Home » කත ගැන කියන උපන් නැකත

කත ගැන කියන උපන් නැකත

by mahesh
September 16, 2023 12:48 am 0 comment

මෙලොව උපදින සෑම අයෙකුටම තම උපන් ජන්ම කේන්ද්‍රයට අනුව නැකතක් හිමිවනු ඇත. ජ්‍යෝතිෂ්‍යයේ නැකත් 27කි. ඉන් එක් නැකතක් ඔබේ කේන්ද්‍රයේ සටහන් වී ඇති අයුුරු බලන්න. එය ඔබ උපන් නැකතයි. මෙම ලිපියෙන් දැක්වෙන්නේ කාන්තාවන්ගේ උපන් නැකතට අනුව ජීවන තොරතුරු හෙළිකරන විස්තරයකි.

(1) අස්විද නැකත

මෙම නැකතින් කාන්තාවෝ බොහෝවිට පිරිසුදුව සිටීමට කැමැත්තක් දක්වති. වැඩිහිටි අයට ගෞරව කරයි. ස්වාමියාට ඉතා අවනතව කටයුතු කරන අතර ධන සම්පත් සඳහා ද හිමිකාරියක වනු ඇත.

(2) බෙරණ නැකත

බෙරණ නැකත හිමි කතුන්ගේ සිත් තුළ දුදන ගති දැකිය හැකිය. රණ්ඩු දබර ඇතිකර ගන්නා කොතරම් ඇඳුම් තිබුණත් කිලිටි වස්තු ඇඳීම ඇගේ සිරිතයි. දිළිඳු ජීවිත ගතකරන මෙම නැකත හිමි බොහෝ කාන්තාවෝ තවත් කාන්තාවන් සමඟ වැඩිපුර කාලය ගත කිරීමට කැමැත්තක් දක්වති.

(3) කැති නැකත

කැති නැකත හිමි කත නිතර කලබලකාරී හැඟීම් ඇති කර ගන්නීය. සිතේ සන්සුන් බව අඩුය. යමකු තමාට වරදක් කළහොත් ඒ ගැන සිතමින් දිගින් දිගටම කල්පනා කරයි.

(4) රෙහෙණ නැකත

පිවිතුරු හදවතක් ඇත්තෝය. තම ස්වාමියාට තදබල ලෙස ඇල්මක් දක්වයි. මවුපියන්ට ද දැඩි ලෙස හිතවත්ය. උද්‍යෝගිමත්ව කටයුතු කරයි. ධනවතියකි.

(5) මුවසිරස නැකත

සමාජයේ අන් අයනේ ගෞරව හිමිවේ. පැහැපත් සිරුරකි. තම අදහස අනුවම තර්ක විතර්ක කරමින් කතාබහ ඉදිරිපත් කරයි. සාර්ථක ජීවිතයක් ගත කිරීමේ වාසනාව උපතින්ම හිමිවේ. ධනයට දැඩි ලෙස ඇලුම් කරන්නීය. වාසනාවන්ත දූ පුතුන් ලැබෙනු ඇත. ආගමික කටයුතුවලට ද කැමතියි.

(6) අද නැකත

චරිතය එතරම් යහපත් නොවේ. නරක හැඟීම් නිතර ඇතිවන බව පෙන්වයි. සතුරන්ගේ රහස් සෙවීමට දක්ෂතාවයක් දක්වයි. දෙවියන් ඉදිරියේ භක්තිමත්ව කටයුතු කරයි. අනවශ්‍ය දේ සඳහා දැඩි වියදමක් සිදුකරයි.

(7) පුනාවස නැකත

ඉතා චරිතවත් වාසනාවන්ත දිවිපෙවෙතක් ගත කිරීමේ භාග්‍යය උපතින්ම හිමිකර ගනී. ආගමික කටයුතුවලට දැඩි ඇල්මක් දක්වයි. මෙහෙකරුවන් ලැබේ. අන් අයට බොහෝ ගරු බුහුමන් කිරීම මේ අය කෙරෙහි දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයකි.

