Home » කො‍ලෙස්ටරෝල් මට්ටු කරන ආයුර්වේද ප්‍රතිකාර

කො‍ලෙස්ටරෝල් මට්ටු කරන ආයුර්වේද ප්‍රතිකාර

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

රුධිරගත මේදය හෙවත් කොලෙස්ටරෝල් යනු වර්තමානයේ බෝ නොවන රෝග කාණ්ඩය අතර වැඩි දෙනකු පීඩා විඳින රෝගයකි. මේදය යම් ප්‍රමාණයකින් අපේ ශරීරයට අවශ්‍ය වෙන්නේ ඇතැම් විටමින් සහ ඛනිජ ළවන වර්ග ශරීරයට අවශෝෂණය කරගැනීමටය.

නමුත් රුධිරගත මේදය වැඩි වීම මත තවත් රෝග ගණනාවක් ඇති වේ. රුධිරගත මේදය අධික වූ පුද්ගලයකුට වැලඳිය හැකි සමීපතම රෝගය අධික රුධිර පීඩනයයි. මේ සමඟ හදවතේ ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා හදවත් රෝග ඇති වීමේ අවදානම, ලිංගික බෙලහීනතාව, ශරීරයේ යම් අවයව අක්‍රීය වීම, අධිස්ථූලතාව වැනි බොහෝ රෝගවලට පසුබිම් වන හේතුව ලෙස රුධිරගත මේදය ඉහළ යෑම හෙවත් කොලෙස්ටරෝල් හඳුනා ගැනේ. ජානවලින් හෝ පරම්පරාවෙන් ඇතිවන කොලෙස්ටරෝල් තත්ත්වය නිට්ටාවට සුව කළ නොහැකි වූවද අදාළ ඖෂධ හා එදිනෙදා පුරුදු වෙනස් කර ගැනීමෙන් රුධිරගත මේදය පාලනය කළ හැකි වෙයි. නමුත් රුධිරගත මේදය පාලනයට භාවිත කරන ඖෂධ වුවත් එක්තරා මට්ටමකින් පසු විසඳුම් රහිත බව මතක තබා ගත යුතුය.

සිරුරේ කොලොස්ටරෝල් මට්ටම වැඩි බව කල් තියාම පෙන්නුම් කරන ඉඟි තිබේ. ශරීරයේ බර වැඩි වීම, අලසකම, ඇඟපත වේදනාව, සන්ධි වේදනාව, නිදිබර ගතිය, ශරීරයේ තැනින් තැන බිබිළි මතු වීම, විසප්පු ගෙඩි ඇති වීම, හතිය, වෙහෙසකර බව ශරීරයේ මේදය වැඩි වී ඇති බව හඟවන එවැනි ඉඟිය.

• රුධිරගත මේදය ඇති වන්නේ කෙසේද?

ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවලිය නිසියාකාරව සිදු නොවීම මෙයට බලපාන ප්‍රධාන හේතුවකි. අප ගන්නා මේදය සහිත ආහාර ප්‍රමාණය අධික වීම, ආහාර පිසින තෙල් වර්ග මිල දී ගැනීමේදී යම් යම් මිථ්‍යාවන්ට හසු වී පරිභෝජනයට නුසුදුසු ශාක තෙල් සේම සත්ව තෙල්වලින් ආහාර පිසීමට හුරු වීම, ගැඹුරු තෙලේ බැද ගන්නා ආහාරවලට වඩා බැඳුම් විදිහට ගන්නා ආහාර වැඩිපුර ගැනීම මේ අතර ප්‍රධාන වේ.

එදිනෙදා ආහාර පිසීමේදී පහසු සහ කාල වේලාව අඩුවෙන් පිළියෙල කර ගත හැකි ආහාරවලට ප්‍රමුඛත්වය ලබා දීමෙන් අලසකම, කාර්යබහුලත්වය මේ වන විට නිවෙසේ මුළුතැන්ගෙයින් ද ඉස්මතු වී ඇති බව පෙනේ. මේ නිසා සිදු වන්නේ තෙල් භාවිතයෙන් පිසූ ආහාර කෑම වේලට වැඩි වශයෙන් එක් වීමයි. එයින් සිදු වනුයේ දිනපතා ශරීරගත වන තෙල් ප්‍රමාණය වැඩි වී ආහාර ජීරණ‍ පද්ධතියේ සංකූලතා ඇති කිරීමයි.

කිහිප වරක් බදින ලද තෙල්වලින් සැකසූ ක්ෂණික ආහාර පරිභෝජනය, ඌරු මස් වැනි මේද අධික ආහාර නිරන්තරයෙන් ගැනීම ඇතුළු ෆ්‍රයිඩ් රයිස් වැනි රසකාරක එක් කළ ආහාර ද රුධිරගත මේදය වැඩි කරයි. ආහාර සමඟ ශීත කළ පැණිබීම හෝ ශීත කළ ජලය පානය කිරීමෙන් සිදු වන්නේ මේදය කැටිගැසී ආහාර ජීර්ණයට බලපෑමයි. දවස අරඹන කිරි වීදුරුවේ මේදය ද ශරීරයට අහිතකර ලෙස බලපාන බව අප කල්පනා කළ යුතුව ඇත.

