Home » ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා මම කීව බව ඔප්පු කළොත් හෙට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා

ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා මම කීව බව ඔප්පු කළොත් හෙට ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා

සංචාරක ඉඩම් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

ඔබ කියනවා ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බව. ඊට එරෙහි ජනතා විරෝධයක් මතුවෙලා තියෙනවා. ජනතාව කියන්නෙ ඔබ ඉල්ලා අස්විය යුතුයි කියලා?

ඔබගේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම වැරදියි. ඔබ කියන විදිහට ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා මම කීව බව ඔප්පු කළොත් හෙට ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. කොතනකවත් කවදාවත් මම ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියලා නෑ. ලංකාව කියන්නේ ඉන්දියාවේම කොටසක් කීවේ සංස්කෘතික සහ මානව බැඳීම මුල්කරගෙන. ප්‍රාන්තය නොතේරෙන,කොටසක් කියන එක නොතේරෙන, සමහරුන්ට මේක උඩ පැන පැන නටන්න හේතුවක් වුණාට අබමල් රේණුවක මොලයක් තියෙන, හිතන්න බුද්ධියක් තියෙන ඕන මනුස්සයෙක් දන්නවා මේක වැරදි චේතනාවකින් නොකියපු දෙයක් බව. ඒ එක්කම ඔබ අහන අනික් වැරදි ප්‍රශ්නය තමයි මේ ප්‍රකාශයට විරුද්ධව ජනතා විරෝධයක් මතුවෙලා තියෙනවා කියන එක. මොකක් හරි මානසික ව්‍යාධියක් තියෙන දේශපාලන අනාථයෝ කීපදෙනෙක් හැරුණු කොට මේ රටේ ජනතාව එහෙම විරෝධයක් මතු කරලා නැහැ. දහසකුත් එකක් ප්‍රශ්නවලින් ජීවත් වෙන මිනිස්සු මේ වගේ තුට්ටු දෙකේ විහිළු ඉස්සරහ රැවටෙන්නේ නැහැ.

ඔබ ඒ විදියට ප්‍රකාශ කළේ මේ රටේ රාජ්‍ය දේපොළ ඉන්දියාවට විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කර ඇති නිසාද යන්න ජනතාවට සැකයක් මතු වෙලා තියෙනවා?

ජනතාවට එහෙම සැකයක් මතු වෙලා නෑ. අර මං මුලින් කිව්ව වර්ගයේ අයට නම් සැකයක් ඇති. ඉස්සර කණ්ඩලම හෝටලය හදනකොට සමහරු විරුද්ධ වුණා. මාරාන්තික උපවාස කළා. අද ඒ හෝටලය නිසා කීයක් රැකියා ලැබිලද? ඒ ගම්මාන මොනතරම් දියුණු වෙලාද? අමෙරිකන් හඬ එනවා කියලා කාලයක් උපවාස කළා. මොකක්ද අන්තිමට වුණේ? ඇඟලුම් කම්හල් ගේන කොට සමහරු හිනා වුනා. පරිගණක තාක්ෂණය රටට හඳුන්වා දෙන්න ඕන කියලා අසූ ගණන්වල රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනකොට එදා එතුමාටත් හිනා වුණා. ලිං මැඩි න්‍යායෙන් ගොඩනඟපු රටක් තියෙන්නෙ කොහෙද?

ජනාධිපතිවරණයේදී ඔබ සහය දක්වන්නෙ කුමන දේශපාලන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයටද?

අපේක්ෂකයෝ සීයක් ඉල්ලුවත් ජනතාවගේ අපේක්ෂකයෝ ඉන්නේ එක්කෙනයි. මේ වෙලාවේ රටට අවශ්‍ය ඉතිහාසය ගැන පුරසාරම් කියන කයිවාරුකාරයෝ නෙවේ. අනාගතයේ කරන්නම් කියන කයිවාරුකාරයෝත් නෙවේ. අපිට අවශ්‍ය අමාරු වෙලාවේ අභියෝග භාරගන්න මිනිස්සු සහ නායකයෝ. අභියෝගය භාරගන්න ඕනි වෙලාවේ පැනලා ගිහින් ආපහු ඇවිත් පිස්සු නටන අය නායකයො නෙවේ, ඒ අය නායකයෝ නෙවේ. අවස්ථාවාදීන්.මුලින්ම අපේ කල්පනා කරන්න ඕන මීට වසර දෙකකට විතර කලින් අපේ රට තිබුණේ කොහොමද කියලා.


