Home » අපේ සාම්ප්‍රදායික විපක්ෂය එදා වගේම අදත් කකුලෙන් අදිනවා

අපේ සාම්ප්‍රදායික විපක්ෂය එදා වගේම අදත් කකුලෙන් අදිනවා

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

– බදු හඳුන්වා දුන්නේ කැමැත්තකින් නෙමෙයි
– පරාටේ බලතල කලින් ඉවත් කළා නම් බැංකු පද්ධතිය කඩා වැටෙනවා
– රාජ්‍ය ආදායම ස්ථාවර වන පළමු අවස්ථාවේදීම රටේ ජනතාවට සහන ලබා දෙනවා

ආර්ථිකය කෙමෙන් කෙමන් ශක්තිමත් වෙමින් පවතින බව ඔබ පවසනවා. කොහොමද ඔබ එසේ පවසන්නේ?

පසුගිය සතියේ මහ බංකු වාර්තාවලට අනුව 2023 ජනවාරි සිට 2024 ජනවාරි දක්වා කාලය තුළ රුපියලේ අගය 363 සිට 307 දක්වා අඩුවී තියෙනවා. සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.2 සිට 4.5 දක්වා වැඩිවී තියෙනවා. විදේශීය සංචාරකයන් පැමිණීම 200% කින් වැඩි වී තියෙනවා. 70% කට පැවැති උද්ධමනය බදු වැඩි කර තිබියදීත් 5.9%කට පවත්වාගෙන යාමට හැකි වී තියෙනවා. දැන් රටේ බඩු හිඟයක් නැහැ. සංඛ්‍යාලේඛන පැත්තකට දැමුවත් රටේ සෑම බඩුවක්ම අද ගන්න හැකියාව තියෙනවා. මේ අනුව රට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ලොකු කුඩා සෑම කෙනකුටම තේරෙනවා. 2022 සැප්තැම්බර් මස දක්වා ආපස්සට ගොස් බැලුවහොත් පෙනෙනවා, ආර්ථික ප්‍රශ්නය විසඳී ඇති බව. මේ සියල්ලම ආර්ථිකය ගොඩ පැමිණිමේ පැහැදිලි සලකුණුයි.

 ජනාධිපතිවරයා පවසා තිබුණා, ආර්ථිකයේ ශක්තිමත් බවක් පෙනෙන්නට තිබුණත් ජනතාවට එය පෙනෙන්නේ නෑ කියමින් සමහරු චෝදනා කරන බව?

අපේ රටේ තියෙන්නේ සාම්ප්‍රදායික විපක්ෂයක්නේ. විපක්ෂය මීට වඩා නම්‍යශීලි විය යුතුයි. ඔවුන් මේ වගකීම් බාර නොගත්තේ ඒ තත්ත්වයට බය වූ නිසානේ. අද විවිධ විසඳුම් දෙන සියලුම පක්ෂවලට එදා පැවැසුවනේ මේ රට බාර ගන්න කියලා. නමුත් බාර නොගත්තේ අකැමැත්ත නිසාද නැතිනම් බය නිසාද? ඒ තත්ත්වය මත කෙනෙක් බාරගෙන මෙය තනියම කරගෙන යනවිට සාමාන්‍ය කාලයක මෙන් මේ විපක්ෂය දකින්නේ වැරදිමයි. අදටත් මේ අය කරන්නේ ඒ පුරුද්ද. ඒ නිසා ඔවුන්ට බැහැ මේ රට යහපත් ආකාරයට පත්වී ඇතැයි පිළිගන්නට. මේ රටේ අවාසනාවකට මෙන් ඔවුන් මේ සම්ප්‍රදායෙන් මිදෙන්නේ නැහැ. රටක් මෙවැනි තත්ත්වයකට පත් වූ විටදී මීට වඩා වෙනස් වූ සාමූහිකත්වයක් අනිකුත් රටවල දකින්නට තියෙනවා. නමුත් අපේ සාම්ප්‍රදායික විපක්ෂය එදා මෙන්ම අදත් කකුලෙන් අඳිනවා හැර වෙන විකල්පයක් දකින්නට ලැබෙන්නේ නැහැ.

ආර්ථිකය දියුණු කිරීමට මේ ගමන් මඟ හැරුණුකොට වෙන ගමන් මඟක් නැති බව පැවැසුවත් විපක්ෂය විවිධ මාර්ග පෙන්වීමට උත්සහ දරනවා?

දැන් පැහැදිලිව ධනාත්මක වෙනසක් තියෙනවානේ. ඒ නිසා මේ මාර්ගය හරියැයි අපිට කියන්න පුළුවන්. ඕන කෙනෙකුට කියන්න පුළුවන් අයි. එම්. එෆ්. කොන්දේසි වෙනස් කරනවා, අපි ආවොත් බදු අය කරන්නේ නැහැ කියලා. මේවා ප්‍රලාප විතරයි. ජනතාව මේ දේවල් තේරුම් ගෙනයි ඉන්නේ. කුමන ධනාත්මක දේ කළත් අපි තවමත් ඉන්නේ අමාරු තැනක. ඒ ගැන විපක්ෂය විවිධ දේ කිව්වත් කළත් තනි පුද්ගලයෙකු මේ රට බාර ගන්නා විට පනහක් පමණ සිටින විපක්ෂ නායකවරයාට මේ රට බාර ගන්න බැරිවුණා.

