Home » ශිෂ්‍යත්ව-O/L-A/L විභාග තුනටම 6 පහර ගසා දොස්තර හීනය සැබෑ කරගත් රිච්මන්ඩ් ක්‍රිකට් කප්පිත්තා

ශිෂ්‍යත්ව-O/L-A/L විභාග තුනටම 6 පහර ගසා දොස්තර හීනය සැබෑ කරගත් රිච්මන්ඩ් ක්‍රිකට් කප්පිත්තා

ශිෂ්‍යත්වයෙන් ලකුණු 178යි සාමාන්‍ය පෙළ A9, උසස් පෙළ A3

by mahesh
September 16, 2023 12:30 am 0 comment

– ක්‍රීඩාව පැත්තෙන් මොන තරම් පීඩනයක් තිබුණත් මම වාර විභාග එකක්වත් මඟහැරියේ නෑ
– 14 හැවිරිදි භානුකගෙන් විද්‍යාලයේ 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ පළමු තරගයේදීම ශතකයක්

බොහෝ දුක්ඛිත අඳුරක වෙළී සිටියත් හැමදාමත් අප දකින්නේ ඒ අඳුරත් වර්ණවත් කරමින් දිදුලන දීප්තිමත් තරු කැකුළුය. ඒ තරු හැමදාම ජාතියක අප්‍රමාණ බලාපොරොත්තු දල්වා තැබුවේය. භානුක මනෝහර පුතා ගැන ද දැන් මේ රටේ බොහෝ දෙනෙක් දන්නා බව විශ්වාසය. ජාතික තලයේ බලාපොරොත්තු දල්වමින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ යෞවනයාගේ විශිෂ්ටත්වය වන්නේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් විද්‍යා විෂය ධාරාවෙන් විශිෂ්ට සාමර්ථ්‍යය තුනක් සහිතව වෛද්‍ය විද්‍යාල ප්‍රවේශයේ කඩඉම සමත්වීමය.

මේ අවුරුද්දේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් දෙදෙනා ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලයය. එහි අනුශූරතාව දිනූ රිච්මන්ඩ් විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා භානුක මනෝහරය. එවැනි විශිෂ්ට ක්‍රීඩාවක් සඳහා අසීමිත කැපකිරීම් කළ භානුක පුතා විද්‍යා විෂය ධාරාවෙන් ඒ සාමර්ථ්‍යය තුනක් සහිතව පෑ විස්කම් රටටම මහා පණිවිඩයක් තබා ඇත. ඔහු වෙනුවෙන් සිළුමිණ ඉඩකඩ වෙන් වන්නේ ඒ නිමිතිකොට ගෙනය. භානුක මනෝහර අප සමඟ සිය කතාව කියන්නට එක්වූයේ මෙසේය.

“මගේ ගම ගාල්ල ලබුදූව. එක වසරෙ ඉඳන් ඉගෙන ගත්තේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන්. තාත්තත් රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඒ නිසා මට රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රාථමික අංශයට ඇතුළත් වෙන්න පහසු වුණා. තාත්තගේ ක්‍රිකට් ආභාසය හින්ද ඔහු මාව පොඩි කාලේ ඉඳන් ක්‍රිකට්වලට යොමු කළා. මම පෞද්ගලිකව පුහුණුව ලබන්නේ 1 වසරෙ ඉඳන්. මගේ මුල්ම ක්‍රිකට් ගුරුවරයා ධනුෂ්ක දෙනගම. ධනුෂ්ක සර්ම තමයි රිච්මන්ඩ් විද්‍යාලයේ 13න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් කටයුතු කළේ.

පාසලේ ක්‍රිකට් පුහුණුවීම් පටන් ගන්නේ 4 ශ්‍රේණියේ දී. මේ විදිහට අම්මයි තාත්තයි ගොඩාක් සමීපව ඉඳන් මඟ පෙන්නුවා. මගේ නංගි උර්මිලා මනෝහාරි. මුලින්ම ඉස්කෝලේ 13න් පහළ බී කණ්ඩායමට මම තේරෙන්නේ 4 වසරෙදි. 5 වසරෙදීත් 13න් පහළ බී කණ්ඩායමේ හිටියේ. 6 පන්තියෙදි තමයි 13න් පහළ ඒ කණ්ඩායමේ ක්‍රීඩා කරන්න ගන්නේ. හත වසරේ සහ අට වසරේත් 13න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කළා. 8 වසරෙදි මම 13න් පහළ ඒ කණ්ඩායමේ නායකයා වුණා….”

