් සමාධිය වැඩීමට අකුල් හෙළයි. ඒවා නම් ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආශාව, මානසික අලස බව, නොසන්සුන්තාව හා දෙගිඩියාවයි.
ආරණ්‍යයක තිබෙන පාලනය කළ පරිසරය චිත්තවේගී ශබ්ද අවම මට්ටමක පවත්වා ගනියි. විරුද්ධ ලිංගිකයන් හට එකට ජීවත්වීමට මෙහිදී ඉඩ නොලැබෙයි. මෙය ලිංගික ආශාවන් ඉපදීමේ ඉඩකඩ අවම කරයි. තමන්ට අයිති බඩු බාහිරාදිය ගෙන ඒමට අවසර නොදෙන බැවින් අයිතිය පිළිබඳ රණ්ඩු සරුවල් හෝ ගිජු බවට හා ලෝභයට ඇති අවස්ථාව අඩුය. සමාධියට තිබෙන තවත් බාධාවක් පිළිබඳව සඳහන් කළ යුතුව ඇත. ගැඹුරු සමාධියෙහි ඇලී සිටින ඔබට අනෙකුත් එතරම් වැදගත් නොවන කරුණු පිළිබඳව අමතක වීමට ඉඩ ඇත. ඒවා නම් ඔබගේ සිරුර, ඔබගේ අනන්‍යතාවය හා ඔබ අවට තිබෙන සියලු දේ වෙයි. මෙහිදී ද ආරණ්‍යය ඉතාමත් පහසු ස්ථානයක් වෙයි. මූලික අවශ්‍යතා හා ඔබගේ භෞතික ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට මෙම පරිසරයේ කිසිවෙකු නිතරම සිටීම ඉතා යහපත් දෙයකි. මෙවන් සහතික කිරීම් නොමැති විට ඉතා ගැඹුරු සමාධියකට ළඟාවීමට යමෙකු තරමක අදිමදිකමක් දක්වයි.
අනෙක් අතට, සිහිය මේ සියලු දුර්වලකම්වලින් තොරවෙයි. සිහිය භෞතික හෝ වෙනත් ආකාරයක පරිසරය මත රඳා නොපවතියි. එය ශුද්ධ දැනීමේ ස්වභාවයයි. එමනිසා මතුවන ඕනෑම තත්ත්වයක් දැකීමට එයට නිදහස තිබේ. සිහියට සීමා පැනවිය නොහැක. සෑම මොහොතකම හා සෑම තත්ත්වයකම තරමක් දුරට හෝ එය පවතියි. සිහියට ස්ථිර කේන්ද්‍රගත වූ වස්තුවක් නැත. එය වෙනස්වීම නිරීක්ෂණය කරයි. එමනිසා එයට අවධානය යොමුකළ යුතු වස්තූන් අසීමිත සංඛ්‍යාවක් ඇත. මනස හරහා යන සෑම දෙයක් දෙස බලා සිටින එය ඒවා වර්ග නොකරයි. භාවනා අරමුණ දෙස බලන අවධානයෙන් ම බාධාවන් හා අකුල් හෙළීම් දෙස ද බලයි. ශුද්ධ සිහිය පවතින අවස්ථාවේදී මනස තුළ සිදුවන සෑම වෙනස්වීමක් සමඟම ඔබගේ අවධානය ද ගලා යයි. එක දෙයකින් තවත් දෙයකට, තවත් දෙයකට, තවත් දෙයකට මාරුවෙයි. නිරතුරුවම මාරුවෙමින් යයි.
