Home » සාහිත්‍ය සම්මාන පිටුපස රැව්දෙන පිටකවර අලකලංචිය

සාහිත්‍ය සම්මාන පිටුපස රැව්දෙන පිටකවර අලකලංචිය

by mahesh
September 23, 2023 12:30 am 0 comment

හොඳ පොතක් කවරයෙන් මනින්න එපා යැයි කියනු ඔබ බොහෝ විට අසා ඇත. එය සත්‍යයකි. එසේ වුවත් බොහෝ දෙනා පොත් තෝරා ගැනීමේදී කවරය පිළිබඳ අවධානය යොමු කිරීම නිරායාසයෙන් ම සිදුවන්නකි. සිත් ඇදගන්නා සුළු මාතෘකා, විවිධ හැඩයෙන් නිමැවූ අක්ෂර, චිත්‍ර, මෝස්තර ආදිය එහිදී කැපී පෙනේ. ඉකුත් දා පැවති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවය නිමාවීමත් සමඟ සමාජ මාධ්‍ය උණුසුම් කළ පුවතක් වූයේ ද මෙකි කවර නිර්මාණකරණය පිළිබඳවය. එහිදී චෝදනා නඟා තිබුණේ සම්මානයට පාත්‍ර වූ පවන් අංජන කවර නිර්මාණය සඳහා යොදාගත් කවරය ඉතාලියානු කෘතියකින් උපුටා ගත්තක් බවය. අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳව එහි ප්‍රාමාණිකයන්ගේ අදහස් විමසීමට අප ගත් උත්සාහයකි මේ.

කවරය ගැන කතා කරන අය පොත කියවලම ඒ ගැන කතා කළා නම් කොච්චර හොඳද 
– 2023 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලළේ හොඳම පිටකවර නිර්මාණය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ පවන් අංජන

ලංකාවේ මම ඇතුළුව සීයට අනූවක්ම කවර නිර්මාණකරණයේ නියැළෙන බොහෝ දෙනා කරන්නේ කවර සැලසුම්කරණයයි. ‘සැලසුම්කරණය’ කියන්නෙ පොතේ අන්තර්ගතයට සුදුසු විදියට යම් ඡායාරූපයක්, චිත්‍රයක් හෝ හැඩතල කීපයක් එක්කාසු කරල හැඩය, අවකාශය, වර්ණ සහ අක්ෂර ගැළපීම වගේ දේවල් එක්ක මුද්‍රණයට සූදානම් කිරීම. මීට අමතරව සමස්ත රූපසටහන් අතින් හෝ පරිගණකයෙන් ඇඳල ගන්න අයත් ඉන්නවා. නමුත් අතින් ඇඳීම හැම පොතකටම ගැළපෙන්නෙ නෑ.

මෙහිදී කවරයට අදාළ රූපසටහන් බොහෝ වෙලාවට අරගන්නෙ අන්තර්ජාලයෙන්. ඇතැම් අවස්ථාවල ඒ සඳහා පෞද්ගලිකව ගෙවීමක් කරන අවස්ථා වගේම ගෙවීමකින් තොරව අරගන්න අවස්ථා තිබෙනවා. නමුත් අදාළ නිර්මාණයේ මුල් හිමිකරුගෙ නම සඳහන් කරන්න මං වග බලා ගන්නවා. එහෙම මඟ ඇරුණ නම් ඒ මුල් හිමිකරුගෙ නම හොයාගන්න නොහැකි අවස්ථාවල පමණයි. එවැනි අවස්ථාවල ‘අයිතිය නොදනී’ කියා සටහන් තබන අවස්ථා තියෙනවා.

