Home » සතියේ කලදවස

සතියේ කලදවස

by mahesh
September 16, 2023 12:36 am 0 comment

මේෂ – ව්‍යාපාර ලාභ හිමි කර දෙයි

වෙළෙඳ ව්‍යාපාර, සාමාජීය සබඳතා, යුග දිවිය ගැටලු නොමැතිව පවත්වාගෙන යා හැකි අතර දරුවන්ගේ උසස් අධ්‍යාපනික ප්‍රගතියක් ද ඇති කෙරේ. පුණ්‍ය කටයුතුවලට සහභාගී වන සහෝදර උපකාර හිමි කෙරෙන සුබ සතියක් වුවත් කනගාටුදායක පුවත් ද අසන්නට ලැබෙයි. ඒ අයට උදව් උපකාර කරන්නට ද ඉදිරිපත් වේ. අපල අවම වීමට දුර්වල අයට උපකාර කරන්න.

සුබ අංක – 7, 9, සුබ වර්ණ – රතු, නිල්, සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා

වෘෂභ – මිශ්‍රපල ගෙන දෙයි

සඳු ගමන් කරන්නේ 6, 7, 8 යන භාවයන් මතිනි. සතුරු කරදර අවම වේ. සාමාජයී කටයුතු, හවුල් ව්‍යාපාර ගැටලු නොමැතිව පවත්වාගෙන යා හැකි අතර විදෙස් ගමන් සාර්ථක විය හැක. රැකියා සඳහා ඇවිදිලි වැඩිවේ. උසස් උගත් මිතුරන් ඇසුරට හිමිවේ. ඇසුරු කරන අය අතර ප්‍රසාදයට ලක් කෙරේ. කනගාටුදායක පුවත් අසන්නට ලැබෙන සහ අසනීප, අපල පෙන්නුම් කෙරෙන සතියකි. අපල අවම වීමට පොදු වාහනයකදී දුර්වල අයෙකුට තම අසුන පරිත්‍යාග කරන්න.

සුබ අංක – 6, 9, සුබ වර්ණ – ක්‍රීම්, රෝස, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මිථුන – යහපත් සතියකි

සඳු ගමන් ගන්නේ 5, 6, 7 භාවයන් මතිනි. පූර්ව කුසල ශක්තීන් මත දරුවන්ගේ සියලු යහපත් ප්‍රාර්ථනා ඉටුවන ඔවුන්ගේ දක්ෂතා අසන්නට ලැබෙන අතර යුග දිවිය සතුටින් ගෙවෙයි. ආර්ථිකය ශක්තිමත් වන ලැබීම් සහිත දින කීපයකි. අසනීප අපල පෙන්නුම් කරයි. ඒවා අවම කරගැනීමට කුඩා දරුවන් රැකබලා දෙන්න. ඔවුනට ආදරය රැකවරණය දෙන්න.

සුබ අංක 3, 9, සුබ වර්ණය – කොළ, සුබ දවස් – සඳුදා, බදාදා, සිකුරාදා

කටක – දූ දරු මාපිය සබඳතා වර්ධනය වේ.

සඳු ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගේ දොර අලංකරණ කිරීම්වලට කාලයක් වැය කරයි. දූ දරු මාපිය සබඳතා වර්ධනය වේ. රැකියා සඳහා වැඩි කාලයක් ඇවිදීමට සිදුවෙනු ඇත. එහෙත් ලාභ ප්‍රයෝජන ලබයි. දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථකව කරගෙන යාටම හැකියාව ඇති අතර මාපිය සොහොයුරු ආධාර උපකාර හිමිවෙයි. යහපත් සතියක් වුවත් ඒරාෂ්ටක නිසා උවදුරු, සිත් රිදීම්, කලකිරීම් පෙන්වයි. අපල අවම වීමට රතන සූත්‍රය උදේ සවස කියන්න.