සිහිය බලෙන් ඇති කළ නොහැක. අධිෂ්ඨාන ශක්තියට, මෙහිදී කිසිවක් කළ නොහැක. ඇත්ත වශයෙන්ම එය දියුණුවට බාධාවක් පමණි. සිහිය වැඩීම වෙහෙස මහන්සි වී කළ නොහැක. එය වැඩෙන්නේ අත්හැරීම තුළින් මෙන්ම මොහොත තුළ පහසුවෙන් ජීවත් වීම හා ඔබ අත්දකින සියලු දේ සමඟ සුහදබවක් ඇතිකර ගැනීම මඟින්ය. සිහිය එය විසින්ම වර්ධනය වන බව අපි මින් අදහස් නොකරමු. ශක්තිය එයට අවශ්‍යයි. උත්සාහය ද ඕනෑ වේ. නමුත් මෙම උත්සාහය, බලය යෙදීමට වඩා වෙනස්ය. සිහිය වර්ධනය වන්නේ මෘදු උත්සාහයක් තුළිනි. භාවනානුයෝගියා සිදුවෙමින් පවතින සෑම දෙයක් පිළිබඳව අවදියෙන් සිටීමට තමාටම කාරුණිකව කරන මතක් කිරීම තුළින් සිහිය වැඩෙයි. අඛණ්ඩ උත්සාහය හා මෘදු ස්පර්ශය සිහිය වැඩීමේ රහස් වෙයි. මෘදු ලෙස තමාව අවධිමත් භාවයට නිරතුරුව ඇද ගැනීම මඟින් සිහිය වර්ධනය කර ගනියි.
ආත්මාර්ථකාමී ලෙස සිහිය පාවිච්චි කිරීම ද කළ නොහැක. එය මමත්වයෙන් තොර සෝදිසියකි. පිරිසිදු සිහිය ඇතිවිට “මම” යන්නක් නොපවතියි. එසේම ඔබ ගැන නියම අවබෝධය ලබා දෙන්නේ ද සිහියයි. ඔබගේ ආශාවලින් හා ද්වේශයෙන් පිටට පැමිණ නියම ස්වරූපය දැක ගැනීමට එය ඔබට ඉඩ සලසයි. සිහිය පවත්වා ගැනීමේදී ඔබගේ යථා ස්වරූපය දැක ගැනීමට ඔබට හැකිවෙයි. ඔබගේ ආත්මාර්ථකාමී හැසිරීම ඔබට දක්නට ලැබේ. ඔබගේ අතෘප්තිකර බව ඔබ දැක ගනියි. එම අතෘප්තිකර බව ඉපදෙන ආකාරය ද ඔබට දකින්නට ලැබෙයි. ඔබ අන් අයට රිදවන ආකාරය ඔබ දකියි. ඔබ සාමාන්‍යයෙන් ඔබටම පවසන මුසා තට්ටුව පසාරු කරගෙන යන විට එහි ඇති දේ ඔබ දකියි. සිහි ප්‍රඥාවට මඟ පාදයි.
සිහිය කිසිවක් දිනා ගැනීමට උත්සාහ නොකරයි. එය හුදෙක්ම දේවල් දකිනවා පමණකි. එම නිසා ආශාව හා ද්වේශය එහි නැත. තරගකාරීබව හා යමක් දිනා ගැනීමට වෙහෙස දැරීමක් එහි නැත. සිහියට අරමුණක් නැත. දැනටමත් තිබෙන දේ දකිනවා පමණකි.
සිහිය, සමාධියට වඩා පුළුල් හා විශාල ක්‍රියාවකි. සිහිය සෑම දෙයක් ම වටලා ගනියි. සමාධිය සීමිත හෝ තනි වූ සාධකයකි. එක වස්තුවක් කෙරෙහි යොමුවන එය අනෙක් සෑම දෙයක්ම බැහැර කරයි. සිහිය අසීමිතව සියලු දේ ඇතුළු කර ගනියි. අවධානයේ කේන්ද්‍රයෙන් පිටතට එන එය සිදුවෙන සෑම වෙනස්වීමක් දෙසම පුළුල් පරාසයක් තුළ දකියි. ඔබ ගලක් දෙස අවධානය යොමු කරන විට සමාධිය දකින්නේ ගල පමණකි. සිහිය මෙම ක්‍රියාවලියෙන් පිටත රැඳෙමින් ගල ද, සමාධිය ගල කෙරෙහි අවධානය යොමුකර සිටින සැටි ද, එම අවධානයේ ප්‍රබලත්වය ද, සමාධියේ අවධානය ගලෙන් ගිලිහෙන මොහොතෙහිම ඒ බාධාවන් පැමිණ ඇති බව දැනගන්නේ මෙන්ම නැවත ගල වෙත අවධානය යොමුකරන්නේ ද සිහියයි. ඉතා ගැඹුරට විහිදෙන ක්‍රියාවක් බැවින් සිහිය දියුණු කිරීම වඩාත් දුෂ්කරය. සමාධිය ලේසර් කිරණයක් මෙන් හුදෙක්ම මනස එක්තැන් කිරීමයි. එයට මනසේ ගැඹුරට කිඳා බැස එහි ඇති දේ ආලෝකවත් කිරීමට බලය තිබේ. නමුත් දකින දෙය වටහා ගැනීමට එයට නොහැකිය.
