Home » ‍මෛත්‍රී – ෆොනී වලියේ මුල මැද අග

‍මෛත්‍රී – ෆොනී වලියේ මුල මැද අග

by mahesh
September 23, 2023 12:35 am 0 comment

ක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහභාගී වීම ඇතුළු ඔහුගේ අමෙරිකානු සංචාරය සහ පාර්ලිමේන්තුවේ පැවති පාස්කු ඉරිදා ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කල්තැබීමේ විවාදය කෙරෙහි පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමු කෙරිණි.

නිවේදකගේ ඇස් උඩගිය ජනපතිගේ පිළිතුර

කියුබානු ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව කියුබාව බලා පිටත්ව ගිය ජනපති රනිල් වික්‍රමසිංහ එම සංචාරය නිමවා අමෙරිකා එක්සත් ජනපදය වෙත ගියේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට සහභාගී වීම උදෙසාය.

“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව සාර්ථකව අවසන් කළ ජනපති රනිල් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණියේ ඉකුත් ඉරිදාය. ජනපති කියුබාවට පිටත්ව යාමට පෙර ඉරිදා පැවැති ජේ.ආර් ජයවර්ධන සමරු උත්සවයට සුබ පැතුම් පණිවුඩයක් එක් කිරීමට ද අමතක නොකළේය.

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහා මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පැවති තිරසර සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයක් වන “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් සහභාගී වූවේ ඉකුත් සඳුදාය.

එදිනම ජනපති ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මුණ ගැසී ඵලදායී සාකච්ඡාවක නිරත වූවේය. දකුණු කොරියානු ජනපති මුණ ගැසුණු ජනපති රනිල් දෙරට අතර ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම වෙනුවෙන් සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සහාය පළ කරන ව්‍යාපාරික හමුවක් ද එහි දී පැවැත්විණි. ඉන්දු පැසිපික් කලාපය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දැක්ම ජනපති ඉදිරිපත් කළේ අමුතු උපමාවක් ද යොදමිනි. “කෙනෙක් මගෙන් ඇහුවා ඔබ ඉන්දියාවට පක්ෂපාතීද කියලා. මම කිව්වා නෑ කියලා. එහෙනම් ඔබ චීනයට පක්ෂපාතීද කියලා ඇහුවා. මම ඒකටත් නෑ කිව්වා. එහෙම නම් ඔබ කාටවත් පක්ෂපාතී නැති කෙනෙක්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ මම කිව්වා මම පක්ෂපාතී ලංකාවට පමණයි කියලා.” ජනපති කීවේ නිවේදකයාගේ ද ඇස් උඩ හිදුවමිනි.

ජනපති රනිල් රාජ්‍ය නායකයන් රැසක් සමඟ

ජනපති ජගත් සමුළුවට එක්වූවේ එදින සවසය. ජනපති බංග්ලාදේශ අගමැතිනිය මුණ ගැසුණේ අඟහරුවාදා පෙරවරුවේය. එහිදී ඇය ශ්‍රී ලංකාව ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළට සුබ පැතුම් එක් කළාය. එසේම මෙතරම් ඉක්මණින් ආර්ථිකය ශක්තිමත් කොට බංග්ලාදේශයෙන් ගත් ණය මුදල නැවත ගෙවීම ගැන ද විමතිය පළ කළාය.

ජනපති රනිල් මීටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලේග් මුණ ගැසී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මෙරටට යොදා ගැනීම ගැන සාකච්ඡා කළේය. ජනපති රනිල් නේපාල අග්‍රාමාත්‍යවරයා ද මුණ ගැසී සාකච්ඡා කළේ මේ අතරවාරයේය.

එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහනේ ප්‍රධානී සමන්තා පවර් මුණ ගැසී මෙරට සංවර්ධනයට අවශ්‍ය උපකාර කරන ලෙස ද ඉල්ලා සිටීමට ඔහු අමතක නොකළේය. ඉරාන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී ජනපති ඔහුට ආරාධනා කළේ මෙරටට පැමිණෙන ලෙසටය. උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීම වෙනුවෙන් ඔහු මෙරටට පැමිණෙනු ඇත.

