Home » අධ්‍යාපනයෙන් ඉහළට යන්න ඔබේ දරුවාට යෝග 280ක්

අධ්‍යාපනයෙන් ඉහළට යන්න ඔබේ දරුවාට යෝග 280ක්

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

ඕනෑම අයෙක් කුඩා කල සිට ලබනා අධ්‍යාපනය ඔහුගේ හෝ ඇයගේ ජීවිතයේ සුවිශේෂී කඩඉමකි. ළදරු වියේදීම අරඹන අධ්‍යාපනය ඇතැම්හු මියෙනතුරාම අත්නොහරිති.

උපදින විටම මිනිසා සමඟ බද්ධ වී ඇති අධ්‍යාපනයට ජ්‍යොතිෂයෙහිද සුවිශේෂ ස්ථානයක් හිමි වේ. කෙනෙකුගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම අධ්‍යාපනයට බලපාන්නේ කෙලෙස ද යන්න ‘ස්ථානගත ජ්‍යොතිෂය‘ අනුව විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ සිළුමිණ – ඉසිවරට හෙළි කරන්නේ මෙලෙසිනි.  

“ඕනෑම මනුෂ්‍යයකුගේ විශේෂයෙන්ම දරුවකුගේ අධ්‍යාපනය ගැන සඳහන් කරන විට කේන්දරයේ කොටු 12න් අධ්‍යාපනයට වෙන්වූ ප්‍රධානතම භාව ස්ථාන තුනක් පිහිටා තිබෙනවා. මම මේ කතා කරන්නේ ස්ථානගත ජ්‍යොතිෂයට අනුව. එහිදී අධ්‍යාපනයට ප්‍රධානතම ස්ථානය ඔහුගේ හෝ ඇගේ හිසයි. හිස අයත් වන්නේ පළමු භාවය නැතිනම් පළමු කොටුවටයි. පළමු භාවයෙන් කියැවෙන දේ තමයි කෙනෙකුගේ අධ්‍යාපනය ගැන කතා කරන විට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ. ඊළඟට අධ්‍යාපනය ගැන කියැවෙන්නෙ තුන්වැනි භාවයෙන්. ඉන් සඳහන් කෙරෙන්නේ ඒ පුද්ගලයා මේ ලෝකයට උපදින විට අධ්‍යාපනය සඳහා පෙර භවයෙන් නැතිනම් සසරෙන් ගෙන ආ කුසලතා ධර්මයන් ගැනයි. කෙටියෙන් කිවහොත් සසර භවයේ දැනුමට, ඥානයට අදාළව වපුරපු දේ මේ ලෝකයට රැගෙන ඒම පිළිබඳවයි. ඊළඟට නවවැනි ස්ථානයයි. එය පුණ්‍යස්ථානයයි. ඉන් කියැවෙන්නෙ මේ සසරේදී, මේ භවයේදී අධ්‍යාපනයට සම්බන්ධ දක්ෂතා මතුවන ආකාරයයි.

මෙන්න මේ 1, 3, 9 කියන භාව ස්ථානවලින් තමයි කෙනෙකුගේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රමුඛ කාරණා කියැවෙන්නේ. ඒ භාව ස්ථාන තුන ඔස්සේයි කේන්දරයක අධ්‍යාපනය සම්බන්ධ කරුණු නිර්මාණය වෙලා තියෙන්නෙ.

