Home » පත්තරෙන් එහා ගැන පුංචි තිරෙන් මෙහා සිට වාර්තාවක්

පත්තරෙන් එහා ගැන පුංචි තිරෙන් මෙහා සිට වාර්තාවක්

by mahesh
September 16, 2023 12:41 am 0 comment

වේලාව අලුයම තුනයි. මේ වික්‍රමසිංහපුර, ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයයි. මැදිරියට එදින නිකුත්වන සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් ඒ වන විටත් ලැබී හමාරය. පත්තරෙන් එහා වැඩසටහනේ අධ්‍යක්ෂ ඉන්දික වීරකෝන් සහ පිරිස ඒ වන විට උදේ හයට සජීව විකාශණයට නියමිත ‘පත්තරෙන් එහා’ වැඩසටහනට අවශ්‍ය වැඩ ආරම්භ කොට හමාරය.

පත්තරෙන් එහා වැඩසටහනේ ප්‍රධාන සිංහල නිවේදක නිමේෂ්, ඉංග්‍රීසි නිවේදිකා මරියලා මෙන්ම නිවේදක සදීපත් එක්කම මෙම කර්තව්‍යයට උරදෙන නිවේදිකාවන් වන සචේතනා, ශෂිකා සහ භනුක්ෂි ද මෙම කටයුතුවලට සහයවන්නේ කිසිදු පංගුපේරුවකින් තොරවය.
පත්තරෙන් එහා වැඩටසහන විකාශය වන්නේ ස්වාධීන රූපවාහිනියෙන් නොහොත් ITN එකෙන් උදේ හයටය. පත්තරෙන් එහා වැඩසටහන පටන් ගන්නා විට උදේට හඬලන කුකුළාත් තද නින්දේය. පත්තරෙන් එහා මෙරට රූපවාහිනි කලාවේ මුලින්ම ආරම්භ වන පත්තරවල ප්‍රවෘත්ති හඳුන්වාදෙන ප්‍රවෘත්තිමය වැඩසටහනය. ස්වාධීන රූපවාහිනි මැදිරියේ මෙම වැඩසටහන කරන්නට දරන වෑයම දුටු විට මට මතකයට ආවේ උදේ 6 සිට පුටුවක හිඳ නිවී සැනසිල්ලේ ප්‍රවෘත්ති පත්‍ර කියවා දීමට මේ ශිල්පීන් විඳින වෙහෙස කොතරම්ද කියාය. අප යනවිටත් එදිනට ප්‍රචාරය වන පුවත්පත් කොටස් ස්කෑන් කරමින් පැවතුනි.

ඉන්දික වීරකෝන් පත්තරෙන් එහා වැඩසටහන් අධ්‍යක්ෂවරයායි.
“ස්වාධීන රූපවාහිනියේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන අපට මේ වැඩසටහන කරගෙන යන්න පුර්ණ නිදහසක් දීලා තියෙනවා. රාජ්‍ය මාධ්‍යයක් කියල ප්‍රවෘත්ති පත්‍රවල ප්‍රවෘත්ති වාර්තාකරණයේ රාජ්‍ය ගැති ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරන්නේ නැහැ.“
ඉන්දික පවසන පරිදි උදේ තුනට ආරම්භ වන තම මෙහෙයුම සියලු පුවත්පත් නිරීක්ෂණය කොට වාර්තා කළ යුතු ප්‍රවෘත්ති තීරණය කරන්නේ ‘මීටින්’ එකින් පසුවය.

“රජයට පක්ෂග්‍රාහී ප්‍රවෘත්තියක් වාර්තා කරනකොට අපි ඊට ප්‍රතිවිරුද්ධ මතයක් සජීවිව හෝ සම්බන්ධ කරගන්නේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ සමබරතාවය රැකගන්න. අපි ප්‍රතිපත්තියක් විදියට මේ උදේ පාන්දර මිනීමැරුම්, දිවිනසා ගැනීම්, ස්ත්‍රී දූෂණ වගේම විශේෂයෙන් ළමා අපචාර රස කරල කියන්නැති ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙන්නේ. මිනීමැරුමක් සිදුකරපු ආකාරය කොහෙත්ම අපි වාර්තා කරන්නේ නැහැ. මේක තනිකරම ටීම් වර්ක් එකක්.”

