Home » ඔබ එන්න ඉතින්… ආදරය අරන්

ඔබ එන්න ඉතින්… ආදරය අරන්

by sachintha
May 4, 2024 12:32 am 0 comment

අපේ කථා නායිකාව රාජ්‍ය බැංකුවක ඉහළ ශ්‍රේණියේ නිලධාරිනියක්. දැන් ඇය විශ්‍රාමිකයි. පාසල් වියේ සිටම කවියට ගීතයට පෙම්බැඳි ඇය සියලු රාජකාරි මධ්‍යයේ සිතට එන සිතුවිලි ඉවතට යන්නට නොදි කොහේ කොතැනක හෝ ලියා තැබීමට හැමවිටම පුංචි කාලයක් වෙන් කළාය. ඇය හමු වීමට එන, එහෙමත් නැත්නම් ඇය හා අදහස් හුවමාරු කරගන්නා දහසක් දෙනාගේ අදහස් අතරේ හිතින් බැඳුනු යහළු යෙහෙළියන්ගේ දුක් තැවුල්වලට සවන් දීමට කාලයක් ද ඇයට තිබිණි. ඒ දුක් තැවුල් සුසුම් දිනෙක ගීතයක් වී ගුවනට එක්විය. එසේ ගුවනට එක් වූ ගී අතර අලුතින්ම එක් වූ ගීතය වන්නේ

“ඔබ එන්න ඉතින්…ආදරය අරන්

ජීවිතේ සොයමු අපි එකට යළිත් …“

නව පරපුරේ ගායන ශිල්පියෙකු වන තනුර මධුගීත් දිසානායක ගායනා කරන , කරුණාරත්ත විජේවර්ධනයන් සංගීතවත් කළ ඒ ගීපද රචනා කළේ අපේ කථා නායිකාව වන ඒ. ඩී. එස් ඉන්ද්‍රානියි.

ප්‍රේමය ගැන ලියැවුණ මේ ගීතයෙන් කියැවෙන්නේ විරහව ගැන යැයි බැලු බැල්මට අපට සිතුණ ද ඊටත් එහා ගිය කතාවක් මෙයට පාදක වී ඇති බව දැනෙන්නේ ගී පද රචිකාව සිය අත්දැකීම ගැන කියූ විටය. ගීතයේ අත්දැකීම ගැන ඇගේ අදහසය මේ.

“මේ ගීතය ප්‍රේම ගීතයක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ මේකේ ප්‍රේමයකුත් නැහැ කියලා. නමුත් මේ ගීතය ලියන්න මට අත්දැකීම වුණේ මගේ යෙහෙළියක් වන නැඟණියකගේ අත්දැකීමක්.

ඇය විවාහ වුණේ ප්‍රේම සම්බන්ධයකින්. ඇයත් ඇගේ සැමියත් බොහෝම හොඳ පවුල් ජීවිතයක් ගෙන ගිය දෙන්නෙක්. දවසක් සැමියා ඇයට දුරකතන ඇමතුමක් අරගෙන තියෙනවා. නමුත් ඔහු ඒ ඇමතුම අරගෙන තියෙන්නේ වැරදීමකින්. ඔහු ඒ වෙලාවේ ඇමතුම අරගෙන තියෙන්නේ ඔහුගේ පෙම්වතියට. වැරදීමකින් වුණ මේ දුරකතන ඇමැතුම නිසා ඔහුට සිදුවුණා ඇයට ඇත්තම කියන්න. වසර කිහිපයක් තිස්සේ තමන්ගේ අනියම් පෙම්වතිය ගැන ඔහු ඒ අවස්ථාවේ බිරිඳට කියලා, ඇගෙන් සමාව ඉල්ලලා තියෙනවා. එහෙත් ඇයට පුළුවන් කමක් තිබිලා නැහැ ඔහුට සමාව දෙන්න. මේ සිදුවීම ගැන පසු කළෙක ඇය මා සමඟ කරුණු කිව්වා.

ඒ වෙන කොට මගෙ දුව පුංචියි. ඇය ඉගෙන ගන්න වයසේ. . මට පිස්සු හැදුනා වගේ. මම කවදාවත් හිතුවේ නැහැ එයා එහෙම අනියම් ඇසුරක් පවත්වාවි කියලා. මම දවස් ගණන් කල්පනා කළා. මට හිතුණා ඔහුගෙන් වෙන් වෙන්න. එත් මගෙ දරුවෝ පව් කියලා හිතුණා. දවස් ගණන් කල්පනා කරලා මම බොහෝම අමාරුවෙන් හිත හදා ගත්තා. ඒ වුණත් මට හිතුනේ නැහැ පෙර මෙන් ඔහුත් සමඟ සුහදව ඉන්න. මම මගේ දරුවෝ ගැන හිතලා හිත හදාගත්තා එයත් එක්ක එක ගෙදරක ඉන්න. ඒත් අපි දෙන්නා එක ගෙදරක හිටියේ දෙන්නෙක් විදිහට. අපි කතා කළේ බොහෝම අඩුවෙන් හැඟිම් දැනීම් නැති ගැහැනියක් වගේ මම හිටියේ. වෙනදා වගේම කෑම බිම හදලා දීලා රෙදි හෝදලා දීලා මම එයාගේ වැඩත් ගෙදර වැඩත් දරුවන්ගේ වැඩත් කරලා දුන්නා.