ඊට අමතරව එම ස්ථාන තුන සමඟ බද්ධව පස්වැන්න සහ එකොළොස් වැන්නටත් ගමන් කරනවා. මෙන්න මේ මා සඳහන් කළ භාව ස්ථාන ඔස්සේයි ස්ථානගත ජ්‍යොතිෂය මඟින් දරුවකුගේ අධ්‍යාපනය ගැන ජ්‍යොතිෂ විග්‍රහය සිදු කෙරෙන්නේ.“ දරුවකු මේ ලෝකයට ඉපදීමත් සමඟ එම දරුවාගේ කේන්දරයේ මෙන්න මේ භාව ස්ථාන තුන ගැන දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු ලවා සොයා බැලුවොත් පුළුවන් ඒ දරුවා මේ ලෝකය තුළදී ගමන් කරන්නේ කුමන දිශානතියටද යන්න දරුවා කුඩා කාලයේදීම දැනගැනීමට. මොකද මේ ලෝකයට ඕනෑම මනුෂ්‍ය ජීවියෙක් පැමිණෙන විට පැවරුණු රාජකාරියක් නැතිනම් ‘ඩියුටිය‘ක් පතාගෙනයි එන්නේ. ඒ රාජකාරිය කුඩා කාලයේදීම හඳුනාගත හැකි පහසුම ක්‍රමය ඒ පුද්ගලයා හෝ ඒ දරුවා මේ ලෝකයට උපන් වේලාව අනුව සැකැසෙන කේන්දර සටහනයි. ඒ මඟින් අපට පුළුවන් මේ මනුෂ්‍ය ජීවියා මේ ලෝකයට ආවේ කුමන හේතුවකටද යන්න 90%ක් පමණ සැක හැර දැනගැනීමට. අධ්‍යාපනය ගැන කේන්දරය පරීක්ෂා කර බලද්දී තුන්වැනි භාවය, නවවැනි භාවය හා බද්ධ කර බලනවා කේන්දරයට අදාළ තැනැත්තා පෙර භවයෙන් මේ භවයට අධ්‍යාපනයට අදාළ දක්ෂතා ගෙනැවිත් ඇතිද නැතිද වග. මෙය ජ්‍යොතිෂයේ පවත්නා අධ්‍යාපනය සම්බන්ධ කරුණු හෙළි කරගන්නා රහස්‍ය ක්‍රමයක්. තුන්වැනි භාවයට අදාළ බලවත් ග්‍රහ පිහිටීම් අනුව විශේෂයෙන් බලවත් වන, නීච වන හෝ උච්ච ස්වරූපයක පිහිටීම අනුව සඳහන් වෙනවා අංශක, කලා, විකලා යන කොටස. මේ අංශක, කලා සහ විකලාවල ලියැවෙනවා ඔහු හෝ ඇය මේ භවයේදී වැඩිපුරම ඉස්මතු කරන්නෙ කුමන දක්ෂතාවටද කියා. අන්න ඒ දක්ෂතා අනුව අධ්‍යාපන සාධක තීරණය කළ හැකි වෙනවා. උදාහරණයක් ලෙස කලාවට, ව්‍යාපාර ක්ෂේත්‍රයට, විද්‍යාව සහ තාක්ෂණය, නිර්මාණකරණයට දක්ෂ දරුවන් කවුරුන්ද කියා. සාමාන්‍යයෙන් හිස ප්‍රදේශයෙන් දකුණ පැත්ත කලාවට සහ නිර්මාණකරණයට අයත් වෙනවා. හිසේ වම් පැත්ත ගණිතය, විද්‍යාව, පරීක්ෂණය, ගවේෂණය, ගුප්ත දේවලට. මෙන්න මේ ආකාරයට විශ්ව පථය බෙදෙනවා ග්‍රහ චලනය අනුව.

මියුරු සම්පත් පවසන්නේ මෙකී පිහිටීම අනුව දුර්වල නැත්නම් ආබාධිත දරුවන්ද ඔහු ආබාධිත යැයි පසෙකට තල්ලු කළ නොදැමිය යුතු බවය.

“හැබැයි ඒ ආබාධිත දරුවාගේ කේන්දරය මෙලෙස පරීක්ෂා කරවාගෙන අධ්‍යාපන තත්ත්වය සොයා බැලුවොත් දැකගන්න පුළුවන් ඒ දරුවාට විශේෂ හැකියාවක් ඇති බව. උදාහරණයක් ලෙස කීවොත් කළු කුහරවාදය ලෝකයට හෙළිදරව් කළ ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥ ස්ටිව් හෝකින් ආබාධිත අයෙක්. රෝද පුටුවේ ගියේ. ඔහුට ශරීර ශක්තිය නැහැ. හැබැයි ඔහුගේ මනසේ වම් පැත්ත කොටසේ අසාමාන්‍ය ශක්තියක් තිබුණා. අාධ්‍යාත්මික පැත්තෙන් හෙළිදරව් වෙනවා ඔහුගේ මනසේ වම් පැත්තෙ දියුණුවක් පවතිනවා කියා. ඔහු මනස ගෙන යනවා යටි සිතකට. ඔහුට තිබූ විශ්ව ශක්තිය (aura) අනුව තමයි සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට තිබෙන ක්ෂිරපථයන් ගැනත් ගවේෂණය කළේ. එම ගවේෂණ මඟින් ඔහු ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් වුණා. ඇතැමුන් කියනවා මෙවැනි දේ අදෘශ්‍යමාන බලයක් නැතිනම් ගුප්ත හැකියාවන් කියලා. ඔහුට වෙන බලයක් තියෙනවා කියලා. හැබැයි සාපේක්ෂ වශයෙන් ගත් කල මිනිස් මොළයට කළ හැකි දේ අසමසම කියන දේ තමයි මින් ගම්‍ය වන්නේ. කේන්දරයේ 1, 3 සහ 9 වැනි භාවයන් තුළින් හෙළි කරන සසර චක්‍රයෙන් පෙන්නුම් කරනවා එකිනෙකාගේ දක්ෂතා සහ පිහිටීම් ගැන. ඒ දක්ෂතා තුළ විශේෂ දක්ෂතා පෙන්නුම් කරන දරුවෙක් සිටියොත් කේන්දරය පරික්ෂා කර ඒ බව අනාවරණය කරගත්තොත් ඔහුට පුළුවන් ඒ දේ ගැන ප්‍රගුණ කිරීමට.

