Home » සැමට සෙත සලසන මහානුභාවසම්පන්න බුදු ගුණ සත්‍ය ක්‍රියාව

සැමට සෙත සලසන මහානුභාවසම්පන්න බුදු ගුණ සත්‍ය ක්‍රියාව

by Mahesh Lakehouse
September 30, 2023 12:35 am 0 comment

මේ උතුම් සත්‍ය ක්‍රියාව උදේ සවස සිදු කිරීමෙන් ඇදහිය නොහැකි ප්‍රතිඵල

සිළුමිණ ඉසිවර සඳහා මා විසින් මෙවර ඉදිරිපත් කරනු ලබන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුළ තිබූ ආශ්චර්යවත් ආනුභාවසම්පන්න බුදු ගුණය සත්‍යයක් ක්‍රියාකර ඒ තුළින් අපමණ ආශිර්වාදයක් ලබා ගැනීම සඳහා වූ මඟ පෙන්වීමයි. බුදු බව පැතූ බෝධි සත්ත්ව ගුණෝපේත මාහෝ සුමේධ ස්වාමීන් වහන්සේ විසින් මුළු මහත් ජීවිතය පුරාවට පැවැත්වූ බුද්ධෝපස්ථානයෙන් අනතුරුව මෙම උතුම් සත් ක්‍රියාව සිදුකළ අතර පූජ්‍ය පාණදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ එකල රට පුරා සිදුකළ අටවිසි බුද්ධ පූජාවෙන් අනතුරුව ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඉදිරියේ මෙම උතුම් සත් ක්‍රියාව සිදුකරන ලදී. පන්සිල් සමාදන් වී තිසරණයෙහි පිහිටා මෙම උතුම් සත් ක්‍රියාව උදේ සවස කියවා ආශිර්වාද ලබා ගැනීම ඉතා උතුම් ශාන්තියකි. පීඩාවට පත් ඕනෑම අයෙක් වෙනුවෙන් මෙම ආශිර්වාදය සිදුකර සෙත් පතන්න. බෝධි පූජාවක් පවත්වා ඉන් අනතුරුව මෙය කියවා සෙත් පතන්න. කිරි අම්මාවරුන්ගේ දානමය කටයුත්ත නිමවා පවුලේ සැමට සෙත් ප්‍රර්ථනා කරන්න.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා
සම්බුද්ධස්ස (තුන් වරක් කියවන්න)

බුදු ගුණ ආශිර්වාදය

සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය බැගින්, අටා සංඛ්‍ය කල්ප ලක්ෂය බැගින්, සොළසා සංඛ්‍ය ලක්ෂය බැගින්, දස පාරමිතා දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා, පංච මහා පරිත්‍යාග, ත්‍රිවිධ චර්යාවන් පුරා සම්බෝධි ඥානය ලබා ගත්තා වූද, ද්වාසංඛෙය්‍ය කල්ප ලක්ෂය බැගින් පාරමිතා පුරා පසේ බුදු බව ලබාගත්තා වූද, ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂය බැගින් පාරමිතා පුරා ශ්‍රාවක බෝධිය ලබාගත්තා වූද, කල්ප ලක්ෂය බැගින් පාරමිතා පුරා අසූ මහා ශ්‍රාවක රහත් බව ලබාගත්තා වූද, කල්ප ගණන් පාරමිතා පුදා ප්‍රකෘති ශ්‍රාවක රහත් බව ලබාගත්තා වූද , අනන්ත සසර පටන් මේ දක්වා ලොව පහළ වුණා වූ සිය, දහස්, කෝටි, ප්‍රකෝටි, අසංඛෙය්‍ය, අප්‍රමේය ගණන් සියලු බුදු, පසේ බුදු, අග්‍රශ්‍රාවක, අසූ මහා ශ්‍රාවක, පකෘති ශ්‍රාවක, මහරහතන් වහන්සේලාගේ ආනුභාවයෙන් සියලු බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාගේ අනන්ත ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දස්සනාදි අනන්ත ගුණානු භාවයෙන්, සත්‍යයානු භාවයෙන් ද

