Home » විධායක ජනාධිපති ක්‍රමය නැතිව එක වසරක්වත් රට ගෙනියන්න බැහැ

විධායක ජනාධිපති ක්‍රමය නැතිව එක වසරක්වත් රට ගෙනියන්න බැහැ

ජේ . ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ පාලන මණ්ඩල සභික, ජේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ මුනුපුරු ප්‍රදීප් ජයවර්ධන

by mahesh
September 23, 2023 12:37 am 0 comment

මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ 117 වැනි ජන්ම දින සැමරුම යෙදී තිබුණේ පසුගිය 17 වැනිදාටය. ඒ සම්බන්ධව සිළුමිණ හා සම්මුඛ සාකච්ඡාවකට එක් වන්නේ ඔහුගේ ජ්‍යෙෂ්ඨ මුනුපුරු ප්‍රදීප් ජයවර්ධනය.

– විධායක ජනාධිපති ක්‍රමය නොතිබුණා නම් අපිට කවදාවත් උතුරේ යුද්ධය දිනා ගන්න ලැබෙන්නේ නැහැ
– විධායක ජනපති ක්‍රමයම නොතිබුණා නම් අරගලය නිසා රට අරාජිත වී අපි විදේශ බලවේගයන්ට නතු වෙන්න ඉඩ තිබුණා
– අරගල අවස්ථාවේ රට අරාජික නොවුණේ විධායක ජනාධිපති බලතල නිසා

වර්තමාන නායකයන්ට ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන චරිතය ආදර්ශයක් මඟ පෙන්වීමක් ලබා දෙන්නේ කෙසේද?

ඒ ආදර්ශය විවිධ පැතිවලින් ලබා දෙනවා. රාජ්‍ය පරිපාලයේදී එතුමා නිර්භීතව තීන්දු තීරණ ගත් ආකාරය ප්‍රධානයි. එතුමා හැමවිටම කිව්වේ ‘ තීන්දුවක් ගත්තොත් එයින් 50 % ක් වැරැදි විය හැකියි. නමුත් තීන්දුවක් නොගැනීමෙන් 100% ක් වැරැදිය හැකියි. එතුමා බය නැතිව තීන්දු ගත්තා වගේම ඒ තීරණ වෙනස් කළේ නැහැ. ව්‍යාපාර ලෝකය, ආර්ථියක ගැන හොඳ දැක්මක් එතුමාට තිබුණා. පෞද්ගලික හා රාජ්‍ය ආයතන සම්බන්ධතාව මුලින්ම ආරම්භ කළේ එතුමා. ඒ කොරියන් සිලෝන් සමාගම හරහා. මෙය ආසියා කලාපයේ විශාලම ආයතනය වුණා. චීනයේ බොහෝ ආයතන එතුමාගේ මේ සංකල්පය ඉගෙන ගත්තා. නමුත් අපි තවමත් මෙය ඉගෙනගෙන නැහැ. විවෘත ආර්ථිකයත් සමඟ අපි වැලඳ ගත්තේ වැරැදි සංකල්ප. එතුමාගේ අරමුණ වුණේ සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයක් ගොඩනඟා විදේශයන්ට රට විවර කළ යුතු බවයි. අපේ කර්මාන්ත අපි යටතේ තබාගත යුතුයි. මෙය කළ යුත්තේ public privet partnership එකක් හරහා බවයි එතුමා සෑම විටම කිව්වේ. ඇඟලුම් කර්මාන්ය හැදුවේ ජේ. ආර් . ජයවර්ධන මහතායි. ඔහු නිදහස් වෙළෙඳ කලාප හදන විට කිව්වේ ලංකාවේ නීති මට වෙනස් කරන්න වෙලාවක් නැහැ . ඒ නිසා ඒ නීතිවලට මම හිඩැසක් හදන බව. විදේශිකයන්ට ආයෝජන අවස්ථා ඇති කරන්න වෙනමම කලාපයක් ඇති කර ඒ ආයෝජන අවස්ථා ලබා දුන්නා. අවුරුදු 45 කට පෙර එදා ඔහු කළ දේම තියාගෙන අදටත් අපි එයින් ජීවත් වෙනවා මිසක් ඊට එහා ගිය දියුණුවක් දකින්න නැහැ.

ජේ. ආර්. ජයවර්ධනයන්ගේ සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යාමට හැකි වූවා නම් අද වන විට අපි පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් වන බවද ඔබ පවසන්නේ?

