Home » අලුත් අය ක්ෂේත්‍රයට ආවා කියන එක මට අභියෝගයක් වෙලා නැහැ

අලුත් අය ක්ෂේත්‍රයට ආවා කියන එක මට අභියෝගයක් වෙලා නැහැ

by sachintha
May 4, 2024 12:30 am 0 comment

ලෝචනා ඉමාෂි කියලා කියන්නේ පුංචි තිරයේත් රිදී තිරයේත් දස්කම් පාන කටකාර හැඩකාර රුවැත්තියක්. ප්‍රේක්ෂක ජනාදරයට නිරන්තරවම පාත්‍ර වන ඇය, විවිධ චරිත ඔස්සේ ඉතා දක්ෂ ලෙස ඇගේ රංගනය දිගහැර දක්වන්නේ ඇයටම ආවේණික වූ රංගන විලාශයකින්. කාලයක් විදෙස්ගතව සිට ඇය ලංකාවට ඇවිත් හිටියේ සිය එකම පුතු නෙදර්ලන්තයේ අධ්‍යාපනයට යොමු කරලා. පසුගිය සතියේ සිය පුතා ලංකාවට පැමිණීමත් එක්ක ලෝචනා ඉන්නේ ගොඩක් සතුටින්.


ලෝචනා මේ ගත කරන්නෙ ජීවිතේ සතුටින් ඉන්න කාලයක් නේද?

ඔව්, මම මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නේ. මොකද අපේ පුතා ලංකාවට ආවා. මම පුතා එක්ක ඉඳලා ආවේ. ඒත් මට ලොකු උවමනාවක් තිබ්බා මගේ අම්මට තාත්තට ආච්චිට නංගිට සහ මගේ නෑදෑයින්ට යාළුවන්ට පුතාව පෙන්වන්න සහ පුතා එක්ක කාලය ගත කරන්න ඉඩ ලබා දෙන්න. ඒ නිසා පුතා ආව එකට මට ගොඩක් සතුටුයි. මම එහෙ ගියාම පුතා එක්ක කාලය ගත කළාට පුතා මෙහෙ ඇවිත් ඔක්කොම එක්ක කාලය ගත කරනවා දකින එක තමයි ලොකුම සතුට.

පුංචි පුතා අවුරුදු කීයකට පස්සෙ ද මේ ලංකාවට ආවේ?

අවුරුදු දෙකකට වැඩි කාලයක් ලංකාවට ආවේ නැහැ.

දැන් පුතා ට වයස කීයද?

තාම අවුරුදු 7යි. අවුරුදු 8 සම්පූර්ණ වෙනවා මේ අවුරුද්දට. පුතා ඉගෙන ගන්නේ නෙදර්ලන්තයේ.

පුතාගෙන් ඈත්ව ගත කරන, ඒ කැප කරන ජීවිතේ කොහොමද?

ඒ කාලය ගැන කියන්න හරිම අමාරුයි. මම නිතරම ස්ට්‍රෙස් පිට ඉන්නේ. පුතාගේ ළඟ ඉන්න නැති එක ඕනෙම අම්මා කෙනෙක්ට දුකක්නේ. මගේ ජිවිතේ යම් යම් දේවල් කැප කරලා තමයි පුතාව නෙදර්ලන්තයේ තියන්නේ. මමයි ලසන්තයි තීරණය කළේ අපේ පුතාව එහෙ තියලා එහෙ විදියට හදමු කියලා. ඒ අවස්ථාව හැම කෙනෙක්ටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ අවස්ථාව මගේ පුතාට ලැබිලා තියෙන එකේ මම හිතන්නේ නැහැ මම පුතාව මෙහෙ ගෙනත් ජීවත් කරවන්න ඕනේ කියලා. මට එහේ ජීවත් වෙන්න බැහැ. ඒ කියන්නේ මම ජීවත් වෙන්න පුරුදු වෙලා තියෙන්නේ ලංකාවේ. මගේ රැකියාව සහ මගේ ව්‍යාපාර තියෙන්නේ මෙහෙ. ඒක හින්දා මම පුතාගෙන් ඈත් වෙලා ලොකු කැප කිරීමක් කරලා ජීවත් වෙන්නේ. බලන් ඉන්න මිනිස්සු නම් හිතනවා ඇති ඔයාටත් පුළුවන්නේ පුතා ළඟට යන්න කියලා. මම හිතන්නේ අපි අපේ ජිවිතේ තියෙන ඉලක්කත් සපුරාගෙන ළමයත් ලස්සනට ජීවත් වෙනවා නම් අම්මා තාත්තා ළඟ ඉන්න ඕනෙම කියලා දෙයක් නැහැ. අපි අපේ ආදරේ අඩු නැතුව දෙන්න කැපවෙලා ඉන්නවා.

පුතා ආයේ කවදද යන්නෙ?

පුතා නම් මේ මාසේ 16 වෙනිදා ලංකාවෙන් යනවා.

ලෝචනා යන්නෙ නැද්ද?

මම නම් පුතාගේ ඊළඟ නිවාඩු කාලයට තමයි යන්න හිතන් ඉන්නේ. ජූලි මාසේ මාස එකහාමාරක වගේ කාලයක නිවාඩුවක් පුතාට ලැබෙනවා. ඒ කාලයට තමයි මම යන්න ඉන්නේ.

ලෝචනා මේ දවස්වල කලා නිර්මාණවලින් දකින්න නැත්තෙ ඇයි?