දරුවාගේ උප්පත්ති කේන්දරය හොඳින් පරීක්ෂා කළොත් ඔහු යන මඟ නිවැරැදිව දැනගත හැකියි

ඇතැම් දෙනා තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වගේ රැකියාවලට යොමු කරන්න උත්සාහ කරනවා… නමුත් ඒ දරුවාගේ කේන්දරය පරීක්ෂා කරගත්තොත් දැනගත හැකියි ඔහුට තියෙන දක්ෂතාව කුමන ඉසව්වටද කියා… සමහර වෙලාවට ඒ දරුවාට ඇත්තෙ සෞන්දර්ය කලාවට දක්ෂතාවක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ දරුවා වෛද්‍ය, ඉංජිනේරු වැනි ක්ෂේත්‍රයකට උනන්දු කරලා වැඩක් වෙන්නෙ නෑ.

මෙන්න මේ කියන කාරණාව සඳහායි ජ්‍යොතිෂය ප්‍රධාන වශයෙන් ඉවහල් කර ගත හැක්කේ. දරුවෙක් මේ ලෝකයට සපැමිණියාට පසුව ඔහු මේ ලෝකයේදී කරන කාර්යය හඳුනා ගැනීමට. සමහර දරුවන්ට බහුවිධ දක්ෂතා තිබෙනවා. ක්‍රීඩාව, කලාව, අධ්‍යාපනය ආදි සෑම අංශයකින්ම කැපී පෙනෙනවා. ඒ දරුවන් විශිෂ්ටත්වයෙන් උපරීම තැනට ආපු සුවිශේෂ දරුවන්. ඒ අයට විශේෂ හැකියාවන් බොහොමයක් පිහිටලා තිබෙනවා. හැබැයි ඒ සෑම දෙයකටම දක්ෂ වුවත් එක් විෂයකින් පමණයි ඔහු හෝ ඇය උපරිමය කරා යන්නේ. උදාහරණයක් ලෙස මම මුලින්ම ජීව විද්‍යාව කළා. පස්සෙ වාණිජ කළා. අයිටී කළා. හැබැයි මම අවසානයේ යොමු වුණේ අධ්‍යාත්මික විෂයන් කරා. හේතුව මම අයිති වෙලා තියෙන්නෙ එතැනට.

කුමන ක්ෂේත්‍රයක් ඉගෙන ගත්තත්, කුමන ක්ෂේත්‍රයකට ගියත් අවසානයේ තමන්ට අයිති ක්ෂේත්‍රයට පැමිණීමට නොහැකි උදවිය තමයි ජීවිතය පරාජය වූ පිරිස් ලෙස සැලකෙන්නේ.

දක්ෂ ජ්‍යොතිර්වේදියෙකු ලවා සිය දරුවාගේ හෝ කෙනෙකුගේ කේන්දරය පරීක්ෂා කරවාගෙන දරුවාට අපල උපද්‍රව තිබේද? දරුවාට ඉගෙන ගැනීම නොහැකි ද? සෙනසුරු ලබලා ද? රාහු ලබලා ද? යන්න විමසනවාට වඩා දරුවා මේ ලොවට උපන්නේ කුමන දක්ෂතාව ඉදිරිපත් කිරීමට ද? ඔහුට හෝ ඇයට තිබෙන විශේෂීකරණ හැකියාව කුමක් ද? දරුවාට මෙලොවදී තිබෙන කාර්යභාරය කුමක් ද? දරුවා මෙලොවට වැඩදායි යමක් කරයි ද? නැතිනම් දරුවා මෙලොවදී ගමන් කරන පැතිකඩ කුමක් ද? යන්න දැනගත යුතුය.

“සමහර දරුවන්ගේ කේන්දර පරීක්ෂා කරද්දී ධර්ම කර්මාධිපති කියන යෝග තියෙනවා. උසස්ම ඥානයන් තියෙන බුධ ආදිත්‍ය කියන යෝගය තිබෙනවා. රුචක නම් පරිපාලන තන්ත්‍ර යෝගය තිබෙනවා. ගුරු හංස නමැති විද්‍යාත්මක භාව යෝග පවතිනවා. සාමාන්‍යයෙන් යෝග 280ක් විතර තියෙනවා. යෝග 280න්ම කියැවෙන්නෙ දරුවකුට අධ්‍යාපනයෙන් යන්න තිබෙන පැතිකඩ ගැනයි. ඒ නිසා මේ ලෝකයට උපදින සෑම මනුෂ්‍යයෙක්ම කුමන හෝ දක්ෂතාවක් රැගෙන නැතිනම් සඳහන් කළ යෝග 280න් එකකට අයත්වයි මේ ලෝකයට පැමිණෙන්නේ. අන්න ඒ දේ දක්ෂ ජ්‍යොතිර්වේදියකු ලවා කේන්දරය පරීක්ෂා කරවා ගත්තොත් දරුවා කුඩා කාලයේදීම හඳුනාගත හැකියි. වැඩිහිටියන්ට එමඟින් දරුවාගේ අනාගතය ක්‍රමානුකූලව සකසා ගත හැකියි.

අමිල මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division