ඔව්. එතුමා කළ දේ අපි නැවැත්වුවේ නැහැ. අදටත් ලොකුම ආදායම් මාර්ගයක් වන්නේ එතුමා හඳුන්වා දුන් ඇඟලුම් කර්මාන්තය. නමුත් සිදුවිය යුත්තේ මෙය තවත් දියුණු විය යුතු වීමයි. එය කාටවත් වෙනස් කරන්න පුළුවන් වුණේ නැහැ. එසේ වූවා නම් අද අපේ රට තිබෙන්නේ හිතාගන්න බැරි තැනක. මන්ද චීනය වියට්නාමය කොරියාව, තායිලන්නය අද විශාල පිම්මක් පැනලා තියෙනවා.

ඔහු මෙරට ප්‍රථම විධායක ජනාධිපති. විධායක ජනාධිපති ක්‍රමය එතුමා හඳුන්වා දීම නිසා අපි ලබාගත් වාසි මොනවාද?

කිසිම රටකට අපි යටත් නොවී තවමත් ස්වාධීන රටක් වශයෙන් සිටීමට හැකි වීමයි, එයින් අපි ලබා ගත් ලොකුම වාසිය. විධායක ජනාධිපති ක්‍රමය නොතිබුණා නම් අවස්ථා කිහිපයකදී අපි වෙන රටකට යටත් වෙන්න ඉඩ තිබුණා. විධායක ජනාධිපති ක්‍රමය නොතිබුණා නම් අපිට කවදාවත් උතුරේ යුද්ධය දිනා ගන්න ලැබෙන්නේ නැහැ. දකුණේ අරගල පවා නැති කරන්න ලැබුණේ ඒ විධායක ශක්තියේ බලය තිබුණ නිසා. 1987න් පසු ඇති වූ කලබලකාරි තත්ත්වය පැවැති එක් අවස්ථාවකදී මෙරට ව්‍යාපාරිකයින් පිරිසක් ඇවිත් ජේ. ආර්. ජනාධිපතිතුමා හමුවෙලා කිව්වා , මේ රට මේ ආකාරයට ගියොත් වැටෙයි කියලා. එවිට එතුමා කිව්වේ මම මේ පුටුවේ ඉන්නකම් මේ රට වැටෙන්නේ නැහැ කියලා. විධායක ජනාධිපති පුටුවේ බලයයි එදා ඔහු ඒ ආකාරයෙන් කිව්වේ.

පසුගිය අරගල සමයේදීත් අරාජික නොවී රට යථාවත් කරන්නට හැකිවුණේ විධායක ජනාධිපති ක්‍රමය නිසාද?

ඔව්. පසුගිය කාලයේ අරගල ඇති වූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාට තනතුරින් ඉවත වෙන්න සිදු වූවත්, මේ විධායක ක්‍රමය තිබුණ නිසයි, අගමැතිවරයා ඒ අවස්ථාවේදීම විධායක බලතල සහිත ජනාධිපති බවට පත් වන්නේ. පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත යුතු වුවත්, ඒ අවස්ථාවේ ඔහු ජනාධිපති වූ මොහොතේ සිටම බලතල හිමි වෙනවා. ඒ මොහොතේ විධායක ජනාධිපති ක්‍රමයක් තිබුණේ නැතිනම් පාර්ලිමේන්තුව හරහායි ඉදිරි ජනාධිපතිවරයා ගැන තීරණයක් ගන් වෙන්නේ. එවිට අරගල මැද පාර්ලිමේන්තුවටත් මේ පිළිබඳව නිවැරැදි තීරණයට පිවිසීමට නොහැකි වෙනවා. අපිට ඉන්ධන ඇතුළු අර්බුද ගණනාවක් ඇති වී තිබුණා. ආහාර අර්බුදය ඇති වීමට ආසන්න මොහොතේයි අපි සිටියේ. එසේ සිදු වූවා නම් රට සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ තිබුණා. එවිට රට ආරාජික වී විදේශීය බලවේගයන්ට අපි නතුවීමට ඉඩ තිබුණා. මේ ප්‍රශ්නය වැළකුණේ ජනාධිපති ක්‍රමය තිබුණ නිසයි. මිලිටරි පාලනයට ගියා නම් කොතරම් හොඳ නායකයකුට වුණත් රට ආපසු ආපස්සට හැරවීමට නොහැකියි. බලන්න අද පාකිස්තාන හිටපු නායක ඉම්රාන් ඛාන්ට අත් වූ ඉරණම. අනාගතය ගැන කල්පනා කරලයි ජේ. ආර් ජයවර්ධන විධායක ක්‍රමය ගෙනාවේ. 1947 සිට එතුමා මේ දේවල් දැක්කා. අපි කළ යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නොව අනිකුත් රටවලටත් මෙය අනුගමනය කරන්න ඉල්ලීමක් කිරීමයි.

