Home » රෝගයක් නොවන නාමයක් වන ආතරයිටිස්

රෝගයක් නොවන නාමයක් වන ආතරයිටිස්

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

වියපත් වැඩිහිටියන් අතරෙ සුලබවද තරුණ දුවා දරුවන්ගෙන් ඉඳ හිටද ඇසෙන සන්ධි වේදනා, අස්ථි සන්ධි ස්ථානයන්හි ඇතිවන ඉදිමීම, චලන අපහසුතා සහිත පීඩාකාරී තත්ත්වවල පොදු නාමය ආතරයිටීස් ය. ආතරයිටීස් යනු අස්ථි සන්ධි ප්‍රදාහිත වීමය. එය රෝගයක් ලෙස හඳුන්වනවාට වඩා රෝග පද්ධතියක නාමයක් ලෙස හැඳින්වීම උචිතය. ආතරයිටීස් කාණ්ඩ ගණනාවකි.

• අස්ථි සන්ධියක් යනු කුමක්ද ?

අස්ථි සන්ධි ස්ථානයක් සැකසී ඇත්තේ අස්ථි දෙකෙළවරක් සහ තරුණ අස්ථිමය කොටස්, සන්ධි ආවරණයේ ඇති කොපුව, සන්ධි බන්ධනී, ශ්ලේෂ්මල පටලය, ශ්ලේෂ්මල තරලය, ඛණ්ඩාරා සහ මාංසපේශිවලිනි. මේ සන්ධි ස්ථානවල ඇතිවන ප්‍රදාහිත වීම හෝ දිරාපත්වීමේ තත්ත්වයන් ආතරයිටීස් යන පොදු නාමයෙන් හැඳින්වේ. මේ අස්ථි ප්‍රදාහිත රෝග තත්ත්ව පහකි.

1. ආමවාත සන්ධි ශ්‍රෝථ

(රුමටික් ආතරයිටිස්)

2. ගම්භීර වාතරක්තය නිසා ඇතිවන සන්ධි ශ්‍රෝථ

(රුමෙඩොයිඩ් ආතරයිටිස්)

3. සන්ධිගත වාත නිසා ඇතිවන සන්ධි ශ්‍රෝත අවස්ථාව (ඔස්ටියෝ ආතරයිටීස්)

4. ග්‍රව්ටී ආතරයිටීස්

5. ආමවාත ජ්වරය නිසා ඇතිවන සන්ධි ශ්‍රෝත අවස්ථාව

මෙම කවර ප්‍රභේදයක් වුවද එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. ඒ අනුව රෝගියාට කරන චිකිත්සා ප්‍රතිකර්මද පුද්ගලානුබද්ධය. පුද්ගලයාගෙන් පුද්ගලයාට රෝග හේතුව, සම්ප්‍රාප්තිය (රෝගය නිසා රෝග ලක්ෂණ පහළ වීම දක්වා ශරීරය තුළ පහළවන විකෘති ක්‍රියාවලිය) රෝග ලක්ෂණ, රෝගයේ ස්වාභාවය එකිනෙකට වෙනස්ය. ආයුර්වේදයේ විශාල පරාසයක ප්‍රතිකාර පද්ධතියක් ආතරයිටීස් සඳහා නියම කර තිබේ. එම ප්‍රතිකාර තුළින් රෝගියාට ගැළපෙන ප්‍රතිකර්මය තෝරා ගැනීමට වෛද්‍යවරයා සමත් විය යුතුය.

• පොදු ලක්ෂණ

සන්ධි ස්ථානයේ වේදනාව, ඉදිමුම, තද බව, චලන අපහසුව, සන්ධි ස්ථානය රතුවීම, සන්ධි ස්ථානයේ සීතලබව, පොදු ස්ථානික ලක්ෂණය. ශාරීරික වශයෙන් අග්නි මාන්ධ්‍යය (කුසගිනි අඩුබව) දෙඅත්ල සහ දෙපතුල් සීතල වීම හෝ උණුසුම් වීම, ශාරීරික බෙලහීනතාව, බර අඩු වීම, පීඩිත සන්ධිස්ථානය අසල මාංසපේශීන්හි දුර්වලතාව, එම ස්ථානයේ පේශි පටකවල දුර්වලතාව, නීරක්තතාව, උණ ආතරයිටීස් රෝගයට පහළ විය හැකි පොදු රෝග ලක්ෂණ වේ.

• ආමවාත සන්ධි ශ්‍රෝතය

ආයුර්වේද රෝග විඥානයේදී මෙම රෝගයට හේතුව වන්නේ ශරීරයේ ඇතිවන ආමය සහ වාතය විසින් සන්ධි ස්ථාන පීඩාවට පත් කිරීමය. මෙහිදී අප ආමය යනු කුමක් දැයි දැනගත යුතුය. ආහාර ගැනීමෙන් පසු එය කුස තුළදී ජීර්ණය වී හොඳින් ජීර්ණය වූ ආහාර කොටස්වල සාරය ශරීරයට උරා ගැනීමෙන් ශරීරය නිවැරදිව පෝෂණය වෙයි. එම ආහාර නිසි ලෙස ජීරණය නොවීමෙන් ශරීරයට අවශෝෂණය වන අමු ආහාර ශ්‍රාවය ආමය වේ. අර්ධ වශයෙන් ජීර්ණය වූ ආහාර සාරය ශරීරගත වන්නේ නම් එය භයානක විෂක් “ආම විශං මහා ඝෝරං”ලෙස ආයුර්වේදයේ දැක්වේ. ආයුර්වේදය පවසන්නේ කුසගින්න මනාව නඩත්තු කර ගත යුතු බවය.

