Home » වප් මාසය ඔබට සුබ ද?

වප් මාසය ඔබට සුබ ද?

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

– මේ මාසයේ ග්‍රහ මාරු 5ක්; භද්‍රා යෝගයක් උදා වේ
– 14 වැනිදා වලයාකාර සූර්ය ග්‍රහණයක්

මේ වසරේ ඔක්තෝබර් මාසය හෙවත් වප් මාසය ඔබට සුවිශේෂී වන්නේ සාමාන්‍ය ග්‍රහ මාරු 5ක් සමඟ භද්‍රා යෝගය උදා කරමින් බුධ ග්‍රහයා කන්‍යා රාශිගතවීම මෙන්ම රාහු කේතු දෙදෙනාගේ රාශි මාරුවක් නිසාය. බුධ ග්‍රහයා 1 වැනිදා 20.38ට කන්‍යාවට ද කුජ ග්‍රහයා 3 වැනිදා 17.59ට තුලාවට ද ශුක්‍ර 02 දින 01.05ට සිංහයට ද රවි ග්‍රහයා 18 දින 01.30ට තුලාවට ද නැවතත් බුධ 19 දින 01.17ට තුලාවට ද රාහු 30 දින 17.55ට මීනයට ද කේතු කන්‍යාවට ද වශයෙන් සිය ගෝචර ගමන් මඟ වෙනස් කරයි.

තවද වලයාකාර සූර්ය ග්‍රහණයක් ඔක්තෝබර් 14 දින 23.40 ටද අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් ඔක්තෝබර් 28 දින 01.45ටද ඔක්තෝබර් 29 බුධ කුජ ග්‍රහ යුද්ධයක් ද මේ මාසය තුළ දක්නට ලැබෙයි. ග්‍රහ යුද්ධයෙන් කුජට ජය අත්වෙයි. ස්වාභාවික අව් වැසි සුළං පීඩා සුපුරුදු ලෙස වෙනස් වීම් සහිතව බල පවත්වයි.

ඔක්තෝබර් 1 දින වන විට පැවති ග්‍රහ චාරය හා පසුව රාශි මාරු කළ ග්‍රහයන්ගේ ගෝචර ගමන අනුව සුබ අසුබ ඔබේ ජීවිතවලට කෙසේ බල පැවැත්වුවද එම අපල මඟ හරවා සුබපලම වර්ධනය කරගැනීමට අපට කළ හැකි දේ සරලය. වස් කාලයේ බෝධි පූජාවලට සහභාගී වීම ඔබද මුල්වී ඒ පින්කම් බාරගෙන කටයුතු සිදු කිරීම, සංඝයා වහන්සේට දානමාන ගිලන්පස පිළිගැන්වීම, මල් ආසන පිරිසිදු කිරීම, විදුලි ආලෝක පූජා පැවැත්වීම, ධර්ම දානමය කටයුතු සහ එවැනි දේශනා ශ්‍රවණය කිරීම් පමණක් නොව අසරණ වූ අයට පිහිටවීම, තිරිසන් සතුන්ට, පක්ෂීන්ට, මාළුවන්ට ආහාරපාන දීම ඉතා වැදගත් පුණ්‍යකර්ම වෙයි. ඔබේ ලග්නයට ඉහත ග්‍රහ තත්ත්වයන් තුළ මේ මාසය කෙසේදැයි විමසා බලමු.

මේෂ – ස්ත්‍රී පාර්ශ්වයෙන් ලාභ ප්‍රයෝජන

ගෘහ ජීවිතය :- ඔබගේ ලග්නාධිපති 6 වැන්නේ සුබ ග්‍රහයෙක් වන රවි සමඟද යෝග කාරක ගුරු ලග්නයේත් ගෝචර ගමනේ යෙදෙන එළඹෙන මාසය යහපත් කාලවකවානුවකි. ගෘහ ජීවිතය ගැටලු නොමැතිව පවත්වා ගැනීමට ද ගෙදරදොර අලංකාරය පිණිස මිල මුදල් වැය කරන බවට ද ඉඟි පළ වේ. වන්දනාමාන කරගැනීම හෝ වෙනත් කාරණා සම්බන්ධව දුර ගමන් බිමන් යෙදේ. වියදම් වැඩි කාලයක් වුවද ස්ත්‍රී පාර්ශ්වයෙන් ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. ගුප්ත දේවල් පිළිබඳ විමර්ශනය කිරීමට ද පෙළඹේ. සතුරු කරදර ඉවත් වන අධිෂ්ඨානශීලිව ඉදිරියට යන අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන වකවානුවකි.

