Home » ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රජය අතර දෙවන වටයේ සාකච්ඡා සාර්ථකයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රජය අතර දෙවන වටයේ සාකච්ඡා සාර්ථකයි

by mahesh
September 16, 2023 12:37 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සකස් කර අත්සන් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් දිවයිනට පැමිණීමෙන් පසුව සිදු කිරීමට දෙපාර්ශ්වය එකඟතාවට පැමිණ තිබේ. දෙපාර්ශවය මෙම එකඟතාවට පැමිණ ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන්ගේ දෙවන සාකච්ඡා වටයේ පළමු හමුවේදීය. ජනාධිපති නියෝජිත ලෙස මෙයට කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහභාගි විය. සාකච්ඡාව පැවතියේ ජනාධිපති කාර්යාලයේ දී ඉකුත් බ්‍රහස්පතින්දාය.

මෙම සාකච්ඡාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන තත්ත්වය ගැන සතුට පළ කර ඇති අතර යම් යම් ක්ෂේත්‍ර වල පවතින මන්දගාමී ස්වභාවය ගැන ද කරුණු දක්වා තිබේ. රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ ඉලක්කය එලෙසින්ම සම්පූර්ණ කරගෙන නොමැති බව IMF නියෝජිතයන් මෙහිදී පෙන්වා දී තිබේ.

මෙහිදි සාගල රත්නායක ප්‍රකාශ කර ඇත්තේ එම වැඩපිළිවෙළ ගැන සම්පූර්ණ වගකීම රජය විසින් ක්‍රියාත්මක කරන බවත් ඒ ගැන කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත්ය. එසේම දෙපාර්ශ්වය හොඳ අවබෝධයකින් මෙම කටයුතු කරගෙන යා යුතු බව ද සාගල රත්නායක එහිදී අවධාරණය කර තිබේ.

රටට සපුරා ගැනීම සඳහා ඉලක්ක දෙන විට ප්‍රායෝගික විය යුතු බව පෙන්වා දී ඇති සාගල රත්නායක බදු අය කරද්දී ප්‍රායෝගික විය යුතු බවද පෙන්වා දී ඇත. ඊට නිදසුනක් ලෙස ඔහු පෙන්වා දී ඇත්තේ මත්පැන් මත බදු වැඩි කරද්දී අලෙවිය අඩුවී නීති විරෝධී මත්පැන් වෙත ජනතාව යොමුවී ඇති බවය. එසේම ආදායම් අඩුවීමට ආනයන සීමාව හේතුවක් බව ද ඔහු කියා තිබේ.

ජනතාවට දැරිය නොහැකි මට්ටමට බදු පනවා තිබෙන බව පෙන්වා දී ඇති සාගල රත්නායක රජයේ ආදායම් වැඩිවීමට නම් ආයෝජන ද පැමිණිය යුතු බව කියා තිබේ. මෙහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා රජය මින් පෙර ගිවිසුම් අතරමඟ අතහැර දැමීම හේතුවෙන් මෙවර දැඩි කොන්දේසි පැනවීම සිදුවූ බවයි.

ඉන් පසුව කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම දෙවැනි වාරිකය වෙනුවෙන් සකස් කිරීම ගැන දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබේ. එසේම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමෙන් පසු ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පහසු වනු ඇති බවද මෙහිදී ඔවුන් පෙන්වා දී ඇත.

මේ අවස්ථාවට මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු කණ්ඩායමක් රාජ්‍ය පාර්ශ්වයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානි පීටර් බෘවර් ඇතුළු කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාර්ශ්වයෙන් ද එක්ව සිටියහ.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division