Home » කොහොමත් ඒ චරිතයට සීනිබෝල පෙනුමක් හරියන්නෙ නෑ

කොහොමත් ඒ චරිතයට සීනිබෝල පෙනුමක් හරියන්නෙ නෑ

by mahesh
September 23, 2023 12:30 am 0 comment

– චිත්‍රපටය කරන එකත් අවදානමක් වෙන්න පුළුවන් 
නමුත් අපි පොසිටිව් පැත්ත හිතලා වැඩේ පටන් ගත්තෙ
– අපිට අපේම සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් යන්න වෙලා

පුංචි තිරයට විවිධ නිර්මාණ නිෂ්පාදනය කළ නිමන්ති පෝරගේ හා ඔහුගේ සැමියා ප්‍රභාත් කුලුඳුලේම සිනමා කෘතියක් නිෂ්පාදනය කරනවා. ඒ Beyond the boundary නමින්. ඒ ගැන කතා කරන්න නිමන්ති අපිත් එක්ක මේ විදිහට කතාබහකට එකතු වුණා.

පුංචි තිරයට වැඩි ඉඩකඩක් දුන් නිමන්ති දැන් කුලුඳුලේම සිනමා සිත්තමක් නිෂ්පාදනය කරනවා..?

මේක මගෙයි ප්‍රභාත්ගෙයි අවුරුදු 20ක හීනයක් හැබෑ වීමක්. අපේ පළවෙනි ටෙලි නිර්මාණය කළේ 2003 දී ‘ආයෙමත් ආදරෙන්’ කියලා. ඊට පස්සේ ටෙලි නාට්‍ය බොහෝමයක් නිර්මාණය කළා. ඒත් සිනමා නිර්මාණයක් කළේ නැහැ. අපි කවදා හරි දවසක සිනමාට එන්න ඕනෙ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඕනෙ කියලා අපිට ඉලක්කයක් තිබුණා. නමුත් අපිට සුදුසු වාතාවරණයක් ආවේ නෑ. සිනමා කර්මාන්තයට සල්ලි යට කරන්න ලොකු බයකුත් තිබුණා. අපි ටෙලි නිර්මාණ 25ක් විතර මේ අවුරුදු 20 දී කළා. ඒවා විකාශය වෙලත් මුදල් තවමත් නොලැබුණු නිර්මාණ තවමත් තියෙනවා . අපි දෙන්නා තීරණය කළා තවත් බල බල ඉන්නෙ නැතුව film එකක් කරමු කියලා. ඒ විදිහට තමයි මේ නිර්මාණය බිහි කරන්න සූදානම් කළේ.

Beyond the boundary කියන්නේ 2012 වර්ෂයේ බිහි වූ ජපානයේ අතිශය ජනප්‍රිය නවකතා මාලාවක්, හා ටීවී සීරියස් එකක්. එහි කතා තේමාව පාදක කරගෙන ද මෙය නිර්මාණ වෙන්නේ..?

නෑ කොහෙත්ම නෑ. මේක ලලිත් රත්නායකගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. පිටපත සහ අධ්‍යක්ෂණය දෙකම සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් වන ලලිත් රත්නායකගේ. ඒක කාගෙවත් කොපියක් නෙමෙයි.

එහෙම නම් ඇයි පළමු සිනමා නිර්මාණයට Beyond the boundary කියන නම යෙදුවේ?

ඒකෙ තේරුම සීමාවෙන් එහා කියන එකයි. මේ කතා තේමාවත් එහෙම එකක් . පොලිසිය සහ අපරාධකරුවෙක් අතර පැය 24 ක සිද්ධි මාලාවක් මේ කතාවට තේමා වෙලා තියෙන්නෙ. මේ කතාවට ගැළපෙන නමක් තමයි යොදලා තියෙන්නේ.

ප්‍රධාන චරිතයක් සදහා රන්දික සම්බන්ධ කර ගත්තේ වැඩි අලෙවියක් බලාපොරොත්තු වෙන්ද..?

මේ නිර්මාණයට ලලිත් අයියා මීට අවුරුදු 5කට කලිනුයි රන්දිකට කතා කරලා තිබුණේ. ලලිත් අයියාගේ හිතේ ඒ කාලෙ ඉඳලම කරන්න තිබුණ චිත්‍රපටයක් සහ ඒ වෙනුවෙන් හිතේ හිටපු රංගන ශිල්පියා තමයි රන්දික. අපිත් ඒ තීරණයට එකඟ වුණේ රන්දික කියන්නෙ අලුත් පරම්පරාවෙ ඉන්න අතිදක්ශ රංගන ශිල්පියෙක් නිසා. කොහොමත් ඒ චරිතයට සීනිබෝල පෙනුමක් නම් හරි යන්නෙ නෑ.

බොහෝ නිර්මාණකරුවන් නිෂ්පාදකයින් වගේම ඔබත් මුදල් වැඩිපුර හම්බ කිරීමේ අරමුණින්ද නිර්මාණ කරන්නේ..?

ඇත්තම කතාව නම් ඉතින් මුදල් නැතුව මුකුත් කරන්න බෑ. මුදල් ඕනෙ නිසා තමයි මෙගා ටෙලි නාට්‍ය කළේ. අපි නාළිකාවලට දාන හොඳ ප්‍රොපෝසල්ස්වලට කැමති වුණේ නෑ. ඒගොල්ලො දෙන ප්‍රොපෝසල්ස් තමයි නිෂ්පාදකට කරන්න වෙන්නෙ. හැබැයි මේ චිත්‍රපටයට නම් අත තිබ්බේ හොඳ නිර්මාණයක් කරන්න තිබුණ ලොකුම උවමනාවක් නිසා. ඒත් ඒක පාඩු ලබන නිර්මාණයක් වෙනවට නිෂ්පාදකවරයෙක් කැමති වෙන්නෙ නෑ නේද. නිර්මාණය ගුණාත්මක වෙන්නත් ඕනෙ නිෂ්පාදක ගොඩ යන්නත් ඕනෙ.

ඔබේ නිෂ්පාදක දායකත්වයක් නිසා ඔබත් මෙහි රංගනයෙන් දායක වෙනවද..?

මම රංගනයෙන් දායක වෙන්නෙ නෑ. මට අවුරුදු 25 ක් වගේ වුණා නම් මේ චිත්‍රපටයේ චරිතයක් තියෙනවා කරන්න. මොනවා කරන්නද මටත් හොරෙන් වයස ගිහින් ගොඩක් දුර.

ලංකාවේ ආර්ථික තත්ත්වය එක්ක ලොකු අවදානමක් ගත්තා කියලා හිතෙන්නේ නැද්ද ..?

පළවෙනි ටෙලි නිර්මාණය කරද්දිත් අපි ලොකු අවදානමක් ගත්තා. ගේ හදද්දිත් ලොකු අවදානමක් ගත්තා. මේ චිත්‍රපටය කරන එකත් අවදානමක් වෙන්න පුළුවන්. නමුත් අපි පොසිටිව් පැත්ත හිතලා වැඩේ පටන් ගත්තෙ.

එක අතකින් අපි සමහර ටෙලි නාට්‍ය නිශ්පාදනය කරලා telecast වෙලත් අපට තවම මුදල් ලැබිලා නෑ. අපිට අපේම සල්ලි ඉල්ල ඉල්ල පස්සෙන් යන්න වෙලා තියෙන යුගයක.., චිත්‍රපටයක් කරලා අවදානමක් ගන්න බය වෙන්නෙ මොකටද කියලා හිතෙනවා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division