ඇයි මේ තරම් අනුර සහෝදරයාට මඩ ගහන්නේ
– ජවිප ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ජවිපෙ ජනප්‍රිය දේශපාලන සටන් පාඨ තිබුණට මැතිවරණයකදී ජයග්‍රහණවලදි පරාජය වෙනවානේ?

ඇත්තටම මේ වන විට ජාජබ ලංකාවේ කරපු සමීක්ෂණවලින් හා බුද්ධි අංශ වාර්තාවලින් මෙවර මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් පැහැදිලි කරලා තියෙනවා. අපි අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ආණ්ඩුව බය වෙලා ඉන්න බව ඉතා පැහැදිලියි. අපි අනිවාර්යයෙන් මැතිවරණ ජයග්‍රහණය කරනවා. මැතිවරණය ජයග්‍රහණය කරන්න හැකි ජනතා බලයක් අපිට තියෙනවා.

ජාජබ පසුගිය දිනවල ඇතැම් පක්ෂ සමඟ සාකච්ඡා කළේ ඒ පක්ෂ සමඟ සන්ධානගත වීමටද?

අපේ රට විනාශ කරපු පුද්ගලයෝ සහ දූෂිත පුද්ගලයෝ හෝ දූෂිත කණ්ඩායම් සමඟ අපි එකතු වෙන්නේ නැහැ. අපි අපේ බලවේග සියල්ල එකතු කරලා තියෙනවා. අපි සාකච්ඡා කළේ කවුරු හරි අපෙන් සාකච්ඡාවක් ඉල්ලුවොත් පමණයි අපි සාකච්ඡා කරන්නේ. ඒ හැර අපි සන්ධානගත වීමකට නොවෙයි.

ජනාධිපති අපේක්ෂකත්වයට අනුර කුමාර දිසානායක පක්ෂ නායකවරයා සුදුසු නැහැ කියලා ඇතැමුන් කියනවා? අපිට අනුර සහෝදරයා සුදුසුයි. ජාතික ජන බලවේගය සම්පූර්ණයෙන් ම ඒකමතිකව තීරණය කරලා තියෙනවා. එතුමාගේ ජයග්‍රහණය නියතයි. රටේ ජනතාවත් අද බහුතරයක් එතුමාගේ නායකත්වය පිළිඅරගෙන තියෙනවා. ඉන්දියාව සංචාරයක් පවා සූදානම් කර එතුමාට ආරාධනා කළා. එයින් පැහැදිලියි අපේ ශක්තිමත්භාවය. අපේ නායකත්වය දුර්වල නම් ඇයි මේ තරම් අනුර සහෝදරයාට මඩ ගහන්නේ. ජාත්‍යන්තර මට්ටමින් පිළිඅරගෙන තියෙනවා. ජනතාව අතර ඉන්න පක්ෂය ජාජබ වේගය බව අපි දන්නවා.

ජනාධිපති මැතිවරණයට ඔබේ පක්ෂය සූදානම්ද?

අපි ඕනෑම මැතිවරණයකට සූදානම්. ඒත් ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු වෙන්නේ ජනාධිපති මැතිවරණයයි. ඒ නිසා ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙලා ජනාධිපති මැතිවරණය ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතුයි.


මේ ඒගොල්ලෝ තමයි විෂබීජ
– සජබ අගලවත්ත සංවිධායක හිටපු පළාත්සභා මන්ත්‍රි ජගත් විතාන

ඔබ සජ‍බෙන් ඉල්ලා අස්වෙන්න හදන්නේ මොකද?

ඒ අදහස් ප්‍රකාශ කළා මම මහ ලේකම්තුමාට ලියුමක් දෙනවා කියලා. ඉල්ලා අස්වීමේ ලියුම දෙන්න අදහස් කරනවා කියලා. තවම ලියුම දුන්නේ නෑ.

හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න අමරසේකර සමඟ ඇති වුණ ආරවුල මොකක්ද?