දේශගුණික අභිලාෂ සමුළුව ආමන්ත්‍රණය කරමින් දේශගුණික විපර්යාස නිසා මෙරට ආර්ථිකයට වන හානිය පිළිබඳව ද පැහැදිලි කිරීමක් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටීනා ජෝර්ජිවා මුණ ගැසුණේ බදාදා ය. එදිනම පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය ද ජනපති මුණ ගැසුණේය. ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජනපති හා සාකච්ඡාවක නිරත වූවේද එදිනමය. එහිදී ජනපති වසරක් තුළ ලංකාවේ ආර්ථිකය නඟා සිටූ වීමට ගත් පියවර ඔවුහු අගය කළෝය. එම නිසා රට ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙන බව ද ඔවුන් කියා සිටියෝය.

සෙල්ෆි පොරයක්

හමුව අවසානයේ ජනපති අසලට එක් රොක්වූ ඇ‍ෙමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකියන් ජනපති සමඟ සෙල්ෆි ඡායාරූප ගැනීමට පොදි කනු දක්නට හැකි විය.

මැලේසියානු රජු විසින් මැලේසියාවට පැමිණෙන ලෙසට ජනපතිට කර ඇති ආරාධනාව මැලේසියානු අගමැති හමුවේදී ජනපති විසින් තහවුරු කළේය. ඒ අනුව ඔහු ලබන ජනවාරි හෝ සැප්තැම්බර් මාසවලදී මැලේසියාව බලා පිටත්ව යාමට නියමිතය.

ජනපති එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය අමතනු ලැබූවේ බ්‍රහස්පතින්දා දහවල්ය. එය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10.00ට පමණ විය.

ජනපති ඇමෙරිකාවේ සිට මෙරට තතු විමසයි

දින කිහිපයක් රටින් පිටව සිටිය ද මෙරට කටයුතු ගැන සොයා බැලීමට ඔහු අමතක නොකළේය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හා දුරකතනයෙන් සම්බන්ධ වෙමින් මෙරට කටයුතු ගැන ජනපති සොයා බැලුවේය. ඔහු ද ජනපතිට දිනපතා මෙරට තත්ත්වය වාර්තා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණ සිටින බැවින් ඔවුන් හා පැවැත්වෙන සාකච්ඡා ගැන ද ඔහු ජනපති දැනුම්වත් කළේය. ඊට අමතරව රාජ තාන්ත්‍රික ගැටලු කිහිපයක් ගැන ද දැනුම්වත් කොට තිබුණි. ඉකුත් ඉරිදා ජනපති ඇ‍ෙමරිකාවේ සිට දුරකතන ඇමතුමක් දෙමින් සාගලගෙන් විමසා සිටියේ මෙරට ජලාශවල පවතින තත්ත්වය ගැන සොයා බලා දැනුම් දෙන ලෙසටය.

ඒ අනුව ඔහු වහාම විදුලිබල මණ්ඩලයේ, මහවැලි අධිකාරියේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා ජල කළමනාකරණ මණ්ඩලයේ නිලධාරීන් කැඳවා රටේ ජලාශවල පවතින තත්ත්වය ගැන සාකච්ඡා කළේය. එහිදී ජලාශ වසර ගණනාවකින් පිරිසිදු කර නොතිබීමත්, රොන් මඩ තැන්පත්ව ඇති ආකාරයත් ගැන සවිස්තර වාර්තාවක් ලබාගත හැකි විය.

නාම යෝජනා අවලංගු කිරීමට අගමැති දිනේෂ් මැදිහත් වූ හැටි

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, පාර්ලිමේන්තු සංකීර්ණයේදී විෂය භාර අමාත්‍ය අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූයේ පසුගිය බදාදාය. ඊට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ද, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත ද ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ද අමාත්‍යා‍යංශයේ නිලධාරිහු ද එක්ව සිටියහ.

“පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඊට නාමයෝජනා භාර දුන් අපේක්ෂකයන් විශාල අපහසුතාවකට පත්වෙලා තියෙනවා” ඊට එක්වූ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පෙන්වා දුන්හ.

“දැන් මොකද කරන්න ඕනේ ?” දිනේෂ් ඇසීය.

“ඒ භාර දුන්න නාමයෝජනා අවලංගු කරමු” මන්ත්‍රීවරයෙක් අදහස් දැක්වීය.

“දැන් මේ සභාවේ ආණ්ඩුවේ වගේම විපක්ෂයේ අයත් ඉන්නවා, විපක්ෂයේ අයත් ඒකට එකඟද ?” ජානක වක්කුඹුර ඇසුවේ මෙය ඔහුගේ විෂයට කෙළින්ම අදාළ නිසාය.

“ඔව්, ඡන්දෙත් නැත්නම් අපේක්ෂකයන්ට අසාධාරණයක් කරන්න බෑනේ” විපක්ෂ මන්ත්‍රීවරයෙක් කියද්දී ආණ්ඩුවේ මන්ත්‍රීවරුද එයට පක්ෂව කරුණු දැක්වුහ.

“කවුරුත් විරුද්ධ නෑනේ…”

දිනේෂ් එසේ කියද්දී කිසිවෙකුත් ඊට වෙනත් අදහසක් පළ කළේ නැත. පළාත් පාලන මැතිවරණය සඳහා භාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය ලැබුණේ ඒ අනුවය.

කෙසේ වෙතත් අගමැති දිනේෂ් මෙහිදී තවත් විශේෂ කරුණක් මතු කළේය. ඒ, රජයේ ක්‍ෂේත්‍ර නිලධාරීන්ට තම මැතිවරණ බල ප්‍රදේශය තුළ ඡන්දය ඉල්ලීමට ඇති බාධා පිළිබඳව මන්ත්‍රීවරුන් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදීය. එම සාකච්ඡාව දිගට ඇදී ගියේය.

රාජ්‍ය නිලධාරින් මාරු කිරීම, ස්ථානගත කිරීම ගැන කතාබහක් මතු වූ අතර, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු පරිපාලන නිලධාරීන්ගේ ස්ථානගත කිරීම් නිසිපරිදි සිදුකළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

වලිය ඇරඹේ

පාස්කු ප්‍රහාරය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය 21,22 යන ‍දිනවල පාර්ලිමේන්තුවේ පැවති කල්තැබීමේ අවස්ථාවේ විවාදය කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු විය.

එම විවාදයේ දී මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සහ හිටපු යුද හමුදාපති ෆිල්ඩ් මාර්ෂල් සරත් ‍ෆොන්සේකා අතර ඇතිවූ දැඩි උණුසුම්කාරී බහින්බස්වීමට ද ලැබුණේ ඉහළ ප්‍රසිද්ධියකි.

විවාදයකදී මැතිසබය තුළ නිතරම රැඳී සිටින්නේ බොහෝ විට ඊට අදාළ විෂයභාර අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයාය.

නමුත් මෙම විවාදය පැවැත්වෙන අවස්ථාවලදී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකු නිතරම මැතිසබයේ දක්නට විය.

ඒ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයායි. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා රැඳී සිටියේ පාස්කු ප්‍රහාරය ගැන කතා වෙන්නේ මොනවාද? එමඟින් ඔහුට කිසිවකු චෝදනා කරයිද? කියා දැනගැනීමටය.

සරත් ෆොන්සේකා විවාදයට එක්වන විට මෛත්‍රී ඉතා ඕනෑකමින් බලා සිටියේ ෆොන්සේකාගෙන් චෝදනාවක් එල්ල වෙතැයි කියා ඉවෙන් මෙන් දැනගෙන වාගේය.

මෛත්‍රී හිතුවා වාගේම ෆොන්සේකා මෛත්‍රීට මල්ටි බැරල් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත්තේය. මේ වාදය දිගින් දිගටම උණුසුම් වෙන්නට පටන් ගත්තේ ය.

