Home » දැවැන්ත ම සෙරමික් කර්මාන්තය රටට හැදූ පුංචි මිනිසා

දැවැන්ත ම සෙරමික් කර්මාන්තය රටට හැදූ පුංචි මිනිසා

by gayana
September 23, 2023 12:30 am 0 comment

ආර්ට් ඩෙකරේෂන් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් සහ ඔටෝ බාත් වෙයාර් සභාපති S. H. B. කරුණාරත්න

කළුතර දෙදියවලින් එන බෝල මැටිත්, නාත්තණ්ඩියෙන් එන සිලිකා වැලිත්, මාතලෙන් එන පෙල්ස්පාර් සහ මීටියාගොඩින් එන කෙඔලින් මැටිවලට තවත් අමුද්‍රව්‍ය දෙක තුනක් එක් කර සාදා ගන්නා මැටි දියරය, අච්චුවලට වැටී අනේක විධ හැඩ තල මවයි. විටෙක විසිතුරු සෙරමික් භාණ්ඩ ය. තවත් විටෙක, දැවැන්ත කර්මාන්ත ශාලාව පුරා පෙළ ගැසී නැඟී සිටිනුයේ සනීපාරක්ෂක නාන කාමර කට්ටල ය.

ඒවා සුවිශේෂී උදුන්වල දැවී, එළියට ආ කල මදින්නට, ඔප දමන්නට, වර්ණ ගල්වා රටා මවන්නට මෙන්ම, ඇසුරුම් කරන්නට ද, තරුණ තරුණියෝ යුහුසුළු වෙති.

බණ්ඩාරගම, කළුතර, පානදුර ඇතුළු අවට ප්‍රදේශවලින් පැමිණ මෙහි සේවය කරන 400ක් පමණ වූ සේවක පිරිස අතින් එසේ නිම වී, හැඩ වන මේ විසිතුරු සෙරමික් භාණ්ඩ, කන්ටේනර්වල තට්ටු ගැසී මාසෙට දෙතුන් වතාවක් නැව් නඟී. ඒ, ශ්‍රී ලංකාවේ අභිමානය ද රැගෙන ය.

මේ අයුරින් රටවල් 50කට ගමන් කර, විදේශ විනිමය උත්පාදනය කර දෙන අතර ම, ලංකාවේ ඩොලර් විදෙස් රටවලට ඇදී නොයනු පිණිස, රටට ම සෑහෙන ප්‍රමාණයට වුවත්, සනීපාරක්ෂක කට්ටල නිපදවන්නට OTTO Bath ware දැන් සූදානම් ය.

ඒ අනුව, ආර්ට් ඩෙකරේෂන් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් සහ ඔටෝ බාත් වෙයාර් යනු, ලංකාවේ මෙතෙක් බිහි වූ විශාලතම විසිතුරු සෙරමික් භාණ්ඩ සහ සෙරමික් නාන කාමර කට්ටල නිපදවන දේශීය කර්මාන්තශාලාවයි. එපමණක් නොව, අද එය දකුණු ආසියාවේ විශාලත ම විසිතුරු සෙරමික් භාණ්ඩ අපනයන සමාගම බවට ද පත් ව තිබේ.

පිඟන් මැටියෙන් කළ දෙයාකාරයක දේශීය නිර්මාණ සහ නිපැයුම්වලින් රටට ඩොලර් උපයන මේ කර්මාන්තශාලාව හිමි ඔහු, ව්‍යවසායකයකු හෝ අපනයනකරුවකු පමණක් නොවේ. අප්‍රාණික මැටි පිඬක් හැඩට රුවට අඹන, ඊට සොඳුරු ජීවයක් එක් කරන හරිත කලාගාරයක් තැනූ අපූරු මිනිසෙකි.

ඔහු, එස්.එච්.බී. කරුණාරත්න ය. නැතහොත් සමරසිංහ හේරත් බන්දුල කරුණාරත්න ය. මේ, ඔහු හැදූ කර්මාන්තය පිටුපස ඇති ධෛර්යයේ කතාව යි.

