Home » එහෙම සම්බන්ධයක් පටන් ගන්න තරම් හිත නිරවුල් නැහැ

එහෙම සම්බන්ධයක් පටන් ගන්න තරම් හිත නිරවුල් නැහැ

by mahesh
September 23, 2023 12:32 am 0 comment

ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වූ සද්ධා මංගල සූරියබණ්ඩාර සහ සිවගුරුනාදන් සුසංයෝගයේ ජනප්‍රියම ටෙලි නිර්මාණය වූ නාඩගම්කාරයෝහි පොඩ්ඩිගේ චරිතයෙන් රංගනයට පිවිසි නිම්මි මනෝහාරි ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් රංගන ශිල්පිනියකි. මේ දිනවල ඇය අපට හමුවන්නේ සිරස නාළිකාවේ විකාශය වන සර්කස්කාරයෝ සහ ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන සික්ස් පැක් නිර්මාණයන්හිය. නාඩගම්කාරයෝ හරහා සර්කස්කාරයෝ වෙත පිවිසි ඇය සමඟයි මේ කතාබහ.

නිම්මි සර්කස්කාරයොත් එක්ක මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා නේද?

මේ දවස්වල මං නාළිකා දෙකක නිර්මාණ දෙකක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එනවා. සද්ධා මංගල සූරියබණ්ඩාර සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සුසංයෝගයේ තවත් නිර්මාණයක් තමයි සර්කස්කාරයෝ කියන්නේ. කැම්පස් ගිහින් ඇවිත්, ත්‍රීවීල් රියැදුරෙක් සමඟ ආදර සම්බන්ධයක් ඇති කරගෙන, ඔහු සමඟ විවාහ වෙලා, වතු පරිසරයක ජීවත් වෙන රසාදරී කියන තරුණියගේ චරිතයට තමයි මං දායක වෙන්නේ. අගහිඟකම් හමුවේ වුවත් හරිම ආදරෙන් ජීවත් වෙන යුවළක්. මේ වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මං සද්ධා සර් සහ සිවා සර් එක්ක වැඩ කරන දෙවැනි අවස්ථාව මේක. ඔවුන් දෙදෙනාට වගේම ඉම්පාස් ප්‍රොඩක්ෂන් එකටත් මං මේ ‍වෙලාවෙ ස්තූතිවන්ත වෙනවා දෙවැනි වතාවටත් මාව සම්බන්ධ කර ගත්තට.

සික්ස් පැක් කියන්නෙත් මේ දිනවල ජනප්‍රිය නිර්මාණයක්. ඒ ගැනත් සඳහන් කරමු?

අසංක සායක්කාර අධ්‍යක්ෂණයෙන් සහ සංතුෂ් වීරමන්ගේ නිෂ්පාදනයෙන් නිම වූවක්. සික්ස් පැක්හි මේනකා කියන්නෙත් කැම්පස් යන ගමන් නාට්‍ය හා රංග කලාව හදාරණ යුවතියක්. ළමයි ඔක්කොම විදෙස්ගත වුණු නැන්දා කෙනෙක් ළඟ නතර වෙලා ඉන්නෙ. ඇයට දැන් ඉන්නෙ මුදලට බලාගන්න පුතෙක්. නැන්දගෙ ඔක්කොම දේපළ ඒ පුතාට දෙන බව දැනගන්න මේනකා උත්සාහ කරන්නෙ ඒ තරුණයව කොහොමහරි දැලේ දාගන්න. ඒකට ගහන ප්ලෑන් එක්ක තමයි මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ.

ඔබ ක්ෂේත්‍රයට එන්නෙම හොඳ නිර්මාණකරුවන් යුවළකගේ අතිශය ජනප්‍රිය වුණු නිර්මාණයකින්. ඒ ගැන මොකද හිතෙන්නෙ?

