Home » එඩ්මන්ඩ් රණසිංහගේ පත්තර විප්ලවය

එඩ්මන්ඩ් රණසිංහගේ පත්තර විප්ලවය

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

සර 1981දී ඒ වන විටත් පත්‍ර කලාවේ ප්‍රවීණයකුව සිටි එඩ්මන්ඩ් රණසිංහ දිවයින පටන් ගන්නා විට මේ රටේ පුවත්පත් කර්මාන්තය ස්වකීය ඉතිහාසයේ හොඳම යුගය අත්විඳිමින් සිටියේය. එකල ජාතික මට්ටමේ දිනපතා පුවත්පත් තුනක් ද, එබඳුම ඉරිදා පුවත්පත් තුනක් ද තිබිණ. ඒවායින් දෙකක් පෞද්ගලික අංශයට අයත්ව තිබූ අතර, අනෙක ආණ්ඩුවට වැඩි කොටස් තිබූ ලේක්හවුස් ආයතනයට අයත් විය. එකල පුවත්පත්වලට ආණ්ඩුවක් පෙරළිය හැකි විය.

ඉන්ටර්නෙට් නැති, රූපවාහිනී නැති, යූටියුබ් හා ෆේස්බුක් නැති 1981 වූ කලී මේ රටේ සමාජ සහ ආර්ථික කණපිට ගැහිල්ලක් හටගනිමින් තිබූ යුගයකි. ගෝලීයකරණය නමැති සංකල්පය මුළු ලෝකය පුරාම පැතිරෙමින් තිබූ අතර, කම්පියුටරයෙන් වැඩ කිරීම පටන්ගෙන තිබිණ. එකල මේ රටේ සේවා වියුක්තිය 20% කි. ඒ නිසා ඊළඟ තරුණ කැරැල්ල වළක්වා ගැනීම සඳහා දැඩි නීති රීති සහිතව රැකියා අවස්ථා ඉපදවීම පදනම් කරගත් ආර්ථිකයකට යාම සඳහා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සැලසුම් කරමින් සිටියේය. මේ සියලු කරුණුවලට සමාන්තරව උතුරේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට ප්‍රභාකරන් ප්‍රාථමික අත්බෝම්බ සෑදීමෙහි නිරත වූ අතර, හිටිගමන් වෝල්ට් 33,000 ලයිට් කණුවක් පිපිරවීම, උතුරේ ජනප්‍රිය නායකයන්ට සියතින්ම වෙඩි තබා මැරීම වැනි Extra Curricular Activities වල නිරත විය. ජේ. ආර්. ජයවර්ධන මේ ප්‍රශ්න සම්බන්ධයෙන් අනුගමනය කළේ ෂේප්වාදී ප්‍රවේශයකි. ප්‍රභාකරන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ රටේ සිංහල බෞද්ධ පදනම විනාශ වනු ඇතැයි ජාතිවාදීහු කල්පනා කළහ.

එඩ්මන්ඩ් රණසිංහ වැනි ජාතිකවාදීන්ගේ මතය ඊට වෙනස් එකකි. සිංහලත්වය සහ රට යන සාධක දෙක බෙදුම්වාදය මඟින් විනාශයට පත්වන බවත් එමඟින් ලාංකික නමැති brand එක සුනු විසුනු වී යන බවත් ඔහු කල්පනා කළ බව පෙනෙන්නට තිබිණ. අපට තිබූ අත්දැකීමට අනුව එකල මේ රටේ සිටි ලොකුම ධනවතා වූ උපාලි විජයවර්ධන සිටියේ ද මේ කියන ආස්ථානයේමය. ඒ නිසා එවකට සිළුමිණ පුවත්පතේ කර්තෘත්වය දරමින් සිටියා වූ ද ජේ.ආර්. ජයවර්ධනගේ හොඳම හිතවතකු වූ ද එඩ්මන්ඩ් රණසිංහ ඒ හිතවත්කම පලුදු කර ගනිමින් උපාලි විජයවර්ධන සමඟ එකතු වී 1981 දී දිවයින ඉරිදා සංග්‍රහය ආරම්භ කළේය.