එතුමාගේ දර්ශනය හරිහැටි වටහා ගත්තා නම් ත්‍රස්තවාදි කෝලහාල මෙන්ම කැරලි කෝලහල ඇති නොවෙන්න ඉඩ තිබුණා?

ත්‍රස්තවාදය අපිට විරුද්ධව ආ සතුරු බලාවේගයක්. ත්‍රස්තවාදය හඳුනා ගන්න එතුමා ප්‍රමාද වුණා. එතුමාටත් එය හරියට තේරුණේ නැහැ. පසුව තේරුම් ගිය නිසයි ත්‍රස්තවාදී පනත ගෙනාවේ. ඒ තීරණය හරි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලය වන විට මීට පිළිතුරු දෙන්නේ කෙසේද කියා ඉගෙනගෙන තිබුණා.

නමුත් තවමත් බොහෝ දෙනා චෝදනා කරනවා, විධායක ජනාධිපති ක්‍රමය නිසයි අපිට මේ හෙනය පාත් වී ඇත්තේ කියා?

විධායක ජනාධිපති ක්‍රමය නැති කළ යුතුයි යන සංකල්පය බොහෝදෙනෙකු ඉදිරිපත් කරනවා. එවැනි දෙයක් අවශ්‍ය වී ඇත්තේ එක්තරා සුළු දේශපාලන හා ජන කොට්ඨාසයකට පමණයි. මේ ක්‍රමය යටතේ තමන්ගේ කෙනකුට බලය අල්ලා ගැනීමට අපහසු බව ඒ අය දන්නවා. පාර්ලිමේන්තුව තුළ සුළුතර පක්ෂ යම් බලයක් ලබා ගත්තත් ජනාධිපති ක්‍රමය තුළ එය පහසුවෙන් සිදු කළ නොහැකියි. මන්ද ජනාධිපති පත්වන්නේ මුළු ලංකාවේම ඡන්දවලින්. මේ නිසා කුමන ප්‍රශ්නයක් ආවත් ඇද ගන්නේ විධායක ජනාධිපති ක්‍රමයයි. මේ අයගේ පසුබිම අපි සෙවිය යුතුයි. ලංකාවේ පුරවැසිබව නොමැති, උගත් යැයි කියා ගන්නා පිරිස් මේ පිටුපස ඉන්නවා. පිටින් ලැබෙන මුදල් හා බලපෑම් නිසා මේ ක්‍රමය වෙනස් කිරීමේ ව්‍යාපාරයක් ගෙනියනවා. නමුත් විධායක ජනාධිපති ක්‍රමය මේ රටට අත්‍යාවශයි. එය නොමැතිව වසරක් හෝ මේ රට ඉදිරියට ගෙන යෑමට හැකි වන්නේ නැහැ. අද පක්ෂ කීයකට කැඩිලා තියෙනවද බලන්න? මේ තත්ත්වය රඳා පවතින්නේ විධායක ජනාධිපති ක්‍රමය නිසයි. වරක් එතුමාම කියූ කතාවක් මට මතක් වෙනවා. දවසක් ප්‍රංසයේ මහත්මයෙක් ටැක්සියකට නැග්ගලු. කොහෙද යන්නේ කියලා ටැක්සි ඩ්‍රැයිවර් ඇහුවලු. නැවත ඔබ එනතෙක් ඉන්න ද යන්න ද කියලත් ඇහුවලු. ඒ මහතා කිව්වලු මම යන්නේ අගමැති ලෙස දිවුරුම් දෙන්න කිව්වලු. එවිට ටැක්සි ඩ්‍රැයිවර් කිව්වලු. “එහෙනම් මම ඉන්නම්. මොකද ඔබ වැඩි කලක් අගමැති පුටුවේ ඉන්නේ නැති බව මම දන්න නිසා මම ඉන්නම්, ඔබගේ අගමැතිකම නැතිවූ දවසට අරගෙන යාමට“ කියලා. එයින් කියන්නේ අගමැති පුටුව වෙනස් වෙන්න යන්නේ කුඩා කාලයක් පමණක් බව.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සම්බන්ධතාව ශක්තිමත් විය යුතුය යන අදහස වසර ගණනාවකට පෙර ආසියාතික රටවලට මුලින්ම ප්‍රකාශ කළේ ජේ. ආර්. ජයවර්ධන මහතා…?