(8) පුෂ නැකත

ඉතා රූමත්ව උපදියි. යහපත් අදහස් ඇත. දැඩි ආගමික භක්තියකින් යුක්තයි. ධන සම්පත් හිමිවේ. යහපත් දූ දරු සම්පත්තිය ද ඇත. ඥාතීන් සමඟ සුහදව කටයුතු කරයි. ජීවිතය ගත කරන්නේ සතුටිනි.

(9) අස්ලිස

චරිතය අයහපත්ය. දුකින් කාලය ගත කිරීමට සිදුවෙයි. පව් කිරීමට රුචිකත්වයක් දක්වයි. දරුණු ලෙස වචන කතා කරයි. දැඩි ලෙස අහංකාරය. විරුද්ධවාදීන් වැඩිවේ.

(10) මා නැකත

ආගමික භක්තිය ඇත්තියකි. වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමේ භාග්‍යය උප්පත්තියෙන්ම හිමිවේ. ධන සම්පත්වලට ද හිමිකම් ඇත. අන් අයගේ ගරු බුහුමන් හොඳින් ලැබේ. සතුරන් නැසීමේ ගුණයක් උප්පත්තියෙන්ම හිමිය.

(11) පුවපල් නැකත

සෞභාග්‍යමත් දිවියකට හිමිකම් කියන්නේය. සතුරන් අබිබවා ජයග්‍රහණය කරන්නීය. අවංකයි. කඩිසරයි. ඉගෙනීමට දක්ෂයි. සමාජයට වැඩදායකය. දරුවන් ලොවට දායාද කරන මෙම නැකත හිමි කතුන් සිය කතාවෙන් අනුන් වසඟ කර ගනීමට දක්ෂයෝය.

(12) උත්‍රපල් නැකත

නීතිගරුකයි. ගෙදර දොර පාලනය හොඳින් දනී. ක්‍රියාශීලිය. ධන සම්පත් හිමිය. රෝගවලට මුහුණ දෙන්නේ අඩුවෙනි. නිතර සතුටින් ගත කරයි.

(13) හත නැකත

නියම කතකගේ ගති ලක්ෂණ දක්වයි. පියකරු නෙත් යුගලකට හිමිකම් කියයි. විවිධ කාර්යයන් සඳහා දක්ෂතා පෙන්වති. ධනවත් විය හැකිය.

(14) සිත නැකත

සිත නැකතින් උපදින ලලනාව අන් අයගේ සිත් වසඟ කරගත හැකි සරාගි අයෙකි. බොහෝවිට දුප්පත්ව උපදී. වෙසඟනක් වීමේ ඉඩකඩ සහිතය.

(15) සා නැකත

ඉතාමත් වාසනාවන්ත ජීවිතයක් ගත කරයි. චරිතවත්ය. ධනවත්ය. අවංකයි. බොහෝ මිතුරු මිතුරියන් හිමිවේ. ධනවතුන් බවට පත්වුනත් ගමනට බිමනට එතරම් කැමති නැත. ්‍

(16) විසා නැකත

යහපත් වචන කතා කරයි. ධන සම්පත් හිමිවේ. නිතර සතුටින් කාලය ගත කරයි. තම නෑදෑ පරපුරට දැඩි ඇල්මක් දක්වයි. ආගම දහමට ඉතා ලැදිය. ස්වාමිපුරුෂයාට දැඩි ගෞරවයක් දක්වයි.

(17) අනුර නැකත

ආත්මාර්ථයට වඩා පරාර්ථය ගැන සිතන කතුන්ට මේ නැකත හිමියි. දේශපාලන කටයුතුවල ජය ලබයි. රන් රිදී ආභරණ ලැබීමේ වාසනා ගුණය සහිතයි. සහකරුවාට දැඩි ලෙස ප්‍රේම කරයි. යහපත් මිතුරන් ඇතිවනු ඇත.

(18) දෙට නැකත

මිහිරි කටහඬක් හිමිය. ගුණවත්ය. වාසනාව සහ පෙර පින් මහිමය නිසා පින්වත් දරුවන් ලැබේ. අවංකයි. චරිතවත්ය. මිතුරු ඇසුරට ඉතා කැමතියි. ධනවත් වීමේ වාසනා ගුණය ද හිමියි. පවුලේ දියුණුව සීඝ්‍රයෙන් ඇතිවේ.