‘අතිශය අභ්‍යන්තර පරීක්ෂණය’ පොතට හදපු කවරය මම කරපු වැඩවලින් වඩාත් ආසාවෙන් කරපු වැඩක්. මේක අර පිරිස උපුටා දක්වන ඉතාලි කවරයෙන් මම සම්පූර්ණයෙන් කොපි කළායි කියන කතාව මම ප්‍රතික්ෂේප කරනවා. මම එහෙම ප්‍රතික්ෂේප කරන්නෙ සම්මානය නිසා නෙවෙයි. ඒ කවරයට මම මහන්සි වුණ නිසා සහ මම ඒක ඇතුළෙ අර්ථයක් ගොඩනඟන්න උත්සහ කරපු නිසා. මේ කවරය ගැන කතා කරන බොහෝ අය පොත කියවා නැහැ. මම කවරයෙන් ගොඩනඟන්න හදපු සංකල්ප ලෝකය පැහැදිලිව කෙනෙක්ට තේරුම් යන්න නම් මේ පොත කියවන්නම ඕන. එහෙම වුණා නම් ඔහොම ප්‍රශ්න මතු වෙන්නේ නැහැ. ඒ වගේම මේකට කිසිම සම්බන්ධයක් නැති විදේශීය කතාවක කවරයක් මේ පොතට ගැළපෙන්නෙ කොහොමද කියන එක මට ගැටලුවක්. මේ පොතේ තියෙන්නෙ සිංහලයට පරිවර්තනය වුණ දමිළ කෙටිකතා එකතුවක්. පොතේ කතා සේරම මට දැනුණු කතා.

ගොඩක් පොත්වල කවරය සැලසුම් කරන්න කලින් සම්පූර්ණයෙන් පොත කියවන්නෙ නැතිම තරම්. ඒත් මේ පොත මම කියෙව්වා. මොකද මේකෙ පිටු සැලසුම කළෙත් මම. ඉතින් මට මුලින් ඕන කළේ පොතේ සමස්ත හැඟීම දැනෙන රූපයක් කවරෙට ගේන්න. පළමුවැනි රූපය ඒකට ගැළපෙයි කියල හිතුවා. ඊළඟට ‘අතිශය අභ්‍යන්තර පරීක්ෂණය’ කියන කෙටිකතාව මුල් කරගෙන මිනිස් රූපයක් සහිත කටුසටහන ඇන්දා. කෙටිකතාවෙ තියෙන්නෙ අවුරුදු ගාණක් ළිඳක් ඇතුළේ ජීවත් වුණ මනුස්සයෙක් මුල් කරගත් අධියථාර්ථවාදී කතාවක්. ඉතින් ළිඳ ඇතුළෙ මනුස්සයෙක් වැතිරිල ඉන්න රූපයක් සංකේතාත්මකව වෙනස් විදියකට පෙන්නනයි මට ඕන කළේ. ඒකට මුලින් ඇඳපු රූපය ඒක. ඒත් ඒකටත් වඩා වෙනස් විදියකින් ඒක පෙන්නන පුළුවන් අදහසක් මම හෙව්වා. මම අදහස් සහ රූපසටහන් හොයන්න පාවිච්චි කරන පින්ටරෙස්ට් වෙබ් අඩවියට පිවිසුණා. එතන ඔය ඉතාලි කවරය කියන රූපයත් තියෙනව. ඒක කවරයකට වඩා පෝස්ටර් එකකට කිට්ටුයි. අනිත් කවර සහ පෝස්ටර් සියල්ලත් එකකට එකක් බොහෝදුරට සමානයි. පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නෙ. ඔබ හොඳින් බැලුවොත් පේනව අර පිරිස උපුටා දක්වපු කවරයට සහ මම සැලසුම් කළ කවරයට හැඩයෙන් ඉතාම සමාන තව ‍රූප දෙකක් මෙහි ඇති බව. මම මේ හැඩය කවරයට ගන්න හිතුවෙ ඒකෙ ඇතුළෙන් මට අර ළිඳක නැත්නම් වළක ගැඹුර පේන හැඩයක් සහ යම් කම්පනයක ස්වරූපයක් දැනන හැඩයක් නිසා. ඇතුළට රතුපාට දැම්මෙ කතාව පාදක වෙන යුද්ධය සහ ලේ සංකේතවත් කරන්න. ඊළඟට ඒ රතු රවුම ඇතුළට මිනිස් රූපයක් ඇන්දෙ කතාවෙ චරිතය එතනට ගේන්න. ඒ රූපයත් මුලින් ආකාර දෙකකට ඇන්ඳා. කවරයෙ අකුරුවලට පාවිච්චි කළේ පුෂ්පානන්ද ඒකනායක, දමිත් වැලිකල සහ පසන් තිලකවර්ධන නිර්මාණය කරපු ෆොන්ට්ස්. මම ඒ ෆොන්ට් නිර්මාණකරුවන්ගෙ නම් පවා මේ පොත ඇතුළෙ සඳහන් කරල තියෙනවා. ඒක ලංකාවෙ පොත්වලදි කෙරෙන්නෙම නැති දෙයක්. මේ හොරකම් කරා කියන පොත ඇතුළෙ මම ඒ ගරු කිරීමත් කරල තියෙනවා.