අපිට ප්‍රසන්න කියන නම අදාළ නැහැ. අපි බේරුවල ප්‍රදේශයේ විහාරස්ථානයක සංවිධායකවරුන්ගේ රැස්වීමක් කැඳෙව්වා. ඒකට ප්‍රසන්නවත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නවත් ආවේ නෑ. එතනදි මම ඇහුවා මහලේකම්තුමාගෙන් ඔයාගේ උපදෙස් පරිදි මේගොල්ලෝ නොයනවට මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ආයෙත් සැරයක් පසුගිය දිනයක කැඳෙව්වාම මේ හිටපු මන්ත්‍රීවරයා සහ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාවත් ආවේ නැහැ. එතකොට මම ඇහුවා මහලේකම්තුමාගෙන් මේගොල්ලෝ ඔබතුමාවවත් ගණන් ගන්නේ නැහැ නේද කියලා. මහලේකම්තුමා මොකක් හරි පියවරක් ගන්න ඕනේ… මේ පුද්ගලයා මේ ක්‍රියාකාරකම් කරන්නේ අපේ නායකතුමාට විරුද්ධවයි කියලා. ඒ නිසා මම මේක ප්‍රතික්ෂේප කරනවා. පැය 24ක් යන්න කලින් එයාට විනයානුකූලව පරීක්ෂණයක් පවත්වන්නත්, බුලත්සිංහල ආසනයේ සංවිධානය කිරීම නතර කරන්නත් පියවර ගන්න කියලා මම කිව්වා. එනිසා මම ඒකෙන් සෑහිමකට පත් වුණා. හැබැයි ඉස්සරහටත් ආයේ එයාව දානව නම් මම සෑහීමකට පත්වෙන්නේ නෑ.

විනය පරීක්ෂණය අවසන්වී නැවත ඔහු සංවිධාන ධූරයට පත් කළහොත්?

එයාව ගත්තොත් මම අස්වෙනවා. කිසිම කතාවක් නෑ. බුලත්සිංහල ආසන සංවිධායකවරයා පොත් හතර ගානෙ අගලවත්ත, කළුතර, මතුගම පොත් බෙදනවා. ජනතාව මේවට රැවටෙන්නේ නැහැ. දැන් ජනාධිපතිවරණය එනවා. මගේ ආසනේ මේ දිනවල සජිත් ප්‍රේමදාස මහත්තයට බහුතර ප්‍රතිශතයක් ලබාදීමයි අපි කළ යුත්තේ. දැන් එයා ඒක නෙමෙයිනේ මේ කරන්නේ.

ජාතික මට්ටමින් වගේම ගම්මට්ටමිනුත් සජබ මතගැටුම් නේද මේ මතු වෙන්නේ?

ඔව් ඉතින් කළුතර දිස්ත්‍රික්කයේ විෂබීජ දෙකක් තියෙනවා. ඒ දෙන්නා නිසා විතරයි මේ ගැටලුව. අනිත් මිනිස්සුන්ගේ අතරේ එහෙම මතවාද නෑ. මිනිස්සු ඉන්නේ ඡන්දයක් එනකන්. සජිත් ප්‍රේමදාස සජබ නායකතුමාට ඡන්දය දෙන්න බලාගෙන ඉන්නේ.

හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න අමරසේකර කියන්නේ නම් ස්වාධීනව ඡන්දයට ඉදිරිපත් වුවත් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා?

ප්‍රසන්න අමරසේකරට කිසිම ක්‍රියාවලියකට සම්බන්ධ වෙන්න බැහැ. අපේ පක්ෂෙ දැනට එයා ගැන විනය පරීක්ෂණයක් කරනවා. විනය පරීක්ෂණයට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා. එයාට ලියුමක් ගහලා තියෙනවා. මම මාධ්‍යයට ඒ ලියුමත් දුන්නා. ඒ කියන්නේ එයාව සියලුම කටයුතුවලින් හා සංවිධායක ධුරයෙන් අපි ඉවත් කළා, බුලත්සිංහල ආසනයේ. විනය පරීක්ෂණයට යටත්කොට දින 14 ක් ඇතුළත. මේ පරික්ෂණය දැන් සිදු කෙරෙනවා. මේ කවුරු කොහොම කිව්වත් ලංකාවේ පක්ෂ තුනක් තියෙනවා ප්‍රධාන. මේ ධාරා තුනෙන් ඡන්දය ඉල්ලුවොත් සියයට 60%ක් ලැබෙන්නේ පක්ෂයටයි; ඉතුරු ටික තමයි පුද්ගලයන්ට ලැබෙන්නේ.


මට තියෙන ජනතා ප්‍රසාදය නැති කරන්න ලේසි නැහැ
– සජබ බුලත්සිංහල ආසන සංවිධායක කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රි ප්‍රසන්න අමරසේකර

සජබ බුලත්සිංහල සංවිධායක ධූරය නැති වෙන්න නේද යන්නේ?

