by mahesh
September 16, 2023 12:30 am 0 comment

සිහිය සියලුම සංසිද්ධීන් හි සැබෑ ස්වරූපය දකින අයුරු අපි සාකච්ඡා කළෙමු. එසේම සිහිය යනු සැබෑ සංසිද්ධීන් විභාග කරන ක්‍රමවේදයයි. මිනිසාගේ නිරීක්ෂණයට හසුවන, යථාර්ථයේ ගැඹුරුම මට්ටම එළිදරව් කිරීමට සිහියට පමණක් බලය තිබේ. මෙම මට්ටමෙන් විභාග කිරීමේදී යමෙකු හට පහත සඳහන් දේ දැක ගැනීමට පිළිවන.

a. සෑම ආරෝපිත (සකස්වුණු) දෙයක්ම ස්වභාවයෙන්ම වෙනස් වෙමින් පවතියි.

b. සෑම ලෞකික ද්‍රව්‍යයක්ම අවසානයේදී අතෘප්තිකරයි.

c. ස්ථිර, වෙනස් නොවන කිසිම වස්තුවක් නැත. ඒවා ක්‍රියාදාමයන් පණක්මය.

සිහිය ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් ලෙස ක්‍රියාකරයි. සිතීමේ ක්‍රියාවලියේදී න්‍යායාත්මක නිර්මාණ වන යථාර්ථයන් පවා ඍජුවම තේරුම්ගත හැකිවන තරම් සියුම් මට්ටමකින් සිහිය ක්‍රියාත්මක වන බව එයින් අදහස් වෙයි. සිහිය සැබැවින්ම, සෑම සංජානනයකම ඇති අස්ථිර බව දකියි. සංජානනය කළ සියල්ල අස්ථිර හා මැකී යන සුලු බව ද එය දැක ගනියි. සෑම සකස්වුණු (සංඛත) වස්තුවක්ම ස්වභාවයෙන්ම අතෘප්තිකර බව ද එය දකියි. මේ වෙනස් වෙමින් ගමන් ගන්නා සුලු කිසිම වස්තුවක් අල්ලා ගැනීම නිෂ්ඵල බව එය දකිනු ඇත. එලෙස සාමය හා සතුට සොයා ගත නොහැක. අවසානයේදී සෑම සංසිද්ධියකම අනාත්ම බව සිහිය දැකගනියි.

අප හිතුමතයට සංජානන කලාපයක්, මුළු අත්දැකීම් ප්‍රවාහයෙන් වෙන්කොට ගෙන, ඒවා වෙන්වූ කල්පවත්නා ඒකක ලෙස සංකල්ප ගත කරගෙන ඇති සැටි සිහිය දකියි. ඇත්ත වශයෙන්ම සිහිය මේවා දකියි. ඍජුවම දකිනවා මිස ඒවා ගැන සිතන්නේ නැත.

මුළුමනින්ම වර්ධනය වූ විට, සිහිය, විඥානික සිතිවිලිවල මැදිහත්වීමක් නොමැතිව මෙම ජීවන යථාර්ථයන් ක්ෂණිකව, ඍජුවම දකියි. අප දැන් සාකච්ඡා කළ යථාර්ථයන් පවා එක්ව පවතියි. වෙන්වූ අංගයන් ලෙස ඒවා නොපවතියි. එය හුදෙක්ම, සිහිය යන සරල, මූලික ක්‍රියාවලිය, අප්‍රමාණ සංකේත භාවිතයෙන්, විඥානික මට්ටමෙන් ප්‍රකාශ කිරීමට අප ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයයි. ක්‍රියාවලියක් වුවද, සිහිය, පියවරෙන් පියවර සිද්ධ නොවෙයි. ඒකකයක් ලෙස සිදුවන සාර්ව ක්‍රියාවලියකි.