———————————————————————————————————————————

අද කවර නිර්මාණ කියන්නේ නිර්මාණ කාර්යයකට වඩා එකලස් කිරීමේ කාර්යයකට
– කවර නිර්මාණ ශිල්පී ප්‍රේම් දිසානායක

කවර හෝ අයෙක් පිටකවරයක් නිර්මාණය කරනවා නම් ඔහුට හෝ ඇයට සිතුවම් ඇඳීමේ හැකියාව, වර්ණ ගැළපීමේ හැකියාව, අක්ෂර හා මිනිස් රූප ඇඳීම පිළිබඳ මනා පරිචයක් තිබිය යුතුයි. එමඟින් තමයි නිර්මාණ ශිල්පියාගේ ශිල්පීය අනන්‍යතාව මතුවන්නේ. ඉතිහාසයේ කවර නිර්මාණකරණයේ යෙදුණ ශිලිපීන් ගේ නිර්මාණ අරන් බැලුවොත් නම සඳහන් නොවුණත් ශිල්පියා හඳුන ගන්න පුළුවන්. ඒ ඔහුගේ අනන්‍යතාව නිසා. ඒ කුසලතාව මත නිර්මාණය මතුවීමේ ගුණය නිසයි. එය තමයි ඔවුන්ගේ පදනම වුණේ.

නූතන තාක්ෂණය එක්ක මේ පදනම අද වෙද්දී වෙනස් වී තිබෙනවා. මේ නව තාක්ෂණය සමඟ වැඩ කිරීමේදී ඉතාම පහසුවෙන් වඩාත් නිවැරදිව කටයුතු කරන්න ශිල්පියාට හැකියාව සැලසෙනවා. නමුත් මේ නිර්මාණවල සමානකමක් අපට පේනවා. ඒකට හේතුව තමයි අද කවර නිර්මාණ කියන්නේ නිර්මාණ කාර්යයකට වඩා එකලස් කිරීමේ කාර්යයකට වීම. පරිණත නිර්මාණ ශිල්පියකුට කරන්න තියෙන්නේ ඒ පහසුකම් උපයෝගී කරගෙන අන්තර්ගතය ගැළපෙන කවරයක් නිර්මාණය කර දීමයි. අප අද බොහෝවිට දකින්නේ අන්තර්ගතයට කිසිම සම්බන්ධයක් නැති හුදු ආකර්ෂණය දිනාගැනීම මත පදනම්ව කරන නිර්මාණ. නමුත් නවකතාවක්, කෙටි කතාවක්, කාව්‍ය සංග්‍රහයක් හෝ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් හෝ වේවා අප ඒ සඳහා කවරයක් නිර්මාණය කළ යුත්තේ එහි අන්තර්ගතය වටහාගෙනයි. නැත්තම් වෙන්නේ විලාසිතාමය වටිනාකම පමණක් ඉතිරි වී එහි නිර්මාණාත්මක වටිනාකම ගිලිහී යෑමයි. පෙර පැවති ශිල්පීය අනන්‍යතාව අවම වීමත් සමඟ අද මේ දුර්වලකම මතු වී පෙනෙනවා. අද ඕනෑ තරම් මෘදුකාංග තියෙනවා. ඒ මෘදුකාංග හැසිරවීමට දක්ෂ තාක්ෂණික ශිල්පීන් ඉන්නවා. නමුත් ඔවුන් තුළ ශිල්පීය දක්ෂතාව අවමයි. එනිසා මා යොජනා කරන්නේ ඒ හැකියාවට ශිල්පීය දක්ෂතාව ගොනුකර ගැනීම ඉතාම වැදගත් බවයි.

