– මගේ ගම කුලියාපිටිය. ගමේ ගොඩක් අය ගමන් බිමන් යන්නේ පාපැදියෙන්. මම අවුරුදු 12 ඉඳන් බයිසිකල් පැද්දා
– දිනකට අවම වශයෙන් කිලෝමීටර් 15-20ක් පාපැදියෙන් යනවා
– රෝහලට එන්නෙ යන්නෙ බයිසිකලෙන්
කුඩා කළ රෝද තුනේ පාපැදියක් නොපැද්ද අයකු සොයා ගැනීම නොමළ ගෙයකින් අබ සෙවීම හා අසීරු දෙයකි. ක්‍රමයෙන් පාසල් යන වයසට එළඹෙත් දී රෝද තුනේ පාපැදියට ආයුවෝන් කියා රෝද දෙකේ පාපැදියට ගොඩ වී අතොරක් නොමැතිව පාරවල් දිගේ ගමන් බිමන් ගිය ඇත්තෝ බොහොමයක් රැකියාවලට ගිය පසු ඊට ද සමු දෙති. මේ නිසා කරදඬු උස් වී රැකියා කරන බොහෝ දෙනෙකුගේ බයිසිකල් මේ වනවිට තිබෙන්නේ ගබඩා කාමරවල දිරාපත් වෙමිනි. කුඩා කළ ආඩම්බරයෙන් පැද්ද බයිසිකලයට ගොඩ වී රවුමක් යෑමට වැඩිහිටි බොහෝ දෙනෙකු මැළි වන්නේ පාපැදියක ගමනක් යෑම මදිපුංචි කමක් ලෙස සිතමිනි. මේ නිසා දුප්පතාගේ හිතවතා ක්‍රමක්‍රමයෙන් සමාජයෙන් කොන්ව ඈත්ව යත් දී යළිත් එය කරළියට ගෙන ඒමට උත්සහ කරන අපූරු පුද්ගලයකු අපට හමුවූයේ කඩුගන්නාවේදී ය. කන්ද උඩරටට ප්‍රවිෂ්ට වීමට සුද්දා ගල විදපු ස්ථානය පසුකර පාපැදියෙන් කන්ද තරණය කරමින් සිටි ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. අර්ජුන තිලකරත්න නොඑසේ නම් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන මේ අපූරු පුද්ගලයා පවසන්නේ පාපැදිය යනු බෝ නොවන රෝග ඈතට තල්ලු කර දමා අප නීරෝගීමත් පුද්ගලයෙකු බවට පත් කරන අරුම පුදුම භාණ්ඩයක් බවයි.
දිනකට අවම වශයෙන් කිලෝමීටර් 15 -20ක් පාපැදියෙන් ගමන් කිරීමට ඔහු අමතක නොකරන්නේ ය. ඒ මඟ යමින් ඔහුගේ දරුවන් තිදෙනා ද දැන් බයිසිකල් පදින්නට උනන්දු වන්නේ නිවෙසේ යාන වාහන තිබියදීය. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස දැනට අවුරුදු පහක පමණ කාලයක් තිස්සේ කටයුතු කරන අර්ජුන තිලකරත්න සතියේ රාජකාරි දින තුනක දී රාජකාරියට පැමිණෙන්නේ පාපැදියෙනි. ඉන් නොනැවතුණ අධ්‍යක්ෂවරයා කොළඹ පැවැති සෞඛ්‍ය අංශයේ රාජකාරි රැස්වීමකට ද පසුගියදා පේරාදෙණියේ සිට පිටත්ව ගියේ පාපැදියෙනි.