• රුධිරගත මේදය ඇති වීම වළකා ගන්නේ කොහොමද?

ශරීරයේ එකතු වන මේදය දහනය කර ගන්න ක්‍රම කීපයකි. පළමුව තෙල් බහුල අලස ආහාර රටාවෙන් මිදී ආහාර පිළිබඳ විනයක් ඇති කරගත යුතුය. පැරණි සමාජයේ ආහාර සංස්කෘතිය තුළ බැදුම් සහිත ආහාර තිබුණද එහි දෛනිකව එවැනි ආහාර භාවිතයක් නොවීය. තෙල් භාවිත කරනවා නම් පිරිසිදු පොල් තෙල් භාවිතය වැදගත්ය. ගැඹුරු තෙලේ බැදගත් ආහාර තෙල් බේරෙන්නට හැර භාවිත කිරීමෙන් ආහාරයේ තැන්පත් තෙල් ප්‍රමාණය අඩුවේ. තන්තුමය ආහාර වැඩි වශයෙන් ආහාරයට එක් කරගැනීම, ආහාර ගැනීමෙන් පසු මඳ උණුසුම් ජලය පානය සුදුසුය. එළකිරිවල මේදය ඉවත් කරගැනීමට කරාබු නැට්ටක්, ඉඟුරු කැබැල්ලක් ගැටතුඹ මුලක් එකතු කරගැනීම සිදු කළ හැකිය.

ව්‍යායාම ද ශරීරයේ තැන්පත් මේදය දහනයට කදිම විසඳුමකි. සතියකට දින කීපයක් අසල වෙළෙඳසලට යන ගමන යතුරුපැදියෙන් හෝ වාහනයකින් නොගොස් පා ගමනින් යෑමට පුරුදුවීම ද ව්‍යායාමයකි. අධ්‍යාපන ක්‍රමයට යෝග වැනි ව්‍යයාම සතියකට එක් දිනයක් විනාඩි 40ක් වැනි කාලයක් එක් කළ හැකි නම් එය දරුවන් විෂයෙහි ඵලදායී ප්‍රවේශයකි.

• අත්බෙහෙත්

කොලෙස්ටරෝල් පාලනයට නිවෙසේදීම සෑදිය හැකි අත් බෙහෙත් රැසකි.

 ආයු­ර්වේද වෛද්‍ය පාලිත ශ්‍රී ගීග­න ආරච්චිගේ

ආයු­ර්වේද වෛද්‍ය
පාලිත ශ්‍රී ගීග­න ආරච්චිගේ

1. කරපිංචා, ගොරකා, සුදුලූනු, සියඹලා, උළුහාල් කළුදුරු සම ප්‍රමාණයෙන් ගෙන හීනියට අඹරා නෙල්ලි ගෙඩියක ප්‍රමාණයක් දිනපතා ආහාරය සමඟ ගත යුතුය. අවශ්‍ය නම් මෙයට මින්චි කොළ ටිකක් ද එක් කළ ගත හැකිය.

2. කුරුඳු පොතු, කළුදුරු සම ප්‍රමාණයෙන් ගෙන කුඩු කර මේස හැන්දක් වතුර පත දෙකකට දමා එක පතකට හින්දවා ගෙන පානය කළ හැකිය.

3. උළු හාල්, සුදු ලූනු, බෙලි කොල, ගැට තුඹ මුල් සහ නිදිකුම්බා මුල් ස්වල්පයක බැගින් ගෙන තම්බා උදේ හවස බීමට ගත හැකිය.

4. වියළි බෙලි කොළ ග්‍රෑම් 50ක්, කරපිංචා කොළ ග්‍රෑම් 50ක් සහ වී පොරි ග්‍රෑම් 50ක් එක් කොට කුඩු කර තේ වෙනුවට පානය කළ හැකිය.

5. ගොනිකා කොල, යකිනාරං කොළ , හින් බෝවිටියා, ගැට තුඹ මේ ආදියේ කැඳ සාදා බීම සුදුසුයි.

අපේ උදරය නිරන්තරයෙන් අලුත් විය යුතුය. එනිසා රුධිරය පිරිසුදු වන හොඳ විරේක කර්මයක් මාස තුනකට වරක් හෝ කිරීම ඉතාම වැදගත්ය. ආහාර ජීර්ණය නිසියාකාරව සිදු වීම සඳහාද නිසි ප්‍රතිකර්මවලට යොමු විය යුතුය. පැරැණි සමාජයේ කෑම පිසිද්දී කංසා කොළයක් දෙකක් එකතු කිරීමේ පරමාර්ථය වූයේ මේදය ජීර්ණය කිරීම පහසු කිරීමයි. වර්තමානයේදී ඒ වෙනුවට සූදුරු, මාදූරු, කොත්තමල්ලි, ගම්මිරිස්, කුරුඳු, සාදික්කා, වසා වාසි, ඉඟුරු පියලිය, රම්පේ හා කරපිංචා නිසි පමණින් යොදා ආහාර පිසීමද ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමවත් කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division