නව සන්ධානයට අනුර යාපාගෙන් භෝජන සංග්‍රහයක්

නව සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් නියෝජිත හමුව පසුගිය සෙනසුරාදා පෙරවරුවේ එම කණ්ඩායමේ මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපාගේ කුලියාපිටිය ඊරියගොල්ල නිවසෙදී පැවැත්වුණි. මේ අවස්ථාවට අමාත්‍ය නලින් ප්‍රනාන්දු, නිමල් ලන්සා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, හිටපු මහ ඇමති ධර්මසිරි දසනායක පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිලන්ත රාජපක්ෂ, සුමිත් රාජපක්ෂ, චන්දන යාපා, රණවිරු හේරත් ඇතුළු පිරිසක් සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් පිරිසක් මෙන්ම නව සන්ධාන පක්ෂ කාර්යාලය වෙනුවෙන් සුගීශ්වර බණ්ඩාර, සිරිපාල අමරසිංහ එක්ව සිටියහ.

නියෝජිත හමුව අවසන් වී පැමිණි සියලු දෙනා වෙනුවෙන් අනුර යාපාගේ නිවසේ දිවා භෝජන සංග්‍රහයක් ද සුදානම් කර තිබුණි. ඒ අතරතුර පිරිස වත්මන් දේශපාලන තොරතුරු ගැන ද සාකච්ජා කළහ.

මඩ ගැන ලාන්සා කතා කරයි

“හුඟක් අය අපට මඩ ගහනවා හැබැයි මුණට එන්නේ නෑ”නිමල් ලන්සා සිනාසෙමින් කිවේය.

“නව සන්ධානෙත් බැසිල්ගේ ගේම් එකක් කියලත් කතාවක් යනවා”රණවිරු හේරත් ප්‍රශ්න කළේය.”එහෙනං මොකටද බැසිල් කියන්නේ මේක කොහොම හරි නතර කරලා දෙන්න කියලා. නලින් ප්‍රනාන්දු ඇමැතිවරයා තරමක් කේන්තියෙන් කීවේය.

ඉදිරි කාලය තුළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන 14ම මෙවැනි නියෝජිත හමු පැවැත්වීමට ද මෙහිදී තීරණය විය.

පසුගියදා පොහොට්ටුවේ පෙර පාසල් ගුරු සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් නව සන්ධානයට එක් විය. අනතුරුව ඔහු ජනාධිපතිවරයා යටතේ ඇති කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයකු ලෙස පත්කර තිබේ. ඉදිරි කාලය තුළ තවත් වෘත්තීය සමිති නායකයන් බොහෝ දෙනකු නව සන්ධානයට එක්වීම සඳහා නිමල් ලන්සා මන්ත්‍රීවරයා සමඟ සාකච්ඡා කරමින් සිටී

වහාම විදෙස් ප්‍රතිකාර ගන්න හරින්ට වෛද්‍ය උපදෙස්

සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මාසයකට ආසන්න කාලයක් දණහිසේ ආබාධ තත්ත්වයක් හේතු කොටගෙන රෝහල්ගතව සිටි අතර අසනීප තත්ත්වය බරපතළ නිසා වෛද්‍යවරුන් නිර්දේශ කළේ විදෙස්ගතව අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙසය.

ඒ අනුව අමාත්‍යවරයා පසුගියදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස්ගත විය.

මීට පෙර අමාත්‍යාංශය විසින් සංවිධානය කළ යාල “හිල්ටන් හෝටලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීමට ප්‍රථම හෙතෙම සැත්කම් දෙකකට භාජනය වූ අතර ඔහු අදාළ උත්සවයට පැමිණියේ ද සම්පූර්ණයෙන් සුව වීමට පෙරය.

ඒ අතර ඔහු රූපවාහිනී වැඩසටහනකට ද සහභාගී විණි. හරින් රූපවාහිනී වැඩසටහන අවසන් වී නැවත නිවසට පැමිණි අතර දණහිසේ මතුව තිබූ තුවාලය නැවත ඉස්මතු විය.

වහාම එදින ඔහු නැවතත් රෝහල්ගත වූ අතර කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නට වෛද්‍යවරුන් යුහුසුලු වූහ.