සුබ අංක – 2, 7, සුබ වර්ණය – සුදු, සුබ දවස් – සඳුදා, අඟහරුවාදා

සිංහ – වාසනාවන්ත සතියකි

සඳු ගමන් කරන්නේ 3, 4, 5 යන භාවයන් මතිනි. ප්‍රාථමික අධ්‍යාපනයක් ලබන දරුවන්ගේ දක්ෂතා ඔප් නැංවෙන සතියකි. මාපියන් දරුවන් එකතුව පුණ්‍ය කටයුතු සිදුකිරීමට යන භාග්‍යය ඇති කරයි. ස්වයං රැකියා දියුණුව ප්‍රමාද දරුපල විවාහ කටයුතු ආදියට වාසනාව ගෙන දෙයි. පදිංචි ස්ථානයේ දියුණුවට වැඩකටයුතු කර ගනී. අපල අවම වීමට කුසගින්නේ සිටින කෙනෙකුට ආහාර දෙන්න. සතෙකුට වුවද කම් නැත.

සුබ අංක – 4, 9, සුබ වර්ණය – රතු, සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා

කන්‍යා – අතමිට මිල මුදල් ගැවසේ

සඳු ගමන් කරන්නේ 2, 3, 4 යන භාවයන් මතිනි. කරන කියන රැකී රක්ෂාවලින් ලාභ ප්‍රයෝජන පවතින අතර අතමිට මුදලක් ගැවසේ. දෙමාපිය සහෝදර ආදීන්ගේ උදවු උපකාර ඔවුන් හා එකතුව දුරබැහැර වන්දනා ගමන් ආදියට යයි. ප්‍රිය කතාබහ නිසා අන්‍යයන්ගේ අවධානය ඔබ වෙත යොමුවන ජීවිතය සතුටින් ගෙවන දින කීපයකි. අපල අවම වීමට පිළිකා රෝගීන්ට උපකාර කරන්න.

සුබ අංක – 5, 7, සුබ වර්ණය – කොළ, සුබ දවස් – බදාදා, සිකුරාදා

තුලා – ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සපල වෙයි

සඳු ගමන් කරන්නේ ලග්නය දෙවැන්න හා තුන්වැන්න මතිනි. සමාජයේ කැපී පෙනෙන පෞරුෂයක් ඇති චරිතයක් වන අතර සමහර විටෙක කලකිරීමකට ලක්වන අවස්ථා මතු කරයි. පිරිසිදුකම, අවංක භාවය, හොඳහිත නිතර පතුරුවයි. ඔබ බලාපොරොත්තු වන අයුරින්ම රැකියා, ව්‍යාපාර දියුණුව මදි වුවත් සෑහීමකට පත්වීමට පුළුවන. දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය හොඳින් කරගෙන යයි. අපල අවම වීමට වකුගඩු රෝගීනට උදවු කරන්න.

සුබ අංක – 6, 9, සුබ වර්ණ – ක්‍රීම්, සුදු, රෝස, සුබ දවස් – සිකුරාදා, බදාදා

වෘශ්චික – මිශ්‍රපල ගෙන දෙයි

සඳු ගමන් කරන්නේ 12 ලග්නය හා දෙවැන්න මතිනි. ආරම්භය ගැටලු සහගත විය හැකි අතර සිත් රිදීම් ඇතිවීමට පුළුවන. ඉන්පසු ගෘහ ජීවිතය සතුටින් ගෙවිය හැකි සමාජ සුබ සාධන සමාජ සේවා කටයුතුවලට යොමුවන බැව් පෙනේ. ආර්ථිකය ශක්තිමත් වේ. උසස් උගත් අයගේ ඇසුර හිමිකර දෙයි. දරුවන්ගේ අධ්‍යාපනය ගැටලු නොමැතිව කරගෙන යයි. අපල අවම වීමට සියලු රතුමල් වර්ග පූජාකර කතරගම දෙවියන්ට පින් දෙන්න.