රැකියාව :- 10 වැන්නේ අධිපති 11 වැන්නේ සිටිමින් ඔබ කරන කියන රැකී රක්ෂා උද්‍යෝගයෙන් කරගෙන යාමට උදවු දෙයි. කෘෂිකාර්මික කටයුතු, සුඛෝපභෝගී භාණ්ඩ, රෙදිපිළි අලෙවිය මෙන්ම ස්වර්ණාභරණ හා මැණික් ව්‍යාපාරවල ද දියුණුවක් ඇති කරයි.

අධ්‍යාපනය :- ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පටන් උසස් අධ්‍යාපනය ලබන සියලු දරුවන්ගේ බුද්ධි වර්ධනය පෙන්වන කාලසීමාවකි. පොතපත දැනුම පරිගණක ඇසුරෙහි අසීරුතා මැඬගෙන ඉදිරිපත් වන විභාග ජයග්‍රහණය කරයි.

සෞඛ්‍යය :- සෙම් රෝග, හිසරදය වැනි අසනීප ගති බල පැවැත්වේ.

අපල අවම වීම සඳහා දානමාන කටයුතුවල යෙදෙන්න. ලේ දන් දීමට හැකිනම් වඩා ප්‍රතිඵලදායකය.

සුබ අංක – 9, 10, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා

වෘෂභ – සියලු බලාපොරොත්තු සපල වෙයි

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 3 වැන්නේ සහ යෝග කාරක සෙනසුරු 10 වැන්නේ ගෝචර වෙමින් ආරම්භ කරන ඉදිරි මාසය ඔබේ සියලු යහපත් බලාපොරොත්තුවලට සුබපල ගෙන දෙයි. ගෘහ ජීවිතය සතුටින් ගත කිරීමට හැකිවන අතර සහජ දක්ෂතාවන්ගෙන් පල ප්‍රයෝජන ලැබෙයි. අන්‍යයන් තම අදහස්වලට ගරු කරයි. උසස් සිතුවිලි සහිත බැවින් යුතුකම් මනා ලෙස ඉටු කරයි. සමාජයෙන් ගෞරව ප්‍රශංසා හිමි වෙයි. රැකියාව :- සෙනසුරු 10 වැන්නේ සිටිනුයේ යෝග කාරක ග්‍රහයා ලෙස බැවින් කරන කියන රැකීරක්ෂා කටයුතුවලින් ලාභ ප්‍රයෝජන හිමි වේ. ඒවායින් සෑහෙන දියුණුවක් ලබයි. අසරණ ජනතාවට සේවය සැලසීම තුළින් දෙලොව දියුණුවටම මාවත හෙළිකර ගන්නා බවක්ද පෙන්නුම් කරයි. කෘෂිකාර්මික අංශවල දියුණුවක් ඇතිවේ. රැකියා ආයතනවලදී දූෂණ වංචාවලට ඉඩකඩ ඇහිරේ.

අධ්‍යාපනය :- දරුවන්ගේ ඉදිරිපත් වීමේ ශක්තිය ද ක්‍රියාකාරිත්වය ද වර්ධනය වන අතර ධාරණ ශක්තිය ද මතු කරයි. විභාගවලින් ජයග්‍රහණ කරයි. අභියෝග ඉලක්ක හමුවේ නොසැලෙයි.

සෞඛ්‍යය :- සෙම් රෝග, දණහිස් වේදනා, පා ඇඟිලිවල හිරි ගතිය ඇති කරයි.