පුංචි භානුක අවුරුදු 05ක් රිච්මන්ඩ් විද්‍යාලයේ 13න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් පස්වැනි අවුරුද්දේ කණ්ඩායමේ නායකත්වය දරා තිබිණි. එය පුංචි ක්‍රිකට් ක්‍රීඩකයකුට ලැබෙන විරල අවස්ථාවකි. ඒ පදනම භානුක රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රිකට් සම්පත බවට පත් වූ අයුරු ඔහු අපට කීවේ මෙසේය.

“13න් පහළ ඉඳන් 15න් පහළ කණ්ඩායමට එනකොට හරි වයස පහු කරන්න ඕන. නමුත් පළමු පෙළ කණ්ඩායමට යන්න වයස සම්පූර්ණ කරන්න ඕන නෑ. 9 වසරෙදී මාව 15න් පහළ ඒ කණ්ඩායමට තෝරා ගත්තා. ඒත් එක්කම 9 වසරෙදී මම කෙළින්ම රිච්මන්ඩ් විද්‍යාලයේ 19න් පහළ කණ්ඩායමට තෝර ගත්තා. ඒ වෙනකොට රිච්මන්ඩ් කණ්ඩායමේ නායකත්වය දැරුවේ අද ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් වුණු ධනංජය ලක්ෂාන් අයියා. එයා මට වඩා අවුරුදු 05ක් වැඩිමල්. 15න් පහළ කණ්ඩායමේ නායකත්වය මට 10 වසරෙදි ලැබුණා. ඒ එක්කම දකුණු පළාත් 15න් පහළ කණ්ඩායමේ උප නායකයා විදිහට ක්‍රීඩා කළා.” පාසල් කනිෂ්ට ක්‍රිකට්වලදී භානුක ශතක 10කට වඩා රැස් කරගෙන තිබිණි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩාව යනු පුදුමාකාර තරගයක් පාසල තුළ නිර්මාණය කරන ක්‍රීඩාවකි. පිරිමි දරුවන් සහිත ඕනෑම පාසලක එම දරුවන් බහුතරයේ අභිලාෂය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීමය. එවන් පරිසරයක අවුරුදු 14ක පුංචි එකෙක් 17න් පහළ කණ්ඩායමටවත් ක්‍රීඩා කිරීමට නොදී රිච්මන්ඩ් වැනි විද්‍යාලයක 19න් පහළ කණ්ඩායම සඳහා තෝරා ගන්නේ නම් ඔහුගේ ක්‍රීඩා ප්‍රභාව සම්බන්ධව අමුතු කතා ඕනෑ නැත. උත්කර්ෂය වන්නේ 15න් පහළ කණ්ඩායමට ක්‍රීඩාකරමින් සිටි මේ 14 හැවිරිදි දරුවා විද්‍යාලයේ මුල් පෙළ කණ්ඩායමට, එනම් 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කළ පළමු තරගයේ දීම ශතකයක් වාර්තා කිරීමය. එය පාසල් ක්‍රිකට් ක්‍රීඩාව තුළම ප්‍රකට වූ විශිෂ්ටම අවස්ථාවක් බව විශ්වාස කරමි.

“මම 15න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරන ගමන්ම 19න් පහළ කණ්ඩායමේ පළවෙනි 11 දෙනා අතරට ආවා. ඒ අවුරුද්දේ ඒ කියන්නේ 2018 -19 තරග වාරයෙදි ධනංජය ලක්ෂාන් අයියගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ රිච්මන්ඩ් කණ්ඩායම නියෝජනය කරමින් බිග් මැච් එක ගහලා අපිට දිනන්න පුළුවන් වුණා. ඒ අවුරුද්දෙම සමස්ත ලංකා පාසල් ක්‍රිකට් අනුශූරතාව අපි දිනා ගත්තා. ඊට පස්සේ 17න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරුවා. 2022 දී රිච්මන්ඩ් 19න් පහළ නායකත්වයට මාව තෝරා ගත්තා. ඒ වෙනකොට මම තුන්වන වසරේ වර්ණලාභි ක්‍රීඩකයෙක්. කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වුණේ මම. කොවිඩ්වලින් පස්සේ පූර්ණ තරගවාරයක් පාසල් ක්‍රිකට්වල ක්‍රීඩා කළේ 2022 දී. ඒ තරගවාරයේ දී අපි සමස්ත ලංකා පාසල් ක්‍රිකට් අනුශූරතාව දිනා ගත්තා.