මේ ආමය, වාතය නමැති ශක්ති ප්‍රභේදය මඟින් සන්ධි ස්ථාන වෙත රැගෙන ගොස් එම සන්ධි ස්ථාන ප්‍රදාහයට ලක් කරයි. ආමවාත සන්ධි ශ්‍රෝතය ඇති වන්නේ එසේය. එහිදි වැඩි වශයෙන් පීඩාවට ලක් වන්නේ දණහිස, වළලුකර, වැලමිට, උරහිස් සන්ධි වැනි ශරීරයේ විශාල සන්ධිය. අනතුරුව එය අනුක්‍රමයෙන් අත්වල ඇඟිලි දක්වා ද අනෙක් සන්ධි ස්ථාන වෙත ද පැතිරේ.

රෝගයේ මුල් අවස්ථාවේදි අධික වේදනාවක් ශරීරයේ ඇති වේ. පිපාසය, අලස බව, ශරීරයේ බර බව දැනේ. ආහාර නොදිරවීම ප්‍රකට කරයි. ආහාර අරුචිය නිසා මුවට අප්‍රසන්න බවක් දැනේ. චලන අපහසුතාව ඇති වේ. සමහර අවස්ථාවල කොඳුඇට පෙළේ පවා වේදනාව හා තද බවක් ඇති වේ. පපුව තද වන බවක් දැනේ. අන්ත්‍ර කූජනය හෙවත් බඩේ ශබ්ද ඇති වේ.

• රෝගය වළකා ගැනීමට ආමය වළක්වා ගැනීම වැදගත්

නිසි පාලනයක් සහිත ආහාර රටාවක් අවශ්‍ය වන අතර සංයෝග විරුද්ධ ආහාර එක්වර නොගත යුතුය. එවැනි එකට නොගත යුතු ආහාර වර්ග ආයුර්වේදයේ දක්වා තිබේ. උදාහරණයක් ලෙස ගොඩ දිය මස් එකට නොකෑ යුතුය. එනම් මස්, මාළු සහ බිත්තර එකට නොකෑ යුතුය. මාංසමය ආහාර ගත් විට කිරි භාවිත නොකළ යුතුය. මාත්‍රා විරුද්ධ ආහාර නොගත යුතුය. එනම් තමන්ගේ දිරවීමේ ශක්තියට නොගැළපෙන ආහාර නොගත යුතු බවය. දිරවිය හැකි පමණට ආහාර ගත යුතුය. කුසයෙන් හතරෙන් එකක් හිස්ව තබා ගැනීම ආයුර්වේද නියමයයි.

කාල විරුද්ධ ආහාරයෙන් වැළකිය යුතුය. එනම් ග්‍රීෂ්ම සීත කාලයට අනුව තමන් විසින් තම ආහාරය තෝරාගත යුතු බවය. ‍තෙල් අධික ආහාර වැඩි වශයෙන් හෝ රාත්‍රි කාලයේ පරිභෝජනය නොකළ යුතු බව ආයුර්වේදයේ ‍පෙන්වා දෙයි. ආහාරයෙන් පසු යම් කාලයක් ආහාර ජීර්ණය සඳහා ලබා දීය යුතුය. දවල් කාලයේ නිදා ගැනීම, ව්‍යායාම අඩුව, ආම විෂ ඇතිවීමට පොදු හේතු වේ.

 ආයු­ර්වේද විශේ­ෂඥ වෛද්‍ය ඩී.ඩබ්.ජේ. සේනා­රත්න

ආයු­ර්වේද විශේ­ෂඥ වෛද්‍ය ඩී.ඩබ්.ජේ.
සේනා­රත්න

ආමය බලවත් වීමෙන් ඇතිවන ආම වාත සන්ධි ශ්‍රෝතයට කරන ප්‍රතිකාරයේදී තහනම් කළ ප්‍රතිකාර විධි තිබේ. සන්ධිවල තෙල් ගැල්වීම නොකළ යුතු අතර තෙල් ගැල්වීමෙන් රෝග තත්ත්ව තීව්‍ර කරයි. බාහිර ප්‍රතිකාර ලෙස පත්තු මැල්ලුම් සහ ඇතුළු රූක්ෂ ප්‍රතිකාර කළ යුතුය. ආමය ඉවත් කරවන අභ්‍යන්තර ප්‍රතිකර්ම ලෙස ලංගන ප්‍රතිකාරය හැඳින්වේ. එනම් හැකි තරම් සරල ආහාර ගත යුතුය. එය ඉතා වැදගත් පැවැත්මකි. තිත්ත රසය බහුල ආහාරපාන ආමවාත සන්ධි ශ්‍රෝතයට ආයුර්වේදයේ නිර්දේශය වේ. එඬරු තෙල් යොදාගෙන විරේචනය ද ආමවාත සන්ධි ශ්‍රෝතයට හොඳ ප්‍රතිකාරයකි.

ආයුර්වේදයේ පෙන්වා දෙන ආකාරයට සායනික චිකිත්සාව යනු, රෝග නිධානය ඉවත් කිරීමය. මුල් අවස්ථාවේදීම නිවැරැදි ප්‍රතිකාරයට යොමු වුවහොත් සන්ධි ආශ්‍රිත මාංසපේශිවල පටකවලට හානියක් නොවී රෝගය මුළුමනින්ම සුව කරගත හැකිය. කල්ගත වූවහොත් එම පටකවලට සිදු වන හානිය වැඩි බැවින් නිවැරැදි කරගැනීම ඉතා අපහසුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division