සිහියට ආත්මාර්ථකාමීත්වයේ යන්ත්‍රණය විමර්ශනය කර එහි ඇතිදේ තේරුම් ගත හැකිය. දුක නොහොත් අතෘප්තිමත් බවේ අභිරහස හා අපහසු බවේ යන්ත්‍රණය පසාරු කරගෙන සිහිය ගමන් කරයි. සිහිය ඔබ නිදහස් කරයි.
කෙසේ වුවද, එහි තවත් මිදිය නොහැකි උගුලක් ඇත. සිහිය දකින දෙයට ප්‍රතිචාර නොදක්වයි. එය දැක වටහා ගන්නවා පමණි. සිහිය ඉවසීමේ හරයයි. එබැවින් දකින දේ හුදෙක් ම භාරගෙන, තිබෙන බව දැනගෙන උපේක්ෂා සහගතව නිරීක්ෂණයක යෙදෙයි. මෙය පහසු නොවූව ද අත්‍යවශ්‍ය කරුණකි. අප අනවබෝධයෙන් පිරී ඇත. අපි ආත්මාර්ථකාමී වෙමු. අපි කෑදරකමින් යුක්ත වෙමු. පුරසාරම් දොඩවමු. අපි බොරු කියමු. අපි කාමාශාවන් ඇත්තෝ වෙමු. මේවා සත්‍ය කරුණුය. සිහිය යනු මෙම සත්‍ය කරුණ දැක අප සමඟම ඉවසීමෙන් කටයුතු කර අපගේ සත්‍ය ස්වභාවය පිළිගැනීමයි. මෙය උඩුගං බලා යෑමකි. එය පිළිගැනීමට අප කැමති නැත. එය ප්‍රතික්ෂේප කිරීම හෝ වෙනස් කිරීම හෝ සාධාරණීකරණය කිරීමට අපට අවශ්‍යයි. නමුත් පිළිගැනීම සිහියේ හරයයි. සිහිය වර්ධනය කර ගැනීමට නම් සිහිය සොයා දෙන දේ පිළිගත යුතුය. එය විඩාව, නොසන්සුන්තාවය හෝ බය විය හැකියි. එය දුර්වලකම්, හීනමානය හෝ අපගේ වැරදිවීමට ද පිළිවන. එය කුමක් වුවත් එය අපගේ ස්වභාවයයි. යථාර්ථය වන්නේ එයයි.
සිහිය පවතින දෙය එලෙසින්ම පිළිගනියි. සිහිය දියුණු කිරීමට තිබෙන එකම මඟ ඉවසන සුළු පිළිගැනීමයි. සිහිය වර්ධනය වන එකම ක්‍රමය නම් අඛණ්ඩව සිහිය පිහිටුවා ගැනීම හා ඉවසීමෙන් සිහිය පුරුදු කිරීම පමණක්මය. මෙම ක්‍රියාවලිය බලහත්කාරකමින් හෝ කඩිනමින් කළ නොහැක. එයට ම ආවේණික වේගයකින් එය ඉදිරියට යයි.
භාවනාවේදී සිහිය හා සමාධිය එකට සමාන්තරව ගමන් කරයි. සිහිය විසින් සමාධියේ බලයට මඟ පෙන්වයි. සිහිය මෙම මෙහෙයුම් කළමනාකාරවරයා වෙයි. මනසේ ගැඹුරු ස්ථානයන් හට ගමන් කිරීමට සිහියට අවශ්‍ය බලය සමාධිය විසින් සපයා දෙයි. විනිවිද දකින නුවණ හා අවබෝධය එම සහයෝගිතාවයේ ප්‍රතිඵලයයි. මෙම දෙවර්ගය ම සමානව වර්ධනය කළ යුතුයි. එසේ නමුත් සිහිය භාවනාවේ කේන්ද්‍රය බැවින් එයට තරමක් වැඩි අවධානයක් ලබා දෙයි. විමුක්තිය සඳහා ඉතා ගැඹුරු මට්ටමේ සමාධියක් අවශ්‍ය නැත. නමුත්, සමතුලිතතාවයක් අවශ්‍යයි. සමතුලිතතාවය ඇති කිරීමට අවශ්‍ය සන්සුන් බවෙන් තොර ඉහළ මට්ටමේ දැනීම, LSD වැනි මත්ද්‍රව්‍යයකින් ඇති කෙරෙන අධි සංවේදිතාවය වැන්නක් ඇති කරයි. එමෙන්ම සමාන අනුපාතයකින් සිහිය නැතිවිට, සමාධියම පමණක් ගල් පිළිමයක් වැනි තත්ත්වයක් ඇති කරයි. සමාධිගත වන භාවනානුයෝගියා ගල් රූපයක් සේ වාඩි වී සිටිනු ඇත. මේ ස්වභාවයන් දෙකම මඟ හැරිය යුතුය.