රිච්මන්ඩ් කණ්ඩායම නියෝජනය කරමින් බිග් මැච් පහකට ක්‍රීඩා කරන්න මට අවස්ථාව ලැබීමම වාසනාවක්. මේ වසර 05 ඇතුළත 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවෙ දී මම ශතක 06ක් සහ අර්ධ ශතක 15කට වඩා ලබා ගත්තා. 19න් පහළ දකුණු පළාත් කණ්ඩායමේ උප නායකයා විදිහටත් ක්‍රීඩා කළා.” ඔහු පන්ති කාමරයේ දී දක්ෂ ශිෂ්‍යයෙක් ලෙස සිය භූමිකාව සම්පූර්ණ කරගන්නේ කෙසේ ද? අප ඔහුව විමසන්නේ දැල්වෙන කුතුහලයකිනි.

“19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට මාව තෝරගත්තේ 9 ශ්‍රේණියෙදි. ඊට විශාල කැප කිරීමක් කරන්න ඕන. ඒ නිසාම 9 ශ්‍රේණියෙ ඉඳන් උසස් පෙළ දක්වා මගේ පාසල් පැමිණීම ඉතාම දුර්වල තත්ත්වයක තිබුණේ. ඒත් ගුරුවරු මං ගැන විශේෂයෙන් හොයලා බැලුවා. ක්‍රීඩාව පැත්තෙන් මොන තරම් පීඩනයක් තිබුණත් මම වාර විභාග එකක්වත් කට් කළේ නෑ.. ඉලක්කගතව අධ්‍යයන කටයුතු කරගෙන යන්න මම උත්සාහ කළා. ශිෂ්‍යත්ව විභාගය ලියනකොට 13න් පහළ දෙවැනි පෙළ කණ්ඩායමේ මට වඩා ගොඩාක් වැඩිමල් අයියලා සමඟ ක්‍රීඩා කරමින් හිටියේ. ඒ අතර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 178ක් අරන් මම සමත් වුණා.”

19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරමින්, 17න් පහළ කණ්ඩායමේ නායකත්වය දරමින් සිටි භානුකගේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලය කුමක් දැයි ඇසුවෙමි. “ඕ ලෙවල්වලට මට A 09යි. උසස් පෙළට තෝරා ගන්නේ විද්‍යා විෂය ධාරාව.” ඔහු කිවේය.

රිච්මන්ඩ් වගේ විද්‍යාලයක මුල් පෙළ කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට අමතරව එහි නායකත්වය දැරීමත් විශාල පීඩනයක් ගෙනෙන වගකීමකි. ඒ වගකීම් සහගත පීඩනය තුළ අධ්‍යාපන කටයුතු විද්‍යා ධාරාවෙන් හැදැරීම දැවැන්ත පීඩනයකි. විද්‍යා විෂය ධාරාව තෝරා ගත් අපේ තරුණ දරුවන්ට අධ්‍යාපන කටයුතු කරන්නත් පැය 24 මදිය. ඒ අතරේ භානුක ක්‍රිකට් ගසමින්, පාසල් මුල් පෙළ කණ්ඩායම මෙහෙයවමින් විද්‍යා විෂය ධාරාව හැදෑරීම තෝරන්නේය.

“මම වෙන් කරන වෙලාවට ඉලක්ක කළේ කරන වැඩේ විතරයි. පාඩම් කරන වෙලාවට උපරිම අවධානය පාඩම්වලට යොමු කළා. ක්‍රීඩා කරද්දී එයට පූර්ණ අවධානය දුන්නා. ඒ දෙක පටලා ගත්තෙ නෑ… ඒ නිසා මට අධ්‍යාපනයත් ක්‍රීඩාවත් දෙකම සාර්ථක කරගන්න පුළුවන් වුණා. ඒක හිතන තරම් පහසු කටයුත්තක් වුණේ නෑ. ගොඩාක් වෙලාවට මට පාසලේ පන්ති කාමරය සහ පෞද්ගලික පන්තිත් මඟහැරුණා. ඒ පාඩම් මම යාළුවන්ගෙන් අහගත්තා. ගොඩක් වෙලාවට යූ ටියුබ් එක පාවිච්චි කළා. ඒක ස්වයං අධ්‍යයනයක් වගේ වැඩක්. ඒත් මට ඒ ක්‍රමයෙ අපහසුවක් දැනුනෙ නෑ. ගුරුවරු මට ගොඩක් උදවු කළා. ඔවුන් මට කෝල් කරලා ඇහුවා අමාරු පාඩම් මොනව ද කියලා. මොනව වුණත් මං ටර්ම් ටෙස්ට් කට් කරගත්තේ නෑ.