“ වයස විසි ගණන්වල දී මම වැඩ කළේ, බහුජාතික අපනයන සමාගමක තත්ත්ව පාලන, පර්යේෂණ සහ සංවර්ධන (Research and Development) කළමනාකරුවකු ලෙසින්.

ඒ කාලයේ කොළඹ 7, ලෝන්ඩන් පෙදෙසේ සිටි කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ, මා සේවය කළ සමාගමේ අධ්‍යක්ෂවරයකු ගේ මවගේ අවමංගල්‍යයට සහභාගි වුණා. එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාත් ඒ මළ ගෙදරට ඇවිත් හිටියා. ඔහු ගේ පැමිණීම දැකීමෙන් මම විමතියට පත් වුණා. ඒ වගේ කෙනෙක් මේ මළ ගෙදරට එන්න තරම් විශේෂත්වය කුමක්දැයි මම හොයා බැලුවා. අපේ සමාගමේ අධ්‍යක්ෂවරයා එක්ස්පෝටර් කෙනෙක් නිසයි, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඇවිත් තිබෙන්නේ.

මම කල්පනා කළා, මේ රටේ එක්ස්පෝටර් කෙනකුට තිබෙන තැන. පිළිගැනීම. මම ඒ මොහොතේ ම තීරණය කළා, අනුන් යටතේ වැඩ කළා ඇති; මමත් කොහොම හරි එක්ස්පෝටර් කෙනෙක් වෙනවා කියලා. මගේ සබඳතා ඔස්සේ ඒ සඳහා පියවරක් තැබිය හැකි මාර්ග හෙව්වා.

මම වැඩ කළේ ජාත්‍යන්තර සමාගමක Quality and Development Manager කෙනෙක් හැටියට නිසා, ඇත්තටම මට හොඳ සබඳතා ජාලයක් තිබුණා. ඒ වගේම මට ජර්මන් භාෂාව පුළුවන්. මට ඔළුවට ආවේ මිස්ටර් පීටර්සන්. ඔහු එවකට අපනයනයේ යෙදුණු ජර්මානු ජාතික ව්‍යාපාරිකයක්. මගේ ආසාව මම ඔහුට කිව්වා.

” මිස්ටර් පීටර්සන්, මට එක්ස්පෝටර් කෙනෙක් වෙන්න ඕනේ. මට කොහෙන් හරි පටන් ගන්න ඕනේ…’

එයා මගේ කතාව අහගෙන හිටියා. ටික දවසකින් මට පොඩි මැටි මුට්ටි ටිකක් ජර්මනියට යවන ඕඩරයක් භාර දුන්නා.

ඒ, කන්ටේනර් කාලක විතර මැටි මුට්ටි, කොළ, මෙරූන්, නිල් සහ අයිවරි පාටින් පාට කර රත්තරන් පාට පොඩි ලණුවකින් බෝ එකක් ගැට ගහලා ජර්මනියට යවන ඕඩරයක්. මම ඒක ඉහටත් උඩින් භාර ගත්තා. මැටි මුට්ටි ටික මිලට අරන් පාට කරලා, පළමුවෙනි shipment එක නැව් ගත කළා. ඒ ඇණවුමේ වටිනාකම ඩොලර් 7000 යි. ඉන්පස්සේ ජර්මනියෙන් මට තව තව මෝස්තර එව්වා. මම ගෙදර පොඩි මඩුවක් ගැහුවා. මගේ දූලා දෙන්නා පුංචි වුණත් එයාලත් බෝ ගැට ගහනවා වගේ දේවල්වලින් උදව් කළා. ඒක ටිකක් අමාරු කාලයක් වුණත් මට ශක්තියෙන් මුහුණ දෙන්න පුළුවන් වුණේ මගේ බිරිය හුඟක් උදව් කළ නිසා.

