Home » මං කැමති වුණේ නෑ ආදරේ බෙදාගන්න

මං කැමති වුණේ නෑ ආදරේ බෙදාගන්න

by sachintha
May 4, 2024 12:30 am 0 comment

මහේෂි මදුශංකා රට හැර ගිහින්. මේ පහුගිය දා බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ මාතෘකාවකි. රංගන ශිල්පිනියක් ලෙස ඇය ගැන නොදන්න කෙනෙක් වේ නම් ඒ ඉතාම කලාතුරකිනි. ස්වර්ණවාහිනී නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කලඑළි බැස්ස මහේෂී ඇත්තටම රට හැර ගිහින්දැයි සොයා බැලීමේ අදහසින් අප ඇය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඒ වනවිටත් ඇය විදෙස්ගතව සිටියාය. නවතම තොරතුරු ද සමඟින් මෙවර ඇය අප හා සම්බන්ධ වන්නේ ඩුබායි රාජ්‍යයේ සිටය.


කොහොමද මහේෂි ඩුබායි ජීවිතේ?

හරිම සතුටින් ගත කරනවා. මං ආවෙ මගේ මහත්තය ළඟට. මමයි බබාල දෙන්නයි මහත්තයයි දැන් අපි ෆැමිලි එකක් විදිහට ගොඩක් සතුටින් ඉන්නවා. පහුගිය දවස්වල මෙහෙට ගං වතුරක් ආවා. ඒත් මේ වෙද්දි කිසිම දෙයක් නොවුණු ගානට හැමෝම තම තමන්ගෙ සුපුරුදු වැඩවලට අනුගත වෙලා. ලංකාවෙ මගේ යාළු රංගන ශිල්පිනියො කිහිප දෙනෙකුත් මේ පාර අවුරුද්දට මෙහේ ආවා. ඔවුන් එක්ක එළියට ගිහින් ගොඩක් විනෝද වුණා.

ගොඩක් දෙනා හිතුවෙ මහේෂි රට දාල ගිහින් කියලා?

හදිසියේම රට හැරගියා කියල කියන්න නම් බෑ. මගේ සැමියා සම්පත් දැන් සේවය කරන්නේ ඩුබායිවල. ඔහුට ලංකාවෙ පළමුවැනි වතාවට එමිරේට්ස් එයාර් ලයින් එකේ එමිරේට්ස් 3 – 80 ඩිරෙක්ට් කැප්ටන් පෝස්ට් එක ලැබුණා. ඒ නිසා මමයි බබාල දෙන්නයි කොහොමත් ඩුබායි එන්න සූදානම් වෙලයි හිටියෙ. පහුගිය දවස්වල ඇතිවුණු ප්‍රශ්නත් එක්ක ඒක ටිකක් ඉක්මන් වුණා.

මට ආදරේ කරන ගොඩක් දෙනා පහුගිය දවස්වල මගෙන් ඇහුව ප්‍රශ්නය තමයි ඔයාට හැමදේම තිබිලත් ඇයි ඔයා අනුන්ගෙ ඒවට කතා කරන්න ගියේ කියලා. සමහරු හිතන්නෙ ජනප්‍රිය කෙනෙක් ඔය වගේ කතා කළාම එයා දේශපාලනයට එන්න තමයි ඒ දේවල් කරන්නෙ කියලා. මංවත් මගේ මහත්තයවත් සිද්ධවුණු දේට කනගාටු වෙන්නෙ නෑ. මේ ප්‍රශ්නය නිසා මට ආදරේ කරන ලොකු පිරිසක් ඉන්නව කියන එක ඔප්පු වුණා. ඒ වගේම මං කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයි ඒ දේ කළේ කියන එකත් හැමෝම තේරුම් ගත්තා.

ඒ කියන්නෙ ඔබ රංගනයට සමුදීල ද ගියේ?

නෑ. නෑ. කවදාවත් මං රංගනයට සමුදෙන්නෙ නෑ. රංගනයට තමයි මං දක්ෂ. ඉඳල හිටල ඇවිත් නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහස තියෙනවා. ඒත් ටෙලි නිර්මාණවලට නම් බැරි වෙයි. කොහොමත් අපිට මේක හැමදාම බදාගෙන ඉන්නත් බෑනෙ. කවදහරි හැමදේම අත්හරින්න වෙනවනෙ.

මහේෂි මදුශංකා කියන ප්‍රවෘත්ති නිවේදිකාව ගැන මොකද හිතෙන්නෙ?

ඒක නම් ඉතාම බැරෑරුම් කර්තව්‍යයක් වගේම ලොකු වගකීමක්. මං හරිම කැමැත්තෙන් ඒක භාර ගත්තේ. ඉස්සර ඉඳන්ම අපේ වටපිටාව අධ්‍යයනය කරල තමයි අපිව තෝරගෙන තිබුණෙ. ස්වර්ණවාහිනී ආයතනයට වගේම ධම්මික තෙන්නකෝන් මහත්මයටත් සංජීව අයියටත් මං ස්තුතිවන්ත වෙනවා මට ඒ වගේ අවස්ථාවක් ලබාදීම ගැන.