සමහර විට නොකළ වරදවලට චෝදනා එල්ල විය හැකි නිසා එවැනි අපල අවම වීමට පිළිකා, වකුගඩු රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංක – 6, 10, සුබ වර්ණ – ක්‍රීම්, රෝස, සුබ දවස් – බදාදා, සිකුරාදා

මිථුන – දේපළ ඉඩකඩම් හිමි වේ

ගෘහ ජීවිතය :- භද්‍රා යෝගය සිවුවැන්නේ යෙදීමත් ලග්නාධිපති බුධ 3 වැන්නේත් යෝග කාරක සිකුරු දෙවැන්නේත් ගෝචර වෙමින් ආරම්භ වන ඉදිරි මාසය තුළ ඔබගේ දියුණුවට වැඩ කටයුතු සලසා ගැනීමට හැකියාව ඇත. ස්ථිරසාර අදහස් මෙන්ම පුණ්‍ය සිතුවිලි සහිතව ඒවාට අනුගත වෙමින් කටයුතු කරයි. සියලු යහපත් බලාපොරොත්තු පල දරයි. ගෘහ ජීවිතය සතුටින් ගෙවෙයි. දේපළ, ඉඩකඩම් ලාභ හිමිවීමේ භාග්‍යද පවතී. ප්‍රිය වචනයෙන් අන්‍යයන්ගේ අවධානය දිනා ගනිමින් සාමාජීය සුබසාධන කටයුතු ආදියේ නියැළෙයි. සාහිත්‍ය උත්සවවලට සහභාගීවීම්වලින් ජයග්‍රහණ හිමිකර දෙයි.

රැකියාව :- සහජ හැකියාවක් මතු කෙරෙන කාලසීමාවක් වන අතර කීර්තිය ගෞරවය ගෙන දෙයි. මෙරට පමණක් නොව විදෙස් ගමන් ද සාර්ථක වන කාලයකි. විදෙස් රැකියා ඉල්ලුම් කර තිබූ අයට සතුටුදායක ආරංචි ලැබිය හැකිය. ලිපි ලේඛන සම්බන්ධ සහ මුද්‍රණාල ආදියේ දියුණුවක් ලබයි. කුමන කටයුත්තක නියැළුණද අතමිට සරු වේ.

අධ්‍යාපනය :- පරිගණක අංශවලින් ඉගෙනීම ලබන දුවා දරුවනට දැනුම වර්ධනය වේ. නව දැනුම් සම්භාරයක් තුළින් බාධක ජය ගැනීමට හැකියාව ලැබෙයි. ගණිතය, විද්‍යාව හදාරන දරුවන්ට ද සුබ පල ප්‍රදානය කෙරෙයි.

සෞඛ්‍යය :- ස්නායු දුර්වලතා, හිරි වාත ආදිය මතු කරයි. ඒ නිසා සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිත් වීම වැදගත් වේ.

අපල අවම කර ගැනීමට කුඩා දරුවනට රැකවරණය, ආදරය ලබා දීම යහපත් ක්‍රියාවකි.

සුබ අංක – 3, 10, සුබ වර්ණය – කොළ, සුබ දවස් – සිකුරාදා, සඳුදා

කටක – නව නි‍ෙවසක උරුමය

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 10 වැන්නේත් යෝග කාරක කුජ 3 වැන්නේත් ගෝචර වෙමින් ආරම්භ වන ඉදිරි මාසය තුළ ස්ථිරසාර වූ දියුණුවක් ලබන්නට පැහැදිලි අරමුණක් ඇතිව කටයුතු කරන්නට ඔබ ගන්නා උත්සාහයන් සාර්ථක වේ. නි‍ෙවස තුළ අලංකාරය ඇති කරන්නට වෙනස්කම් කීපයක්ම සිදු කරයි. සමහර විට නව නි‍ෙවසකට හිමිකම් කියන්නට ද හැකි වේ.

රැකියාව :- රැකියා සඳහා බොහෝ ඇවිදිලි වැඩ යෙදේ. එහෙත් ඒවායින් ලාභ ප්‍රයෝජන හිමිකර දෙයි. සමහර විට එතෙර රැකියා ඉල්ලුම් කර තිබූ අයට ද සුබ ප්‍රතිඵල ලැබෙන්නට හැකියාව පවතී. කෘෂිකාර්මික අංශවල නියැළෙන වෘත්තිකයිනට ද සුබපල පමුණුවයි.

අධ්‍යාපනය :- ගණිත, විද්‍යා අංශවල දරුදැරියන්ගේ මතක ශක්තිය වර්ධනය කරයි. ඉදිරියේ පවතින විභාගවලට මුහුණ දීමට අවශ්‍ය කරන පොතපත දැනුම සහ පරිගණක තාක්ෂණය අනුසාරයෙන් දැනුම්වත් වෙයි. ජයග්‍රහණ ලබයි.

