Home » කතරගම දෙවියන් වෙනුවෙන් ගණ පිහිටුවා කියන සෙත් කවිවලින් ඔබට පල ලැබෙන හැටි

කතරගම දෙවියන් වෙනුවෙන් ගණ පිහිටුවා කියන සෙත් කවිවලින් ඔබට පල ලැබෙන හැටි

by Mahesh Lakehouse
November 18, 2023 12:30 am 0 comment

– තිසරණයෙහි සමාදන්වී තුන් සූත්‍රය කියා ඔබ හදාගත් සෙත් කවිය 21 වර කියන්න
– හරියටම කීවොත් ඇදහිය නොහැකි ප්‍රතිඵල 

පසුගිය ලිපිවල සඳහන් කළ පරිදි කතරගම දෙවියන්ගේ හාස්කම් සහ අනුහස් පිළිබඳ මාගේ ද අත්දැකීම් බොහෝය. උන්වහන්සේගේ පිහිට ආධාරය ලබාගත හැකි ක්‍රමවේද අතරින් තවත් සුවිශේෂි ක්‍රමවේදයක් වන්නේ උන්වහන්සේ වෙනුවෙන් සෙත් කවි කීමයි. සෙත් කවි කීම කතරගම දෙවියන්ගේ පිහිට ආධාරය ලැබිය හැකි ඉතා පහසු සහ නිසැක ප්‍රතිඵල දෙන ක්‍රමවේදයකි.

අවාහ විවාහ කටයුතු ප්‍රමාද වීම, රැකී රක්ෂා ලැබීම, ව්‍යාපාර වෙළෙඳාම්, යානවාහන වැඩිදියුණු වීම මෙන්ම සියලු ග්‍රහයන්ගේ ග්‍රහදොස් අපල නිවාරණය කර ගැනීම සඳහා උන්වහන්සේ වෙනුවෙන් සෙත් කවි කියවීම බැතිමතුන් බොහෝදෙනෙකුගේ පුරුද්දකි. ජන්මියාගේ උපන් නැකැත අනුව ගණ පිහිටා උන්වහන්සේගේ තේජස් අානුභාව පිළිබිඹු වන පරිදි ඉතා දක්ෂ සෙත් කවි රචකයකු ලියන සෙත් කවි ජන්මියාගේ පංච පක්ෂි හෝරාව පක්ෂියා රජ භෝජන අවස්ථාවක උන්වහන්සේට පුද පූජා පවත්වා කීමෙන් කල් නොගොස් විපුල ප්‍රතිඵල නෙළාගත හැකි බව මාගේ අත්දැකීම් පදනම්ව ප්‍රකාශ කළ හැකිය.

කතරගම දෙවියන් තිසරණ සරණ ගිය මඟ ඵල අපේක්ෂිත දෙවි කෙනෙකු නිසා උන්වහන්සේගෙන් යහපත් දේ මිස අයහපත් දේ අපේක්ෂා කළ නොහැකිය. අයහපත් දේ යනුවෙන් සැලකිය හැකි කාරණාවක් වන්නේ සමාජයට අකැප ධනෝපායන මාර්ග ආදිය සහ සතුරු මර්දනය මිස සතුරන්ට දඬුවම් පැමිණ වීම උන්වහන්සේගෙන් අපේක්ෂා කළ නොහැක.

උන්වහන්සේ වෙනුවෙන් කියවන සෙත් කවිවල මහා බලයක් සහිත ප්‍රතිඵලයක් කල් නොගොස් අපේක්ෂා කළ හැකිය. සෙත් කවිය ලියා ගැනීම සඳහා දැනුම, අවබෝධය ඇති අයකුගේ සහාය ලබාගෙන කියවීම ඔබ විසින්ම සිදු කළාට වරදක් නැත. බෝධි පූජා පවත්වා බෝධියක් අසල දී හෝ එසේත් නැතිනම් තම නිවසේ වෙනම සකසාගත් ස්ථානයක උන්වහන්සේගේ පිළිරුවක් තබා පංචශීලය සමාදන් වී තුන් සූත්‍රය කියා පින් අනුමෝදන් කොට සෙත් කවි කියවීම කළ හැකිය.

සෙත් කවිය කියවීමට පෙර උන්වහන්සේ වෙනුවෙන් පහත සඳහන් ක්‍රමවේද අනුගමනය කිරීම වඩාත් සුදුසුය. මේ වෙනුවෙන් කැවිලි, පලතුරු පූජාවක් අවශ්‍ය නොවේ. රතු මල් සහ එලඟිතෙල්, තල තෙල්, පහන් දල්වා සුවඳ දුම් දී සෙත් කවිය කියවීම ප්‍රමාණවත්ය.