පත්තරෙන් එහා වැඩසටහනට එදින නිකුත් වූ පුවත්පත්වලින් ස්කෑන් කරගත්ත ප්‍රවෘත්ති ගණන 40කටත් අධිකය. එමෙන්ම සමාජ මාධ්‍ය, BBC,CNN වැනි ලෝක ප්‍රචලිත ප්‍රවෘත්ති සේවාවන්ගෙන් උපුටා ගන්නා කාලීන ප්‍රවෘත්ති විශේෂාංගත් ඒ අතරට රිංගවන්නේ නිර්මාණශීලී ලෙසය.
ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී සුදර්මන් රදලියගොඩ පත්තරෙන් එහා ගැන අදහස් දැක්වූයේ දැඩි බලාපොරොත්තු සහගතවය.
“පත්තරෙන් එහා දැන් අලුත්ම සැලැස්මකින් ඉදිරිපත් කරනවා. පත්තරයක් කලින් දින රාත්‍රියේ මුද්‍රණය වනවා. අපි උදේට ඒ පත්තරේ පළවූ විස්තරේ ප්‍රවෘත්තිය යාවත්කාලීන කිරීමක් කරනවා. කිසිම මතවාදයක් නිවේදකයා ඉදිරිපත් කරන්නේ නැහැ. පත්තරෙන් එහා නිවේදක නිවේදිකාවන් තෝරා ගත්තේත් පූර්ණ විනිවිදභාවයකින්. කිසිම දේශපාලන බලපෑමක් නෑ. අයදුම්පත් කැඳවල 3000කට වඩා අයදුම් කර තිබුණා. පත්තර ලෝකයේ සිටි දැවැන්තයින් ගැන ප්‍රවෘත්තියක් උපුටාගන්න තරම් අපි මේ නිවේදක නිවේදිකාවන්ට ප්‍රායෝගික දේශන හා වැඩමුළු පවත්වා පුවත්පත් කලාව ගැන දැනුවත් කොට තිබෙනවා. ලංකාවේ වැඩිම ජනප්‍රසාදයට පත් රූපවාහිනි නාළිකාව ලෙස අඛණ්ඩව සම්මානයට පාත්‍ර වුණේ ස්වාධීන රූපවාහිනිය. පත්තරෙන් එහා වැඩසටහනට අප ප්‍රවෘත්ති ලොව ගැන ප්‍රවීණයන්ගෙන් සහයෝගය ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පත්තරෙන් එහා මුද්‍රිත පත්‍රකලාව ඩිජිටල්කරණය හරහා තවත් ලෝකයාව අප්ඩේට් කිරීමක්, මෙතැනදි කෙරෙන්නේ. ඒ නිසා රූපවාහිනියේ පත්තර කියවන නිසා පත්‍ර අලෙවිය අඩුවන බවට එන සාම්ප්‍රදායික මතවාදය සුනුවිසුනු කරමින් පත්‍ර අලෙවිය වැඩි කිරීමට අනියම් ලෙස අනුබලදීමක් ප්‍රවර්ධනයක් පත්තරෙන් එහා වැඩසටහනෙන් කෙරෙනවා. පත්තරෙන් එහා වැඩසටහන දැන් ඩිජිටල් අවකාශය තුළ ජනප්‍රියම වැඩසටහනක් බවට පත්වී තිබෙනවා.“

මංගල රදලියගොඩ වගකිවයුතු තනතුරක් වෙන ස්වාධීන රූපවාහිනියේ කාලීන සිදුවීම් අංශයේ කළමනාකාරවරයාය.
“උදේ තුන හතරට ස්වාධීන රූපවාහිනියට ඇවිල්ල පත්තරෙන් එහා වැඩසටහන දිනපතා කරනවා කියන්නේ අති දුෂ්කර කටයුත්තක්. මේක ටීම් වර්ක් එකක්. ඒකෙ මුලින්ම ගෞරවය හිමි වෙන්න ඕන වැඩසටහන් අධ්‍යක්ෂ ඉන්දික වීරකෝන්ට. ස්වාධීන රූපවාහිනියේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන මේ පත්තරෙන් එහා වැඩසටහන කරන්න පූර්ණ නිදහස දීලා තියෙනවා. දැන් මේ වැඩසටහනට දැවැන්ත ආයතන අනුග්‍රාහකත්ව දක්වන්න පටන් ගැනීමත් එක්කම මේ වැඩසටහන ලබාගෙන තියෙන ජනප්‍රියත්වයට කදිම සාධකයක්. අපි මේ වැඩසටහන පටන්ගත්තේ එක අනුග්‍රාහකයෙක් හෝ නැතිවය. මේ පත්තරෙන් එහා වැඩසටහන ජනප්‍රිය වෙන්න හේතුව කිසිම දේශපාලන බලපෑමක් නොවීම. HD තාක්ෂණයෙන් අති නවීනතම පැහැදිලි දසුන් පෙළකින් ලංකාවේ පත්තර කියවිය හැකි රටේ වැඩිම ආරවණයක් ඇති එකම නාළිකාව ස්වාධීන රූපවාහිනිය. ඒ වගේම සභාපති ඉන්දික වීරකෝන්ගේ සහය මේ වැඩසටහන පිටුපස ඇති අයෝමය බලවේගයක්. “