සෞඛ්‍යය :- පවතින සෙනසුරු ඒරාෂ්ටක අපල තත්ත්වයන් සමඟ නිතර උණ, සෙම රෝග මෙන්ම සුළු අපලඋපද්‍රව ඇත.

එම අපල අවම කරගැනීමට මාසයේ එළඹෙන මුල් සඳුදා දින සුදු මල් වට්ටියක් චෛත්‍ය රාජයාණන් අබියස පූජා කර පත්තිනි මෑණියන්ට පින් දී කරණීයමෙත්ත සූත්‍රය පාලියෙන් හා සිංහලෙන් කියන්න.

සුබ අංක – 9, 10, සුබ වර්ණය – සුදු, සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ – යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් වැඩ

ගෘහ ජීවිතය :- ලග්නාධිපති දෙවැන්නේ ගෝචරව සිටින්නේ යෝග කාරක කුජ සමඟය. කිව යුතු දේ කෙළින්ම කියා දමන සහ යුක්තිය සාධාරණය අනුවම කටයුතු කරන අතර මුදල් ඉපයුවත් ඉතිරි කරගැනීමට තරමක් අපහසු කාල සීමාවකි. විටෙක ජීවිතය සරල සැහැල්ලු ස්වභාවයකින් ගත කරයි. සහෝදර සබඳතා වර්ධනය වේ. සහජ හැකියාවන්ට ඉඩක් ලැබේ. අන්‍යයන්ට උදවු උපකාර කරයි. අනුකම්පාසහගතව සහ ආගමික භක්තියෙන් යුතු වේ. යහපත් කාලයකි.

රැකියාව :- විදෙස්ගත රැකියා කරන අයට වැඩි ගැටලුසහගත අවස්ථාවන් ඇතිවිය හැකිය. මෙරටදී නම් කුමන කාර්යයක නියැළුණද ප්‍රධානියෙකු ලෙස නොබියව ඒ කටයුත්ත සාර්ථක කර ගනිමින් ලාභ ප්‍රයෝජන ලබයි. සැහැල්ලු මනසකින් රාජකාරියේ යෙදෙයි.

අධ්‍යාපනය :- ප්‍රාථමික අධ්‍යාපනයේ පටන් උසස් අධ්‍යාපනය දක්වා ඉගෙනුම හදාරන සියලු දරුවනට සිය අභියෝගවලට මුහුණ දීමේ ශක්තිය ගෙන දෙයි. දැනුම අවදි කරයි. මතක ශක්තිය ගොඩනැඟෙයි.

සෞඛ්‍යය :- සෙම්, පිත් රෝග, අජීර්ණ, වාත රෝග ආදියට ඉඩ ඇත. එහෙත් කල්ගත නොවී සුව වෙයි. කලබල ගතිය අඩු කරගැනීමෙන් සුළු අපල අනතුරු මඟහරවා ගත හැකිය.

අපල අවම කර ගැනීමට අන්‍යයන්ට උපකාර කිරීමත් විශේෂයෙන් අක්ෂි රෝගීන්ට උපකාර කිරීමත් තුළින් හැකි වේ.

සුබ අංක – 4, 10, සුබ වර්ණය – රතු, සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා

කන්‍යා – ඉඩම් යානවාහන ලැබීම්

ගෘහ ජීවිතය :- කුමන කරුණක් නිසාවත් සිය පෞරුෂයට හානියක් ඇතිකර නොගෙන ජීවත් වන්නට බලයි. තරමක ආඩම්බර ස්වභාවයක් පෙන්වයි. යෝග කාරක සිකුරු 11 වැන්නේ සිටීමෙන් අගහිඟතා නොමැති වේ. පිරිසිදුකම අගයයි. විදෙස් ගමන් බලාපොරොත්තුව සිටින අයට සුළු කාලයක් ඒ වෙනුවෙන් ප්‍රමාදයන්ට ලක් වීමට සිදුවේ. කෙසේ වුවද ගෘහ ජීවිතය තුළ ගැටලු මඟහරවාගෙන සිය රාජකාරි කරගෙන ගියත් අවිවේකය බලපවත්වයි. ඉඩකඩම්, යානවාහන, ගේදොර ලැබීම් පවතී. භද්‍රා යෝගය ලග්න භාවයේ යෙදීම නිසා වාසනාව උරුම කර දෙයි.