ඔබගේ සිහිය මඳ බව ඔබ විසින් ම දැක ගනු ඇත. එම දැකීමම සිහියේ ප්‍රතිඵලයයි. සිහිය යනු පිරිසිදු අවධානයයි. පිරිසිදු අවධානය යනු විකෘති කිරීමක් නොමැතිව පවතින දේ ඒ අයුරින්ම දැක ගැනීමයි. ඒවායේ පැවැත්ම අස්ථිර, අනාත්ම හා අතෘප්ති කරවන අතර මේ සියල්ල චිත්තක්ෂණ කිහිපයක් ඇතුළතදී සිදුවෙයි. කෙසේ වෙතත්, සිහිය ඇතිකර ගත් පළමු වතාවේම ඔබට විමුක්තිය ලැබේ යයි අපි නොකියමු. මෙම අත්දැකීම් ඔබගේ (විඥානික) සාමාන්‍ය ජීවිතයට එක්කාසු කර ගැනීම තවත් ක්‍රියාවලියකි. මෙම සිහියෙන් සිටීමේ තත්ත්වය දීර්ඝ කර ගැනීමට ඉගෙන ගැනීම තවත් දෙයකි. ඒවා උත්සාහ කර බැලීමට තරම් වටිනා ආස්වාදජනක ක්‍රියාවන් වෙයි.

සිහිය (සති) හා විපස්සනා (විපස්සනා) භාවනාව අතර වෙනස කුමක්ද?

සිහිය විපස්සනා භාවනාවේ කේන්ද්‍රය වන අතර එය මුළු ක්‍රියාවලියේම ප්‍රධානතම අංගයයි. එය මෙම භාවනාවේ අරමුණ මෙන් ම එයට ළඟාවෙන ක්‍රමය ද වෙයි. සිහිය වෙත ළඟා වන්නේ සිහිය පවත්වා ගැනීම තුළින්ම ය. සිහිවිකල් නොවීම හෝ අතපසු නොවීම යන තේරුම සහිත අප්‍රමාද යන පාලි වචනයේ අරුත ද සිහිය යි. තමාගේ හිතේ සිදුවන දේ පිළිබඳව නිතරම නොනවත්වාම සෝදිසියෙන් සිටින්නා ඉතාමත් යහපත් ප්‍රකෘති සිහිය අත්කර ගනියි.

“සති” යන පාලි වචනයෙහි සිහිකිරීම යන අර්ථය ද ගැබ්ව ඇත. එය අතීත කාරණා හෝ රූප මතක්වීම නොව පවතින හා නොපවතින දේ පිළිබඳව, වැරදි හා නිවැරදි දේ කුමක්ද, අප කුමක් කරමුද හා අප කෙලෙස එය කරමුද? යන්න පිළිබඳව පැහැදිලි, ඍජු, වචනයෙන් තොර දැනීමයි. සිහිය, නියමිත වේලාවට, නියමිත අරමුණක් වෙත කාර්යය කිරීමට අවශ්‍ය ශක්තිය නියමිත ප්‍රමාණය යෙදවීමට භාවනානුයෝගියාට මතක් කිරීමක් කරයි. ශක්තිය මනාව යෙදවූ විට භාවනාවේ යෙදෙන්නා නිරන්තරයෙන් ම සංහිඳියාවකින් හා සෝදිසියකින් සිටියි. මෙම තත්ත්වය පවත්වා ගන්නා තුරු “බාධාවන්” හෝ “මානසික නොරිස්සුම්” යන ස්වභාවයන් පහළ නොවෙයි. එනම්, තණ්හාව, වෛරය, රාගය හෝ කුසීතකම මතු නොවෙයි.

නමුත් මනුෂ්‍යයින් ලෙස අපි සැම දෙනාම වරදෙහි බැඳෙමු. අපි බොහෝ දෙනෙක් නැවත නැවතත් වැරදි කරමු. අවංක උත්සාහයක් දැරුව ද සමහර වේලාවලදී භාවනානුයෝගීහු තමන්ගේ සිහිය ගිලිහී යාමට ඉඩදී සාමාන්‍ය මිනිස් දුර්වලකම් අතර සිරවෙති. එම වෙනස දකින්නේ සිහියයි. එයින් ගොඩ ඒමට අවශ්‍ය ශක්තිය යෙදවීමට සිහිය මතක් කරයි. මෙම වැරදි යළි යළිත් සිද්ධ වූවද පුහුණුවත් සමඟ ඒවා සිදුවීමේ වාර ගණන ක්‍රමයෙන් අඩුවනු ඇත.