මානසික දියුණුවේ මූලික අවස්ථාවන් බිඳී විසිරී යන සුළු සියුම් බවක් උසුලයි. සිහිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සමාධියේ වැඩීම බාල කරයි. භාවනාව ආරම්භයේ දී මනස කෙතරම් ක්‍රියාකාරීද යන්න ඔබ අවබෝධ කර ගනියි. ථෙරවාද බුදුදහම මෙම සංසිද්ධිය “වඳුරු මනස” ලෙස හඳුන්වයි. මෙය සිතිවිලි දිය ඇල්ලක් ලෙස ටිබෙට් නොහොත් තිබ්බතීය බුදු දහමේ හඳුන්වනු ලබයි. මේ අවස්ථාවේදී සිහිය විසින් දැක ගැනීමට බොහෝ දේ ඇති බැවින් එය අවධාරණය කිරීම සමාධිය දියුණුවීමට බාධාවක් ඇති කරයි. අධෛර්යයට පත් නොවන්න. මෙය සෑම දෙනාම පාහේ අත්දකින අවස්ථාවකි. එයට ඉතා සරල විසඳුමක් ඇත. ඔබගේ සියලුම ප්‍රයත්නයන් සිත එකඟ කිරීම සඳහා යොදවන්න. ඒ මේ අත යන අවධානය නැවත නැවතත් ආපසු රැගෙන එන්න. එය ස්පර්ශ කරන්න. මේ පිළිබඳ විස්තර සත්වන හා අටවන පරිච්ඡේදවල ඇත. මාස කිහිපයක් භාවනාවේ යෙදෙන විට ඔබට සිත එක්තැන් කිරීමේ බලය ලැබෙනු ඇත. එවිට ඔබගේ ශක්තිය සිහිය වෙත යොමු කිරීමට ඔබට පුළුවන. උදාසීනතාවය ඇතිවෙන මට්ටමට සමාධිය දියුණු නොකරන්න.
මෙම අංශ දෙකෙන් තවමත් වඩා වැදගත් වන්නේ සිහියයි. ඔබට පහසුවෙන් එය කළ හැකි වූ වහාම එය ගොඩනැඟිය යුතුය. පසුව එන ගැඹුරු සමාධියට අවශ්‍ය අත්තිවාරම සකසන්නේ සිහිය විසිනි. සමතුලිතාවය පිළිබඳ බොහෝ වැරදි, කාලය විසින් නිවැරදි කරනු ඇත. ප්‍රබල සිහිය දියුණු වී ඇති තැන නිතැතින්ම සම්මා සමාධිය ගොඩනැඟෙයි. දැකීමේ ගුණය වැඩියෙන් දියුණු වෙනවා සමඟම කඩිනමින් බාධක දැකීම හා එවන් වේගයකින් ම ඒවායින් මිදී අවධානය භාවනා අරමුණ වෙත ඒමට හැකියාව ලැබෙයි. එහි ස්වභාවික ප්‍රතිඵලය දියුණු වූ සමාධියයි. දියුණුවන සමාධිය සිහිය වැඩීමට ද උපකාර කරනු ඇත. බලවත් සමාධියක් පවතින විට බාධා විශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලියට අවකාශ අඩුවෙයි. බාධාව සනිටුහන් කරගන්නා ඔබ, අවධානය එය තිබිය යුතු ස්ථානයට ගෙන එයි.
(භාවනානුයෝගියා තමාගේ මූලික නිපුණතා පුහුණු වන ආකාරය ගැන මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න)