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධතාවෙන් ඉදිරියට යා යුතුය යන අදහසයි එතුමා ගෙනාවේ. ලෙකෝ ආයතනය පෞද්ගලික ආයතනයක් ලෙස පිහිටුවා වසර 40 ක් සාර්ථක වූ ලාභ ලබන ආයතනයක් වුණා. එයාර් ලංකා ආයතනයත් පිහිටු වූයේ ඒ විදියටයි. මුල් කාලයේ මෙය සාර්ථකව ඉදිරියට ගෙන ගියා. එතුමා ආයතන පෞද්ගලිකරණය කළ යුතුයි කියලා කිසිවිටකත් කිව්වේ නැහැ. පෞද්ගලික අංශයක් අපිට අවශ්‍ය බවත්, යා යුත්තේ මේ දෙක ඒකාබද්ධව බවත් එතුමා නිරන්තරයෙන් අවධාරණය කළා.

චැනල් 4 හරහා එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔබගේ අදහස.. මේ පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි ඔබ සිතන්නේද?

චැනල් 4 ඇත්ත වසන් කර වැඩසටහන් කළ බවට ඉතිහාසයේම අත්දැකීම් තියෙනවා. අපේ යුද හමුදාව දෙමළ ජාතිය සාමුල ඝාතනය කරනවා කියලා ඔවුන් මුලින්ම චෝදනාවක් ගෙනාවා. එහිදී ඔවුන් ඉදිරිපත් කළ සාක්ෂිය වන්නේ ගෝර්ඩ්න් වයිස් නම් එක්සත් ජාතින්ගේ නිලධාරියෙකු හා University Teachers for Human Rights යන ආයතනය කියූ දේවල්. මේවා අරගෙනයි මේ අය වීඩියෝ දෙක හැදුවේ. මීට කරුණු ගත්තේ ඒ ආයතනවලින්. ඔවුන් කිව්වේ අපේ රජය කාලතුවක්තු ප්‍රහාර නිරායුද කලාපයට ගැසූ බව. නමුත් පැය දෙකක වැඩසටහනේ එල්. ටී. ටී. යෙන් කාල තුවක්කු ප්‍රහාර එල්ල කළ බව ඔවුන් කිසිවිටකත් කිව්වේ නැහැ. ඒවගේම මේ කලාපයේ ඇතුළේ සිට ඔවුන් ප්‍රහාර එල්ල කළ බවත් කිව්වේ නැහැ. ඔවුන්ගේ සාක්ෂිකාරයෝ පැවැසුවේ මේ අය ඔවුන්ගේම රෝහල්වලටත් කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බවයි. නමුත් ඒවා කිසිවක් කියන්නේ නැතිව එක පැත්තක් විතරක් කීමෙන් වුණේ වැරැදි මතයක් ප්‍රචාරය වීමයි. සියල්ල විකෘති කිරීමක් සිදු වුණා. එදා ඔවුන් ඒ ආකාරයට කටයුතු කෙරුවා නම් මෙයත් අනිවාර්යයෙන්ම ඒ ආකාරයේ විකෘති කිරීමක්. මේවා ගැන සොයන්න අවශ්‍යයයි. විදේශීය පරීක්ෂණයක් අවශ්‍ය නැහැ. ලංකාවේ පරීක්ෂණයක් අවශ්‍යයයි. ඊට අමතරව අවශ්‍ය නම් විශේෂඥ දැනුම අපිට ලබාගන්න පුළුවන්. මන්ද අපේ පරීක්ෂණය ජාත්‍යන්තරය පිළිගත යුතු නිසා ජාත්‍යන්තරය පිළිගත් පුද්ගලයන් ලවා මේ පරීක්ෂණය සිදු කළ යුතුයි. එසේ වුවහොත් විදේශයන්ට ඊට බලපෑම් කිරීමට හැකි වන්නේ නැහැ.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division