ගොඩක් දෙනෙක් කිවුවේ පුංචි කාලේ ඉඳන් ක්‍රිකට් කරන නිසා අධ්‍යාපනය කරගන්න බැරිවෙයි. ශිෂ්‍යත්වය ෆේල් වෙයි කියලා. ශිෂ්‍යත්ව විභාගයට කලින් දවසෙත් මට 13න් පහළ මැච් එකක් තිබ්බා. ඒ තරගයෙදී මම හොඳින් ක්‍රීඩා කළා. ඊට පස්සේ දවසේ ශිෂ්‍යත්ව විභාගෙ ලියලා ඒ විභාගය පාස් වුණා. ඕලෙවල් ලියද්දි මම බිග්මැච් දෙකක් ක්‍රීඩා කරලා තිබුණා. හැමෝම කිවුවා ක්‍රිකට් එක්ක ඕලෙවල් කරගන්න බැරිවෙයි කියලා. මට ඕන උනා මේ අය කියන්නේ බොරුයි කියලා ඔප්පු කරන්න.” එය සහතික කර පෙන්වීමට භානුක සමත් වී තිබුණේය. උසස් පෙළ විද්‍යා විෂය ධාරවෙන් ද ඔහු සමත් වූයේ A එනම් විශිෂ්ට සාමර්ථ්‍යය තුනක් සහිතවය.

“තාත්තාට විශ්වාසයක් තිබුණා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න තරම් මගේ හැකියා දියුණු කරන්න පුළුවන් කියලා. මම ක්‍රිකට් ගහනකොට හිතුණේ කවදා හරි ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න අම්මා හිතුවේ අධ්‍යාපනය පැත්ත. එයා හිතුවා මම වෛද්‍යවරයෙක් වුණොත් හොඳයි කියලා. ඒ වගේම මගෙත් පොඩි කාලෙ ඉඳන් හීනයක් තිබුණා වෛද්‍යවරයෙක් වෙන්න. දැන් මගේ ලොකුම ඉලක්කය තමයි ජාතික කණ්ඩායම නියෝජනය කරන පළමු වෛද්‍යවරයා වීම.” ඔහු කියන්නේය. ඒ සමබර ගමනට ඔහුට පාසලෙන්, විදුහල්පතිවරයාගෙන් ලැබී තිබුණේ විශේෂ පිටුබලයකි.

“විදුහල්පතිතුමා මං සම්බන්ධව විශේෂයෙන් මැදිහත් වුණා. ටර්ම් ටෙස්ට් දවස්වලට මාව පුහුණුවීම්වලින් මිදෙව්වා. ක්‍රිකට් භාරව හිටිය හර්ෂ ප්‍රසන්න., එච්.ආර්. නානායක්කාර, නුවන් ජයසිංහ සර්ලා ලොකු මැදිහත් වීමක් කළා ක්‍රීඩාව සහ අධ්‍යාපනය සමබරව පවත්වගෙන යන්න. ධනුෂ්ක දෙනගම, මහේෂ් සඳරුවන්, ප්‍රේම් ලක්මාල්, ධම්මික සුදර්ශන සහ ප්‍රීමාල් සර් තමයි මගේ ක්‍රිකට් පුහුණුකරුවො වශයෙන් හිටියේ. ඔවුන්ගෙනුත් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න ලැබුණේ ලොකු සහයෝගයක්.”

මේ උත්සාහයෙදී මගේ රෝල් මොඩ්ල් එක වුණේ කුමාර් සංගක්කාර. ජාතික කණ්ඩායම නියෝජනය කරන වෛද්‍යවරයෙක් වීමේ අභිලාෂය මට එන්නේම මේ වගේ පූර්වාගාමී චරිත හින්දා. ඒ වගේම මම හරිම කැමතියි විරාට් කෝලි ට. කෝලිට තමන් ගැන විශාල ආත්ම විශ්වාසයක් තියනවා. ඒ විශ්වාසයට මම අසීමිතව ගරු කරනවා.”

