Home » තෝමස් මැල්තස්, වින්ස්ටන්ට් චර්චිල් සහ ඩාං ඩූං

තෝමස් මැල්තස්, වින්ස්ටන්ට් චර්චිල් සහ ඩාං ඩූං

by mahesh
September 23, 2023 12:30 am 0 comment

දෙවන ලෝක යුද්ධයේ ජයග්‍රාහී මිත්‍ර හමුදා පාර්ශ්වයට දේශපාලන නායකත්වය ලබාදුන් එක්සත් රාජධානියේ අගමැති වින්ස්ටන්ට් චර්චිල්ගේ අාපදානය ලියන ලද්දේ ඔහුගේ පුත්‍රයා වූ රැන්ඩොල්ෆ් චර්චිල් විසිනි. එම පොතේ සඳහන් වන පරිදි, කිසිදු රටක් චීනය සමඟ යුද්ධයක් පටන්ගත නොයුතු බව චර්චිල් කියයි. යුද්ධයෙන් මැරෙන මැරෙන එකා වෙනුවට කුහුඹු ගුලකින් කුහුඹින් එළියට ඇදී එන්නා සේ අලුතෙන් චීනුන් ආයුධ රැගෙන යුද්ධයට එකතු වෙනවා ඇත. මෙය ලංකාවේ ජනගහනය කෙසේ වෙතත් පාත­ාලය සම්බන්ධයෙන් තිබෙන සත්‍යයකි. මේ රටේ පාතාලකාරයන් කොපමණ මැරුණත් කොපමණ හිරේ දැමුවත් හැමදාම අලුත් කට්ටිය මතුවෙයි. උන් ඉවක් බවක් නැතුව මහ පාරට පැන මිනිසුන්ට වෙඩි තබති. කඩු මන්න කැතිවලින් කපා මරති. මේ ගැන ඉදිරි ඡේදවලදී තවදුරටත් සාකච්ඡා කරමු.

ඒ අතර ජනගහනයට අදාළ ප්‍රසිද්ධ මතයක් ඉදිරිපත් කිරීම අපේ අදහස වේ. 1766 සහ 1834 අතර කාලය තුළ Thomas Malthus නැමැති ජනගහන විද්‍යාඥයෙක් වාසය කළේය. එමතුද නොව අර්ථ ශාස්ත්‍රඥයකු සහ කතෝලික පූජකයකු ද වූ හෙතෙම ජනගහනයේ වර්ධනය සහ පාලනය පිළිබඳ වැදගත්ම න්‍යාය ඉදිරිපත් කළ තැනැත්තා ලෙස ඉතිහාස ගත වෙයි. ඔහු කියන පරිදි උපත් පාලන ක්‍රියාවලියකින් හෝ සංහාරය කිරීමකින් හෝ ලෙඩ රෝග වසංගත ඇතුළු වෙනත් විනාශකාරී සිදුවීම්වලින් හෝ පාලනය නොකරන ජනගහනය සෑම අවුරුදු 25ට වරක්ම දෙගුණ වෙයි. එහෙත් ස්වභාවධර්මය එසේ වීමට ඉඩ හරින්නේ නැත. යුද්ධ, වසංගත, භූමිකම්පා, ප්‍රචණ්ඩ ක්‍රියා, සුනාමි වැනි විනාශයන් මඟින් පෘථිවියට දැරිය හැකි තරමට ජනගහනය පාලනය කිරීමට ස්වභාවධර්මය කටයුතු කරයි.

අපේ පාතාලය සම්බන්ධයෙන් මැල්තස්ගේ ජනගහන පාලන න්‍යාය ක්‍රියාත්මක වන බවක් නොපෙනේ. හැබැයි චර්චිල්ගේ උදාහරණය පමණක්, එනම් කූඹින් මෙන් සෙනඟ ඇදී ඒම පමණක් පාතාලයට අදාළව සිදු වේ. මේ රටේ ජනතාවගේ ආරක්ෂාවට පොලිසියෙන් ලැබෙන සහයෝගය අති මහත්ය. එසේම එම ජනගහනය තුළ සිටින පාතාලකාරයන්ද වෙනම තෝරාගෙන ආරක්ෂා කිරීමට පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් කටයුතු කරන බව පැහැදිලිය.