ඔය විදියට කන්ටේනර් කිහිපයක් යවද්දී, මම මගේ කරමින් හිටි ජොබ් එක අතෑරියා. ඒ තමයි, මම ගත්තු පළමු අවදානම. මං පූර්ණ කාලීනව වැඩේට බැස්සා. මේ ලෝකයේ සාර්ථක වෙච්ච හැම කෙනෙක්ම අවදානම් ගත්තු මිනිස්සු. මම ඒ දේ තදින්ම ඔළුවට ගත්තා.

ඒ වගේම කරන දේට ඉතා හොඳින් කැපවුණා. නැවත නැවත ඇණවුම් ලැබුණා. හැම මාසෙම අඩි විස්සක කන්ටේනරයක් පුරවලා විසිතුරු මැටි භාණ්ඩ ජර්මනියට යැව්වා.

ඒ කාල් මම මැටි භාණ්ඩ ගත්තේ සැපයුම් කරුවන්ගෙන් නිසා ඔවුන් මත යැපෙන්නට සිදු වුණා. එක් අවස්ථාවක සැපයුම්කරුවෙක් කියූ කතාවක දී මම ඔහුට කිව්වා, මගේ මිලට, නියම කොලිටියට, නියම වෙලාවට දෙනවා නම් මම ඔයාගෙන් ගන්නම්, මේ නැත්නම් මම මේවා හදන්න පටන් ගන්නවා කියලා.

ඔහු මට කිව්වා, ‘ඔයාට මේක කවදාවත් කරන්න බැහැ .මොකද මේ දැනුම ඔයාට නැහැ…’ කියලා.

මං ගෙදර ඇවිත් බිරියට කිව්වා, මං කොහොම හරි මේ වැඩේ කරනවා කියලා. කවුරු හරි මට දෙයක් බැහැ යි කියලා අභියෝග කළොත් මං ඒක කරලම යි නැවතුණේ.

1992 අපනයනය පටන් අරන්, මේ සිදුවීම නිසා හරියටම ඊට අවුරුදු දෙකකට පස්සේ 1994 පිළියන්දල මඩපාත පොඩි ඉඩමක දර පෝරණුවක් හදලා කාන්තාවෝ දෙතුන් දෙනෙකුත් වැඩට අරගෙන මම මැටි භාණ්ඩ හදන්න ගත්තා. මම තත්ත්ව පරීක්ෂකවරයෙක් නිසා කොලිටිය පිළිබඳ හොඳ දැනුමක් ඉවක් තිබුණා. ඒ නිසා මැටි භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයට අලුත් වීම, මට ප්‍රශ්නයක් වුණේ නැහැ.

කර්මාන්තය තවත් වර්ධනය කරමින්, නාන කාමර කට්ටල හදන්න ගත්තේ 2008 වසරේ. පටන් ගත්තාට වඩා හය ගුණයකින් මේ වන විට අපි ධාරිතාව වැඩි කර තිබෙනවා. ඒ අනුව දවසකට නානකාමර කට්ටල 1200-1500 අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. මාසෙකට විසිතුරු සෙරමික් භාණ්ඩ කන්ටේනර් දෙකක් සෑදීමේ ධාරිතාව අප සතුයි. රට පුරා බෙදා හැරීමේ නියෝජිතයන් 600ක් සහ අපේම ප්‍රදර්ශනාගාර 6ක් විවෘත කර තිබෙනවා.

අද වන විට ලංකාවේ සනීපාරක්ෂක කට්ටල නිෂ්පාදනය කරන දේශීය කර්මාන්ත ශාලා හත අටක් තිබෙනවා. නමුත් ඒ සමස්ත නිෂ්පාදනයෙන් 40%ක් ම හදන්නේ අපි. මේ වන විට රටවල් 50කට අපේ අපනයන කටයුතු සිදු කෙරෙන නිසා, සෑම වසරකම ඇමරිකන් ඩොලර් මිලියන තුන හතරක විදේශ ආදායමක් අපි ලංකාවට ගෙනෙනවා.

අද අපේ තරුණ පරම්පරාව බයයි අවදානම් ගන්න. ඒ නිසා අපේ තරුණ පරම්පරාව උනන්දු කරවන්න ඕනෙ, රැකියාලාභියෙක් වෙන්න නෙවෙයි, රැකියා උත්පාදකයෙක් වෙන්නයි.