පත්තරෙන් එහා වැඩසටහන මෙහෙයවන ප්‍රධාන නිෂ්පාදකයා වන්නේ නිමේෂ චමත් සංකල්පයි.
“මම අම්බලන්ගොඩ. අවුරුදු 10කට කලින් ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වුණේ. සම්මුඛ පරීක්ෂණයේ හිටපු 3000න් අන්තිම වටයේ මං දෙවැනියා වුණා. මං මුලින්ම ලාල් හේමන්ත මාවලගේ සමඟ ප්‍රවෘත්ති අංශයේ වැඩ කළේ. අපි මේ වැඩසටහන ප්‍රමිතිය රැකගෙන කරන්නේ. යන තැන්වලදී බුද්ධිමතුන්ගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් ඒක පේනවා.”
පත්තරෙන් එහා වැඩසටහනේ ඉංග්‍රීසි පුවත්පත් කියවන්නේ මරියලා වැන්ඩොච්ය. ඇය අහම්බෙන් රූපවාහිනියට කඩාපාත්වූ චරිතයක් නොවේ. මරියලාගේ අම්මා ජාතික ගුවන් විදුලියේ ප්‍රියන්ති සෙනෙවිරත්නයි. ඇය මුලින්ම නිවේදන කටයුතුවලට එක්වූයේ අම්මාගේ කතෝලික අඩපැය වැඩසටහනටය. ඇය ගුවන් විදුලියේ සභාපති හඩ්සන් සමරසිංහගේ දස දෙසින් වැඩසටහනේ ඉංග්‍රීසි නිවේදන කටයුතු මෙහෙයවමින් සිටී. ඇය කොළඹ 07 ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවකි.

පත්තරෙන් එහා අනෙක් නිවේදකයා වන්නේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ උගත් සදීප සෙනෙවිරත්නය. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ප්‍රධාන නිවේදකයා වූයේ සදීපය. ඔහු ලක්හඬ ගුවන් විදුලියේ විශේෂ පුහුණුවක් ද ලබා ඇත.
ගම්පහ රත්නාවලියේ උගත් පමුදි සචේතනා, මොනරාගල අමුනේ කඳුරේ මහවිල විද්‍යාලයේ උගත් ශෂිකා මදුමාලි ද පත්තරෙන් එහා නිවේදක කටයුතුවලට යොමුවූයේ තුන්දහසක් අපේක්ෂකයින් අතරිනි.

මාතලේ ක්‍රිස්තුදේව විදුහලේ අධ්‍යාපනය ලැබූ භනුක්ෂි හීන්වැල කැලණිය විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අංශයේ ශිෂ්‍යාවකි. ඇය කියන්නේ පත්තරෙන් එහා වැඩසටහන මෙන්ම පැයෙන් පැය පුවත් ඉදිරිපත් කිරීම ගැන මඟතොටේදී රසිකයින්ගේ ප්‍රතිචාර ඉතා ඉහළ බවය.
පුවත්පත් ආශ්‍රය කරගෙන එය රූපවාහිනි ප්‍රේක්ෂකයා ඇදබැඳ තබාගන්නා රූපවාහිනී වැඩසටහනක් බවට පරිවර්තනය, මුද්‍රිත මාධ්‍යයක් ශ්‍රව්‍ය දෘෂ්‍ය බවට පරිවර්තනය කිරීම බාරදුර කටයුත්තක්. පුවත්පතක ප්‍රවෘත්තිමය වටිනාකම අබිබවා යමින් ප්‍රවෘත්තිය වැඩිදුරටත් විග්‍රහ කරගැනීමට පත්තරයක් මිලදී ගත යුතුය. පත්තරෙන් එහා වැඩසටහනට අද වන විට ස්වාධින රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති අංශයේ වඩාත් ජනප්‍රිය වැඩසටහන යැයි කීමේ වරදක් නැත.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