භානුක 19න් පහළ ශ්‍රී ලංකා සංචිතයේ සිටි ක්‍රීඩකයෙකි. මේ වනවිට ක්‍රීඩා සමාජ සඳහා ක්‍රීඩා කිරීම ආරම්භ කළ ක්‍රීඩකයෙකි. ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගවලට ක්‍රීඩා කර තරග නොපවත්වන මාස 05ක කාලවකවානුව තුළ හැකි උපරිමයෙන් අධ්‍යයන කටයුතු කරගෙන යෑමේ අභිලාෂයෙන් පසුවන භානුක අපට මෙසේ කීවේය.

“ක්‍රිකට් ඕෆ් සීසන් එකේදී අධ්‍යාපනයට උපරිමය කැප වෙනවා. සීසන් එකේ ලෙක්චර්ස් කට් වෙන්න පුළුවන්. ඒකට යාළුවන්ගේ ගුරුවරුන්ගේ උදවු ගන්නවා..” එහෙම කර ගෙන යන්න පුළුවන් වුණොත් හොඳයි. නමුත් අධ්‍යාපන මට්ටම වැටෙනවා කියලා තේරුණොත් මට තරගවලින් කෙටි විරාමයක් ගන්න වෙයි. අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දීලා යළි ක්‍රීඩාවට එක් වෙනවා.

මගේ ඉලක්කය මනෝ වෛද්‍යවරයෙක් වී එහි විශේෂඥතාවක් ලබා ගැනීම. මට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න බැරි වේවි. නමුත් මට ක්‍රිකට් සම්බන්ධව තියන මේ පරිචයත් එක්ක කවදා හරි ජාතික කණ්ඩායමේ මනෝ චිකිත්සකයා වීමේ ඉලක්කයක් තිබෙනවා.”

භානුක අධ්‍යාපනය ලබමින් ක්‍රිකට් විතරක් ක්‍රීඩා කළ සිසුවෙක් නොවේ. පාසල් බැඩ්මින්ටන් කණ්ඩායමට ඔහු ක්‍රීඩා කළේය. මලල ක්‍රීඩා කළේය. පිහිනුම් කණ්ඩායම නියෝජනය කළේය. 2018 දී 16න් පහළ බේස් බෝල් ජාතික ශූරතාවය දිනූ කණ්ඩායමේ භානුකත් සිටියේය. මේ හැමදේම කරමින් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස විචිත්‍ර හැකියා දක්වා විද්‍යා විෂය ධාරාවෙන් A තුනක් ගත් මේ දරුවා ඒ වික්‍රමය කළ ආකාරය ඔහුගෙන්ම අසා දැන ගත්තෙමි.

“මට කාලය අඩුයි. ස්වයං විනයක් එක්කයි මම වැඩ කළේ. පාඩම් කරන කාලය උපරිම ඵලදායි ලෙස පාඩම් වැඩට යෙදෙවුවා. තමන්ට තමන් ගැනම තක්සේරුවක් සහිතව පාඩම් කරන කාලය ඵලදායිව යොදවන්න පුළුවන්නම් හැමොටම තමන්ගේ සැලසුම සාර්ථක කරගන්න පුළුවන්…” ඔහු සිනාසුණේය.

මේ වගේ පුතෙක් අම්මා කෙනකුට භාග්‍යයකි. ඒ අම්මා පුතා ගැන කතා කරන විට තවමත් සතුටු කඳුළු සලන්නීය. ඉනෝකා රත්නමාලි අම්මා භානුක ගැන කතා කළාය. “මම දැනගෙන හිටියා මෙයා ඒලෙවල් කරගනී කියලා. ඒත් බයෝ සයන්ස් තෝරගන්න කොට මට ලොකු චකිතයක් ඇති වුණා. මොකද පුතා කැප්ටන් වුණු අවුරුද්දේම තමයි ඒ ලේවල් එක්සෑම් එක කරන්න තිබුණේ. පුතා කිසිම බලකිරීමක් නැතිව අධ්‍යාපනයටත් කැප වුණා. ඒත් ආයෙත් මට බය හිතුණේ ප්‍රතිඵල එන්න කිට්ටු වෙනකෙට. දෙයියනේ කියලා කොල්ලට A තුනක්. ඒක නම් දරාගන්න බැරි සතුටක්…” ඒ අම්මා සතුටෙන් ගොළු වූවාය.