වැට් බදු අඩුකරන බව ජනාධිපතිවරයා පවසා තිබුණා. ඉදිරියේදී මොනවද ජනතාවට ලැබෙන සහන?

අපි අලුතින් බදු හඳුන්වා දුන්නේ කැමැත්තකින් නෙමෙයි. වැඩිපුර ගමක ජීවත් වන කෙනෙක් ලෙස ජනතාවගේ පීඩනය මම හොඳින් දන්නවා. ජනාධිපතිතුමාත් මේ ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. රාජ්‍ය ආදායම ස්ථාවර වන පළමු අවස්ථාවේදීම රටේ ජනතාවට සහන ලබා දෙනවා. ඒ නිසයි පාසල් උපකරණ බදු පවා ඉවත් කිරීමට කටයුතු කරන්නේ. වසරකට පෙර අපි සංවර්ධනය ගැන කතා කළේ නැහැ. කුඩා සංවර්ධන වැඩ කළ අයට අපි බිලියන 60 ක් ණය වෙලා තිබුණා. නමුත් ඒ සියල්ල ගෙවා අවසන් කර සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම රුපියල් කෝටි 25 ක් යෙදෙව්වා, අලුත් වැඩ ආරම්භ කරන්නට. මාර්තු සියල්ල ආරම්භ කරන්නට සූදානම්. මේ සියල්ල ජනතාවට ලැබෙන දේවල්. අපි කෙටි කාලයකින් ඉහළට ආ රටක් බවට පත්වෙනවා. අද ආහාර උද්දමනය 3% කට ගෙනත් තියෙනවා. ඒ නිසා මෙහි ගෞරවය රාජ්‍ය නායකයාට මෙන්ම ජනතාවටත් හිමි විය යුතුයි.

විපක්ෂය චෝදනා කරන්නේ ණය ගෙවීම ආරම්භ කළ පසු ජනතාවට මීට වඩා දුකක් විඳින්නට සිදුවන බවත් මේ කාලය අපායේ ඉන්ටවල් එකක් බවත් පවසනවා?

මෙයට ජනාධිපතිවරයා විසින් පැහැදිලි පිළිතුරක් ලබා දුන්නා. අපි දැනට දේශීය ණය ගෙවනවා. විදේශීය ණය වලින් බහු පාර්ශ්වීය ණය ගෙවනවා. ඉතුරු වන්නේ ද්වි පාර්ශ්වීය ණය. මේවා ප්‍රතිව්‍යුහගතකරණය කරමින් යනවා. අපිට ගෙවිය හැකි පරිදි මේ ණය සකස් කරමින් යන්නේ. අද මේ අය සතුටු වන්නේ අපායට ඉන්ටවල් එකක් ලැබුණා කියලා. එහෙම එකක් නැහැ. අපි යන්නේ මීට වඩා සැලසුම් සහගතව. ප්‍රතිව්‍යුහගතකරණය ගැන සාකච්ඡා කරන්නේ අපිට ගෙවිය හැකි ආකාරයට ණය වාරික සකස් කර ගන්නයි.

ජනාධිපතිවරයා පැවැසුවා 2023 සිට 2027 දක්වා ණය ගෙවීමේ තාවකාලික සහනයක් ලබා ගැනීමට බලාපො­‍ෙරාත්තු වන බවත්, 2027 සිට යළිත් ණය ගෙවීම ආරම්භ කිරීමට සුදානම් වන බවත්?

අලුතින් ගෙවන ඒවාට අපි මේ විරාමය ඉල්ලා තියෙනවා. ප්‍රතිව්‍යුහගතකරණයේදී සහන කාලයක් ලබා ගැනීම පොලිය අඩුකර ගැනීම මෙන්ම ණය කපා හැරීම යන කරුණු තුනම සාකච්ඡා කරනවා. මෙය දැවැන්ත ව්‍යායාමයක්. මෙයට අයි. එම්. එෆ්. එක වැඩපිළිවෙළක් අපිට ලබාදී තියෙනවා.

උද්ධමනය අඩු වුණත් ජනතාවට තවමත් ජීවන වියදම තදින්ම දැනෙනවා. ….?

උද්ධමනය යනු බඩු මිල අඩුවීමම නෙමෙයි. එසේ නම් අවධමනයක් සිදුවිය යුතුයි. බඩු මිල වැඩිවීමේ වේගයයි අපි පාලනය කරන්නේ. නමුත් එයින් අදහස් වන්නේ නැහැ දැන් හොඳයි කියලා. කොයි දේටත් කාලයක් අවශ්‍යයයි. මේ සියලු වැඩපිළිවෙළ සකස් කරගෙන යන්නේ තිබුණු තැනින් රට ඉහළට ගැනීමටයි.

