Home » විදෙස් අධ්‍යාපනය – රැකියාව හරියටම හරියන්න මේ වත්පිළිවෙත් නිවැරැදිව ඉටු කරන්න

විදෙස් අධ්‍යාපනය – රැකියාව හරියටම හරියන්න මේ වත්පිළිවෙත් නිවැරැදිව ඉටු කරන්න

by Mahesh Lakehouse
September 30, 2023 12:31 am 0 comment

– දින 21කදී ඔබේ විදෙස් ගමන ඉටුවන ගුප්ත ක්‍රමයක්
– විදෙස් අධ්‍යාපනය රැකියා බලාපොරොත්තුවෙන් සිටින අය මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න
– 108 වර මැතිරිය යුතු මන්ත්‍රය 

අද බොහෝ මවුපියන්ගේ අපේක්ෂාව වී ඇත්තේ තම දරුවන්ව විදේශයකට යවා හොඳ අධ්‍යාපනයක් ලබා දීමටය. තවත් බොහෝ අයගේ අපේක්ෂාව වී ඇත්තේ හොඳ රටකට ගොස් හොඳ රැකියාවක නිරතව ඉහළ වැටුපක් ලබා ගැනීමටය. සැලකිය යුතු පිරිසකගේ අපේක්ෂාව එය වුණත් එය සාර්ථක කරගැනීමට හැකියාව ඇත්තේ අතළොස්සකටය. විදෙස් රැකියාවලට ඇතැමුන්ගේ තිබෙන මහත් ආශාව නිසාම විවිධ උපාය මාර්ගවලින් විදෙස්ගත වීමට ගොස් මුදල් නැති නාස්ති කරගෙන තමා සිටි තත්ත්වයෙන්ද පහළ වැටී ඇඳිවත පවා අහිමි වූ අවස්ථාවන් පිළිබඳ පසුගිය කාලයේ නිතර අසන්නට ලැබිණි. විදෙස් අධ්‍යාපනය ලබන්නට උත්සාහ දරා එම අපේක්ෂාවන් බිඳ වැටී පීඩා විඳින අය බොහෝය. ඒ සියලු දෙනා වෙනුවෙන් මේ ලිපිය සම්පාදනය කරමි. විදෙස් අධ්‍යාපනය සහ රැකියා සාර්ථක කරගැනීමට හැකි වන ගුප්ත ක්‍රමයක් ඔබ හමුවේ තැබීමට සිතුවෙමි. ඒ මේ පිළිබඳ මා දීර්ඝ කාලීනව කළ අත්හදා බැලීමෙන් පසුවය. මෙම ගුප්තමය ක්‍රමය තුළින් ඔබට ඒකාන්ත ජය හිමි වන බවනම් විශ්වාසය.

යමෙක් තම උපන් භූමියෙන් පිටව විදෙස් රටක අධ්‍යාපනයට හෝ රැකියාවකට යාමේදී නීතිමය පසුබිමක් ඇත. නීතිමය කටයුතු නිත්‍යානුකූලව සම්පූර්ණ කළත් අවසාන මොහොතේ වීසා ප්‍රතික්ෂේප වන අවස්ථා බහුලය. ඊට ප්‍රධානම හේතුව වන්නේ අනිවාර්යයෙන්ම විදේශගත වීමකදී ක්‍රීඩාවකදී මෙන් වාසනා ගුණයද අත්‍යවශ්‍ය වන බැවිනි. විදෙස්ගත වීමට අපේක්ෂා කරන හැමටම විදෙස්ගත වීමේ වාසනාව නැත. මොන යම් හේතුවකින් හෝ විදෙස්ගත වුවත් විදේශයේදී තම අපේක්ෂා මුදුන් පත්කර ගැනීමට අපහසුව අපේක්ෂාභංගත්වය පත් වන අවස්ථා ඇත. අපි මුලින්ම සාකච්ඡා කළ යුත්තේ තමන්ට විදෙස්ගත වීමට වාසනාව ඇද්දයි සොයා බැලීමය. එසේ වාසනාව නොමැතිනම් වාසනාව තමා වෙත ළඟා කරගන්නේ කොහොමද යන්න ද විමසා බැලිය යුතුම කරුණකි.

සමහරුන්ට විදෙස්ගත වීමේ වාසනාව ස්වයංක්‍රියව සිදු වේ. තවත් සමහරුන්ට එම අපේක්ෂාව ඇස්පනා පිටම භංග වී අපේක්ෂා සුනුවිසුනු වී අතමිට හිස්ව යන අවස්ථාවන් ඇත. ඔබට හෝ ඔබගේ දුවට පුතාට රැකියාවකට අධ්‍යාපනයට විදෙස්ගත වනවානම් හදිසියකින් තොරව නිත්‍යානුකූල ක්‍රමවේදයම තෝරාගත යුතුමය.