කෙසේවෙතත් තත්ත්වය තවදුරටත් එසේ පැවැතියදී වෛද්‍යවරුන් පවසා සිටියේ වහාම විදෙස්ගතවී ප්‍රතිකාර ගැනීම සුදුසු බව ය.

සජිත්ගේ හෙළිදරව්ව මොකක්ද?

පාස්කු ප්‍රහාරය පිළිබඳව තමන් සුවිශේෂී හෙළිදරව්වක් කරන්නට සූදානම් බව සජිත් සිය මන්ත්‍රීවරු සමඟ පැවසීය.

“කොමිටි දානවා කියකිය ජනාධිපති තමන්ට පුරුදු සින්දුව ගහනවා. මේකේ ඇත්ත හෙළිදරව් කරන්න එයාට වුවමනාවක් නෑ”

හර්ෂණ කීවේය.

“සමහරු කියන්නේ එයාගෙ කොමිටි පක්ෂ ප්‍රතිසංවිධාන කොමිටිවගේ කියලා”

නලින් බණ්ඩාර කීවේය.

“ඔබතුමා පාස්කු ප්‍රහාරයේ ඇත්ත රටට හෙළිදරව් කරන්න.ඒක තමයි හැමෝම බලාගෙන ඉන්නේ”

එහෙම කීවේ කිරිඇල්ල ය.

“ඔව් අනිවාර්යයෙන් හෙළිදරව් කරනවා”

සජිත් කීවේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව විවාදයට එක් වූ සජිත් පාස්කු ප්‍රහාරය පිළිබඳව දීර්ඝ හෙළිදරව්වක් කළේය.

“අපිට කාටවත් මඩ ගහන්න වුවමනා නැහැ අපිට ඕන සත්‍ය ලොවට හෙළිදරව් කරන්නයි” – පාස්කු ප්‍රහාරය සම්බන්ද විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් කතාව ආරම්භ කළේ එහෙම ය.

පාස්කු ප්‍රහාරයත් ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණත් ඉන් විපතට පත් ප්‍රජාව වෙනුවෙන් සමගි ජන බලවේගයේ යෝජනාවක් ලෙස මෙම විවාදය ඉදිරිපත් කළේ කිසිදු අවස්ථාවක පුද්ගලයකුට මඩ ගැසීම, අපහාස කිරීම නොවන බවත් මෙහි ප්‍රධාන අරමුණ හා පරමාර්ථය වන්නේ සත්‍ය කුමක්ද කියා අවබෝධ කර ගැනීම බවත් ඔහු කීවේය.

“චැනල් ෆෝ නාළිකාවේ චිත්‍රපටයක් නිසා මෙය කරළියට ආවා යනුවෙන් ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු පැවසුවත් එසේ පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොමැති නිද්‍රාශීලී මන්ත්‍රීවරුන් බව සජිත් කීවේය.

නාමල්ට යෝකර් එකක්

ආසියානු කුසලාන අවසන් මහා තරගය පරාජය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලී ජනතාව අතිශය කනගාටුවට පත්විය. ඒ වගේම විවිධ චෝදනා ද එල්ල වන්නට විය. පසුගිය සතිය පුරාම තිබුණේ ක්‍රිකට් උණුසුම වූ අතර පාර්ලිමේන්තුව තුළට ද ක්‍රිකට් උණුසුම දැනී තිබිණි.

නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු ආපණ ශාලාවට පැමිණියේ තනිවමය. ඔහුගේ මිතුරන් ආපනශාලාවේ සිට නාමල්ට ඇමතුම් ලබා දී තිබුණේ කඩිනමින් එහි පැමිණෙන ලෙස දන්වමිනි. නාමල් මෙසේ පැමිණෙන විට පාර්ලිමේන්තු සේවකයන් පිරිසක් නාමල්ව වටකර ගත්හ. ඔබතුමා හිටපු ක්‍රීඩා ඇමැතිතුමා. ඔබතුමා තමයි ක්‍රිකට් ගොඩගන්න කටයුතු කළේ. මොකද අප්පා අපට වුණේ. පාර්ලිමේන්තු සේවකයින් නාමල්ගෙන් විමසීය. ඔව් අපි ගොඩාක් පැරදෙමින් හිටිය කාලයක් තිබුණා. එතකොට අපි කණ්ඩායම හැදුවා. අපේ ඉලක්කය උනේ ආසියාවේ අංක එකට දෙකට එන්න. මොකද එකපාරටම බැහැ ලෝක ශූරයෝ වෙන්න. අපි දැන් ආසියාවේ ඉලක්කයට ආවා. ටී ටුවෙන්ටි ආසියානු ශූරයෝ වුනා ෆිෆ්ටි ඕවර්ස් අනුශූරතාවය දිනා ගත්තා. අපේ සැලැස්ම වැඩ කරමින් තියෙනවා, නාමල් උත්තර බැන්දේය. සර් එතකොට අඩුම අඩු ගාණකට අවුට් උනේ නැවත පාර්ලිමේන්තු සේවකයන්ගෙන් යෝකර් පන්දුවක් නාමල්ට වැටුණේය. ඒවා එහෙම තමයි ඇයි සංගා, ඇන්ජලෝ, මහේල, උපුල් තරංග, ඩිල්ෂාන් මේ ඔක්කොම ඉද්දි දකුණු අප්‍රිකාවට 43කට අවුට් වුනේ. ඇයි ඉන්දියාව ඕස්ට්‍රේලියාව එක්ක ටෙස්ට් තරගයකදි ලකුණු 36කට අවුට් වුනේ. හැබැයි ඉන්දියාව ටෙස්ට් සීරීස් එකම දින්නා නාමල් පැවසීය.

මුහුණු පොතේ විකෘතීන්ට වජිරගේ දැඩි අප්‍රසාදය

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය බදාදා උදෑසන සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. තේරීම්කාරක සභාවේ දී රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් වජිර අබේවර්ධන මහතා සිදු කළ ප්‍රකාශයක් විකෘති කොට දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හට යම් අපහාස සිදුවී තිබේ නම් ඒ සඳහා තමාගේ කනගාටුව ප්‍රකාශ කරන බව වජිර මෙහිදී ප්‍රකාශ කළේය.

කෙසේ හෝ බංකොලොත් රට නිවැරදි මාවතට ගෙන එමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙහෙයවමින් සිටින විට ඕනෑම රාජ්‍ය නිලධාරියකු හා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් අද නිවැරදි මාවතක ගමන් කරවමින් සිටින අවස්ථාවක අනාගතයේ මෙවැනි සිදුවීම් සිදු නොවීමට තේරීම් කාරක සභාවක් මඟින් සිදු කරමින් සිටින්නේ ඒවා නිවැරදි කර, ඒවාට අදාළ තොරතුරු සොයාගෙන, ඒ සඳහා අවශ්‍ය කරන නීති රීති සම්පාදනය කිරීම සහ මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පියවර ගැනීමයි.” යනුවෙන් වජිර අබේවර්ධන මෙහිදී පැවසීය.

ජනපතිගේ අමෙරිකානු සංචාරයේ වැදගත්කම වජිර කියයි

එම කරුණු දැක්වීමෙන් අනතුරුව වජිර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ගේ කියුබා සහ අ‍ෙමරිකානු නිල සංචාරය පිළිබඳව ද ඉතා හොඳ කරුණු දැක්වීමක් සිදු කළේ මාධ්‍යවේදී ඒ ගැනද ප්‍රශ්න කළ නිසාය.

“ජනාධිපතිතුමාගේ විදේශ සංචාරය ගැනත් මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට තිබෙනවා. විශේෂයෙන් ජනාධිපතිතුමා කියුබාවේ සිට G77 සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ විශේෂ කාරණා කිහිපයක්ම ප්‍රකාශ කළා. ඒ වගේම එම කරුණු කාරණා ජයග්‍රහණය කරගැනීම සඳහා අවශ්‍ය කරන මාර්ගය ද එතුමා සකස් කරගෙන තිබෙනවා.

