Home » මාටින් ගුරුන්නාන්සේගේ නි‍වසේදී මන්ත්‍ර ශාස්ත්‍රයට තැබූ අත්පොත

මාටින් ගුරුන්නාන්සේගේ නි‍වසේදී මන්ත්‍ර ශාස්ත්‍රයට තැබූ අත්පොත

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

අද දිනය මගේ දිවි ගමනෙහි සුවිශේෂීය. මාටින් ගුරුන්නාන්සේ මා එනතුරු පෙර මඟ බලා සිටි සෙයකි. පරිසරය සුගන්ධවත්ය. එය නිතර විඳින්නට ලැබෙන සුවඳවත්නොවන බව නම් පැහැදිලිය. කුරුලු නද විටින්විට සිත සනසයි. අසලින් යන මා ඔයද මිහිරි හඬක් නඟමින් ගලා බසින බව ඇසෙනුයේ අවට පරිසරය නිහඬ වීම සමඟිනි.

තමන්ගේ බුදු කුටිය වෙත මා කැඳවාගෙන ගුරුන්නාන්සේ ඔහු විසින්ම සකස් කරන ලද මල් වට්ටියක් මා අතට ලබා දෙමින් “මහත්තයා හොඳින් බුදුන් වැඳලා එන්න” යැයි කියා මට එහි තනි වෙන්නට ඉඩ හැරියේය. මම හොඳින් බුදුන් වැන්දෙමි.

නමෝ ශ්‍රී සම්මා සම්බුද්ධානං
නමෝ ශ්‍රී පචෙජක බුද්ධානං
නමෝ ශ්‍රී අරිහතක බුද්ධානං
නමෝ ශ්‍රී බුද්ධානං
ජයතු ජයතු ජය ශ්‍රී

මම සියලු බුදුවරයාණන් වහන්සේලාවම සිහිපත් කරමින් වැන්දෙමි. දෙවියන්ට පින් දුන්නෙමි. බුදු කුටියෙහි එක් කොනක අලංකෘත විෂ්ණු දේව පිළිමයක් වේ. වෙන කිසි දේව රූපයක් එහි නොවේ. එළියේ පොඩි කුටියකි. මා ඊට එබී බැලුවෙමි. ගම්බාර සූනියම් දෙවියන්ගේ කුඩා පිළිමයක් එහි වේ.

බුදුන් වැඳ ඒ කටයුතු නිමවා මා මිදුලේ තිබුණු බංකුවක් මත වාඩි ගතිමි. ඒ අතර ගුරුන්නාන්සේ හමු වීමට දෙදෙනෙක් තුන්දෙනෙක් පිල් කඩෙහි වාඩිගෙන සිටිනු දුටුවෙමි. “ගුරුන්නාන්සේ මේ මහත්තයට කැඳ එකක් දෙන්න කීවා” වයස අවුරුදු එකොළහක – දොළහක කොලු ගැටයෙක් එලෙස කියමින් මා වෙත කොළ කැඳ වීදුරුවක් ලබා දෙන ලදි.

“පුතාගෙ නම මොකක්ද?“ මා ඔහු එලෙස කතාවට අල්ලා ගන්න තැත් කළෙමි. “මම වාසිත” යැයි කියු ඔහු කතාව මඟ හරිමින් ආපසු දිව යන ආකාරය දුටිමි. “පොඩ්ඩො පැදුරු දෙකක් අරං වරෙං කො” යැයි යන මාටින් ගුරුන්නාන්සේගේ හඬ ඇසෙනවාත් සමඟම මා උන් තැනින් නැගිට්ටෙමි. මාටින් ගුරුන්නාන්සේ මා දෙසට පැමිණේ. වාසිත පැදුරු දෙකක් රැගෙන ඔහු පසුපස එයි.

“මහත්තයා අපි යං අර පැත්තට ” ඔහු යන්නේ ගොම මැටි ගෑ කුටිය දෙසටය. වාසිත පැදුරු දෙක එළයි. “අපි මෙතන වාඩිවෙමු. මහත්තයට අපහසුවක් නැහැනේ”. ඔහු මගේ දෙස බලමින් එසේ කීවේය. “නෑ නෑ ගුරුන්නාන්සේ මෙතන නිදහස් වගේ… ඒක ගොඩක් හොඳා” යැයි මම පැවසීමි. ඔහු බිම වාඩි වූයේ පද්මාසන ඉරියව්වෙනි. “මහත්තය පොත්පත් තියෙන බෑග් බිම තියන්න හොඳ නැහැ” එසේ කියන විටම වාසිත පොඩි බංකුවක් මා වෙත කිට්ටු කළේය. වාසිත අප අසල සිටී. ගුරුන්නාන්සේම කතාව අරඹයි.

“මහත්තයාට යන්ත්‍ර – මන්ත්‍ර ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕනයි කීවත් මේක හරියටම කරන්න නම් ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් ටිකක් දැනගන්න ඕනි. මහත්තය ගණිත ගුරුවරයෙක් නිසා ඕක අමාරු වෙන්නෙ නැහැ. ඒ වගේම තමයි ටිකක් භාවනා කරන්නත් ඕනි. මේව කරද්දි පොඩි ඇවතුම්-පැවතුම් ටිකකුත් තියෙනවා.” මම ඔහුගේ වදන්වලට හූ මිටි තැබුවෙමි. වුවමනාවෙන් අසා උන්නෙමි.

