Home » අපේ බැද්දේගම එක්ක රට වටේ යන චාමික

අපේ බැද්දේගම එක්ක රට වටේ යන චාමික

by sachintha
May 4, 2024 12:30 am 0 comment

බ්‍රිතාන්‍ය ජාතික ලෙනාර්ඩ් වුල්ෆ් හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ සේවය කරන කාලයේ බැද්දේගම නම් ප්‍රදේශයේදී තමන් ලැබූ අත්දැකිම් ඇසුරින් 1913 දී ලියන ලද Village in the Jungle කෘතිය පසු කලෙක බැද්දේගම නමින් සිංහල බසට පරිවර්තනය වන්නේය. අද වන විට උසස් පෙළ විභාගය සඳහා ද නිර්දේශිත බැද්දේගම කෘතිය සිංහල භාෂාවට නගන ලද්දේ ඒ. පී . ගුණරත්නයන් විසිනි. 1981 වසරේ අප්‍රේල් 20 දා තිරගත වූ බද්දේගම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසිනි. එදා අප කියවූ නවකතා පොතත්, ඉන් පසු රිදී තිරයෙන් දුටු බැද්දේගමත් හැරුණු විට දැන් වේදීකාව මතින් ද බැද්දේගම නරඹන්නට අපට හැකිය. ඒ දිගු කාලයක් තිස්සේ උසස් පෙළ සිංහල විෂය උගන්වන දක්ෂ ගුරුවරයකු වන චාමිකර ජයසිංහ විසින් ගෙන එන “අපේ බැද්දේගම“ නාට්‍යයයි. දිර්ඝ කාලයක් උසස් පෙළ දරුවන් වෙනුවෙන් සිංහල විෂයය උගන්වනු ලබන චාමිකරට බැද්දේගම නවකතාව නාට්‍යයක් ලෙස ගෙන එන්නට සිතුණේ ඇයි දැයි ඇසු විට ඔහු දුන්නේ මෙවැනි උත්තරයක්.

“නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ හිටපු විදුහල්පති අනිල් පුෂ්පකුමාර සර් තමයි ගෙවුණ කොරෝනා කාලයේ දරුවන්ට ඔන්ලයින් පාඩමක් කරමු කියලා යෝජනාවක් ගෙනාවේ. ඔහු යෝජනා කළේ බැද්දේගම කෘතිය ගැන කරමු කියලා. මටත් හිතුණා ඒක නිර්මාණශීලිව කරන්න ඕන කියලා. එහෙම හිතලා දෙබස් ටිකක් වීඩියෝ ගත කරලා සෙමිනා එකට එකතු කළා. ඊට අමතරව බැද්දේගම නවකතා පාඩමක් ලෙස ඉතාම සාර්ථකව අවුරුදු දෙකක් තිස්සේ කරගෙන ගියා.

2023 වර්ෂයේ තමයි මට හිතුණේ මේ සම්මන්ත්‍රණය සජීවීව කරන්න ඕන කියලා. මේ සෙමිනා එකට ආව ගුරුවරු යෝජනාවක් කළා මෙය සෙමිනා එකක් විදිහට නොවෙයි “බැද්දේගම“ නාට්‍යයක් විදිහට කරන්න කියලා. කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බිහේන් ඉන්දික සම්පත්, ඉන්දික උදය යන අය කතා කරලා කිව්වා නාට්‍යක් කරන්න කියලා. ඇත්තම කිව්වොත් ඒ වෙලාවේ මගෙ අතේ සල්ලි තිබුණෙත් නැහැ.උදව්වට ආවේ මගෙන් ඉගෙන ගත්ත ගෝලයෝ. මගෙන් ඉගෙන ගත්ත දරුවෝ රුපියල් 1000, රුපියල් 1500 ඉඳලා ආධාර කළා. නාත්තන්ඩිය නගර ශාලාවේ සැප්තැම්බර් 08 වැනිදා නාට්‍යක් විදිහට පළමු වරට පෙන්නුවා. මටම පුදුමයි. එදා හෝල් එක සම්පූර්ණයෙන් පිරුණා. එදා දර්ශන දෙකක් පෙන්නුවා. ඉන් පස්සේ ගාල්ල, හෙට්ටිපොළ, ආනමඩුව, පිළියන්දල, කළුතර ආදි ප්‍රදේශවල පැවැත්වුවා.“