අප ගෞතම සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ සුවාසූ දහසක් ධර්මස්ඛන්ධය ස්පර්ශ වුණා වූ සතර දළදා වහන්සේලාගේ සරණින්, කේෂ ධාතූන්, උර්ණ රෝම ධාතූන්, අකු ධාතූන්, ශාරීරක ධාතූන්, කටී ධාතූන්, ධර්මකාය වහන්සේලාගේ සරණින්, මහා සෑයේ වැඩ සිටින්නා වූ සියලු සර්වඥ ධාතූන් වහන්සේලාගේ සරණින්, තුන් ලොව පුරා වැඩ සිටින්නා වූ සියලු සර්වඥ ධාතූන් වහන්සේලාගේ සරණින් ශ්‍රී පතුල් ධාතු ධර්මකාය වහන්සේලාගේ සරණින් සතර අත සතර දිග්භාගයේ පවතින්නා වූ සතර ශ්‍රී පතුල් ධාතු ධර්මකාය වහන්සේලාගේ සරණින් පරිහරණය කළා වූ ආසන පාත්‍ර චීවර මණ්ඩප ආදී ධාතු ධර්මකාය වහන්සේලාගේ සරණින් සියලු රහත් ධාතූන් වහන්සේලාගේ සරණින් සත්‍යානු භාවයෙන්ද

අප මහා බෝසතාණන් වහන්සේට සම්මා සම්බුදු බව පැතීමේදී, හමුවුණා වූ අප්‍රමාණ බුදුවරයන් වහන්සේලාගේ අභීත ආනුභාවයෙන්, සරවඥතා ඥානයේ ආනුභාවයේ සූවිසි කෙලලක්ෂ සමාපත්‍යානු භාවයෙන්, සතිස් කෙලලක්ෂ මහා වජ්‍රඥානයේ ආනු භාවයෙන්, නව මහා විදර්ශනා ඥානයේ ආනු භාවයෙන්, අනන්ත නය සමන්ත පට්ඨාන මහා ප්‍රකරණ මෙනෙහි කරන ඥානයේ ආනු භාවයෙන් දසබල ඥානයේ ආනු භාවයෙන්, චතුර් වෙවශාරද්‍ය ඥානයේ ආනු භාවයෙන්, ෂඪ අසාධාරණ ඥානයේ ආනු භාවයෙන් අනන්ත ධර්මයන් අවබෝධකර වදාළ අනන්ත බුද්ධ ඥාන මණ්ඩලයේ ආනු භාවයෙන්, සතර සතිපට්ඨානය, සතරසෘදිපාදය, සතර සම්‍යක් ප්‍රධානය, පංච ඉන්ද්‍රිය, පංච බලය, සප්ත බොජ්ඣංගය, මාර්ගාංගය යන මේ සත්තිස් බෝධි පාක්ෂික ධර්මයේ ආනු භාවයෙන්, සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයේ ආනු භාවයෙන්, දස පාරමිතානු භාවයෙන්, දස උප පාරමිතානු භාවයෙන්, දස පරමත්ත පාරමිතානු භාවයෙන්, පංච මහා පරිත්‍යාගයේ ආනු භාවයෙන්, ත්‍රිවිධ චර්යාවේ ආනු භාවයෙන්, ද්වතිංෂ මහා පුරිස ලක්ඛානු භාවයෙන් අසීත්‍යානුව්‍යඦන ලක්කානු භාවයෙන්, කේතුමාලාලංකාරණ භාවයෙන්, ව්‍යාමප්‍රභානු භාවයෙන්, ෂඪ් වර්ණ ගණ බුද්ධ රශ්මි මාලාවේ ආනු භාවයෙන්, ත්‍රිවිද්‍යානු භාවයෙන්, ෂඪභිඥානු භාවයෙන්, අෂ්ට සමාපත්‍යානු භාවයෙන්ද අප මහ බෝසතාණන් වහන්සේ ඡඛ්‍යන්ත ජාතකයේදී සෝනුත්තර නම් වැද්දාට සවණක් රැස් විහිදුවන දළ දෙක බුදු බව පතා දන් දුන්නා සත්‍යයි. සිවි ජාතකයේදී අන්ධ බමුණාට ලොව්තුරා බුදු බව පතා ඇස් දෙක සතුටින් දන් දුන්නා සත්‍යය.