රැකියාව :- කරන කියන රැකියාවලින් ලාභ ප්‍රයෝජන අත්කර ගැනීමට හැකි අතර ලිපි ලේඛන ආශ්‍රිතව කටයුතු කරන අයට සහ කෘෂිකාර්මික අංශවල නියැළෙන අයට දැඩි කැපකිරීම් කරන්නට සිදුවේ. විදෙස්ගත රැකියා කරන තරුණ දරුවන්ට සිතැඟි ඉටුකර ගැනීමේ භාග්‍ය පවතී.

අධ්‍යාපනය :- උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට වෙනදාට වැඩි පහසුකම් සහිතව ඉගෙනුම් කටයුතු කරගෙන යාමට සුළු ඉඩකඩක් ඇත. අසීරු විෂයනට දක්ෂ ගුරුවරයෙක් හෝ ලැබීමට ඉඩ ඇත.

සෞඛ්‍යය :- උණ, සෙම් රෝග මෙන්ම ලේ දෝෂ ආදියට ඉඩ ඇත.

ඉගෙන ගන්නා වයසේ අගහිඟතා ඇති දරුවනට පාසල් උපකරණ ලබා දීමෙන් ඔබගේ අපල අවම කරගැනීමට හැකි වනු ඇත.

සුබ අංක – 5, 10, සුබ වර්ණය – කොළ, සුබ දවස් – සිකුරාදා, බදාදා

තුලා – බුද්ධිමත් තීන්දු තීරණ

ගෘහ ජීවිතය :- බුද්ධිමත් තීන්දු තීරණ ගනිමින් සිය කුටුම්භය තුළ දියුණුව අපේක්ෂාවෙන් කටයුතු කරයි. එහෙත් නිකරුණේ ධනය වියදම් වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් වීම වැදගත් වේ. යුගදිවිය තුළ යම් ගැටලු මතු කරන බැවින් එක් අයෙකුගේ පසුබෑම හෝ නිහඬතාව මත සමථයකට පත්විය හැකිය. විදෙස් ගමන් බලාපොරොත්තුව සිටින අයට සතුටුදායක ලිපි ලේඛන ලැබෙන්නට ඉඩකඩ පවතී. සමාජ සේවා කටයුතු වෙනුවෙන් දුර ගමන් යෙදෙන්නට පුළුවන.

රැකියාව :- රැකියා, ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන අත්වෙයි. සමහර විට ලාභ ලබන විට සාධාරණ නොවන්නට ඉඩ ඇති බැවින් මානුෂිකත්වය පෙරදැරිව කටයුතු කරන්න. සුඛෝපභෝගී භාණ්ඩ, රෙදිපිළි, මැණික් ස්වර්ණාභරණ ව්‍යාපාරයන්ට සුබපල ගෙන දේ. ‍

අධ්‍යාපනය :- තම අරමුණු අපේක්ෂා මුදුන්පත් කරගැනීමට නොමඳ උත්සාහයකින් කටයුතු කරන ඉදිරි මාසය තුළ ඔබගේ උත්සාහයන් සාර්ථක වනු ඇත. පොතපත දැනුම, පරිගණක අංශවලින් ලබා ගන්නා දැනුම එයට උපකාරී වෙයි. දිගටම උනන්දුව පවත්වා ගැනීමට උනන්දු වන්න.

සෞඛ්‍යය :- ආහාර කලට වේලාවට නොගැනීම හේතුවෙන් අසනීප විය හැක. ඒ පිළිබඳ සිතිය යුතු කාලයකි.

අපල අවම කරගැනීමට පිළිකා රෝගීනට උදවු උපකාර කරන්න.

