Home » මහ දසා අන්තර් දසා ඇසුරින් කියන අනාවැකි හරි ද? වැරදි ද?

මහ දසා අන්තර් දසා ඇසුරින් කියන අනාවැකි හරි ද? වැරදි ද?

by mahesh
September 16, 2023 12:32 am 0 comment

සාමාන්‍යයෙන් පුද්ගල අනාවැකි පැවසීමේදී ගෝචර පල මෙන්ම දසා පලද උපයෝගී කර ගනියි. මෙහිදී සේවාදායකයන් බොහෝ විට ගෝචර පලවලට වඩා දසා පල කෙරෙහි වැඩි විශ්වාසයක් තබන බව පෙනේ. ඒ නිසා බොහෝ සේවාදායකයන් කේන්දරයක තොරතුරු විමසද්දී තමන්ට මේ මොහොත තුළ ගත වන මහ දසාව සහ අතුරු දසාව දැන ගැනීමට ඉමහත් උනන්දුවක් දක්වන බව පෙනේ.

කෙසේ වෙතත් මහ දසා, අතුරු දසා ගෙවී යන චක්‍රයට අනුව රවිට වසර 6ක් ද, සඳුට වසර 10 ක්ද, කුජට වර්ෂ 7 ක්ද, රාහුට වර්ෂ 18 ක්ද, ගුරුට වර්ෂ 16 ක් ද, ශනීට වර්ෂ 19 ක්ද, බුධට වර්ෂ 17 ක්ද, කේතුට වර්ෂ 7 ක්ද, සිකුරුට වර්ෂ 20 ක්ද ලෙස බෙදී ගොස් ඇත. ඒ අනුව මහ දසාවල එකතුව වර්ෂ 120 ක් වන බව පෙනේ. සාමාන්‍යයෙන් පැරණි සමාජයෙහි මනුෂ්‍යයෙකුගේ පරමායුෂ ද වර්ෂ 120 ක් ලෙස සැලකිණි. ඒ අනුව මහ දසාවල එකතුව මනුෂ්‍යයෙකුගේ පරමායුෂ සමාන වන සේ අදාළ මහ දසා අන්තර් දසා නිර්මාණය කර ඇති බවට මතයක් ඇත. නමුත් වර්තමානයේදී මනුෂ්‍යයෙකුගේ පරමායුෂ වර්ෂ 65ක් 75ක් අතර වන බව සමීක්ෂණවලින් හෙළි වී ඇත.

එසේ නම් පරමායුෂ වර්ෂ 120ක් සඳහා නිර්මාණය කර ඇති මහ දසා සහ අන්තර් දසා වර්තමානයට ගැළපේද යන්න ගැටලුවකි. ඒ නිසාදෝ මහ දසා, අතුරු දසා උපයෝගී කරගෙන බොහෝ අය පවසන පෞද්ගලික අනාවැකි මෙන්ම ප්‍රසිද්ධ අනාවැකිද සාවද්‍ය වන අවස්ථා නිරීක්ෂණය කළ හැකිය. මාගේ පෞද්ගලික මතය වන්නේද මහ දසා සහ අන්තර් දසා ආධාර කරගෙන අනාවැකි පවසනවාට වඩා ගෝචර පල ආධාර කරගෙන අනාවැකි පැවසීම වඩාත් පලදායක වන බවය. කෙසේ වෙතත් සෑම පුද්ගලයෙකුගේම උත්පත්ති කේන්දර සටහනෙහි චන්ද්‍රයාගේ පිහිටීම පදනම් කරගෙන දශා ශේෂයක් දක්වා ඇත. එමෙන්ම චන්ද්‍රයාගේ පිහිටීම පදනම් කරගෙන අදාළ ජන්මියා උත්පත්තිය ලබන විට ගත වන මහ දසාව සහ අතුරු දසාවද දක්වා ඇත. කිසියම් පුද්ගලයෙකු උත්පත්තිය ලබන විට ගත වන මහ දසාව, අතුරු දසාව සහ විද්‍යාව එම පුද්ගලයා පෙර ආත්මයෙහි මිය යන විට තිබු මහ දසාව, අතුරු දසාව සහ විද්‍යාව බවට ද මතයක් ඇත.