එම ගමන පිළිබඳව මෙන්ම පාපැදිය සමඟ පවත්නා තම මිතුදම සම්බන්ධව වෛද්‍ය අර්ජුන තිලකරත්න මෙසේ හඬ අවදි කළේය. රැස්වීම පස්වරු 3.00ට තමයි පවත්වන්න නියමිතව තිබුණේ. කාලය තියෙන නිසා මම අත්හදා බැලීමක් විදිහට පාපැදියෙන් කොළඹ යන්න හිතුවා. පේරාදෙණියෙන් උදේ 7.00ට විතර පිටත් වෙලා පස්වරු 1.00 පමණ වනවිට කොළඹට ළඟා වෙන්න පුළුවන් වුණා. කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නිල නිවාසයකට ගිහින් වොෂ් එකක් දාලා මීටින් එකට ගියා. මේක ප්‍රායෝගිකව හැමෝටම කරන්න අමාරුයි. නමුත් අපිට බයිසිකල් පදින එක පුරුද්දක් විදිහට කරන්න පුළුවන් නම් ඒකෙන් ප්‍රායෝජන රැසක් ගන්න පුළුවන්. මම සතියකට වතාවක් කිලෝමීටර් 50ක පමණ දුර ගමනක් පාපැදියෙන් යනවා. මේක දැන් මට විනෝදාංශයක් වෙලා. අද ගොඩක් අය ශරීරයට ව්‍යායාම ලබා ගන්න පාරේ දුවන අවස්ථා අපි කොතෙකුත් දකිනවා. මේ නිසා අපේ දණහිස් ආබාධවලට ලක්වීමේ වැඩි ඉඩක් තිබෙනවා. බයිසිකල් පදින එකෙන් අපේ මුළු ශරීරයටම ව්‍යායාම ලැබෙනවා. මෙමඟින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟ පෑදෙන අතරම අපේ ප්‍රවාහන අවශ්‍යතා වුණත් යම් ප්‍රමාණයකට සපුරා ගන්න පුළුවන්. ඉන්ධන දහනයක් සිදු නොවන නිසා පරිසරයට හානියක් සිදුවන්නේත් නැහැ.
මේ වනවිට ශ්‍රී ලංකාව පමණක් නොව ලොව බොහෝ රටවල් මුහුණ දී තිබෙන අභියෝගයක් වී තිබෙන්නේ බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමයි. දියවැඩියාව, අධි රුධිර පීඩනය, ආතරයිටීස්, ඇදුම වැනි රෝග මේ වනවිට සමාජය වෙළා ගනිමින් තිබෙන්නේ ඒ නිසා සිදුවන මරණ සංඛ්‍යාව ද දිනෙන් දින ඉහළ නංවමිනි. බයිසිකල් පැදීමෙන් බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ සම්භාවිතව අවම කරගත හැකි ය. ඒ සම්බන්ධව වෛද්‍ය අර්ජුණ තිලකරත්න මෙසේ පැවසුවේය. ව්‍යායාම කියන්නේ ඖෂධයක් (Exercise is a medicine) කියලා කියමනක් තියෙනවා. හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න නම් ව්‍යායාම අත්‍යවශ්‍යය යි. හොඳින් ව්‍යායාම කරනවා නම් බෙහෙත් අවශ්‍ය නැහැ. ඒක ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් දෙයක්. මේකෙන් අදහස් කරන්නේ නැහැ ව්‍යායාම කරනවා නම් ලෙඩ රෝග හැදෙන්නේ නැහැ කියලා.
නමුත් හොඳින් ව්‍යායාම කරන අයකුට වඩා ව්‍යායාම නොකරන කෙනා රෝගවලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි. බෝ නොවන රෝග ගොඩක් අපිට වැලෙඳන්නේ ව්‍යායාම නැති නිසයි. මගේ ගම කුලියාපිටියේ. ගමේ ගොඩක් අය ගමන් බිමන් යන්නේ පාපැදියෙන්. මම අවුරුදු 12 ඉඳන් බයිසිකල් පැද්දා. මහනුවර ධර්මරාජ විදුහලට ආවට පස්සේ ඒ අවස්ථාව ටිකක් මඟ හැරුණා. මොකද ජනාකීර්ණ ප්‍රදේශවල බයිසිකල් පදින්න ගියාම අනතුරුවලට ලක්වීමේ සම්භාවිතාවකුත් තිබෙන බව අපි තේරුම් ගන්න ඕන. කොහොම වුණත් වෛද්‍යවරයකු ලෙස කටයුතු කරද්දී මට තේරුණා මේ බයිසිකල් පැදීම මඟින් මොන තරම් ප්‍රයෝජන අපිට ගන්න පුළුවන් ද කියලා. මේ නිසා පාපැදිය සමාජය තුළ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න හිතුණා. අපි රෝගීන්ට ව්‍යායාම කරන්න කියලා මොන තරම් කිව්වත් වැඩක් නැහැ, අපි ප්‍රායෝගිකව ඒ දේවල් අපේ ජීවන ක්‍රමය තුළින් ඒ අයට පෙන්වන්නේ නැත්නම්. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බයිසිකල් සමාජයක් අපි ගොඩ නැඟුවා.