“මහත්තය අපි ඉස්සරවෙලාම සරස්වතී මෑණියන්ගේ මන්ත්‍රයක් ලියාගෙන වැඩේ පටන් ගමු. ටික ටික ඉස්සරහට යමු.“ ඔහු එසේ පවසන විට මම බෑගය හැර පොත සහ පෑන අතට ගත්තෙමි. රූල් නැති පොතක්ම අරන් එන්න කීවේ ඇයිදැයි මට ප්‍රශ්නයකි. “ගුරුන්නාන්සේ මට රූල් නැති පොතක්ම අරන් එන්න කියන්න හේතුවක් තියෙනවාද?“ මා ඇසුවේ ප්‍රශ්නය විසඳා ගැනීම වඩා හොඳ යැයි සිතුණු බැවිනි.

“මහත්තයා… අපි ගොඩක් දෙනෙක් නොදන්නවා වුණාට අකුරුවලට අයිති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවා. විශේෂ ශාස්ත්‍ර-මන්ත්‍ර ලියනකොට ඒවා කපන්න-කොටන්න හොඳ නැහැ වගේම රේඛා තියෙන පොත්වල ලියද්දි ඒ අකුරු කැපෙනවා. ඒක හොඳ නැහැ.” යැයි ඔහු කීවේය.

සරස්වතී මහා දේවී – වීණා පුස්තක ධාරිණී
හංසවාහිනී සමා යුක්තේ – විද්‍යදානං කුරු මම
සරස්වතී නමඃ මයිහං – වරදේ කාම රූපිනී
විද්‍යාරම්භං කරිගුහමි – සරස්වතී නමෝස්තුතෙ

ඔහු දුන් සරස්වතී මන්ත්‍රය මා ලියා ගන්නා අතර ඔහු මාගේ පොතට එබිකම් කරනු දුටුවෙමි. ඒ මා නිවැරදිව එය ලියා ගන්නවාදැයි බැලීමට විය යුතුය. “පාඩම් කරන්න කලින් ඔය දැහැන තුන් වරක් සිහි කරල පාඩම් කරන එක හොඳයි. ගොඩක් වැඩ ගන්න පුළුවන් ස්තෝත්‍රයක්… දැනට ඕක පාඩම් කරගමු.” ඔහු කීවේය.

“මේ ශාස්ත්‍ර දෙවියන්ගේ ශාස්ත්‍ර මහත්තයා… මේවා ඉගෙන ගන්න කොට හැකිතාක් දුරකට පංචශීලය රැකගන්න ඕන… විශේෂයෙන් සත්‍යවාදී වෙන්න ඕන.“ ඔහු එසේ කියන විට මගේ සිතට සියුම් සතුටක් දැනිණි. “මහත්තය දන්නවද බොරු නොකීමේ වටිනාකම”. එසේ ඇසූ ඔහු පිළිතුර මගෙන් බලාපොරොත්තු නොවී ඔහුම පිළිතුරු දුන්නේය. අපේ බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයේ පරම සත්‍ය සොයා ගත්තේ… දේශනා කළේ. උන්වහන්සේ පාරමිතා පුරපු කිසි කාලයක බැහැර නොවූ එකම පාරමිතාව සත්‍ය පාරමිතාවයි. උන්වහන්සේ ලෝකයට දුන්නේ සත්‍යය. ඉතින් අවසානයේ උන්වහන්සේ මොනවද සාක්ෂාත් කළේ ඒ තමයි සත්‍යය”. ඔහු කියාගෙන යයි.

“ඒ වගේම මහත්තය ‘මුනිවත‘ කියන එක හරි ප්‍රබල ආයුධයක්. මුනිවත කියන්නෙ කට වහන් ඉන්නවා කියන එක නෙවෙයි. ඒකේ ගැඹුරු අර්ථ ගණනාවක් තියෙනවා. අවශ්‍ය දේ අවශ්‍ය තැනදී පමණක් කතා කරන එක. තර්ක කරන්නන්ට ඉඩ දීලා නිහඬ වෙන එක. ඒත් තර්ක කරන්න සත්‍ය සෙවීමේ පරමාර්ථයෙන් තර්ක කරන්නේ නම් ඔහු සමඟ සංවාද කළ යුතුයි. ඒත් මහත්මයා සැබැවින්ම මුනි කියන්නේ නිවැරදි චින්තන ධාරාවේ ඉන්න කෙනා “මනන ඉති මුනිඃ ” ඒ විදිහට තමයි වේදාන්ත දර්ශනවල ඉගැන්වෙන්නේ. ඉතින් අපිට ගොඩක් දේවල් තියෙනව කතා කරන්න. ටික ටික කතා කරමු. මහත්තයට පහසු ඕනි වේලාවක ඇවිත් යන්න”.

“ගුරුන්නාන්සේ සතියේ දවසක හවස් වරුවෙ මම ආවොත් ඔබතුමාට කරදරයක් ද” මා එසේ ඇසුවෙමි. සති අන්තයේ ගෙදර යා යුතු නිසාම නොව සඳමාලි සිහිවීම නිසාවෙන්ම බව මම දනිමි. “අඟහරුවාදා දවසෙ මම සාමාන්‍යයෙන් වැඩ දාගන්නෙ නැහැ. මහත්තයා… මහත්තයාට අපහසු නැත්නම් එදාට ඇවිත් ගියාට කමක් නැහැ”. ඔහුගේ ළෙන්ගතුකම මට මහත් අස්වැසිල්ලකි.

රාත්‍රිය එළඹෙමින් තිබේ. මාටින් ගුරුන්නාන්සේ පිළිබඳ සිතිවිලි තාවකාලිකව පසෙක තබා හෙට පාසලට යාම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුය.

පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division