(19) මූල නැකත

මඳ කාලයක් සතුටින් දිවි ගෙවන මුත් පසුව දුක්බර තත්වයකට පත්වන අවස්ථා ඇත. සෞඛ්‍ය තත්වයද එතරම් යහපත් නොවේ. සතුරු කරදරවලට මුහුණ දෙයි. ඥාති මිත්‍රාදින්ගෙන් ද එතරම් පිහිටක් නැත.

(20) පුවසල නැකත

ප්‍රිය මනාපය. බලවත් තත්වයක් අත්වේ. ඥාතීන් අතර ප්‍රධාන තැනක් ලැබේ. අවංක කාරුණික තරුණියන් මෙම නැකතින් උපදී. පිරිපුන්ය. දුටුවන් වශී කරන ශරීරයක් හිමිය.

(21) උත්‍රසල නැකත

තම කීර්තිය දසත පතුරුවයි. සමාජයේ කැපී පෙනෙයි. විවාහයෙන් පසු තම ස්වාමියාට අවශ්‍ය සැප සම්පත් ලබාදිමේ හැකියාව මෙවැනි කතුන්ට ඇත. ප්‍රීතියෙන් තම ජීවිතය ගෙවයි. විනෝදයට කැමතිය. නිතර පින් දහම්වල ද යෙදේ.

(22) සුවණ නැකත

මෙම නැකතින් උපන් කාන්තාවෝ බුද්ධිමත්ය. ජ්‍යෝතිෂ්‍යයට කැමැත්තක් දක්වති. ඉගෙනීමට හැකියාවක් ඇත. ආගම ධර්මය කෙරෙහි දැඩි පැහැදීමකින් කටයුතු කරයි.

(23) දෙනට නැකත

දෙනට නැකතින් ජන්ම ලාභ ලැබූ ළඳුන් කතාවට දක්ෂ වන අතර ආහාර, ඇඳුම් පැලඳුම් නොමඳව ලබයි. සහකරුට බලවත් සේ ආදරය කරන අතර යහගුණ ඇති දරුවන් ලොවට දායාද කරනු ඇත. මෙම කතුන් අවංක චරිතවත් අය වන අතර ලිපි ලේඛන කටයුතුවලට ද දස්කම් දක්වයි.

(24) සියාවස නැකත

තම හැඟීම් යටපත් කරගෙන ජීවිතය ගෙනයයි. අන් අය සමඟ ප්‍රියමනාපව කටයුතු කිරීමට හැකියාවක් ඇත. වැඩිහිටියන්ට ගරු කරයි. කාන්තා ගෞරවය ලැබෙන නෑදෑයන්ගේ ද ගරු කිරීමට ලක්වන කතුන් උපදින්නේ මේ නැකතිනි.

(25) පුවපුටුප නැකත

මහා ධනයෝගවලට හිමිකාරියෝය. හොඳ අධ්‍යාපනයක් තුළින් සමාජයේ ඉහළ ස්ථරයකට යෑමේ හැකියාව සහිතය. තම දූ දරුවන්ට දැඩි සෙනෙසක් දක්වයි. පින්දහම් කටයුතුවලට ද දැඩි කැමැත්තක් දක්වයි.

(26) උත්‍රපුටුප නැකත

තම ස්වාමියාගේ ආදරය නිතැතින් නොමඳව ලබයි. එමෙන්ම ඇය සහකරුට දැඩිව කැපවූ දිවියක් ගතකරන අයෙකි. බුද්ධිමත්ය. උපායශීලීය. යහපත් ගතිගුණ වලින් යුක්තය.

(27) රේවති නැකත‍

අන් අය සමඟ සහයෝගයෙන් ජීවත්වෙයි. ගුණවත්ය. ඕනෑම බාධකයක් ජය ගැනීමේ දැඩි ආත්ම ශක්තියකින් යුක්තය. යමක් කිරීමට පෙර ඒ ගැන දූරදර්ශීව සිතා බලා ක්‍රියා කරයි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී එම්. උපුල් ජයශ්‍රී ද සිල්වා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division