සුබ අංක – 6, 10, සුබ වර්ණය – රෝස, සුබ දවස් – බදාදා, සිකුරාදා

වෘශ්චික – වැඩිහිටියකුගේ දේපළ උරුමයන්

ගෘහ ජීවිතය :- ලග්නාධිපති 10 වැන්නාධිපති සමඟ අයස්ථානගතව සිටීම ඔබගේ බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීමට හැකි කාලයක් බව පෙන්වයි. ධෛර්යවන්තව කටයුතු කරයි. වැඩිහිටියෙකුගේ දේපළ උරුමයක් හිමිවීමට ද ඉඩ ඇත. ඇසුරු කරන අයගේ ප්‍රසාදය හිමිකර ගනියි. පුණ්‍ය කටයුතු වෙනුවෙන් දායකත්වයක් සලසයි. ඒ වෙනුවෙන් දුර බැහැර ගමන් ද යෙදෙයි.

රැකියාව :- රාජ්‍ය අංශවල මෙන්ම පෞද්ගලික අංශවල කටයුතු කරන අයට ද දැඩි කැපකිරීම් කරන්නට සිදුවන කාලයකි. අකුරට නීතියට සියල්ල කලට වේලාවට ඉටු නොකළහොත් අවාසි සහගත වේ. කෘෂිකාර්මික අංශවලට ඉල්ලුමක් පවතී. ලිපි ලේඛන ආශ්‍රිතව ආයතන පවත්වාගෙන යන අයට වැඩ අධික වුවත් අතමිට සරුවේ.

අධ්‍යාපනය :- ප්‍රාථමික අංශවල මෙන්ම උසස් අධ්‍යාපනය හදාරන සෑම දරුවෙකුටම නැණ නුවණ වර්ධනය කරන ග්‍රහ බල දක්නට ලැබෙයි. විශේෂයෙන්ම කලා අංශවල ඉගෙනුම ලබන දරු දැරියන්ගේ ජයග්‍රහණ හැකියාවන් කැපී පෙනෙයි.

සෞඛ්‍යය :- පාදවල වේදනා, සෙම් පිත් දෝෂ මෙන්ම උණ රෝග මතු කරයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

අපල අවම කරගැනීමට කොළොන් කොළ මත පහන් තබා මාසයේ පළමු අඟහරුවාදා දින උදේ හෝ සවස බෝධි පූජා තබන්න. කතරගම දෙවිඳුන්ට පින් දෙන්න.

සුබ අංක – 7, 10, සුබ වර්ණය – රතු, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ධනු – සියලු බලාපොරොත්තු සපල වේ

ගෘහ ජීවිතය :- භද්‍රා යෝගය 10 වැන්නේ උදා කරමින් සහ 9, 10 අධිපතීන් රාශි මාරු කරගනිමින් ගෝචර ගමනක යෙදෙන අතර ලග්නාධිපති 5 වැන්නේ ගමන් කරයි. මේ මාසය තුළ ඔබ අපේක්ෂා කරන සියලු යහපත් බලාපොරොත්තු සාර්ථක වන ලකුණු දක්නට ලැබෙයි. පූර්ව කර්ම බලයන් ඉස්මතු වී පුණ්‍ය කටයුතු වෙනුවෙන් ද කාලයක් වැය කරයි. නිවාස, දේපළ, යානවාහන ලාභ පවතී. විවේකය අඩුය. ගෘහ ජීවිතය තුළ අඩුපාඩු ඇති නොවේ. දරුවන්ගේ දක්ෂතා පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳ කැපවීම් කරයි.

රැකියාව :- රැකියා හා ව්‍යාපාර කටයුතු සඳහා දුර පළාත්වල ඇවිදීමට සිදුවුවත් ඒවායින් ලාභ ප්‍රයෝජන අත්වේ. ක්‍රීඩා ක්ෂේත්‍රයේ නියැළෙන අයට සුබදායකය. විදෙස් රැකියාවන් ඉල්ලුම් කර තිබූ අයට ඒ සඳහා ඇරයුම් ලැබිය හැකි කාලයකි.

අධ්‍යාපනය :- අභියෝගාත්මක විභාග ඉලක්ක කරගනිමින් ඉගෙනීමෙහි යෙදෙන දුවා දරුවනට සුබපල ලබා දෙන ග්‍රහ බල දක්නට ඇති බැවින් ඔක්තෝබර් මාසය යහපත්ය. දක්ෂතා මතු කරයි.