සුබ අංක – 4, 5, 9, සුබ වර්ණය – රතු, සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

ධනු – ලැබීම් සහිතයි

සඳු ගමන් කරන්නේ 11, 12 සහ ලග්නය මතිනි. ආරම්භය සතුටුදායකය. ඔබෙන් කිසිවෙකු ඉල්ලාගත් ණය මුදලක් හෝ ලැබෙන්නට ඉඩ ඇත. රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන හිමි කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵලතාවයට පැමිණේ. ආර්ථිකය ශක්තිමත් වේ. ආදරය, විවාහය, දරුපල ආදිය සුබ වෙයි. සමහරවිට සිත් රිදීම්, කලකිරීම්වලට භාජනය විය හැක. අපල අවම වීමට කහමල් පූජා කර සියලුම දෙවියනට පින් දෙන්න.

සුබ අංක – 8, 9, සුබ වර්ණය – කහ, සුබ දවස් – බ්‍රහස්පතින්දා, ඉරිදා, බදාදා

මකර – දුර ගමන් යෙදේ

සඳු ගමන් කරන්නේ 10, 11, 12 යන භාවයන් මතිනි. රැකියා, ව්‍යාපාර ආදියෙන් ලාභ ප්‍රයෝජන හිමිවන අතර ස්වයං රැකියා අංශ ද දියුණු වෙයි. ආර්ථිකය ශක්තිමත් සහ දරුවන්ගේ ප්‍රාථමික අධ්‍යාපනය වඩාත් වර්ධනය වෙයි. දුර ගමන් බිමන් යෙදේ. කර්ම බලය ශක්තිමත් වී තමන්ගේ නොවිසඳුණු ගෙදර දොර ගැටලුවලට විසඳුම් හිමිකර දෙයි. අපල අවම විමට අන්තරාය නිවාරණ පිරිත දවසකට දෙවරක් කියන්න.

සුබ අංක – 8, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස් – සෙනසුරාදා, සිකුරාදා

කුම්භ – පුණ්‍ය සිතුවිලි මතු කරයි

සඳු ගමන් කරන්නේ 9, 10, 11 යන භාවයන් මතිනි. පුණ්‍ය සිතුවිලිවලින් ආරම්භ වන සතිය ප්‍රතිඵලදායකය. කර්ම බලය ශක්තිමත් වී මෙතෙක් නොවිසඳුණු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටුවෙයි. දුරගමන් බිමන් පුණ්‍යස්ථාන වැඳ පුදා ගැනීමට හැකිවේ. සතුටු සිත් ඇතිව කල් ගෙවිය හැකි දරුවන්ගේ සියලු යහපත් බලාපොරොත්තුවලට ඉඩක් ඇති සතියකි. අපල අවම වීමට නිල් මල් පූජා කරන්න. ජය ශ්‍රී මහා බෝධිය සිතින් හෝ වන්දනා කරන්න.

සුබ අංක – 8, 9, සුබ වර්ණය – නිල්, සුබ දවස් – සිකුරාදා, සෙනසුරාදා

මීන – මිශ්‍රපල ගෙන දෙයි

සඳු ගමන් කරන්නේ 8, 9, 10 යන භාවයන් මතිනි. ආරම්භය එතරම් සුබදායක නොවන පුවත් අසන්නට ලැබේ. ඉන්පසුව පුණ්‍ය කටයුතුවලට දායකත්වය සපයන වන්දනාමාන කරගත හැකි ස්ථාන කරා යාමට හැකි වාතාවරණයක් සැලසේ. ගෙදර දොර දියුණුවට, පදිංචි ස්ථානයේ සාර්ථකත්වයට අනාගත වැඩපිළිවෙළක් යොදයි. දරුවන්ගේ උසස් අධ්‍යාපනය දියුණු වෙයි. අපල අවම වීමට වෙල් මාළුන්ට ආහාර දෙන්න.

සුබ අංක – 3, 9, සුබ වර්ණ – රතු, කහ, සුබ දවස් – අඟහරුවාදා – බ්‍රහස්පතින්දා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division