චාමික එසේ පැවැසුව ද නාට්‍ය පෙන්වීම එතැනින් නොනැවතිණී. දැන් ඔහුගේ නාට්‍ය රටවටා ප්‍රදර්ශනය වේ. උසස් පෙළ දරුවන්ට සිංහල භාෂාව හදාරන දරුවන්ට මහඟු අත්වැලක් ලෙස දැක්විය හැකි බැද්දේගම නවකතාව දැන් වේදිකාගත වන්නේ “අපේ බැද්දේගම“ ලෙසිනි.

“මේ නාට්‍ය පෙන්වීම සඳහා ගතවන කාලය පැය දෙකයි. අපි පැය දෙකක් ඇතුළේ විනාඩි 45ක් සජීවීව නාට්‍ය රඟදක්වනවා. ඒ අතර විඩීයෝගත කළ දර්ශන පාව්ව්චි කරනවා. ගුවන්විදුලි නාට්‍ය ශිල්පිය ක්‍රම, සෙවණැලි රූ ආදී විධික්‍රම භාවිත කරනවා. උසස් පෙළ ශිෂ්‍යාවක් දකින සිහිනයක් හැටියටයි නාට්‍ය විකාශය වෙන්නේ. බැද්දේගම නවකතාවේ ප්‍රධාන සිළිඳු, හින්නිහාමි,‍ බබුන් අප්පු පුංචි මැණිකා ආදි චරිත තිබෙනවා. මගෙන් ඉගෙන ගත්ත දරුවෝ තමයි මේ නාට්‍යත් සමඟ අත්වැල් බැඳගෙන ඉන්නේ. වේදිකා පරිපාලනය, වීඩියෝ කිරීම, ශබ්ද පරිපාලනය, සංගීත අධ්‍යක්ෂණය ඇතුළු සියල්ල කෙරෙන්නේ ඔවුන් අතින්. රජයේ රැකියා කරන, විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න, පුද්ගලික ආයතනවල සේවය කරන, වෙනත් නාට්‍ය කණ්ඩායම්වල සිටින, අය මේ නාට්‍ය සමඟ සම්බන්ධව කටයුතු කරනවා. ආර්ථික වශයෙක් අපට විශාල ලාභයක් නැහැ. ඒක එහෙම වුණත් මම වගේම නාට්‍ය කණ්ඩායමේ සියලුම දෙනා විශාල සතුටක් ලබනවා මේ නාට්‍ය සමඟ සම්බන්ධ වීම ගැන.“

“අපේ බැද්දේගමත්“ සමඟ දරුවන්ව අමුතු සෞන්දර්යාත්මක ලොවකට ගෙන යමින් සිංහල විෂයය උගන්වන චාමිකර සිය අධ්‍යාපන දිවිය අරඹන්නේ කුඩා වැව රජයේ කනිෂ්ඨ බෞද්ධ ආදර්ශ විද්‍යාලයෙනි. නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙන් උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන චාමික ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිංහල විශේෂවේදී උපාධිය හදාරන්නේය. විශ්වවිද්‍යාලයේ දී බැඳි ප්‍රේමය ජයගත් චාමික මධුමාලි හතරසිංහ සමඟ විවාහ වන්නේය. ඇය උපදේශන සහකාරවරියක ලෙස සේවය කරන්නීය.

“මම ගුරුවෘත්තියට ඉතාම කැමැතියි. මේ හැමෝම මගෙ දරුවෝ. අපේ බැද්දේගම නාට්‍ය හරහා මේ දරුවන්ට විෂය නිර්දේශයට අදාළ පාඩමක්ම විතරක්ම නෙමෙයි ජීවිතයත් උගන්වනවා.“

 

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division