Home » නි‍ෙවසේ ප්‍රධාන දොර නියම දිශාවට නම් නිවැසියන්ට ලැබෙන සැප සම්පත්

නි‍ෙවසේ ප්‍රධාන දොර නියම දිශාවට නම් නිවැසියන්ට ලැබෙන සැප සම්පත්

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

නිවෙසක ප්‍රාණය හා සමාන වන්නේ ‘මංගල ද්වාරය’ හෙවත් ප්‍රධාන දොරයි. එම ප්‍රධාන දොර නිවැරදි දිශාවේ තැබිය යුතු අතර එම ද්වාරය සහ අනෙකුත් දොරවල් තබන දිශාවන් ඉතා වැදගත් වේ. එම දිශාවන් අනුව නිවාස වර්ග සොළසක් පැරණි වාස්තු විද්‍යා ග්‍රන්ථවල සඳහන් වේ. එම නිවාසවලින් ලැබෙන සුබ අසුබද ඒවායේ පෙන්වා දී ඇත.

නැඟෙනහිර දිශාවට පමණක් දොර තැබීමෙන් එහි නිවැසියන්ට සැප සම්පත් සහ සතුට ගෙන දෙයි. එබඳු දොරවල් ධාන්‍ය වර්ගයේ දොරවල් ලෙස හැඳින්වේ.රවි ග්‍රහයා කටක, සිංහ, මකර, කුම්භ රාශිවල ගමන් කරන කාලයේදී එබඳු නිවාස ආරම්භ කිරීම ඉතා සුබ වේ. මෙබඳු නිවාස ඉදිකිරීමද අව පක්ෂයේ දී නොකළ යුතුය.

දකුණු දිශාවට දොර තබා ඇති නිවාසවලින් සැප සහ ශ්‍රියාව හිමි වේ. මෙබඳු නිවාස ආරම්භ කළ යුත්තේ රවි ග්‍රහයා වෘෂභ, තුලා, වෘශ්චික යන රාශිවල ගමන් කරන කාලයේදීය.

උතුරු දිසාවට පමණක් දොරක් තබා ඇති නිවස ඉතා අප්‍රසන්න නිවසකි. එබඳු නිවාස අයත් වන්නේ දුර්මුඛ වර්ගයටයි. පදිංචියට සුබ නොවේ. බටහිර දිශාවට ප්‍රධාන දොර තබා ඇති නි‌ෙවසේ සියලු සැප සම්පත් විනාශ වේ. ඛර වර්ගයේ නි‌ෙවසක් ලෙස හැඳින්වෙන එම නිවාස පාළු බවක් උසුලයි. පදිංචියට සුදුසු නොවේ.

නැඟෙනහිර දිශාවට සහ දකුණු දිශාවට දොරවල් තබා ඇති නි‌ෙවස ද පදිංචියට සුබ නිවෙසක් නොවේ. එබඳු නිවෙසවල ස්ත්‍රීන්ට විපත් ඇති වේ .

නැඟෙනහිර දිශාවට සහ බටහිර දිශාවට දොරවල් තබා ඇති නි‌ෙවස ‘කාන්ත’ වර්ගයට අයත් වේ. මෙබඳු නිවෙසවල නිවැසියන්ට දරු සම්පත් හොඳින් ලැබේ. දරුවන් දියුණු වේ. මෙබඳු නිවාස රවි කුම්භ රාශියේ සහ මකර රාශියේ ගමන් කරන කාලවල ආරම්භ කිරීම සුදුසු ය.

නැඟෙනහිර දිශාවට සහ උතුරු දිසාවට දොරවල් තබා ඇති නිවාසවල වෙසෙන්නන්ට නොයෙක් දුක් කරදර ඇතිවේ. උග්‍ර වර්ගයට අයත් මෙම නිවෙස ද ජීවත් වීමට සුදුසු නොවේ.

උතුරු දකුණු දිශා දෙකට දොරවල් තබා ඇති නිවෙස ‘රිපුද’ වර්ගයේ නිවසකි. මෙම නිවෙස සොර සතුරු බිය සැක සංකා ඇති කරයි.

දකුණු දිශාවට සහ බටහිර දිශාවට දොරවල් තබා ඇති නිවෙස බොහෝ සැප සම්පත් ලබා දෙයි. ‘මනෝරමා’ වර්ගයට අයත්වන මෙබඳු නිවාස ආරම්භ කළ යුත්තේ රවි වෘෂභ, තුලා, වෘශ්චික යන රාශිවල ගමන් කරන කාලයේදීය.

උතුර, දකුණ,නැ‌ෙඟනහිර දිශා තුනට දොරවල් තබා ඇති නිවෙස ‘ධනද’ නම් වේ. මෙබඳු නිවාසවල ධනය හොඳින් ලැබේ.

රවි ග්‍රහයා වෘෂභ, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර, කුම්භ රාශිවල ගමන් කරන කාලයේ මෙම නිවෙස ආරම්භ කිරීම සුබදායකය.

නැඟෙනහිර, බටහිර,දකුණ යන දිසා තුනට දොරවල් තබා ඇති නිවෙසට සැප සම්පත්, බව භෝග හොඳින් ලැබේ. ‘සුමුඛ’ වර්ගයට අයත් වන මෙම නිවෙස ඉදිකිරීම ආරම්භ කළ යුත්තේ රවි ග්‍රහයා කටක, සිංහ, මකර, කුම්භ යන රාශිවල ගමන් කරන කාලයේදීය.

උතුර, දකුණ, බටහිර යන දිශා තුනට දොරවල් තබා ඇති නිවෙස බවබෝග සම්පත්,යස ඉසුරු නිසි ලෙස ලැබේ. මෙබඳු නිවෙස වාස්තු විද්‍යාවේ හැඳින්වෙන්නේ ‘විපුල’ නමිනි.

නැඟෙනහිර, බටහිර, උතුර යන දිශා තුනට දොරවල් තබා ඇති නිවෙසවල වාසය කරන්නන්ට නිතර ශෝකය දනවන කරුණු යෙදේ. මේවා ‘අක්‍රාන්ද’ වර්ගයේ නිවාස වේ.

උතුර, දකුණ, නැ‌ෙඟනහිර, බටහිර යන දිශා හතරම දොරවල් තබා ඇති නිවස විජය වර්ගයේ නිවසකි. මෙම වර්ගයේ නිවෙසවලට යස ඉසුරු, සැප සම්පත්, සතුට ලැබෙන බවත්, ජීවත්වීමට ඉතාම සුදුසු බවත් සෘෂි මතයයි.

ජ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යාවේදී
විදුහල්පති දැරණියගල කපිල ඉන්දික ගුණදාස

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division