සෞඛ්‍යය :- අම්ල පිත්ත රෝග, ආමාශගත අසනීප ආදියට ඉඩ ඇති බැවින් ආහාර රටාව හා ගන්නා ආහාර පිළිබඳව විමසිලිමත් වන්න.

අපල අවම කර ගැනීමට පුණ්‍ය කටයුතුවලට සහභාගී වන්න. විශේෂයෙන් බ්‍රහස්පතින්දා දින කහ පාට මල් පූජා කරන්න. අභිසම්භිධාන පිරිත කියන්න.

සුබ අංක – 8, 10, සුබ වර්ණය – කහ, සුබ දවස් – ඉරිදා, බදාදා

මකර – ව්‍යාපාර දියුණුව

ගෘහ ජීවිතය :- ලග්නාධිපති දෙවැන්නේ යෝග කාරක සිකුරු 7 වැන්නේ ද ගෝචර වෙමින් ආරම්භ වන මාසය ඔබට අයහපත් නොවේ. සැමදාම සිතෙහි පවතින ධෛර්ය සම්පන්න බව ඉදිරියටත් වර්ධනය වෙමින් ගෘහ ජීවිතයේ යුතුකම් මැනැවින් ඉටු කරයි. ගෙදරදොර අලංකරණය පිණිස වැඩි කාලයක් ගත කරයි. සමාජ සේවා සුබ සාධන කටයුතු ආදියට උදවු උපකාර කරයි. නව නිවාස ලැබීම් සහ පදිංචි ස්ථානයේ දියුණුව පිණිස යම් වැඩපිළිවෙළක් සැකසෙයි.

රැකියා :- කරන කියන රැකියා සම්බන්ධයෙන් බුද්ධිමත් ලෙස කටයුතු කරයි. ව්‍යාපාර අංශ දියුණු වෙයි. මේ කාලය තුළ ස්වර්ණාභරණ, මැණික්, රෙදිපිළි සහ සුඛෝපභෝගී භාණ්ඩ අලෙවියෙන් වැඩි ලාභ ප්‍රයෝජන අත්පත් වෙයි. අතමිට මුදලක් ඉතිරි කරගැනීමට නම් අපහසුතා පැන නඟී.

අධ්‍යාපනය :- ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව, ගණිතය වැනි විෂය ධාරාවන් පිළිබඳ පුළුල් දැනුමක් එම අංශවලින් ඉගෙන ගන්නා දරුවන් තුළ ඇති වේ. කලාත්මක අංශ කෙරෙහි ද වැඩි නැඹුරුතාවක් දක්වනු ඇත.

සෞඛ්‍යය :- ස්නායු දුබලතා, අක්ෂි රෝග ආදියට ඉඩ ඇති අතර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් නොවීමෙන් දුර්වල තත්ත්වයට පත්විය හැක.

අපල අවම කරගැනීමට තිරිසන් සතුනට ලේනුන්ට පක්ෂීන්ට ජලය දීම තුළින් හැකි වනු ඇත.

සුබ අංක – 9, 10, සුබ වර්ණය – නිල්, සුබ දවස් – සිකුරාදා, බදාදා

කුම්භ – පුණ්‍ය කටයුතුවලට නැඹුරු වේ

ගෘහ ජීවිතය :- ලග්නාධිපති ලග්නයේත් යෝග කාරක සිකුරු 6 වැන්නේ සිට කර්ම ස්ථානය දෙසට දෘෂ්ටි හෙළමින්ද ආරම්භ වන මාසය බොහෝ වැඩ අධික පුණ්‍ය කටයුතු සඳහා දායකත්වයක් දක්වන මාසයක් බව කිව හැකිය. ගෙදර දොර වැඩ කටයුතු නොපිරිහෙළා ඉටු කරයි. කායික මානසික නිදහස අඩු කරයි. දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් මහත් කැපකිරීමක් දක්වයි. එහෙත් අතපසුව තිබූ බොහොමයක් වැඩ සැලසුම් සහගතව නිමා කරගැනීමට හැකි වීම සතුටට කරුණක් වෙයි.

