Home » උත්සාහයෙන් ජීවිතය දිනවන දීප්ත යෝගය

උත්සාහයෙන් ජීවිතය දිනවන දීප්ත යෝගය

by mahesh
September 16, 2023 1:10 am 0 comment
ජ්‍යොතිර් විද්‍යා විශාරද ස්වාපන මනෝ චිකිත්සක ආචාර්ය සම්පත් වීරසිංහ

ජන්ම පත්‍ර ගැන දන්නා බොහෝ දෙනෙකු කාල සර්ප යෝගය හඳුනති. එසේම එහි අසුබ පැතිකඩද දනිති. රාහු – කේතු අතර ග්‍රහයන් නොමැතිව ජන්ම පත්‍රයේ අර්ධයක් හිස්ව පැවතීම ලෙස මෙය දෘෂ්‍යගත වෙයි. රාහු කේතු සමඟ වෙනත් ග්‍රහයන්ද තැන්පත් වී ඇති විටෙක එහි අංශකයන් නිවැරදිව ගණනය කිරීම තුළින් පමණක් මෙම කාල සර්ප යෝගය නිවැරදිව හඳුනාගත හැකිය. තවද මෙහිදී රාහු සිට කේතු දක්වා හිස් අවකාශය තිබිය යුතු අතර එම සීමාව තුළ ලග්න භාවයද ගැබ් වී තිබිය යුතුය. මෙම කාල සර්ප යෝගයෙන් ග්‍රහයෙකු මිදී ඉතිරි පෙදෙසේ රාශියක තනි වීම තුළ දීප්ති යෝග නිර්මාණය වෙයි. ඒ සඳහා කුජ, බුධ, ගුරු, සිකුරු සහ සෙනසුරු යන ග්‍රහයන් දායක වෙයි. එවිට එකී ග්‍රහයාට අයත් දීප්ති යෝගය නිර්මාණය වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් ශනි ග්‍රහයා තනි වූ කල නිර්මාණය වනුයේ ශනි දීප්ති යෝගයයි.

මෙම දීප්ති යෝගයන් පිළිබඳව බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු නොකරන නමුත් එහි වැදගත් භාවය ඉතා විශේෂ වෙයි. මේ හරහා සියලු සැප සම්පත් නිරායාසයෙන් උරුම නොවේ. දුක – ශෝකය – දරිද්‍රභාවය නානාවිධ අගහිඟකම්වලින් පෙළෙමින් සමාජයේ ජීවත්ව තම නිරන්තර උත්සාහය මත ඉතා දියුණුවට පත් වූවන්ගේ මෙම දීප්ති යෝගයන් අනිවාර්යයෙන් පිහිටයි. මෙහි ප්‍රතිලෝමයේ පිහිට පැතීමෙන් අප හට ඉතා දියුණු තත්ත්වයකට ළඟා වීමට හැකියාව තිබේ.

යම් කෙනෙකුට ගුරු දීප්ති යෝගයක් තිබුණේනම් ඔහු අභියෝගාත්මක අවස්ථාවන් සඳහා තම කාලය, ශ්‍රමය කැප කිරීම ප්‍රයෝජනවත් වනුයේ ගුරු මහ දශාව හෝ අන්තර් දශාව ලබන කාලවලදීය. සුළු හෝ ව්‍යාපාරයක් ආරම්භ කර තම උපරිම කැප කිරීම දීප්ත යෝග කාරක ග්‍රහ මහ දශා හෝ අන්තර් දශා සීමාවේදී සිදු කරන්නේ නම් ඉන් සීමා රහිත දියුණුවකට යෑමේ වාසනාව උදාවේ. නිවාස, වාහන, විදෙස් කටයුතු ආදී කටයුතු සඳහා දීප්ති යෝග හිමියන් එකී කාලය තුළ වෙහෙස වීමෙන් විශිෂ්ට වූ ප්‍රතිඵල ලබා ඇති බව ප්‍රායෝගිකව දක්නා කරුණකි. තවද දීප්ති යෝගය පැන නංවන ග්‍රහයාගේ නෛසර්ගික බලය, රාශින්හී අධිපතිත්වය, තැන්පත් වන භාවය මෙන්ම රාශියද එකී පලදීම කෙරෙහි සෘජු ලෙසම බලපානු ලබයි. ලග්නය 5 වැන්න හෝ 9 වැන්න මෙම දිප්ති ග්‍රහයා යොමුව තිබුණේනම් එය ඉතා සුබදායි වන අතර සුබ ප්‍රතිඵල ලැබීම නියත වශයෙන්ම සිදු වනු ඇත.

හදිසි ධන ලාභ මත පොහොසතුන් වුවන්, අනුන්ගේ දේපළ ලැබුවන්, නිධන් සඳහා උරුම වූවන්, අහඹු ලෙස දේශපාලනික තනතුරු ලැබූවන්, අන්‍යයනට මාරක දෙමින් හෝ පවුල්වල ධනස්කන්ධයන් තනිව උරුම වූවන්, බිරියගේ හෝ ස්වාමියාගේ ධනය මත සුඛ විහරණ ලබන්නන්, නොසිතූ නොපැතූ ලෙස විදෙස් ගමන් උරුම වූවන් බහුතරයක් දීප්ති යෝගී හිමියන් වෙති. මෙහිදී බුධ – ගුරු හා සිකුරු හරහා දීප්ති යෝග ලැබූවන් මහත් වූ වාසනාවන්ත බල හිමිකරුවන් බව ගම්‍ය වු තවත් කරුණකි.

මෙලෙස දීප්ති යෝග හිමියෝ විශේෂයෙන් නැකත් සැදීමේදී පවා මෙම යෝග බලය පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමෙන්ද වාසි සහගත තත්ත්ව උදා කර ගත හැක. මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තේ ජන්ම පත්‍රයේ නිසි පරිදිම රවි – සඳු මූලිකව සෙසු ග්‍රහයන් සය දෙනාම තනි පැත්තකට යොමුව තිබී නිවැරදි අංශක ගණනින් රාහු – කේතු අතර සම්බන්ධතාව නිවැරදිව තිබේද යන්න සොයා බැලීමයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division