භානුකගේ තාත්තා මනෝජ් ඉන්දිකය. ඒ තාත්තාටත් පුතා ගැන කතා කරන විට වාවන්නේ නැත. පුතා දැන් ඉන්නේ තාත්තාගේ අපේක්ෂාවටත් වඩා උඩිනි.

“පුතාට A සාමර්ථ්‍යය තුනක් කීවාම මට දරාගන්න බැරි වුණා. ඒක දැනෙන්නේ තාත්තා කෙනෙකුට මහමෙරක් විදිහට. මම දන්නවා පුතා ක්‍රිකට්වලිනුත් යන්න පුළුවන් ඉහළම තැනට යනවා. ඇත්තටම මම බය වුණේ පුතාගෙ ක්‍රිකට් ගැන විතරයි. අධ්‍යාපනය කාටවත් ගන්න බෑ. ඒත් තරුණයකුගේ ක්‍රිකට් කියන එක කොච් කෙනකුටත් නැති කරන්න පුළුවන්. එයා ක්‍රිකට්වලින් ශක්තිමත් වෙනවා දකින්න තමයි මම සතුටු වුණේ. ප්‍රාර්ථනාවක් තියනවා. දුනිත් එක්ක මගේ පුතා සෙල්ලම් කරනවා දකින්න ජාතික කණ්ඩායමට…” භානුක තාත්තාගේ ප්‍රාර්ථනාව ඉටු කරන්නට දැනටමත් සැලසුම් සකස් කර හමාරය.

රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති පී.එස්.පුෂ්පකුමාරය. සිය පාසලේ දරු සම්පතේ අග්‍රඵලයක් ගැන ඔහු අපට කීවේය. “භානුක පුතා ඉතාම දක්ෂ සමබර පෞරුෂයක් තියෙන දරුවෙක්. දරුවකුගෙ සමබර පෞරුෂය ක්‍රමිකවයි ගොඩ නැ‍ෙඟන්නෙ. එයා පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා හොඳ අධ්‍යාපන ස්ථාවරයක් ගන්නවා. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ දී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැ­ෙළන ගමන් ඒ සාමාර්ථ 09ක් ගන්නවා. ඊළඟට තියන විශේෂත්වය තමයි කනිෂ්ඨ අංශයේ ලකුණු 75ට වඩා විෂයයන් 12ටම ගත්තොත් අපි මෙරිට් ලබා දෙනවා. භානුක හැම වසරේම මෙරිට් ලාභියෙක්.

උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරාව කියන්නෙ අභියෝගාත්මක විෂය ධාරාවක්. ක්‍රිකට් නායකයෙක් ලෙස එම අභියෝගය භාරගනිද්දි තවත් එහි බර තීව්‍ර වෙනවා. ඒත් භානුක පුතා ඒ ඉලක්කය ගත්තා. පාසල් පරිපාලකයන් වශයෙන් අපි ඔහුට උසස් පෙළ විභාගය ආසන්නයේ දී අධ්‍යාපන කටයුතුවලට වැඩි නැඹුරුවක් ඇති කරගන්න පොඩි සහන කාලයක් දුන්නා. ඔහු ඉතා ඵලදායී විදිහට ඒ කාලය කළමනාකරණය කරගෙන තිබුණා. භානුක පුතාට අවශ්‍ය වෙලා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෛද්‍යවරයෙක් නියෝජනය කරන්න. භානුක පුතා එය කරයි…” විදුහල්පතිතුමා පහළ කරන්නේ ජයග්‍රාහී සිනාවකි. ඒ උද්දාමයට පත් මිනිස්සුන්ට සමු දෙමින් සංවාදය නිමා කළෙමි.

භානුක කියන දේ සංක්ෂිප්ත කර කියා මේ ලියමන නිමා කරන්නට සිතේ. “ස්වයං විනයක් ඇතිව කරන කටයුත්ත මුළු ඵලදායිතාවයෙන් හරියට කරන්න. තමන් ගැන තක්සේරුවක් තමන්ම සකස් කරගෙන තමන්ගේ සැලසුම තමන්ම හදා ගන්න. ඔබට ගොඩ යන්න පුළුවන්.” සාර්ථකත්වයේ යථාර්ථය ප්‍රායෝගික කළ මේ තරුණයා කියන්නේ මේ රටට ගොඩ එන මඟ නොවේදැයි කල්පනා කරමි.

ටානියා මෝසස්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division