රැකියාව :- තමා සතු වගකීම් දේවකාරිය හා සමානව වුවමනාවෙන් කැපවීමෙන් ඉටුකිරීම එකම අරමුණයි. පොදු ජනතාවගේ සුවසෙත සලසන කාර්යන් කෙරෙහි කෘෂිකාර්මික කටයුතුවල නියැළෙන කම්කරු ජනතාව කෙරෙහි ඔබගේ සේවය යොමු වේ. අතමිට මුදලක් ඉතිරි කරගැනීමට අපහසු වේ.

අධ්‍යාපනය :- පරිගණක අංශ, තාක්ෂණ විෂයන් හදාරන දරුවන්ට සුබපල උදාකර දෙන ග්‍රහ බල දක්නට ලැබෙන අතර අන්‍ය විෂය ධාරාවන් හදාරන අයට තරමක බාධා ඇතිවිය හැකියි. උනන්දුවෙන් කටයුතු කළ යුත්තේ ඒරාෂ්ටක අපල තත්ත්වයන් ද කුම්භ ලග්න හිමි අයට පවතින බැවිනි.

සෞඛ්‍යය :- අපල අසනීප සුළු අනතුරු ඇතිවිය හැකිය.

අපල අවම වීම සඳහා ආගමික පුද පූජා සිදුකළ යුතුය. සෙනසුරාදා දිනයේ පෙ.ව. 6 – 7 අතර නිල් මල් සහිත බෝධි පූජාවක් එළඟිතෙල් පහන් සහිතව සිදුකර විෂ්ණු දෙවියන්ට පින් පෙත් පමුණුවන්න.

සුබ අංක – 9, 10, සුබ වර්ණය – නිල්, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මීන – අසරණ අයට උපකාර

ගෘහ ජීවිතය :- දෙවැන්නේත් යෝග කාරක කුජ 7 වැන්නේත් ගෝචරව ඇත. ආර්ථික තත්ත්වය පහත නොවැටී ගෘහ ජීවිත ගැටලු නොමැතිව පවත්වාගෙන යාමට හැකියාව පෙන්නුම් කරයි. විටෙක තැන්පත් ඉරියව් ඇතිව කටයුතු කළත් ආවේගශීලීව හැසිරෙන අවස්ථා මතු කරයි. පුණ්‍ය කටයුතු සඳහා ද දායකත්වයක් පෙන්වයි. වැඩිහිටි අසරණ අයට උපකාර කිරීමට ඉදිරිපත් වන්නේ දෙවරක් නොසිතාය. ගමන් බිමන් ද වැඩි වේ. කොපමණ අවහිර බාධක අවිවේකය පැවතුණද සැහැල්ලුවෙන් කල් ගෙවන්නට උත්සාහ දරයි. යහපත් කාලයකි. භද්‍රා යෝගය 7 වැන්නේ ප්‍රසිද්ධිය ගෞරවය සමාජීය තත්ත්වය උසස් කරයි.

රැකියාව :- රැකියාව සඳහා මෙන්ම ව්‍යාපාර කටයුතු වෙනුවෙන් ද ඇවිදින්නට සිදුවේ. තැපැල්, විදුලි සංදේශ, රාජ්‍ය පරිපාලන අංශවල කාර්යන්වල නිරත අයට පවතින අපහසුතා මඟ හැරේ. කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් නියැළෙන අයට බාධා ඇති විය හැකි නිසා වෙනත් රැකියාවලට අවතීර්ණ වීමක් ද පෙන්නුම් කරයි.

අධ්‍යාපනය :- කලා අංශවල ඉගෙනුම හදාරන දරුවනට සුබපල උදා කරන අතර නීතිය හදාරන සිසු දරුවනට ද යහපත් කාල වකවානුවකි. අනෙකුත් විෂය ධාරාවලින් ඉගෙනුම ලබන දරුවනට පොදුවේ මධ්‍යස්ථ සුබපල ඇති කරයි.

සෞඛ්‍යය :- සෙම් රෝග, උණ, උගුරේ ආසාදන මතු කළ හැකි කාලයකි. සුළු අනතුරු ද දක්නට ලැබෙයි.

අපල අවම කරගැනීමට වෙල් මාළුන්ට ආහාර ලබා දෙන්න. බ්‍රහස්පතින්දා දිනවල බෝධි පූජාවලට සහභාගී වන්න.

සුබ අංක – 3, 10, සුබ වර්ණය – කහ, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී – ශ්‍රියා ගනේගොඩ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division