කිසිම දවසක මම එයත් එක්ක ගැටෙන්න ගියේ නැහැ. ලෝකය දන්නේ නැහැ අපි ජීවත් වුණේ එහෙමයි කියලා. දකින අය හිතුවා මම බොහෝම ලස්සනට ජීවත් වෙනවා කියලා.“ මගේ යෙහෙළිය මේ සිද්ධිය කිව්වේ මීට අවුරුදු විස්සකට විතර කලින්. මම ඇයට කිව්වා ඔය පරණ දේවල් අමතක කරලා දාන්න කියලා. මම ඇයට එහෙම කිව්වත් ඇගේ හිතේ තියෙන වේදනාව මට දැනුණා. කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණ ඒ සිද්ධිය තමයි ගීතයක් විදිහට ලියැවුණේ. නව පරපුරේ ගායන ශිල්පියෙකු වන තනුරගෙ හඬ මගේ මේ පද පෙළට ගැළපෙනවා කියලා මට හිතුණා. කරුණාරත්න විජේවර්ධන සොයුරාගේ තනු නිර්මාණයත් හරිම අගෙයි.

මගෙ යෙහෙළිය එවැනි ප්‍රශ්නයකදි ජීවිතයට මුහුණ දුන් විදිහ ගැන මට හරි පුදුමයි. අපි දන්න විදිහට නම් වෙනත් අය නම් රණ්ඩුසරුවල් වෙලා ගහබැණ ගෙන ගෙදර ප්‍රශ්නයක් බව රටම දන්න දෙයක් කර ගන්නවා. නමුත් ඇය සියල්ල ඉවසීමෙන් දරා ගත්තා. මට මේ දරා ගනීම ගැන තමයි කියන්න ඕන වුණේ.

අනියම් පෙම ළඟ නතර වුණත් ඔහු පසුව ඒ වැරැද්ද හදා ගන්නවා. ඒත් එය සියයට සියයක් නිවැරදි කර ගන්න බැහැ ඇය ඔහු හා ඇසුරක් නැති නිසා.

ඒ නිසයි මම මෙහෙම කියන්නේ

“නිහඬබව සොයමු අපි මේ සසල වන පෙතේ

සොඳුරු බව සොයමු අපි ගලන ගංගා දියේ

සෙමෙන් පිරිමදින්නට ගිලන් හද ප්‍රේමයේ

නතරවුණ තැනින් අපි පටන්ගමු ජීවිතේ…“

මිනිස්සු කා අතිනුත් වැරදි වෙනවා. ඒ වැරදුනු තැන් හදාගෙන ඉදිරියට යෑමයි වටින්නේ. මම මගේ යෙහෙළියට කිව්වේ එහෙමයි. එදා ඇය මට කිව්ව ඇගේ කතාව මගේ අතින් ගීතයක් ලෙස ලියැවුණේ මෑතකදී.

“පිළිසකර කරන්නට රිදුණු ඉරිතැලුණු තැන්

අපිම එක් වී සොයමු

අපට මඟ හැරුණු තැන්…“

ඇගේ කතාවක් ගීතයක් ලෙස ලියූ බවක් ඇය තවම දන්නේ නැහැ. “

ලංකා බැංකුවේ මහා කළමනාකාරිනිය ලෙස සේවය කළ ඉන්ද්‍රානි සිය අත්දැකීම ගැන පැවැසුවේ එලෙසිනි.

 

ඔබ එන්න ඉතින්…ආදරය අරන්

ජීවිතේ සොයමු අපි එකට යළිත් …

අමාවකදා පුරා සඳ එතැයි මඟ බලන්

තවත් කොතරම් කලක් හිඳින්නද මේ ලෙසින්

පිළිසකර කරන්නට රිදුණු ඉරිතැලුණු තැන්

අපිම එක් වී සොයමු

අපට මඟ හැරුණු තැන්…

නිහඬබව සොයමු අපි මේ සසල වන පෙතේ

සොඳුරු බව සොයමු අපි ගලන ගංගා දියේ

සෙමෙන් පිරිමදින්නට ගිලන් හද ප්‍රේමයේ

නතරවුණ තැනින් අපි පටන්ගමු ජීවිතේ…


ගායනය – තනුර මධුගීත් දිසානායක පද රචනය – ඒ. ඩී. එස්. ඉන්ද්‍රානි

සංගීතය – කරුණාරත්න විජේවර්ධන

 

 

ඉනෝකා සමරවික්‍රම

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division