මෙවන් මානසික කෙලෙස්, සිහිය විසින් ඉවත්කළ විට යහපත් චිත්ත ස්වභාවයන් පහළ වනු ඇත. වෛරය මෛත්‍රියට ඉඩ සලසයි. ආශාව උපේක්ෂාවෙන් දුරුවෙයි. මෙවන් වෙනස්කම් දකින්නේ ද සිහිය විසින්මය. එය මෙවැනි යහපත් චිත්ත ස්වභාවයන් පවත්වාගෙන යෑමට අවශ්‍ය ඉහළ මානසික තීව්‍රතාවයක් පවත්වා ගැනීමට විපස්සනා භාවනාවේ යෙදෙන්නන්ට සිහි ගන්වයි. සිහිය, දයාව හා ප්‍රඥාව වර්ධනය කරයි. සිහිය නොමැතිව අපට පූර්ණ පරිණත බවට පැමිණිය නොහැක.

සුන්දර, මිහිරි අත්දැකීම් සේ දකින දේ භාර ගන්නා හා අවලක්ෂණ, අප්‍රසන්න දේ ප්‍රතික්ෂේප කරන මානසික යන්ත්‍රණයක් සිතේ ගැඹුරින් පවතියි. අප මඟහැරීමට පුරුදුවන චිත්ත ස්වභාවයන් වන වෛරය, ආශාව, ද්වේශය හා ඊර්ෂ්‍යාව මතු කරන්නේ මෙම යන්ත්‍රණය විසිනි. අප ඒවා මග හැරීමට තීරණය කරනුයේ ඒවා වචනාර්ථයෙන් නපුරු නිසා නොව ඒවායේ තිබෙන බල කරන සුලු ලක්ෂණ හේතුකොට ගෙනය. ඒවා මනස මුළුමනින්ම ග්‍රහණය කර, සම්පූර්ණ අවධානය ම අල්ලා ගන්නා බැවිනි. මේ සිතිවිලි නොනවත්වා කුඩා චක්‍ර මෙන් ගමන් කරන නිසාත් පවතින යථාර්ථයෙන් අපව බොහෝවිට වෙන්කරන නිසාත් ය.

සිහිය පවතින විට මෙම බාධාවන්ට නැඟීමට ඉඩක් නැත. මේ මොහොතට දක්වන අවධානය සිහිය බැවින් බාධාවන් ඇතිකරන මුළා වූ මනසට එය ඍජුවම විරෝධය දක්වයි. ප්‍රතික්ෂේප කිරීම්, අල්ලා ගැනීම්, බැඳීම් යන දේවලින් මනස පිරෙනුයේ, භාවනානුයෝගීන් වන අප සිහිය පවත්වා නොගත් විට ගැඹුරින් ඇති යන්ත්‍රණය බලවත් වීම හේතුවෙනි. එවිට ප්‍රතිරෝධය අපගේ දැනීම අපැහැදිලි කරයි. අප වෛරය, තණ්හාව වැනි සිතිවිලි සමඟ පටලැවී සිටින විට, සිදුවන වෙනස අපට නොපෙනෙයි. නුපුහුණු පුද්ගලයෙකු මෙම තත්ත්වය නොකඩවා ගෙන යන අතර පුහුණු භාවනානුයෝගියා කඩනමින් සිදුවන දෙය වටහා ගනියි. වෙනස සනිටුහන් කරගන්නේ සිහිය විසිනි. ලැබූ පුහුණුව මතක් කරන සිහිය අවධානය එක්තැන් කර වියවුල් පලවා හරියි. බාධාවන් පැන නොනගින්නට සිහිය නොකඩවා පවත්වා ගැනීමට ප්‍රයත්න දරන්නේ ද එයමය. එබැවින්, සිහිය බාධාවන් සඳහා විශේෂ විෂහරණයකි. එය රෝගය වළක්වන මාර්ගය හා ප්‍රතිකාරය යන දෙකම වෙයි. පූර්ණ වශයෙන් වර්ධනය වූ සිහිය, ලෝකයේ ඇති කිසිවකට බැඳීමක් ඇතිකර නොගන්නා, කිසිවක් කෙරෙහි ඇලීමක් නොදක්වන ස්වභාවයකි.

(ලබන කලාපයෙන් සමාධිය යහපතට හෝ අයහපතට යොදා ගත හැකි ආකාරය සාකච්ඡා කරමු.)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division