මේ වනවිට වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකු පමණ මෙහි නිත්‍ය සාමාජිකයන් ලෙස කටයුතු කරනවා. මෙමඟින් අපි දිවයිනේ ප්‍රදේශ කිහිපයක් ප්‍රවර්ධන වැඩසටහන් සංවිධානය කළා. බයිසිකල් පැදීම මඟින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට මඟ පෑදෙන අයුරුත් විනෝදාංශයක් ලෙස එය පවත්වාගෙන යාමෙන් ලැබෙන සෙසු ප්‍රතිලාබත් සම්බන්ධව අපි නාට්‍ය නිර්මාණය කරලා විවිධ ප්‍රදේශවල රඟ දැක්වූවා. ලෝක පැපැදි දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් සංවිධානය කළා. පාපැදියෙන් රාජකාරියට පැමිණීමේ දිනය ලෙස ජාත්‍යන්තරව අගෝස්තු 03 වැනිදා සමරනු ලබනවා. එදිනට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් රාජකාරියට පැමිණියේ පාපැදියෙන්. පාපැදියෙන් ගමනක් යන අතුරතුර අපිට ඡායාරූප ගැනීම වැනි තවත් විනෝදාංශ ජීවිතයට බද්ධ කරගත හැකියි. එමඟින් විඩාව මඟ හරවා ගන්න පුළුවන්. ඇත්තටම බයිසිකල් පදිනවා කියන්නේ භාවනාවක්.
ආර්ථික අර්බුදයත් සමඟ ඉන්ධන ආනයනය සීමා කිරීම තුළ ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම් නිර්මාණය වෙත්දී පාපැදිය යළිත් කරළියට පැමිණි අයුරු අපි දුටුවෙමු. ඉන්ධන අර්බුදය නිමා වීමත් සමඟ යළිත් පාපැදිය ගබඩා කාමර වෙත තල්ලු වී ගියේය. පාපැදියෙන් ගමන් බිමන් යාම පයින් යනවාටත් වඩා මදිපුංචි කමක් ලෙස සිතන සමාජයක වෛද්‍යවරයෙකු ලෙස අර්ජුණ තිලකරත්න මහතා පාපැදිය යළිත් සමාජගත කිරීමට දක්වන කැපවීම අගය කළ යුතුය.
නෙදර්ලන්තය වගේ රටවල ජනතාව තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වලින් 70%ක් පමණම සපුරා ගන්නේ පාපැදියෙන්. ඒ රටවල් වල පාපැදි සඳහා වෙනම මංතීරු තිබෙනවා. පාපැදියෙන් වැඩට එනවා කිව්වම ඒක මදිපුංචිකමක් ලෙස සලකන සංස්කෘතියක් අපේ රටේ ගොඩනැඟී තිබෙනවා. ඉන්ධන නැති අවස්ථාවේ පාපැදියෙන් ගමන් බිමන් ගිය අය ප්‍රශ්නය විසඳුණු ගමන් පාපැදිය පැත්තකට දැම්මේ මේ නිසයි. ඉන්ධන තිබෙන වෙලාවට බයිසිකලේ පැදගෙන යන්න
අපි ලැජ්ජයි. මෙන්න මේ මතවාදයට මුලින් පයින් ගහන්න ඕන. අනෙක් අය සතුටු කරන්න ගිහින් අපි ලෙඩ්ඩු වෙලා අපේ සතුට නැති කරගන්න එක ද වැදගත් නැත්නම් අපි අපේ සතුට වෙනුවෙන් වැඩ කරනවා ද කියන එක තේරුම් ගන්න ඕන. අද අපි ගත කරන්නේ ඉතාම කාර්ය බහුල දිවියක්. ඇත්තටම ව්‍යායාම වෙනුවෙන් වැය කරන්න කාලයක් නැති තරම්. වැඩට එන්න යන්න, කඩේට ගිහින් එන්න පාපැදිය පාවිච්චි කරන්න පුළුවන් නම් අපිට ඒ වැඩෙත් එක්කම ශරීරයට අවශ්‍යය ව්‍යායාම ටිකත් ඉබේම ලබා ගන්න පුළුවන්..අර්ජුණ තිලකරත්න මහතා එසේ පවසමින් බයිසිකලයට නැඟුණේ කඩුගන්නාව කන්ද තරණය කරමින් පේරාදෙණිය බලා ගමන් කිරීමේ අරමුණිනි.