විශේෂයෙන්ම මේ රටේ අනාගත තරුණ පරම්පරාවට කොහොමද ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් තරුණ පරම්පරාවක් හැටියට නැඟී සිටින්නේ සහ ලෝකයේ පවතින තාක්ෂණික මෙවලම් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව G77 සමුළුවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා.

ඒ වගේම එතුමා ඊයේ දිනයේදීත්, පෙරේදා දිනයේදීත් ඒ වගේම අද දිනයේදීත් ශ්‍රී ලංකාවට ඉතා අත්‍යවශ්‍ය සහ ඉතා වැදගත් රාජ්‍ය නායකයන් හා ලෝක බැංකුවේ සභාපතිවරයා ඇතුළු අපට අවශ්‍ය කරන රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් දැනුවත් කරමින් කටයුතු කරමින් සිටිනවා.

ඊයේ එතුමා ලෝක බැංකු සභාපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේදී ලෝක බැංකු සභාපතිවරයා විශේෂ ස්තූතියක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ශ්‍රී ලංකා රජයටත් පළ කර සිටියා, බංකොලොත් වූ රටක් මේ තරම් ඉක්මනින් නිවැරදි මාවතට යොමු කිරීම ගැන.

ඒ වගේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලෝක බැංකු සභාපතිවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන ලෙසත් ආරාධනා කර සිටියා. ඒ අැරියුම එතුමා පිළි අරගෙන තිබුණා. එතුමා වැනි ප්‍රධාන මූල්‍ය ආයතනයක නිලධාරීන් පැමිණීම ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව මා මේ මොහොතේදී සිහිපත් කරන්න කැමතියි යනුවෙන් වජිර අබේවර්ධන පැවසීය.

දුම්රිය රියැදුරකුගේ ගිණුමට ලක්ෂ 35ක්

දුම්රිය වෘත්තීය සමිති හිටපු ක්‍රියාකාරියකු වූ රියැදුරු ඉන්දික දොඩන්ගොඩ නැමැත්තෙක් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනට එරෙහිව අපහාසාත්මක චෝදනා එල්ල කරමින් කළ ප්‍රකාශයට එරෙහිව අමාත්‍යවරයා ඉකුත් සතියේ සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළේය. එපමණකින් නොනැවතී ඇම­ැතිවරයා සිය නීති උපදේශකවරුන් වන වී.කේ චොක්සි හා ඩී.එස් රත්නායක මහත්ම මහත්මීන් මඟින් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා ඉහත පුද්ගලයා වෙත එන්තරවාසියක් යැවීමටද කටයුතු කළේය.

ඊට අමතරව අමාත්‍යවරයා දුම්රිය සාමානාධිකාරවයා ඇතුළු ඉහළ නිලධාරීන් ඇතුළු පිරිස කැඳවා ඉකුත් සඳුදා දිනයේ මේ පිළිබඳව විශේෂ සාකච්ජාවක් ද නිරත විය.

එම සාකච්ජාවේදී හෙළි වූයේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කටයුත්තකට හවුල්වීම හේතුකොට ගෙන ඉහත පුද්ගලයාගේ ගිණුමට රුපියල් තිස් පන් ලක්ෂ හැටදාහසක (3,560,000) මුදලක් බැරවී ඇති බවය.

ඒ මහජන බැංකුවේ මුලස්ථාන ශාඛාවේ ඩී. එච්. ඉන්දික නමින් ඇති ගිණුමට 2023 පෙබරවාරි 07 වැනිදා ලක්ෂ 31ක මුදලක් ද 2023 මාර්තු 13 හා 14 දිනවල රුපියල් හාරලක්ෂ හැටදහසක ද වශයෙනි.

මෙම තොරතුරු අනාවරණය වීමත් සමඟම එම රැස්වීමට සහභාගී සිටි ඇමතිවරයා ඇතුළු නිලධාරීහූ මුහුණට මුහුණ බලා ගත්හ.