එක තැනකදි ඔබ කියනවා හැම කාන්තාවකටම සම්පත් වගේ සැමියෙක් ලැබෙනව නම් හොඳයි කියලා. මොකක්ද ඔහුගේ විශේෂත්වය?

එක තැනකදි නෙවෙයි හැමතැනකදීම මං කියනවා සම්පත් වගේ සැමියෙක් හැම කාන්තාවකටම ලැබෙන්න කියලා. සම්පත් මට හමුවෙද්දි මං එක ප්‍රේම සම්බන්ධයකට රැවටිලා හිටියේ. ඒක අවුරුදු හයහමාරක විතර ප්‍රේමයක්. මුලින්ම සම්පත් මට හොඳ යාළුවෙක් වුණා. මං හැමදේම ඔහුට කිව්වා. පහුගිය දවස්වල ඒ ප්‍රශ්නය ඇති වුණු වෙලාවෙත් මට ආරංචියක් ආවා එඩිට් කරලා මගේ නිරුවත් ජායාරූප වගයක් දාන්න යනව කියලා. මං කවදාවත් කිසිම කෙනෙක් එක්ක ඒ වගේ ජායාරූප ශෙයාර් කරගෙන නෑ. ඒ වෙලාවෙ වුණත් සම්පත් කිව්වෙ මහේෂි, ඇත්තටම ඔයාගෙ ඒ වගේ වීඩියෝ එකක් ආවත් ඒක මට ප්‍රශ්නයක් නැත්නම් අනෙක් අයට කොහොමත්ම ප්‍රශ්නයක් වෙන්න බෑනෙ කියලා. මේ දැනුත් ඒක කියද්දි මගේ ඇස්වලට කඳුළු එනවා. ඒ තරම් විශ්වාසයක් එයාට මා ගැන තියෙනවා.

අවුරුදු හයහමාරක් කියන්නෙ ප්‍රේමයකට පොඩි කාලයක් නෙවෙයි. ඒ තරම් කල් රැවටුණු ඒ ප්‍රේමය ගැනත් කියමු?

අර කීමටත් අපි කියන්නෙ පණ ඇරගෙන ආදරේ කරනව කියලා. අන්න ඒ වගේ ආදරයක් ඒක. එයා ව්‍යාපාරිකයෙක්. අවුරුදු තුන හතරක් අපි හරිම සතුටින් ගත කළා. ඔය අතරේ එයා වෙන විවාහක ගෑනු කෙනෙක් එක්ක යාළු වුණා. එයාගෙ සැමියා ෆයිලට් කෙනෙක්. වැඩේ කියන්නෙ ඔහුත් මේ සම්බන්ධයට උදවු කළා. මං අඬලා කිව්වා ඒක නවත්තන්න කියලා. ඒත් ඒක නතර වුණේ නෑ. මං කැමති වුණේ නෑ. මගේ ආදරේ බෙදාගන්න. අන්තිමට මං ඒකෙන් අයින් වුණා.

මහේෂි මදුශංකා කියන්නෙ අසාධාරණය පේන්න බැරි චරිතයක්?

ඉස්සර ඉඳන්ම මං එහෙමයි. ඒක මං මවාගත්ත දෙයක් නෙවෙයි. ඒත් මං තේරුම් ගත්ත ලංකාව වගේ රටක ඇත්ත කතා කරන්න බෑ කියලා. ඉස්සරහට මෙහේ වැඩ කරන කෙනෙක්ට අසාධාරණයක් වුණත් මං කතා කරනවා. හැබැයි සම්පත්ගෙ අනුදැනුම ඇතුව. කලාකරුවෙකුට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔවුන් කියන දේට ගොඩක් දෙනාගේ අවධානය යොමු වෙනවා. ඒ නිසා අපට ලැබුණු මේ අවස්ථාවෙන් අපි හොඳ දෙයක් කළ යුතුයි. සාමාන්‍යයෙන් මං මොනදේ කළත් සම්පත් ගැනයි මගෙ දරුවො දෙන්න ගැනයි හිතනවා. නොහිතපු එකම තැන අර අවුරුදු කුමාරයා වෙනුවෙන් කතා කළ තැන විතරයි.

ඉදිරියේදී අපට මහේෂිව දකින්න වෙන්නෙ මොන වගේ භූමිකාවකින් ද?

සුපුරුදු විදිහටම හොඳ අම්මා කෙනෙක්, හොඳ බිරියක් විදිහට අනිවාර්යයෙන්ම දකින්න ලැබේවි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division