මුලින්ම විදෙස්ගත වීමට බාධක ඇති වාසනාව නැති ඔබට සියලු බාධක දුරු කර වාසනාව උදාකරගත යුතුය. ඔබ කොතෙක් වෙර දැරුවද ඔබේ රට ගමන දවසින් දවස කල් යනවානම් පහත ක්‍රමවේද අද සිටම අනුගමනය කරන්න. පව යටපත් කර පින ඉස්මතු කරගන්න. ඔබගේ තුන්සිත පහදාගෙන දිනපතා දින 21ක් තුළ පහත සඳහන් ක්‍රියාදාමයෙහි අඛණ්ඩව යෙදෙන්න.

විදෙස්ගත වීමේ අරමුණ සිතේ තබා මුලින්ම ඔබගේ සංසාරගත ඥාති සමූහයාට දානයක් දී පින් දෙන්න. ඥාතීන්ට දානයක් දීමේදී මහසඟරුවනට දීම ඉතාම වැදගත්ය. එම දානය දීමේ අත්භව පමණක් නොව සංසාරගත ඥාති සමූහයාටද පැන් වඩා පින් අනුමෝදන් කරන්න. දෙවන කාරණාව වන්නේ තම මැද සිතෙහි විදෙස්ගත වීමේ අරමුණ තැන්පත් කිරීමය. ඒ සඳහා ඔබ විසින් පහත සඳහන් ක්‍රමය දින 7ක් එක දිගට අලුයම් කාලයේ සිදු කරන්න. මෙය ගුප්තමය අත්දුටු සෘෂිවරුන්ගේ හාස්කම් පිරි ක්‍රමවේදයකි.

මුලින්ම සුදු රෙදිකඩක් ගෙන මේසයක් මත එළා එහි මැද බෙල්ලකු තබා වටේට සුදු මල් අසුරා තම දකුණතේ මාපටඇඟිල්ලෙන් තද කර නව ගුණවැල අතට ගෙන 108 වර පහත මන්ත්‍රය දින 07ක් සිදු කරන්න.

මන්ත්‍රය –

ඕං ත්‍රීබුධ ලෝකෝ ස්වාහඃ
ඕං ශ්‍රී හස්ෂ ලෝකේ ස්වාහඃ
ඕං කුරු කුරු ආකුරියේ ස්වාහඃ

දින 7න් පසුව පහත සඳහන් එක් එක් ක්‍රමවේද අඛණ්ඩව සිදු කරන්න.

මුලින්ම රන් තැඹිලි තෙල් බඳුනක් සපයාගෙන උඩුවියන් බැඳ ආසනයක් පනවා සමන්පිච්ච මල් අසුරා ඒ මැද රන් තැඹිලි තෙල් බඳුන තබා දුම් දී පස්පවුවලින් වැළකී පංචශීලයෙහි පිහිටා පහත ගාථා රත්නයෙන් 927 වර පිරිත්කර ගන්න. අනතුරුව එම තෙල් නළලේ තිලක දීමෙන් සහ බුදු පහනට බිඳුවක් දමා තම ප්‍රාර්ථනාව සිහි තබාගෙන විදෙස්ගත වීමේ අරමුණ ඇතිව සියලු කටයුතු ආරම්භ කරන්න. ඔබට ඒකාන්තයෙන්ම කිසිම බාධාවකින් තොරව සියල්ල කඩිනමින් ඉටුවනවාමය.

ගාථාව –

සබ්බ පාපස්ස අකරණං ත්වං සස්මිං වශී කරං
සබ්බේ සත්ථා දුක්ඛා සුබා දුක්ඛං ඒතං බුද්ධ භාරතං

මෙය අනර්ඝ ගාථා රත්නයකි. මුළු විශ්වය පුරා පැතිර පවතින බුද්ධ සත්‍ය බලය හා විශ්වයේ අපිරිමිත ආකර්ෂණ ශක්තියෙන් අතිප්‍රබල චිත්ත උද්දීපනයක් සිදු වී යථාර්ථවාදී සත්‍ය ඉස්මතු වී ඔබ බොරුවට වංචාවට අසු නොවී විදෙස්ගත වීමට නියම මාර්ගය පෙන්නුම් කර කඩිනමින් ඔබේ බලාපොරොත්තු සපල වනු ඇත. ඔබට සියලු දෙනාගේ සහයෝගය ලැබෙනු ඇත.

ඉහත කාරණාවලට අමතර සියලු දෙවියන් බන්ධනය වී ඔබේ ආරක්ෂාව හා සිතැඟි සිතූ ලෙස ඉටුවීම සඳහා පහත ගාථාව නොකඩවා උදේ සවස කීමට පුරුදු වන්න. අඩුම තරමේ 21 වර හෝ ඊට වැඩි ප්‍රමාණයක් කීමෙන් ඉක්මන් ප්‍රතිඵල සඳහා වඩාත් සුදුසු වන බව අත්දැක ඇත්තෙමි.

නමෝතෙ දේව රාජානඃ යක්කානං නාගතේ නමෝ
කුම්හණේඩා ධතරඨොව සර්ව දේවානි සෝතමෝ

ඉහත පිළිවෙත් නිසි ලෙස පිරීමෙන් ජය අත්වනු ඇත. මුලින් මෙම ගාථාව 534 වර එක දිගට කීමට හැකිනම් ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනු ඇත.

ජ්‍යොතිර් විද්‍යා විශාරද කේ. එස්. එස්. යොදීන්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division