ලංකාවේ මිනිස්සු බහුතරය පුරුදු වෙලා හිටියේම පිටරටින් ගෙන්වන නාන කාමර කට්ටල මිල දී ගන්න. ඒවා හදපු කොම්පැණියක් දන්නෙත් නැහැ. ගෙන්වපු කෙනෙක් දන්නෙත් නැහැ. නමුත් දැන් තත්ත්වය වෙනස් වී ගෙන යනවා. මිනිස්සු දේශීය දෙයට හුරු වෙමින් පවතිනවා. නාන කාමර කට්ටලයක් කියන්නේ මනුෂ්‍ය ජීවිතය හා බැඳුණු දෙයක්. විශේෂයෙන් කොමඩ් එකකට පුළුවන් වෙන්න ඕනේ අවුරුදු 20ක් වත් මනුෂ්‍යයකුගේ බර දරා ගෙන ඉන්න. අධි තාක්ෂණයෙන් යුතු උදුන්වල පුළුස්සා, ඔප පිරිමැද දේශීය වෙළෙඳපොළට නිකුත් කරන්නේ, අවුරුදු 25ක ආයු කාලයක් හිමි භාණ්ඩයක් ලෙසයි. එය මෙවැනි සෙරමික් භාණ්ඩයකට ලැබෙන ඉතා දිගු ආයු කාලයක්.

බණ්ඩාරගම පිහිටි අක්කර 10ක මේ කර්මාන්ත ශාලාවේ වර්ග අඩි ලක්ෂ තුනක පමණ ගොඩනැඟිලි පරිශ්‍රය තුළයි, අප මේ හැමදේම කරන්නේ.

ඒ වගේම, හැම අවුරුද්දකම අපි අලුත් රටක් දෙකක් අපේ අපනයන ලැයිස්තුවට එකතු කර ගන්නවා. අද ඒ කටයුත්ත වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වෙන්නේ මගේ පුතා, ඩිලංග කරුණාරත්න. එයා අලුත් දැනුමත් සමඟ මේ ව්‍යාපාරයේ 100%ක් සක්‍රීයව ඉන්න නිසා, ලෝකයේ අති දැවැන්ත Messe Frankfurt, Canton fair සහ New York ඇතුළු බොහෝ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශන සඳහා නිතර සහභාගි වනවා. අර මළ ගෙදර දී ජයවර්ධන ජනාධිපතිවරයා දැකීමෙන් ඇති වූ හැඟීමත් සමඟ හරියටම වසර හතරක් යන විට මම එක්ස්පෝටර් කෙනෙක් වුණා.

අවුරුදු 31ක් තිස්සේ උපයපු ලාභයෙන් බහුතර කොටස ව්‍යාපාරයටම යළි ආයෝජනය කළා. ඒ තමයි මගේ ක්‍රමය. ව්‍යාපාරයක් වර්ධනය කරන්න නම්, උපයන ආදායම් යළි යළිත් ආයෝජනය කිරීම යි වැදගත්.

අද වෙනකොට හොඳම අපනයනකරුට පිරිනමන ජනාධිපති රන් සම්මානය ඇතුළු සම්මාන ගණනාවක් මම දිනාගෙන තිබෙනවා. කොටින්ම, ව්‍යවසායකයකු ලෙස එදා මං තබපු පුංචි පියවර දිගේ අද මං හුඟක් දුර ඇවිත්. ඇත්තටම මට මේක ව්‍යාපාරයකින් ඔබ්බට ගිය හැඟීමක්. මම වගේම, මගේ දරුවන් අනාගතයට මේ කර්මාන්තය රැගෙන යාවි.

මේ මහ පොළොවේ මැටි පිඩකට බොහෝ දේ කළ හැකි බව ඔවුන් අනාගත පරපුරටත් කියා දේවි…”

ඡායාරූප – ගයාන් පුෂ්පික

ඉනෝකා පෙරේරා බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division