Home » තමන්ට කළ අපහාසයට එරෙහිව සී.අයි.ඩියට හා අල්ලස් කොමිසමට ඇමැති බන්දුලගෙන් පැමිණිලි

තමන්ට කළ අපහාසයට එරෙහිව සී.අයි.ඩියට හා අල්ලස් කොමිසමට ඇමැති බන්දුලගෙන් පැමිණිලි

රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියකුත් යවයි

by mahesh
September 16, 2023 12:37 am 0 comment

දුම්රිය සේවකයකු විසින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පිළිබඳ ව්‍යාජ අපහාසාත්මක චෝදනා එල්ල කරමින් පසුගියදා සිදු කළ ප්‍රකාශයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඉකුත් 15 වන සිකුරාදා පැමිණිලි කළ ඇමැතිවරයා ඉන් අනතුරුව ස්වකීය නීතිඥවරුන් වන ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි හා ඩී.එස්. රත්නායක මගින් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමට ද පියවර ගෙන තිබේ.

තමන්ට කළ බරපතළ අපහාසය පිළිබඳව සීඅයිඩීයට පැමිණිලි කළ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඉන් අනතුරව තමන් ඉන්දියානු කොන්ත්‍රාත් සමාගම්වලින් අල්ලස් ලබා ගත් බවට එල්ල කළ චෝදනාව පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේ මෑතකදී බලගන්වන ලද 2023 අංක 09 දරන නව දූෂණ විරෝධී පනත යටතේ භාර ගනු ලැබූ පළමු පැමිණිල්ල ලෙසටය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ පැවසුවේය.

“ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ත වෘත්තිය සමිති නොවන පුද්ගලයන් කිහිපදෙනකු විසින් ක්‍රියාත්මක කරන ලද වර්ජනයක් හේතුවෙන් වටිනා තරුණ ජීවිතයක් අහිමි වී විශාල ව්‍යසනයක් සිදුවුණා. එම සිදුවීමෙන් පසු රජය විසින් අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කර දුම්රිය යථා තත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු, දුම්රිය නිල නිවාසවල පදිංචිව සිටින, සේවකයෙකු වන ඉන්දික දොඩම්ගොඩ විසින් මුළු මහත් රටම කැළඹී ප්‍රචණ්ඩත්වයක් ඇතිවන ආකාරයේ සියලු වර්ජන සඳහා අදූරදර්ශී කැබිනට් අමාත්‍යවරයා වගකිවයුතු බවත්, ඔහුගේ වංචනික සහ දූෂිත ක්‍රියා නිසා සියල්ල සිදු වන බවත් මහජනයාට ඇඟවීම සඳහා ඉතාමත් සාවද්‍ය, ද්වේශ සහගත වෛරී ප්‍රකාශනයක් සිදු කරමින්, මේ සියලු දේ සිදුවන්නේ අමාත්‍යවරයාගේ වංචනික, දූෂිත, අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් බව මතයක් සමාජගත කර ඒ තුළින් ජනතාවගේ වෛරය අප වෙත හැරවීමට දරන උත්සාහය අපරාධයක්. ඒ පිළිබඳව මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කළා.

මීට අමතරව ටෙන්ඩර් කැඳවීමකින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළ බවටත් චෝදනා කරනවා. මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඉන්දියානු සමාගම් වෙත ලබාදී ඇති ටෙන්ඩර් 2015, 2016, 2019 වසරවල සිදුකරන ලද ඒවා. මාගේ නිවසට ගිනි තැබීමෙන් අනතුරුව මේ අමාත්‍යාංශයේ වගකීම භාරගනු ලැබුවේ 2022 වසරේදී. ඒ කාල පරිච්ඡේදය තුළ කිසිදු ටෙන්ඩරයක් ලබා දී නැහැ. අප විසින් සිදුකර තිබෙන්නේ නතර වී තිබුණු කටයුතු කඩිනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම පමණයි.

එම නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්, රට වැටි තිබෙන තැනින් ගොඩගැනීමට කැපවී කටයුතු කරන පිරිස් බිය වද්දමින් රට නැවත අරාජික බවට පත් කිරීමට තැත් කරන පුද්ගලයින් පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මා ඉල්ලීමක් සිදු කළා.

මීට අමතරව මෙම සමාගම්වලින් මා හට කෝටි පහක අල්ලසක් ලබා දීම පිළිබඳව චෝදනාවක් එල්ල කර තිබෙනවා. ඒ පිළිබඳවත් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.‘‘

රූපවාහිනී නාලිකාවක පසුගිය 14 දා දහවල් 11.55 ප්‍රවෘත්ති විකාශයෙන් පැවැති වර්ජනය අවසන් කිරීම පිළිබඳව ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ මේ සේවකයා විසින් බවත් එහිදී ඔහු විසින් ප්‍රකාශ කරන ලද සෑම වචනයක් පිළිබඳවම, වෛරය පැතිරවීම සඳහා ද්වේශසහගත ලෙස, හිතාමතා ඕනෑකමින් සැලසුම් සහගත ලෙස ප්‍රකාශයක් හේතුවෙන් ඒ පිළිබඳව අපක්ෂපාතී, කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඇමැතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.

තව දුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද කීවේය.

‘‘මිනිස් ජීවිතයක් ද අහිමි වී තිබෙන වටපිටාවක මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් සිදු කරනුයේ නම්, කිහිපදෙනෙකුගේ අවශ්‍යතාවන් මත රටේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අතරමං වන ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් මගින් වෘත්තීය සමිති ත්‍රස්තවාදය ඇති කිරීමට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ පියවර ගනු ලැබුවා. එවැනි තත්වයක් තුළ ඒ වෛරය අප වෙත හැරවීමට උත්සහ කරනවා නම් රජයක් ලෙස ඊට ඉඩ දීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා මහජනතාව දැනුවත් කර යුක්තිය ඉටු විය යුතුයි.

විදේශ සංචාරයන් සඳහා ඇමතිවරයා වෙත වෙන් කරන මුදල් වලින් ඉතිරිවන මුදල් නැවත රජයට භාර දී රිසිට් පතක් ලබා ගන්නා එකම අමාත්‍යවරයා මා යැයි මා සිතනවා. නිරත වූ සෑම සංචාරයක දී මේ ඉතුරු වූ මුදල් ලක්ෂ ගණනක් මා එලෙස නැවත භාරදී තිබෙනවා.‘‘

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division