———————————————————————————————————————————

මීට කලින් සාකච්ඡා කළ යුතුව තිබුණු මාතෘකාවක් 
– පිට කවර සැකසුම් ශිලපී විකුම් ජිතේන්ද්‍ර

මේ සාකච්ඡාවට ආසන්නම හේතුව සම්මානය වුවත්, අප මේ පිළිබඳව විෂයාත්මකව කියවා ගැනීම වඩාත් සුදුසුයි. ග්‍රැෆික් නිර්මාණකරුවන්ගේ ප්‍රයෝජනය උදෙසා, අධි විභේදනයක් සහිත ඡායාරුප සහ චිත්‍රක නොමිලේ සහ මුදලට ලබාදෙන වෙබ් අඩවි අන්තර්ජාලයේ තිබෙනවා. එතැනදී පොත් පිටකවර පිටුසැලසුම් ශිල්පියාගේ කාර්යය වන්නේ ඒවා තෝරා දීමට පමණක් සීමා නොවී ඒවා මෙවලම් ලෙස පාවිච්චි කරමින් අර්ථ පූර්ණ ප්‍රතිනිර්මාණයක් සිදු කිරීමයි.

එය සංකල්පීයව සිදු කරන්නේ කිනම් ප්‍රමාණයට ද යන්න අදාළ අවශ්‍යතාව මත සහ කවරය සඳහා යෝජිත කෘතියේ සන්දර්භය අනුව තීරණය වන්නක්. මේ ගැන දෘශ්‍ය කලාව සම්බන්ධ නිර්ණායක සහ න්‍යායන් පිළිබඳ උනන්දුවන, ඊට උනන්දු දැනුමක් සහිත පුද්ගලයන්ට සංවාද කළ හැකියි.

මගේ පාර්ශ්වයෙන් ගතහොත් නිතරම උත්සාහ කරන්නේ අර්ථ නිෂ්පත්තියක් සහිත ගුණාත්මක ග්‍රැෆික් භාවිතයකින් යුතු කවරයක් දීමට. මම ප්‍රසිද්ධ කලා කෘති පිට කවර සඳහා යොදා ගත් අවස්ථා තිබෙනවා. ඒ අදාළ කෘතියේ අන්තර්ගතය හා සම්බන්ධතාව සලකා. The Thinker ප්‍රතිමාව, cupid and psyche අනුරුව ආදිය ඒ අතර වෙනවා. මේවා ලෝක ප්‍රසිද්ධ කලා කෘති. ඒක බලන ඕනෙම කෙනකුට දැනෙනවා. එහි දී කවරය තුළ මගේ පාර්ශ්වයෙන් කළ එකතු කිරීම් සමඟ ප්‍රති නිෂ්පාදන ගුණයත් රැකගෙනයි එය සිදු කරන්නේ. මේක අතිසරල දෙයක් නොවේ. බුද්ධිමය ශ්‍රමය සේම කාලය වැය කළ යුතු සංකීර්ණ ක්‍රියවලියක්.

———————————————————————————————————————————

අද ඉතාම විශිෂ්ට චිත්‍ර ශිල්පීන් වගේම අක්ෂර නිර්මාණකරුවන් ඉන්නවා
– කවර නිර්මාණ ශිල්පී හා ප්‍රවීණ මාධ්‍යවේදී ඒ.ඩී රංජිත් කුමාර

මා පොත් කවර ඇඳීම ආරම්භ කළේ 1967 දී. එවකට මගේ වයස අවු 14යි. ඒ ඇරඹි ගමන කේ. ජයතිලක, මාර්ටින් වික්‍රමසිංහ, මහගම සේකර, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය තිස්ස කාරියවසම්, සෝමවීර සේනානායක ආදී ලේඛකයන් බොහොමයකගේ කෘතිවල වැසුම් පිටු නිර්මාණකරුවා බවට පත්වෙන්න මට වාසනාව හිමි වුණා. ඒකට එක හේතුවක් වුණේ මං ඇඳීමේදී වගේම අකුරු ලිවීමේදීත් මටම අනන්‍ය වූ කලාවක් ගොඩනඟා ගෙන තිබුණු නිසයි. ඒ යුගයේ මුද්‍රණ තාක්ෂණයට ගැළපෙන්න තමයි ඒ විදියට ඒවා නිර්මාණය කළේ. නමුත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්.

