Home » නිවසටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහන ඇරඹෙයි

නිවසටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහන ඇරඹෙයි

by mahesh
September 11, 2023 8:20 pm 0 comment
පාසැල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිවාසවලටම නැවුම් එළකිරි උදෑසන හා හවස් කාලය තුළ සැපයීමේ වැඩපිළිවෙළක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් අද(11) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
මෙම වැඩ පිළිවෙළෙහි පළමු අදියරේ  සමාරම්භක අවස්ථාව අද දින නාරාහේන්පිට පිහිටි  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විනි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරීහු කිහිප දෙනෙක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
මෙම වැඩ පිළිවෙළ අනුව නැවුම් දියර එළකිරි කොළඹ නගර සීමාව තුළ පිහිටි නිවාස හා නිවාස යෝජනා ක්‍රමවලට සැපයීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම දුරකථන අංක 0117 173 984 ට අමතා දියර එළකිරි ඇණවුම් කිරීමට ද හැකිය. ඒ අනුව කොළඹ නගර සීමාව හා ඊට තදාසන්න ප්‍රදේශවලට යතුරු පැදි මගින් එම ඇණවුම් බාරදීමට ද කටයුතු යොදා ඇති බව ජාතික පශු සම්පත් සංව්රධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්. ඩබ්.  සිරිල් මහතා පැවසීය.
මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා –
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් අද දින සිට දියර කිරි ප්‍රචලිත කිරීමේ නව වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. අද ආරම්භ වුනේ එහි පළමු අදියරයි. ඉදිරියේ දී දියර කිරි බෙදාහැරීම ක්‍රම කුමයෙන් අනෙකුත් ප්‍රදේශවලටත් ප්‍රචලිත කිරීමට අපි තීරණය කර තිබෙනවා.
ලෝකයේ  බොහෝ රටවල  වියළි කිරිපිටි භාවිතා වන්නේ නැහැ.  බොහෝ රටවල ජනප්‍රියව තිබෙන්නේ නැවුම් දියර එළකිරි පානය කිරීම සඳහා වුවත් අපේ රටේ දශක කිහිපයක් තිස්සේ කිරිපිටිවලට හුරුවීම නිසා දියර කිරි පරිභෝජනය මඟහැරී තිබෙනවා. ඒ නිසා දියර කිරි පරිභෝජනය කිරීමේ නව සංස්කෘතියක් අපි ගොඩ නැගිය යුතුයි.
මේ දිනවල මන්දපෝෂණ තත්ත්වයන් ඉහළයාම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් කතා කරනවා. මන්පෝෂණය වළක්වා ගැනීමට දියර කිරි හා බිත්තර පරිභෝජනය ඉහළ නැංවිය යුතුයි. අද අපි ආරම්භ කරන මෙම වැඩ සටහන සාර්ථක වන්නේ ජනතාව මෙම වැඩ පිළිවෙළ බාර ගැනීම තුළයි.
මෙම පළමු අදියරේ සාර්ථකත්වය දෙස අවධානය යොමු කරමින් අපි මීලඟ අදියර ආරම්භ කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division