මාව මේ කාලයේ නිර්මාණවලින් දකින්න ලැබෙන්නේ නැත්තේ පුතා මේ නිවාඩුවට එන්න තිබ්බ නිසා ඒ වැඩත් එක්ක. මම මේ කාලය සම්පූර්ණයෙන්ම තියාගත්තේ පුතා වෙනුවෙන්මයි.

නිර්මාණ භාර ගනිද්දී මොනවද මුලීකව බලන්නෙ?

මම කැමති නැහැ එකම විදියේ චරිත කරන්න. ඒ නිසා කරපු විදියෙම චරිතවලට නම් ඇරයුම් ලැබෙන්නේ මම ඒ දේවල් භාර ගන්නේ නැහැ. මට කරන්න දෙයක් තියෙනවා නම් විතරයි මම ඒ නිර්මාණය භාර ගන්නේ. එකම විදියේ නිර්මාණ. එකම විදියේ නිර්මාණ කරලා මට වැඩකුත් නෑ මගෙ ප්‍රේක්ෂකයින්ට වැඩකුත් නෑ.

ක්ෂේත්‍රයට අද අලුත් අය සෑහෙන පිරිසක් ඉන්නව. ඒ අය ඔබට අභියෝගයක් ද?

අලුත් අය නම් ක්ෂේත්‍රයට සෑහෙන පිරිසක් ඇවිත් තියෙනවා. ඒත් අදටත් නිර්මාණ වලට, වැඩසටහන්වලට මුලින්ම කතා කරන ගොඩේ මම ඉන්නවා. මම නෙදර්ලන්තයේ ඉන්න කාලේ එහෙටත් දුරකතන ඇමතුම් ආවා. ඒ ගැන මට සතුටුයි. ඒ නිසා අලුත් අය නම් ක්ෂේත්‍රයට ආවා කියන එක මට අභියෝගයක් වෙලා නැහැ. මම ජීවත් වෙන්නේ මගේ දේත් කාටහරි දෙන්න පුළුවන් නම් දෙන තැනක. ඒ නිසා අභියෝග නැහැ. මම මගේ ගමන යනවා. ඒ අය ඒ අයගේ ගමන යනවා. මම පාරේ ගියත් ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව ලැබෙනවා. ඒ නිසා මම හිතනවා අලුත් අය ක්ෂේත්‍රයට කොයි තරම් ආවත් මට තියෙන ආදරේ අඩුවෙන එකක් නැහැ කියලා.

කටකතා ගොසිප් ගැන හිතන කෙනෙක් ද?

මම නම් දැන් ගණන් ගන්නෙම නැති දෙයක්. ඉස්සර නම් මමත් දුක් වුණා. දැන් නම් මම ගණන් ගන්නෙම නැති දෙයක්. මගේ පවුලේ අය හොඳින් ඉන්න එක විතරයි මට වැදගත්. කවුරු මොනවා කිව්වත් මට වැඩක් නැහැ. අපි යන්නේ නැහැනේ අනිත් අයගේ පවුල් කොහොමද ගත වෙන්නේ සහ ඒ දේවල්වලට උපදෙස් දෙන්න. ඒ නිසා මම හිතන්නේ නැහැ මගේ පවුලේ දේවල් අනිත් අයට වැඩක් වෙයි කියලා. මම පුතාව රට තියලා ඉගැන්වුවත් මගේ ළඟට ගත්තත් ඒක මගේ දෙයක්. මට ගොසිප් ඇවිත් තියෙන්නේ මගේ ළමයා ගැන. මම ළමයාගේ අම්මා. මම අම්මා කෙනෙක් හැටියට මගේ ළමයා ගැන මම අරන් තියෙන්නේ හොඳම තීරණය. ඒ හින්දා මම හිතන්නේ නැහැ අනිත් අයට මගේ පවුලේ දේවල් ප්‍රශ්න කර ගන්න ඕනේ කියලා. ගොසිප්වල දාලා තියෙන දේවල්වලට කාලයක් දුක හිතුණා. දැන් මම ඒ දේවල් ගණන් ගන්නේ නැහැ. මම දන්නවනේ ඇත්ත මොකක් ද කියලා. මට කියන්න තියෙන්නේ පිටින් බලලා කිසිම දෙයක් තීරණය කරන්න එපා. ඇතුළේ වෙන සත්‍ය කතා තියෙන්න පුළුවන්. අපි උත්සහ කරන්නේ අපේ ජිවිත හොඳින් ගත කරලා අපේ දරුවන්ට හොඳම දේ දෙන්න.‍

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

දැන් අවුරුදු ගාණකට කලින් කරපු චිත්‍රපටයක් එන්න තියෙනවා. කවදා එයිද නැද්ද කියන්න නම් දන්නේ නැහැ. දැන් අලුත් දෙයක් කරන්න ඕනේ.

අනාගත බලාපොරොත්තු මොනවද?

මගේ බලාපොරොත්තු අතරේ මගේ ව්‍යාපාර පැත්ත දියුණු කර ගන්න එක. තව අලුත් ව්‍යාපාර කටයුත්තක් කරන්නත් අදහසක් තියෙනවා. බලමු ඉස්සරහට. මම ලොකු ලොකු බලාපොරොත්තු තියාගන්න කෙනෙකුත් නෙවෙයි. මොකද බලාපොරොත්තු නැති වුණාම දුකක්නේ. ඒ නිසා සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව.

 

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division