මා මේ කලාවෙන් ඉවත් වෙන්න තීරණය කළේ කොම්පියටරය ආවට පස්සේ. මං අද වෙනකම් කොම්පියුරය අල්ලලාවත් නැහැ. මොකද මං වෙනම අනන්‍යතාවක් ගොඩනගාගෙන තමයි ඒ තුළ කටයුතු කළේ. පාරුවෙන් එතෙර කරන මනුස්සයාගේ රැකියාව පාලම ආවම නැති වුණා වගේ කම්පියුටරය ආවම අතින් අඳින ශිල්පියා නැති වුණා. ඒක ඒ යුගයන් අනුව අත්කර ගන්න දියුණුව අනුව සිදුවන දෙයක්. එහෙම කියලා මේක තමයි හොඳ මේක හොඳ නෑ කියන්න අපට බැහැ

1975 දී මගේ පොත් කවර සීයක් පදනම් කොට ගනිමින් මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ ප්‍රධානත්වයෙන් සමුද්‍ර කලාගාරයේ පැවති ප්‍රදර්ශනයකදී මහගම සේකරයන් එහි සමරු කලාපයට සටහනක් තබමින් පවසා තිබුණා “පොත් කවරයක් ඇඳීම අපහසු කටයුත්තක් බවත්, පොත පාඨකයා දුටු පමණින් එහි අන්තර්ගතය විෂය පිළිබඳ කිසියම් අදහසක් ඇති කර ගැනීමට එය ඉවහල් විය යුතු බවත්”. ඒ අදහස මමත් එකහෙලා අනුමත කරනවා. කිසියම් කෘතියක් අරභයා පිටකවරයක් නිර්මාණය කරනවා නම් එහි අන්තර්ගතය හකුළුවා දැක්වීමට කවර නිර්මාණකරුවා තුළ දක්ෂතාවක් පැවතිය යුතුයි. ඒ හේතුව නිසාම පොත් කවරය කියන්නේ වෙනම ම විඳිය හැකි කලා කෘතියක් බවට පත් වෙනවා. අද ඉතාම විශිෂ්ට චිත්‍ර ශිල්පීන් වගේම අක්ෂර නිර්මාණකරුවන් ඉන්නවා. ඒ අය අතර ඉතාම දක්ෂ ජාත්‍යන්තර මට්ටමේ කවර නිර්මාණ කළ හැකි අය සිටිනවා. මට නම් වශයෙන් සඳහන් කරන්න නොහැකි වුණත් මං ඒ අය ව ඉතාම අගේ කරනවා.

———————————————————————————————————————————

ඉදිරියේ දී AIවලින් ‘අවශ්‍ය රූපයයි, ඊට ගැළපෙන ෆොනුරුවෙන් පොතේ නමයි’ දාලා දෙයි
– පරිගණක අක්ෂර නිර්මාණවේදි පුෂ්පානන්ද ඒකනායක

ඉස්සර තාක්ෂණික මෙවලම්වල සහයෝගයක් තිබුණේ නැති නිසා පොත් කවර නිර්මාණය කළේ තනිකර ම අතින්. ඉතින් එහෙම කරන්න පුළුවන් වුණේ චිත්‍ර ශිල්පීන්ට විතරයි. එයාලා පොතේ අන්තර්ගතය‌ට ගැළපෙන චිත්‍රයක් ඇඳලා, ඊට ම ගැළපෙන අකුරු මෝස්තරයකින් පොතේ නමත් ඇන්ඳා. හැබැයි බොහෝ විට එයාලා චිත්‍ර අඳින්න වගේ ම භාෂාවත් අකුරුත් හොඳින් දන්න උදවිය වුණා. ඒ හින්දා කවරයේ චිත්‍රය පොතට ගැළපුණා වගේ ම පොතේ නමේ අකුරුත් නිරවුල්ව, පැටලිලි නැතුව තිබුණා.