සස ජාතකයේ දී යාචක බමුණාට අහර පිණිස ගිනි මැලයට පැන වදාළ බව සත්‍යයි. කදිරංගාර් ජාතකයේ දී පසේ බුදුන්ට දන් දෙනු පිණිස ගිනි මැලයට පැන වදාළ බව සත්‍යයි. දශ රංග ජාතකයේ දී තමන් වහන්සේ දුන් වහන් සඟල පවා තුන් අවුරුද්දක් මුළුල්ලේ රාජ්‍ය කරවු බව සත්‍යයි. මේ ආදී සත්‍යානු භාවයෙන්ද අප මහා බෝසතාණන් වහන්සේ සම ත්‍රංශන් පාරමී ධර්ම සම්පූර්ණ කොට වෙස්සන්තරනම් ආත්ම භවයේදි සප්ත සතප මහා දන් දුන්නා සත්‍යයි. අඹු දරුවන් දන් ⁣දුන්නා සත්‍යයි. මේ සත්‍යානු භාවයෙන් තුසිත භවනේ ඉපිද එහි ආයු වලඳා පස්මහා බැලුම් බැලීමේදී කල්ප ලක්ෂයක් පෙරූ පාරමිතා ඇති මහමායා දේවීන් දුටුවා සත්‍යයි. මහාමායා දේවිය කුස පිළිසිඳ ගන්නා මොහොතේ මව් කුස මම පිළිසිඳ ගනිමි යි. දැන දැනම පිළිසිඳ ගත්තා සත්‍යයි. මවු කුස පිළිසිඳ ගත් පසු දෙවන ජවන් වාරෙ පටන් දැන් මම මවු කුස පිළිසිඳ ගතිමි යි කියා දැනගත්තා සත්‍යයි.

මවු කුස වසන කල මම දැන් මවු කුස වසමී දැන දැනම විසුවා සත්‍යයි. වීදුරු කරඬුවක් ඇතුළේ තැබූ රන් පිළිමයක් මෙන් මහාමායා මවු බිසවට බෝසත් දරුවා බද්ධ පර්යන්කයෙන් වැඩ ඉන්නා බව දුටුවා සත්‍යයි. දස මසක් ඇවෑමෙන් මහාමායා මවු කුසින් බිහි වන මොහොතේ මවු බිසවටද තමන් වහන්සේටද කරදරයක් නැතිව ඩබරාවකින් නික්මෙන දියත්තක් මෙන් ද, ධර්මාසනයකින් බසිනා ධර්ම කථිකයාන කෙනෙකුන් මෙන් ද බොහෝ පහසුවෙන් ⁣බිහි වුණා සත්‍යයි. සුද්ධා වාසක රහත් බ්‍රහ්මයන් සතර දෙනෙක් රන් දැලින් පිළිගත් බව සත්‍යයි.

සතර වරම් දෙවිවරුන් අදුන් ⁣දිවි සමින් මැසූ ඇතිරිල්ලෙන් පිළිගත් බව සත්‍යයි. මනුස්සයෝ දුහුල් වස්ත්‍රයකින් පිළිගත් බව සත්‍යයි. නැවත් තමන් වහන්සේ බිහි වන මොහොතේ දෙතිස් මහා පෙර නිමිති පූජා ලැබූ බව සත්‍යයි. නැවත් බිමට බැස වැඩ සිටි බව සත්‍යයි. තමන් වහන්සේ නැවත උතුරු දිගට සත් පිය වරක් වැඩමවා

අග්ගො හමස්මි ලෝකස්ස
ජෙට්ටො හමස්මි ලොකස්ස
සෙට්ටො හමස්මි ලොකස්ස
අයමන්තිමා ජාති නත්ති දාන් පුනබ්බවෝති.

සිංහ නාද කර වදාළ බව සත්‍යයි.

මහ බෝ මැඬ වැඩ හිඳ පස් මරුන් දිහා ලොවු තුරා බුදු බවට පැමිණ වදාළ බව සත්‍යයි. පන්සාලිස් වර්ෂයක් මුළුල්ලේ ශ්‍රී සද්ධර්ම රත්නය ශ්‍රී මුඛයෙන් වදාළ බව සත්‍යයි. ඒ සත්‍යානු භාව බලයෙන් ශක්තියෙන්ද

සුමුන මාලාකාර සමාගමයේදී සුවාසු දහසක් දෙනාද, ගරබදින්න සමාගමේදී සුවාසූ දහසක් දෙනාද, සූලසා නගර සෝභනී සමාගමේදී සුවාසූ දහසක් දෙනාද, මට්ඨකුණ්ඩලී දේව පුත්ත සමාගමේදී සුවාසූ දහසක් දෙනාද සාකේත බ්‍රාහ්මණ සමාගමේදි සුවාසූ දහසක් දෙනාද යනාදී අනන්ත සත්ත්වයන් අමා මහ නිවන් දක්වා වදාළ බව සත්‍යයි. මේ සත්‍යානුභාව බලයෙන්ද සියලු රෝග පීඩාවන් සුව වේවා… සියලු අපල විපත් සහ කරදර දුරු වේවා… සියලු භූමි දෝෂ දුරු වේවා… පවුලේ සියලු දෙනාට සියලු යහපත උදා වේවා… සියලු යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ට වේවා…

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී 
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති 
සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි 
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division