බුලත්සිංහල ආසන සංවිධායකධූරය තාවකාලිකව අත්හිටුවලා කියලා මට දැනුම් දුන්නා. විනය පරීක්ෂණයක් මට විරුද්ධව පවත්වන බව පක්ෂයේ මහලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් වට්ස්ඇප් පණිවුඩයක් මඟින් මට ලැබුණා. ඒ අවස්ථාවේ මම විදෙස්ගත වෙලා හිටියේ. මගේ ආසන සංවිධායකධුරය නැති කරන්න තමයි ඒ අවට ආසනවල ඇතැම් සංවිධායකවරුන්ගේ අවශ්‍යතාව. මේ කිසිම කෙනකුට මට තියෙන ජනතා ප්‍රසාදය නැති කරන්න ලේසි නැහැ. මම පාසල් යන දරුවෝ ඉතා විශාල ප්‍රමාණයකට පොත්පත් බෙදා දුන්නා. ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ දිළිඳු පවුල්වල දරුවන්ට උදව් උපකාර කළා. මම හිතන්නේ නැහැ ඒක වරදක් කියලා.

ඔබට විරුද්ධව විනය පරික්ෂණය පවත්වන්න හේතුව?

විනය පරීක්ෂණයක් පවත්වන්නේ මම මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධවයි. විනය පරීක්ෂණය තියන්න මාධ්‍ය සාකච්ඡාවට එන්න හේතුව මගේ ප්‍රතිරූපය විනාශ කළ පිරිස ගැන ඇත්ත කියන්න අවශ්‍ය නිසයි. මම සජබ නායකවරයා වෙනුවෙන් කටයුතු කරන කෙනෙක්. මම මුලින් කිව්වා වගේ බුලත්සිංහල සමස්ත ජනතාවම දුෂ්කර ආර්ථික තත්ත්වයක ඉන්නේ. ඒ අයට මම උපකාර කරන්න අවශ්‍යයි. ඒක මගේ යුතුකම.

වෙනත් සංවිධායකවරුන්ගේ ආසනවල දරු දැරියන්ට පොත් බෙදලා දෙන්න ගියේ ඇයි?

ජාති ආගම් කුලමල මට අදාළ නැහැ. කෙටියෙන්ම කිව්වොත් පළාතත් මට වැදගත් නැහැ. මම සංවිධානය කරන සියලු වැඩසටහන්වලදී නිතර සජබ නායකතතුමා සජිත් ප්‍රේමදාස මහතාගේ මතවාදය ඉදිරියට ගෙනයාමත් එතුමා ජයග්‍රහණය කිරීමටත් තමයි කටයුතු කරන්නේ.

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන ජගත් විතාන ඔබව නැවත පක්ෂයට ගත්තොත් ඔහු ඉවත් වන බව කියනවා. ඒක ඇත්තද?

පසුගිය සඳුදා පැවැති පක්ෂ රැස්වීමක භික්ෂු සම්මේලන සාකච්ඡාවක් අතරතුරදි මෙවැනි කතාබහක් ඇති වෙලා තියෙනවා. මම ඒ ගැන හරියට කියන්න දන්නේ නැහැ. එහිදී මහලේකම්වරයාව ඒ අය දැනුම්වත් කළාලු; මාව ඉවත් කරන්න කියලා. දේශපාලඥයෝ හැටියට ජනතාවගේ පැත්තෙන් අපි හිටගන්න අවශ්‍යයි. ඒක ආසනයේදි ද පිට ද කියලා මට නම් අදාළ නැහැ.

ඔබේ පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් දැන් ගමේ සංවිධායක ධූරය දක්වාම ගිහිල්ල ද?

හරියට වැඩ කළොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. මම හරි දේ ජයග්‍රහණය කිරීමේ අරමුණින් කටයුතු කරන කෙනෙක්. මිනිසුන්ට පාට පක්ෂ සහ සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේද අප්‍රසන්න වෙලා ඉන්න අවස්ථාවක මිනිසුන් පුද්ගලිකව මට ආදරේ කරනවා. මාව ඒ අයගේ නියෝජිතයෙක් ලෙස පත් කර ගැනීමට ඒ අය කටයුතු කරනවා. මම දන්නවා මම ස්වාධීනව ඡන්දයට ඉදිරිපත් වුණත් ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස මට ජයග්‍රහණය කරන්න පුළුවන්.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division