සද්ධා මංගල – සිවගුරුනාදන් සුසංයෝගයේ අතිශය ජනප්‍රිය වුණු නාඩගම්කාරයෝ හරහා තමයි මං මුල්ම රංගන අත්දැකීම ලබාගන්නෙ. ඒක ටෙලි නාට්‍ය වංශ කතාව උඩුයටිකුරු කළ නිර්මාණයක් කිවුවත් හරි. චරිත පවා බ්‍රෑන්ඩ් එකක් වෙන තරමට ප්‍රේක්ෂකයන් ඒ නිර්මාණය ආදරෙන් වැලඳගත්තා. නාඩගම්කාරයෝහි පොඩ්ඩි කියන්නේ දඟකාර, කටකාර පුදුමාකාර විදිහට ප්‍රේක්ෂකයන් වැලඳගත් චරිතයක්. ප්‍රේක්ෂකයන් අදටත් මට කතා කරන්නෙ පොඩ්ඩි කියලා. පොඩ්ඩි මගේ රංගන ජීවිතේ ඇරඹුම වගේම හැරවුම් ලක්ෂ්‍යයත් වුණා. නාඩගම්කාරයෝ – 2 එනකල් ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.

කොහොමද ඔබට පොඩ්ඩිට ආරාධනා ලැබෙන්නේ?

කොවිඩ් කාලෙ තමයි නාඩගම්කාරයෝ ෂූටින් තිබුණේ. පොඩ්ඩිගේ චරිතයට කෙනෙක් සොයමින් ඉඳල තියෙන්නේ. ගොඩක් අය ඔඩිෂන් ඇවිත් තිබුණත් කවුරුත් හරි ගිහින් තිබුණෙ නැහැ. ඔය අතරෙ තමයි ස්වර්ණවාහිනියෙ හිටපු රංගන සිල්වා සහ සුදේව හෙට්ටිආරච්චි දෙපළ මට කතා කරල කියන්නෙ මෙහෙම චරිතයක් තියෙනවා, ඒක ඔයාගෙ සැබෑ චරිතයට සමානයි ඇවිත් බලන්න කියලා. එහෙමයි මං ඔඩිෂන් එකට යන්නේ. එතැනදියි මාව තෝරගන්නෙ.

ඔබ ගොඩක් වාසනාවන්ත රංගන ශිල්පිනියක් කියල කිවුවොත්?

ඇත්තටම මාත් ඒක පිළිගන්නවා. මෙතෙක් කල් මට ලැබුණු හැම නිර්මාණයක්ම හොඳම නිර්මාණකරුවන්ගේ හොඳ ප්‍රමිතිගත, කලාත්මක නිර්මාණ. ඔවුන්ගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තවත් නිර්මාණ 5ක් විතර ඉදිරියෙදී විකාශයට නියමිතව තියෙනවා. ඒවා එකිනෙකට වෙනස් චරිත නිසා මාත් හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා ප්‍රේක්ෂකයන් ඒ වෙනස කොහොම භාර ගනීවිද කියල දැකගන්න. ප්‍රධානම චරිත නොවුණත් මට ලැබුණු හැම චරිතයක්ම ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගත්තා. ඒ නිසා මට හිතෙනවා අපි රංගනයෙන් දායක වෙන කාලය නෙවෙයි වැදගත් වෙන්නෙ අපි කරන චරිතය කියලා. ඒ චරිතයට අපි කොතරම් සාධාරණයක් කළා ද කියන එකයි වැදගත්. සිනමාවෙ අත්දැකීමක් ලබාගන්නත් ආසාවක් තිබුණ නිසා මාගම්සෝලි සිනමා නිර්මාණයට අතිරේක රංගනයකින් දායක වුණා. ඒකත් ඉදිරියෙදී දැකගන්න ලැබේවි.

නිම්මි තාමත් පුංචි තිරයට විතරයි ප්‍රේමවන්තිය? කවද්ද සැබෑ ජීවිතේ ප්‍රේමවන්තියක් වෙන්නේ?

මං සැබෑ ජීවිතේ තාමත් ආදරවන්තියක් නෙවෙයි. සමහරු මගේ ක්ෂේත්‍රයේ යාළුවන්ගෙ නම් කියල මගේ ප්‍රේමවන්තයින් කියලා හඳුන්වනවා. ඒත් එයාල මගේ හොඳම යාළුවො විතරයි. මට තාම එහෙම සම්බන්ධයක් පටන් ගන්න තරම් හිත නිරවුල් නැහැ. මට තව ටික කාලයක් ඕන ඒකට. මං තාම මට සැටිස් වෙන තැනකට ඇවිල්ල නැහැ. මට හිතෙනවා මං යම් ස්ථාවරත්වයකට ඇවිත් ඒ ගැන හිතුවොත් හොඳයි කියලා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division