මෙම පුද්ගලයාගේ ඇමැතිවරයාට එරෙහිව අපහාසාත්මක කතා විකාශය කළ ටී.වී. හා රේඩියෝ නාළිකා දෙකක් හා වෙබ් අඩවියක පළ වූ දර්ශන හා තොරතුරු ඇතුළත් සංයුක්ත තැටි පසුගිය බදාදා වැඩිදුර විමර්ශනය සඳහා අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ෂෙරොන් සමරනායක විසින් සී.අයි.ඩී.ය වෙත භාර දී තිබේ.

ඇමැති මනුෂ පුත්තල‍ම් නැටුවේ කා සමඟද?

මනූෂ නානායක්කාර අමාත්‍යවරයා අප්‍රිකානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් සමඟ නර්තයෙන් යෙදෙන වීඩියෝවක් පසුගිය සතියේදී සමාජ මාධ්‍යයට නිකුත්වී තිබුණි.

මනූෂ අප්‍රිකානු සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් හමුවීමට ගොස් තිබුණේ දැනට මාසයකට පමණ පෙරදීය. අනාගත ශ්‍රමිකයා සම්බන්ධයෙන් සහ කම්කරු ඉතිහායස පිළිබඳ විවේචනාත්මක අධ්‍යයනයක යෙදුණ ඔහු පෘතුගීසින්ගේ වහලුන් ලෙස ලංකාවට ගෙන ආ අප්‍රිකානුවන්ගේ පස්වැනි පරම්පරාව හමුවීමට ගියේ ඔවුන් ලංකාවට පැමිණි පළමු කම්කරුවන් වන නිසාය. ඒ ඔහුගේ “ ද රයිට් අයි” කෘතිය සඳහා ය.

පුත්තලමේ සිරම්බිඅඩි ප්‍රදේශයට ගොස් ඔවුන් හමුවූ අමාත්‍යවරයා ඔවුන්ගේ සංස්කෘතිය ගැනද සොයා බැලුවේය. ඒ අනුව ඔවුන්ගේ සංස්කෘතිකාංගයක් අමාත්‍යවරයා ඉදිරියේ ඉදිරිපත් කළේය.

“අපිත් එක්ක නටන්න එන්න” මනූෂට ඔවුන්ගෙන් ආරාධනාවක් විය

“මටත් හොදට නටන්න පුළුවන්”කී මනූෂ ඔවුන් සමඟ හරි හරියට නැටුවේය

කැෆර්වරු සමඟ නැටුමෙන් නතර නොවුණ මනූෂ ඔවුන්ට පොරොන්දුවක්ද දුන්නේය.

“මම ඔයගොල්න්ගේ සංස්කෘතිය, සංචාරක කර්මාන්තයට දායක කරගන්න පුළුවන් වෙන්න සංස්කෘතික මධ්‍යස්ථානයක් හදන්න උදව් කරන්නම්”මනුෂ පොරොන්දුවක් දුන්නේය.

අජිත් රාජපක්ෂ තරුණ ප්‍රජාවගෙන් ඉල්ලුවේ මොනවාද?

හැකියාවක් ඇති රැකියා නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායමක් හිමිවන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා පාර්ලිමේන්තුවේද උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කළේය. එමඟින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙස ද නියෝජ්‍ය කථානායකවරයා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය.

අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා තරුණ කවය සංවිධානයේ සභාපති මහීන් දිසානායක, එහි උපදේශක සහ සණස බැංකුවේ සමිති සංවර්ධන ප්‍රධානී තුසිත වීරවර්ධන පසුගිය දින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.

වයස අවුරුදු 18-30ත් අතර වයස් සීමාවේ පසුවන හැකියාවන් සහිත රැකියාවන් නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායමක් ලැබෙන ආකාරයට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

සංස්කෘතික, කලා, ක්‍රීඩා ඇතුළු විවිධ නිර්මාණ හැකියාවන් ඇති තරුණ තරුණියන්ට මාසික ආදායමක් ලැබෙන පරිදි ඔවුන් දැනුම්වත් කිරීම හා එම ආදායම් මාර්ග ලබාගැනීමට ඔවුන් යොමු කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division