රාජ්‍ය ආදායම 50 % කින් වැඩිවෙලා. ආර්ථිකයේ පිබිදීමත් සමඟ ව්‍යාපාරික ආයතන ආරම්භ කිරීම වැඩි වෙලා. මේ ප්‍රගතිය කොයි ආකාරයෙන් ද?

දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම තිබුණේ 8.3% ක. අභියෝග සියල්ල මධ්‍යයේ අද 11% කට ඇවිත් තියෙනවා. සියලුම බදු වැඩි කිරීම් බදු ජාලය පුළුල් කිරීම්, බදු හිල් වැසීම් වැනි කරුණු කාරණා ඊට හේතු වුණා. මේ වසරේ 12% ක් දක්වා යා හැකි යැයි අපි විශ්වාස කරනවා. නමුත් මේ වගේ කාලයක රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම බරපතළ අභියෝගයක්. ඊට හේතුව ඍණ ආර්ථිකයක් පැවැතීම. පසුගිය කාලයේ මත්පැන් මිලදී ගැනීම සෑහෙන්න අඩු වුණා. ඒ ආර්ථිකය බිඳ වැටීම නිසා. රේගු වැඩිම ආදායම ලැබෙන්නේ වාහන ආනයනයට ගසන බද්දෙන්. නමුත් තවමත් වාහන ආනයනය කරන්නේ නැහැ. ඒ බාධක තබාගෙන 8.3% -11% දක්වා රාජ්‍ය ආදායම ඉහළට ගෙන ආවා කියන්නේ අපි හොඳ තැනක ඉන්නවා කියන එකයි. ඉදිරියේදී විශාල සහනයක් ලැබේවියැයි විශ්වාස කළ හැකියි. අපි අමාරු කාලයක් පසු කරමින් යන නිසා මේ සහනය ලබා දීමට පළමු අවස්ථාවේදීම අපි පැකිළෙන්නේ නැහැ. බලන්න පරාටේ බලතල නියමිත වේලාවට කලින් ඉවත් කළා නම් අද මොකද වෙන්නේ. එසේ වූවානම් මේ රටේ බැංකු පද්ධතිය කඩා වැටෙනවා. පරාටේ බලතලවලින් පීඩාවට පත් වන්නේ රුපියල් ලක්ෂ 50 ට වැඩිය ණය ගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්. මේ නිසා බැංකු ස්ථාවර කළ පළමු අවස්ථාවේදීම අපි පරාටේ නීතිය තාවකාලිකව ඉවත් කර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සලසා දුන්නා.

ජනාධිපතිවරයා පවසන පරිදි වසර අග අලුත් වෙනසක් දැකිය හැක්කේ කොයි ආකාරයෙන් ද?

ජනාධිපතිවරණයක් ඒවි. එවිට පැහැදිලිව මේ රට ගැන හිතන අයට එකතු වීමට වේදිකාවක් සැකසේවි. ජනාධිපතිවරණයට විවිධ අය ඉල්ලුවත් මේ අයට තිබිය යුතු අංග ලක්ෂණ ගැන හැඟීමක් ජනතාවට තියෙනවා. පළපුරුද්ද, උගත්කම, ජාත්‍යන්තරයට මුහුණදීමේ හැකියාව, තීරණ ගැනීමේ හැකියාව, රට අමාරුවේ වැටුණුවිට කටයුතු කළ ආකාරය යන කරුණු අනුව කෙනෙක් තෝරා ගැනීම අපහසු නැහැ. දැන් ඉදිරියෙදී ජනාධිපතිවරණයේදී හොඳ තීන්දුවකට යාමේ හැකියාව ජනතාවට තියෙනවා. වඩාත්ම හොඳ පුද්ගලයා පමණයි ජනතාවට තෝරා ගන්නට තියෙන්නේ.

මැතිවරණය වෙනුවෙන් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණියා. ඔහුගේ පැමිණීමත් සමඟ අපේක්ෂකත්වයේ යම් වෙනසක් සිදුවෙයිද?

මම විශ්වාස කරන්නේ නැහැ. රට ගැන, ප්‍රශ්නය ගැන තක්සේරුවක් මේ අයට තියෙනවා. ඒ කරුණු අනුවයි ජනාධිපතිවරයාට මේ රට පවත්වාගෙන යාමට උදවු කරන්නේ. ඊට වඩා වෙනස් වූ පුද්ගලයෙක් ඉස්මතුව නැති නිසා මම හිතන්නේ නැහැ , ඔවුන්ගේ තීරණවල වෙනසක් වේවි කියා.

ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව හා සජබය තමන්ගේ ගොඩ වැඩි කිරීමේ සටනක නියැළී ඇති බවට වාර්තා වෙනවා. ආණ්ඩුවට පිරිසක් එකතු වන බවත් වාර්තා වෙනවා?

ඉතා පැහැදිලිව යම් තීරණාත්මක මොහොතකදී මේ වැඩපිළිවෙළට ඔවුන් එකතු වෙනවා. පාර්ලිමේන්තුවේ සිටින කෙනෙක් විදියට මට මේ දේ තේරෙනවා. හිතාගත නොහැකි පිරිසක් එකතු වන බව පැහැදිලියි.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division