මේ වැඩේ වෙනස් වුණේ පරිගණක තාක්ෂණයේ ආගමනයත් එක්ක. ඕනම තාක්ෂණික හුවමාරු අවස්ථාවකදි මුලින් ම ඒ අලුත් තාක්ෂණය මෙහෙයවෙන්නේ ඒ තාක්ෂණයේ අයිතිකරුවන් අතින්. පස්සේ තමයි විෂයට අදාළ අය ඒ තාක්ෂණය වැලඳගන්නේ. හැබැයි මේ වැඩේදී වුණේ චිත්‍ර ශිල්පීන්ගෙන් මේ කාරණය ගිලිහී යෑම. ඊළඟ පරම්පරාවේ ග්‍රැෆික් නිර්මාණකරුවන් තමයි නවීන තාක්ෂණයත් එක්ක පොත් කවර සැකසුම භාරගත්තේ. හැබැයි ඒ අය මුල් චිත්‍ර ශිල්පීන්ගේ ආභාසය සහ අකුරු පිළිබඳ දැනුම මෙන් ම, කවර නිර්මාණයේ මූලික අංග පිළිබඳ අවබෝධය සහිත වූවන් නිසා තාක්ෂණයෙන් වඩාත් පිරිපුන්, සුමට පොත් කවර සකසන්නට ඒ අයට හැකි වුණා.

මෑතකාලීනව මේ කලාවට එක් වූ අයගේ මේ පිළිබඳ මූලික දැනුම මෙන් ම භාෂා දැනුම ද අඩු බවක් දකින්නට ලැබෙනවා. ඒ නිසා යොදාගන්නා රූප පොතේ අන්තර්ගතයට ගැළපීම වෙනුවට හුදු කලාත්මක රූපයක් පමණක් යොදා ගැනීමෙන් කවරය වඩා නිර්මාණශීලී වේ යැයි සිතන බවක් පේනවා. එමෙන් ම භාෂාව සහ අකුරු පිළිබඳ දැනුම නැති නිසා විද්වත් නොවන ෆොනුරූ තෝරාගැනීමත් දැන් සිද්ද වෙනවා. පොතේ නම වැරදියට කියවෙන ආකාරයේ අකුරු සහිත, නිසි ප්‍රමිතියකින් තොර, අමුතු – වෙනස් හැඩයකින් යුක්ත වීම පමණක් මුල් කරගත් ෆොනුරූ භාවිතයට නව පොත් කවර සකසන්නන් පෙළඹී තිබෙන බව පැහැදිලිව පෙනෙනවා.

කවර සැකසීම සඳහා අන්තර්ජාලය මඟින් රූප සොයාගැනීම අලුත් දෙයක් නොවෙයි. එය අද වගේ ම ඉදිරියටත් කෙරෙයි. කවරයේ නිර්මාණය සැකසුම් ශිල්පියාගේ ම ද යන්න වැනි කාරණා දැන් සාකච්ඡාවට භාජනය වුවත්, ඉදිරියේ දී මීටත් වඩා ආන්දෝලනාත්මක තත්ත්වයක් වුණත් ඇති වෙන්න පුළුවන්. AI වැනි තාක්ෂණයක දී වඩා ඉහළින් සිටින පොත් කවර සකසන්නා වන්නේ වඩාත් ම AI දැනුම සහිත පුද්ගලයා බවට පත්වන්නට ඉඩ තියෙනවා. තමන්ට අවශ්‍ය රූපය පමණක් නොව ඊට ම ගැළපෙන ෆොනුරුවකින් පොතේ නම ද ඒඅයි මඟින් නිර්මාණය කරගන්නා දිනය වැඩි ඈතක නොවිය හැකියි.

———————————————————————————————————————————

දිනිඳු සිරිවර්ධන

මේ සම්බන්ධයෙන් අදහස් දැනගැනීමට අප සම්බන්ධ කර ගත් අවස්ථාවේ පවසා සිටියේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමා කිසිවක් පැවැසීමට අකමැති බවය.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

[email protected]

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division