දේශපාලනඥයෝ ද, පොලිස් නිලධාරීහු ද පාතාලය සමඟ ගනුදෙනු කරති. බොහෝවිට පාතාලකරුවන් ආයුධ පෙන්වීම සඳහා ගෙනයනු ලබන්නේ එකී දේශපාලනඥයන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ නම් එළියට එන්නට ඔන්න මෙන්න කියා තිබියදීය. කොස්ගොඩ තාරක සහ මාකඳුරේ මධූෂ් යන දෙදෙනාගේම පරීක්ෂණ තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් පොලිස් නිලධාරියකු යටතේය. කුඩු බෙදාහරින්නන්වූ මේ දෙදෙනා අත යහමින් සල්ලි තිබිණ. ඔහු දක්ෂ නිලධාරියෙකි. පසුගියදා CID යෙන් පැනයන්නට උත්සාහ කළ හරක් කටා පිළිබඳ පරීක්ෂණ තමා යටතට පත් කරන ලෙස ඔහු නිතරම ඉල්ලා සිටියේය. ඊට අමතරව හරක් කටා සහ කුඩු සළිඳු සිටින කූඩු වෙත ගිය ඔහු ඔවුන් සමඟ සාකච්ඡා කර ඇත. කජු ගෙඩිය තුළ නොසිටිය ද ඕනෑම කජු පුහුලමක් තුළ පණුවන් සිටිනවා ඇත.

මේ අවුරුද්දේ ජනවාරි සිට අද දක්වා වෙඩි තබා මරණ ලද මිනිසුන් ගණන 44කි. පොලිස් මාධ්‍යය ප්‍රකාශක නිහාල් තල්දූව කියන පරිදි වෙඩි තැබීම්වලින් තුවාල ලබා රෝහල්ගතවී සිටින පිරිස 6 කි. 2109දී අපේ රටේ මිනී මැරුම් 273ක් සිදුවිය. 2022 දී එම ගණන 523 දක්වා ඉහළ ගියේය. වෙඩි තැබීම්, පොලුවලින් ගැසීම්, කඩුවලින් කැපීම්, ගිනි තබා මැරීම් යනාදිය මෙයට අයත්ය. 2023දී ගතවූ දින 126 ක කාලය තුළ පුද්ගලයන් 233 ක් ඝාතනය වී ඇතැයි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු සහ අපරාධ විශ්ලේෂකයකු වන ප්‍රියන්ත ජයකොඩි කියයි. කිසියම් හේතුවක් නිසා අපේ රටේ ඔත්තු සේවා බිඳ වැටී ඇති බව පැහැදිලිය. හැබැයි මේ සියලු කාරණා අතර මිනී මරුවන් ඇල්ලීමේ ක්‍රියාවලියේදී පොලිසිය ඉතාම කාර්යක්ෂමව කටයුතු කරන බව පෙනේ. ඇතැම් මිනී මැරුම් සිදුකර තුන් පැයක් ගතවීමට පෙර මිනී මරුවා අල්ලා ගත් බව පෙනේ. මේ අවුරුද්දේ මිනී මැරුම් සංඛ්‍යාව තවමත් 146 සීමාවේ තිබුණ ද අපරාධ සංඛ්‍යාව අඩුම ගණනේ 5000 ඉක්මවන්නට ඇති බව අපගේ මතය වේ.

ශ්‍රී ලංකාවේ මිනී මැරුම් සහ අපරාධ වර්ධනයට බටහිර ලෝකය ද වගකිව යුතුය. අපේ රටේ මිනීමරුවන් එල්ලුම් ගස් යැව්වොත් අපට ණයට මුදල් නොදෙන ලෙස ඉල්ලා ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් වැනි සංවිධාන ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඉදිරියට ගොස් විරෝධය පළ කරනවා ඇත. මේ බලපෑම මුලින්ම ආවේ ජේ.ආර්. ජයවර්ධනටය. ඒ නිසා ඔහු මේ රටේ නායකත්වයට පත්වූ 1977 සිට අද දක්වාම කිසිවකු එල්ලා මරා නැත. මෙහෙම දිගටම ගියොත් සාමාන්‍ය ජනතාවට සිදුවන්නේ අපරාධකාරයන් ඉතුරු කර තමන්ම එල්ලා මැරෙන්නටය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division