දිවයින යනු මේ රටට අලුත් නමක් නොවේ. ලංකාව ද දිවයිනකි. ඊට අමතරව ඩී.බී. ධනපාලයන් දිවයින නමින් ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ කුඩා පුවත්පතක් පවත්වාගෙන ගොස් වසා දමා තිබිණ. මේ රටේ සිංහල බෞද්ධ පදනම කෙරෙහි ආත්මීය විශ්වාසයක් ද දේශපාලන විශ්වාසයක් ද තබා සිටි උපාලි විජයවර්ධන දිවයින පටන් ගැනීම සඳහා ලෝකයේ එවකට තිබුණු ඉහළම පරිගණක තාක්ෂනය එංගලන්තයෙන් මිලට ගෙන සිය පත්තර කන්තෝරුවේ ස්ථාපනය කළේය.

එඩ්මන්ඩ් රණසිංහ දිවයින පටන් ගන්නා විට ලේක්හවුස් එකේ සිටි හොඳම පිරිස එකතු කර ගත්තේය. ඉතා කෙටි කලෙකින් දිවයින ලංකාවේ ඉහළම අලෙවියක් තිබූ ජනප්‍රියතම පුවත්පත බවට පත්ව තිබිණ.

ජේ.ආර්.ගේ ආණ්ඩුවට යුද්ධ දෙකක් තිබිණ. එකක් ප්‍රභාකරන් සමඟ යුද වැදීමය. අනෙක දිවයින මැඬ පවත්වා ගැනීම සඳහා යුද වැදීමය. දිවයින මර්දනය කිරීම ඉතාම දුෂ්කර වූයේ පෙනුමෙනුත් යෝධයකු බඳු එඩ්මන්ඩ් රණසිංහ මනසිනුත් යෝධයකු වූ නිසාය. අන්තිමේදී යුද්ධය ජයග්‍රහණය කිරීමට ආණ්ඩුවට නොහැකි බව සියලු දෙනාගේම මතය විය. එවිට ප්‍රභාකරන් සමඟ යුද කිරීම සඳහා ඉතිරි වූය් එඩ්මන්ඩ් රණසිංහ නායකත්වය දුන් දිවයිනත් ශ්‍රී ලංකා යුද හමුදාවත් පමණි. යුද ජයග්‍රහනය සිදුවන අවස්ථාවේදී එඩ්මන්ඩ් රණසිංහ විශ්‍රාම ගොස් සිටියේය. එහෙත් ඔහුගේ මතවාදය උපාලි පුවත්පත් සමාගමේ පුවත්පත් තුළ දිගටම තැන්පත් වී තිබිණ. අපට නොබෙදුණු රටක් ඉතිරිවීමේ ගෞරවයෙන් කොටසක් මේ අභීත මිනිසාට ද යා යුතුය.

එඩ්මන්ඩ් රණසිංහයන් ඇගයීමේ උලෙළක් ඔක්තෝබර් තුන්වැනිදා අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලයෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එඩ්මන්ඩ් රණසිංහ ප්‍රණාමය ලෙස නම් කර ඇති එය හඳුන්වා ඇත්තේ ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය‘ නමිනි. මේ රටේ පත්තර කන්තෝරු බිහි කිරීමට ද ආණ්ඩු බිහි කිරීමට හා පවත්වාගෙන යාමට ද පුරෝගාමී වූ එස්මන්ඩ් වික්‍රමසිංහ නමැති දේශපාලන ව්‍යවසායකයාගේ පුත්‍රයා වූ රනිල් වික්‍රමසිංහ ළමයකුව සිටි කාලයේ පටන්ම පත්තරකාරයන් අතර ජීවිතය ගත කළ කෙනෙකි. කෙනකු මිය යාමෙන් පසු රාජ්‍ය ගෞරව දී පුලුස්සනවාට වඩා ඔහු ජීවත්ව සිටියදී බුහුමානයට ලක්කර සතුටු කිරීම වැදගත් බව ජනාධිපති වික්‍රමසිංහයන්ගේ මතය විය.

මේ කතුවැකිය සමාප්ත කරමින් මෙසේ ද සඳහන් කළ යුතුව ඇත. මෙයට දශක 4කට පෙර එඩ්මන්ඩ් රණසිංහ දැරූ සිළුමිණ කතු පදවිය වර්තමානයේ දරන්නේ රණසිංහයන්ගේ ගෝලයකු වූ ධර්මන් වික්‍රමරත්න වන මාය. එය ඉතිහාසය පුනරුච්චාරණය වීමකි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division