යුක්තිය, ප්‍රබලත්වය, බලය, ශක්තිය, තේජස උදෙසා සෙත් කවි කියවීමට පෙර උන්වහන්සේට ඔබේ තුන්සිත ඒකරාශි කර ආරාධනාව කරන්න.

ආරාධනා ස්තෝත්‍රය
විමල නිජ පදා බිදං – වේද වේදන්ත වෛද්‍යං
මම කුල ගුරු දේහන් වද්‍යා ගාන ප්‍රහෝහම්
රවන සුගුණ ජාලං – රවිග රවිහාගි තේයං
කම ජනිත පාදං – කර්ති යෝගං ප්‍රභාවං
හවතින ගුරු නාථං – භක්ත්‍යා වෟන්ද්‍ය ප්‍රමෝදවි
නව රස මධු පාදං – නාද ග්‍රිංකාර රූපං
රවණ මධුර සාරං – කිර්තිකේසං භජාමි

ඉහත ආරාධනාව එක්වර කියවා අනතුරුව උන්වහන්සේ ඉතාම ප්‍රිය කරන පහත සඳහන් කවිවලින් උන්වහන්සේට ආරාධනා කරන්න.

එරන් ගිරි මුදුනට
බැන්ද මල් අස්නට
රත් මයුරා පිට
කන්ද පුර පති වඳිමි මුල්කොට

උමා ඉසුරු අවතාරය සමාගමට එන්
තෙමා වරල දකුණු අතට නමා සැඩ වරුන්
පෙමා වඩන කිරි සුරතල් ලබා කුමරු වන්
මෙම දුන්නු මල් පහන ගෙන පමා නැතුව එන්

තමා වනේ ගැබ අහසේ පලාගන ගොසින්
එලා දිෂ්ටි මයා රට ගලා ජල තෙදින්
සලාගමන් මයුරා පිට බලා දිව නෙතින්
මගේ යහනේ මල් සුවඳින් පමා නැතුව එන්

මුණු සය වෙතා අනුභාව ඇති කදිරනේ
බානු පෙර පතා ආ චන්ද්‍ර ගිරි මෙනේ
පෙනු තෙද ඉතා මේ ඔබ වනු බැරි වනේ
රුණු තෙද ඉතා වේ ඔබ පානු මල් සුවඳිනේ

අනතුරුව ඔබ සතු සෙත් කවිය 21 වර කියවා ඔබගේ සිතැඟි බලාපොරොත්තු කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටින්න. නැවත නැවත උන්වහන්සේගේ ආනුභාව ශක්තිය මෙනෙහිකර හිතෙන් මවා සිටින්න.

සිතැඟි බලාපොරොත්තු ඉල්ලා සිටින කන්නලව්ව

සවන උවින දොළසක් සත් දරා රොත් ලෙසිනා දිස්වන සොබන බරණ කොන්ත මුද්ගරා මොප අවිගත් නැගුණ මයුරාසනේ බන්දවා හේලි සැවුලන් භුවන රිවි රෙසින් දිස්වා දෙවා සවිසුරානේ පුර කදිර දෙවින්දා පැවුවා සේ දිනින්දා නැගිරණ සිසි නින්දා ගෙල මිණි බරණ රන්දා සුර රුපු ලුහු බන්දා බෝ තෙදින් ලෙවි පසින්දා දෙවි කදිර සුරින්දා දිවැස්ලා රතු නිබන්දා (තම කාරණාව ඇතුළත් කරමින් ඉහත කන්නලව්ව සිදු කරන්න.)

ඔබට උන්වහන්සේගේ ආරක්ෂාව සමඟ උපකාරය ඒකාන්තයෙන්ම ලැබෙන බව සහතිකය. කතරගම දෙවියන් වෙනුවෙන් ගායනා කරන සෙත් කවිය සකසා ගැනීමේදී පළපුරුදු එසේම දැනුම අවබෝධය ඇති අයකුගේ සහය ලබා ගැනීම නම් අත්‍යවශ්‍යමය. ඉන් ලැබෙන ප්‍රතිඵලය අතිවිශිෂ්ට බව මා ඔබට කියන්නේ දසක තුනකට වඩා වැඩි මාගේ අත්දැකීමෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division