Home » රූපලාවණ්‍යයෙන් අබිසෙස් ලැබූ ශ්‍රී ලංකාවේ ශිල්පිනියෝ

රූපලාවණ්‍යයෙන් අබිසෙස් ලැබූ ශ්‍රී ලංකාවේ ශිල්පිනියෝ

2021 බ්‍රයිඩ්ල් මේකප් රන් පදක්කමේ හිමිකාරිය වූ තීක්ෂණී මෙවර ස්මෝකි අයි මේකප් රන් පදක්කමට හිමිකම් කියයි

by mahesh
September 23, 2023 12:30 am 0 comment
නාමලී ගමගේ

පසුගියදා ප්‍රංශයේ පැවැති 2023 ඕ. එම්. සී. හෙයාර් වර්ල්ඩ් රූපලාවණ්‍ය සහ කේශාලංකරණ ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණු රූපලාවණ්‍ය ශිල්පිනී තීක්ෂණී කාරියවසම් එහි රූපලාවණ්‍ය අංශයේ ස්මෝකි අයි මේකප් අංශයේ රන් පදක්කම හිමිකර ගැනීමට සමත් වූවාය. 2021 වසරේ බ්‍රයිඩ්ල් මේකප් අංශයේ රන් පදක්කම් හිමිකාරිනිය ඇය වීම ද විශේෂත්වයකි. ස්මෝකි අයි මේකප් අංශයේ පස්වැනි ස්ථානය ද ශ්‍රී ලංකාවේ කායල් විලී ජයප්‍රකාශ් විසින් හිමිකර ගෙන තිබිණි. ශ්‍රී ලංකා ධජය එකම වේදිකාවේ දෙතැනක දැකගැනීමේ දුර්ලභ අවස්ථාවක් උදාකර දීමට ඔවුන් දෙදෙනා එදා සමත් විය. කායල් තවත් තරග ඉසව් දෙකක ජයග්‍රාහී ස්ථාන හිමිකර ගැනීමට ද සමත් වූවාය.

රටවල් 69ක සාමාජිකත්වයෙන් ගොඩනැඟුණ සංගමයක් හරහා පවත්වනු ලබන මෙම තරගාවලිය පසුගිය වසර පහ තිස්සේ ප්‍රංශයේම පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ ද ලොව සෑම රටකටම මෙම තරගයට සහභාගී වීමේ පහසුව උදෙසාය. දැනට රූපලාවණ්‍ය හා කේශාලංකරණ අංශයන්හි පැවැත්වෙන එකම ලෝක ශූරතා තරගාවලිය ලෙස නම් කෙරෙන මෙය 2021 පවත්වනු ලැබුවේ මාර්ගගත ක්‍රමයටය. ඒ ලොවම ග්‍රහණයට නතු කරගත් කොවිඩ් වසංගතය හේතුවෙනි.

2021 වසරේ මාර්ගගත ක්‍රමයට පැවැති ඕ.එම්. සී. හෙයාර් වර්ල්ඩ් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ තීක්ෂණී කාරියවසම් බ්‍රයිඩ්ල් මේකප් අංශයේ රන් පදක්කම හිමිකරගත් අතර මෙවර ස්මෝකි අයි මේකප් අංශයෙන් තරග වැද එම අංශයේ ද රන් පදක්කමට හිමිකම් කීමට සමත් වූවාය. එසේම ඕ. එම්. සී. හෙයාර් වර්ල්ඩ් තරගාවලිය සඳහා ඉදිරිපත් වූ අනෙක් තරගකාරිනිය කායල් ද නිර්මාණාත්මක වේශ නිරූපණ අංශයේ ලෝකඩ පදක්කම මෙන්ම බ්‍රයිඩ්ල් මේකප් අංශයෙන් හතරවැනි ස්ථානය සහ ස්මෝකි අයි මේකප් අංශයේ පස්වැනි ස්ථානය දිනා ගත්තාය.

පසුගිය සැප්තැම්බර් 10 සහ 11 දෙදින තුළ ප්‍රංශයේ පැවැති මෙම ජාත්‍යන්තර රූපලාවණ්‍ය තරගාවලිය නියෝජනය කළ තීක්ෂණී සහ කායල් ශ්‍රී ලංකා කොණ්ඩා සැකසුම් හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමය හරහා තරගයට අයදුම්කර අවශ්‍ය සියලු දේ තම වියදමින් සකසා ගෙන තරගයට ඉදිරිපත් වී තිබිණ. ශ්‍රී ලංකා කොණ්ඩා සැකසුම් හා රූපලාවණ්‍ය ශිල්පීන්ගේ සංගමයේ නිර්මාතෘ නයනා කරුණාරත්න මෙම ජයග්‍රහණ පසුපස සිටිමින් ඔවුන් දිරිමත් කළාය. ඩොමිනික්ස් රොබට්ස් නම් රූපලාවණ්‍ය පුහුණුකරු හංගේරියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් තරගයට අවශ්‍ය නිසි පුහුණුව ලබාදීමට කටයුතු කළ ඇය නිර්මාතෘවරියගේ වගකීම සහ යුතුකම නිසි ලෙස ඉටු කළාය.

පසුගිය සැප්තැම්බර් 7 වැනිදා රාත්‍රියේ මෙරටින් පිටවන තරගකාරිනියන්ට තම සහායට සිටින නිරූපණ ශිල්පිනියන් දැක ගැනීමට හැකිවන්නේ ද තරගයට පෙර දිනය. එවන් අභියෝග හමුවේ තරගයට මුහුණ දී විනාඩි 35ක් තරම් කෙටි කාලයක් තුළ තරගය නිම කරමින් ලබාගත් රන් පදක්කම ලාංකේය දියණියකගේ උත්සාහයේ හා කැපවීමේ අනගි ඵලයම නොවන්නේද?

2002 වසරේ මානෙල් කොටුවේගොඩගෙන් රූපලාවණ්‍ය සඳහා මූලික අඩිතාලම දමා ගත් තීක්ෂණී කාරියවසම් දයානන්ද ද සිල්වා වෙතින් කේශාලංකරණයට අත්පොත් තැබුවාය. නයනා කරුණාරත්න යටතේ ශ්‍රී ලංකා ඇසෝෂියේෂන් එක හරහා රූපලාවණ්‍ය ගැන මනා දැනුමක් සහ ක්ෂේත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගත් ඇය විනයානුකූල ක්‍රමයට යමින් මෙතෙක් තම ජයග්‍රහණ හිමිකරගත් බවද අප හා පැවසුවාය. ඇය ලද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිපුණත්වයට ඇති හොඳම ඉල්ලුම සහ වටිනාකම ලෙස ඇය සඳහන් කළේ පසුගියදා රටක් වසඟයට ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී ශලිනි තාරකා සහ කාවින්ද්‍යා දුල්ෂානි තම දෑතින් මනාලියන් ලෙස හැඩගැන්වීමට ඇයට ලද අනගි අවස්ථාවයි. ශ්‍රී ලංකා ඇසෝෂියේෂන් ආයතනයේ සම සභාපතීත්වය දරන ඇයගේ අරමුණ වන්නේ තම සංගමය වෙනුවෙන් ඉදිරියේ දී ද මෙවන් ජාත්‍යන්තර ජයග්‍රහණ වෙනුවෙන් තම රට නියෝජනය කිරීමයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division