මීළඟට මහ දසා, අතුරු දසා පිළිබඳව සමාජය තුළ ජනගත වී ඇති මතවාද කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. ඉන් එක් මතයක් වනුයේ රාහු මහ දසාව තුළ අධ්‍යාපනය කඩාකප්පල් වන බවය. එමෙන්ම රාහු මහ දසාව තුළ විවාහ කටයුතු ආදිය සිදු නොවන බවද මතයක් පවතියි. ශනි මහ දසාව, විෂ්ණු දෙවියන්ට පවා බටකොළ කන්නට සිදු වූ ඉතා අසුබ කාල වකවානුවක් ලෙසට ජනතාව තුළ මතයක් ඇත. නමුත් වර්තමානයේදී ප්‍රායෝගිකව සිදු වන්නේ කුමක්දැයි විමසිලිමත්ව බලන විට අපට පෙනී යන්නේ රාහු මහ දසාව තුළ අධ්‍යාපනය කඩාකප්පල් වනවා ය යන මතය, රාහු මහ දසාව තුළ විවාහ කටයුතු සිදු නොවනවා ය යන මතය සහ ශනි මහ දසාව අසුබ කාල වකවානුවක් ය යන මතය වැනි ජනගත වී ඇති මතවාද බොහොමයක් මිථ්‍යාවක් බවය.

මහ දසා, අතුරු දසා ආධාර කරගෙන නිවැරදි අනාවැකි පැවසීම දුෂ්කර ය යන්න සනාථ කිරීම සඳහා ප්‍රසිද්ධ උදාහරණ කිහිපයක් ඉදිරිපත් කිරීමට මීළඟට බලාපොරොත්තු වෙමි. සාමාන්‍ය ජනතාව බොහෝ විට සිතා සිටින්නේ සුබ යැයි සම්මත ගුරු, බුධ, සිකුරු, චන්ද්‍ර වැනි ග්‍රහයන්ගේ මහ දසා, අතුරු දසා ලැබීම සුබදායක බවත්, රාහු, ශනි, කුජ, කේතු වැනි අසුබ යැයි සම්මත ග්‍රහයන්ගේ මහ දසා, අතුරු දසා ලැබීම අසුබදායක බවත්ය.

උදාහරණ ලෙස හිටපු ජනාධිපතිවරයෙකු වූ මහින්ද රාජපක්ෂගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්දර සටහනට අනුව ඔහු විපක්ෂ නායක, අගමැති, ජනාධිපති යන සියලු තනතුරු ලබාගෙන ඇත්තේ බොහෝ දෙනෙකු අසුබ යැයි සලකන රාහුගේ මහ දසාවන් තුළය. ඔහු 2010 වසරෙහි ජනවාරි මාසයෙහි දෙවැනි වරට ජනාධිපතිවරණය ජයග්‍රහණය කරද්දී ඔහුගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්දර සටහනට අනුව රාහුගේ මහ දසාවේ කුජ අන්තරය ගත කර ඇත. රාහු ග්‍රහයා මෙන්ම කුජ ග්‍රහයාද අසුබ ග්‍රහයන් ලෙස සම්මත නිසා රාහු මහ දසාවේ කුජ අන්තරය තුළ බොහෝ අසුබ ප්‍රතිඵල ලැබිය යුතු බව කෙනෙකුට සිතෙන්නට පුළුවනි. නමුත් මහින්ද රාජපක්ෂට රාහු මහ දසාවේ කුජ අන්තරය තුළ දෙවන වරටත් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ලබන්නට රාහු ග්‍රහයාගේ අසුබ බවවත් කුජ ග්‍රහයාගේ අසුබ බවවත් කිසිදු බාධාවක් වූයේ නැත. මහින්ද රාජපක්ෂ 2015 වසරෙහි ජනවාරි මාසයෙහි තුන්වන වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලද අතර ඔහුගේ ප්‍රසිද්ධියට පත්ව ඇති කේන්දර සටහනට අනුව ඒ වන විට ගත කරමින් සිටියේ ගුරු මහ දසාවේ බුධ අන්තරයයි. මෙහිදී ගුරු ග්‍රහයා මෙන්ම බුධ ග්‍රහයාද සුබ යැයි සම්මත ග්‍රහයන් නිසා ගුරු මහ දසාවේ බුධ අන්තරය තුළ මහින්ද රාජපක්ෂයන්ට ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන බව බහුතරයක් ජ්‍යොතිර්වේදීන් විසින් මත පළ කරන ලදි.

නමුත් එම මතවාද මිථ්‍යාවක් බවට පත් කරමින් මහින්ද රාජපක්ෂ මහතාට 2015 වසරෙහි ජනවාරි මාසයෙහි පැවති ජනාධිපතිවරණයෙන් ජය ගත නොහැකි විය. මෙයින් පැහැදිලි වන්නේ මහ දසා, අතුරු දසා උපයෝගි කරගෙන ක්ෂණිකව, නිවැරදි අනාවැකි පළ කිරීම පිළිබඳව සෑහීමට පත් විය නොහැකි බවය. 2015 වසරෙහි ජනවාරි මාසයෙහි පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පුද්ගලයාට ඒ වන විට රවි මහ දසාවේ ශනි අන්තරය පැවතිණි.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද්‍ර සුගතදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division