—————————
පත්තරෙන් එහා වැඩසටහනට කිසිම රාජ්‍ය බලපෑමක් නැහැ

නීතිඥ සුදර්ශන ගුණවර්ධන – සභාපති – ස්වාධීන රූපවාහිනි සේවය

පත්තර කියන්නේ වෙනම කර්මාන්තයක්. පත්තරෙන් එහා වැඩසටහනෙන් පුවත්පතක ප්‍රවෘත්තියක් වාර්තා කළහම පත්තරයක් මිලදී ගන්න පාඨකයන්ට පෙලඹවීමක් ඇති කිරීම අපේ අරමුණක්. ප්‍රධාන වශයෙන් අපි ඉදිරිපත් කරන්නේ හෙඩ්ලයින්. අපි මෙතැනදි ප්‍රේක්ෂකයා පොලඹවනවා පත්තරයක් මිලදී අරන් වැඩි විස්තර දැනගන්න. ඒ නිසා රූපවාහිනියෙන් පත්තර කියවන කොට පත්තර සේල් එක අඩුවෙනවා කියන චෝදනාවෙන් අප නිදහස් වෙනවා. ඔය කොච්චර කිව්වත් පෞද්ගලික චැනල්වලටත් න්‍යාය පත්‍රයක් තියෙනවා. රජයට ප්‍රතිවිරුද්ධ මතවලට වේදිකාවක් හදන ගමන්ම උපයෝගිතාවයෙන් යුතු රාජ්‍ය ප්‍රතිපත්ති ජනතාවට හඳුන්වාදීමත් අපේ වගකීමක්.

පත්තරෙන් එහා වැඩසටහන සෙනසුරාදා ඉරිදා ඉදිරිපත් කරන්නේ මාතොට වැනි සඟරා සංස්කාරකවරයෙක් වන දීප්ති කුමාර ගුණරත්න. ඒ විශ්ලේෂණ පූරකයක්. ඒවා රාජ්‍ය පක්ෂග්‍රාහී දේශපාලන විග්‍රහ නොවේ. රජයට ආවඩන විපක්ෂයට මඩගහන ප්‍රතිපත්තියක් අපේ නැහැ.
ස්වාධීන රූපවාහිනිය අදාළ රාජ්‍ය ඇමතිවරයා හෝ අමාත්‍ය ලේකම්වරයානේ දැන් කිසිම බලපෑමක් නැහැ. දැන් මේක ස්වාධීන රාජ්‍ය ආයතනයක් මහා භාණ්ඩාගාරයෙන් නඩත්තු නොවන. ඒ නිසා අපි හම්බ කළොත් අපි කනවා. ඒත් කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසු රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමට සහභාගිවීම අනිවාර්ය කටයුත්තක්.

ලංකාවේ වැඩිම විකාශන ආවරණයක් තියෙන්නේ ස්වාධීන රූපවාහිනියට. එය 98%ක්. 2015 වනතුරු ලාභ ලබල මහා භාණ්ඩාගාරයටත් ලාභාංශ යවපු රාජ්‍ය ආයතනයක්. ඒත් පස්සේ යම් ගරා වැටීමක් ඇතිවුණා. ඒත් දැන් නැවතත් අප සශ්‍රීක මට්ටමකට ළඟාවෙමින් සිටිනවා.
අපේ නවතම ව්‍යාපාරික නැඹුරුව ඩිජිටල් යූටියුබ් අවකාශයට පිවිසීමෙන් ආර්ථික වශයෙන් සාර්ථකත්වයට පත්වෙමින් සිටිනවා. දැනටමත් මිලියන 15කට වඩා ග්‍රහකයින් ග්‍රහණයට ලක්වෙලා තියෙනවා. මෙරට ප්‍රධාන සමාගම් දැන් ටීම් කොමර්ෂල්වලට ස්වාධීණ රූපවාහිනියට රොද බැඳගෙන සිටිනවා. ඉදිරියේදී අපි 1911 ක්ෂණික අංකයෙන් ප්‍රේක්ෂකයින්ට කෙළින්ම ස්වාධීන රූපවාහිනියට සම්බන්ධ වෙන්න පුළුවන්. මම සභාපති ධුයට පත්වූයේ 2022 ජූලි අර්බුදකාරී කාලයක. ආර්ථික අර්බුදය නිසා වෙළෙඳ දැන්වීම් තිබුණේ නැහැ. ලයිට් කපපු නිසා මිනිස්සු ටීවී බලන එක අඩු වුණා.
පත්තරෙන් එහා අසීමිත ජනාදරයට පත්වීමට ප්‍රධාන හේතුවක් තමයි සේවක සහයෝගය. පත්තරෙන් එහා වැඩසටහනට අති දැවැන්ත ආයතනවල අනුග්‍රාහක දැන්වීම් ලැබෙමින් තියෙනවා. අනික් වැඩසටහන්, ටෙලි නාට්‍යවලටත්, ප්‍රවෘත්ති විකාශනවලටත් විශාල ලෙස දැන්වීම් ලැබෙමින් තිබෙනවා. මේ වසර අවසානයට ප්‍රථම අපේ සේවක සමූහයට තම සාමූහික උත්සාහයේ ආර්ථික ප්‍රතිලාභයක් ලබාදීම අපේ අරමුණයි.

 වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division