Home » චීන-පිලිපීන ගැටුම් මැදිකරගත් දකුණු චීන මුහුදු කලාපය අර්බුදයකද?

චීන-පිලිපීන ගැටුම් මැදිකරගත් දකුණු චීන මුහුදු කලාපය අර්බුදයකද?

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment
පී.ආර්. දුෂාන්ති සිල්වා

කුණු චීන මුහුදු කලාපය, චීනයේ හා එක්සත් ජනපදයේ උපායමාර්ගික හා ආරක්ෂක අභිලාෂයන් අතර මෙන්ම දකුණු චීන මුහුදු කලාපයට මායිම්ව පිහිටි දූපත් රාජ්‍යයන්ගේ ද අරමුණු අතරට දැඩි නොසන්සුන්කාරි ස්වභාවයකින් දෝලනය වෙමින් පවතී. මේ ස්වභාවය අද වන විට කොතරම් තීව්‍ර ලෙස වර්ධනය වීද යත් චීනය දකුණු චීන මුහුදු කලාපයේ ස්පාරට් දූපත්හි කෘත්‍රිම දූපත් නිර්මාණය කර ඇති අතර, ඊට හමුදාමය හා යුද අංගයන්ද අන්තර්ගත කිරීම, එක්සත් ජනපදය හා දකුණු චීන මුහුදට මායිම්ව පිහිටි සෙසු දූපත රාජ්‍යයන් මහත් සේ කලඹන්නා වූ ලෝක තත්ත්වයක් විය.

චීනයේ මේ පිළිවෙත දකුණු චීන මුහුදු කලාපයේ මායිම්ව පිහිටි දූපත්වල ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙසද චීන ආධිපත්‍යය දකුණු චීන මුහුදු ක්‍රමයෙන් මේ හරහා ස්ථාපිත වීමක් ද සිදු වන බවට චෝදනා එල්ල වී ඇත.

දකුණු චීන මුහුදු කලාපයේ පිහිටීම හා එහි ඇත්තා වූ ස්වාභාවික සම්පත්වල පොහොසත් භාවය නිතැතින්ම මේ කලාපය අර්බුදකාරි මාවතකට ප්‍රවිෂ්ට කොට ඇති අතර, දකුණු චීන මුහුද අර්ධ වශයෙන් වැසුණු මුහුදු කලාපයකි. දකුණු චීන මුහුද බටහිර ශාන්තිකර සාගර කලාපයේ පිහිටා ඇති අතර, එහි වර්ගඵලය වර්ග කිලෝමීටර මිලියන 3.5කි. දකුණු චීන මුහුදට දකුණින් චීනයද බටහිරින් පිලිපීනයද, නැඟෙනහිරින් වියට්නාමයද උතුරින් මලයාසියාවද බෲනායි, සිංගප්පූරුව හා ඉන්දුනීසියාව යන රාජ්‍යයන් පිහිටා ඇත. දකුණු චීන මුහුද ඉන්දීය සාගරය හා ශාන්තිකර සාගරය අතර උපායමාර්ගික වැදගත්කමකින් යුතුව පිහිටා ඇත.

චීන – පිලිපීන වත්මන් අර්බුදය

දකුණු චීන මුහුදු කලාපයේ පිහිටි ස්පාරට් හා පැරාසෙල් දූපත් මේ කලාපයේ අර්බුදවලට කේන්ද්‍රීය බලපෑමක් නිතැතින්ම සපයන අතර, ස්වාභාවික සම්පත්වලින් අනූන වූ කොරල්පර, මත්ස්‍ය, ස්වාභාවික ගෑස් ආදි සම්පත්වලින් පොහොසත් ස්පාරට් දූපත මුල් කරගෙන චීනය හා පිලිපීනය අතර දිගුකාලීන අර්බුදයක් හටගෙන ඇත. අද වන විට දකුණු චීන මුහුදු කලාපය ලෝක ක්‍රමය තුළ අන් කවරදාකටත් වඩා ආරක්ෂක, යුදමය හා උපායමාර්ගික වැදගත්කමක් උසුලන අතර, ආරම්භයේ පටන්ම දකුණු චීන මුහුදු කලාපයේ 90%කම හිමිකාරිත්වය දරන්නේ චීනයයි. ඒ හිමිකාරිත්වය දරන ප්‍රදේශය බටහිර පිලිපීන මුහුදු කලාපයයි. බටහිර පිලිපීන මුහුදු කලාපය, වියට්නාමයේ නැඟෙනහිර මුහුද හා පිලිපීන දූපත් අතර පිහිටා ඇත.

2016 දී හේග් නුවර සමථකරණය උදෙසා වූ ස්ථාවර අධිකරණයේදී මේ මුහුදු කලාපයේ හිමිකම පිළිබඳ චීන අයිතිය ප්‍රතික්ෂේප කරමින් තීන්දුවක් නිකුත් කළ අතර ‘නයින් ඩෑෂ් ලයින්‘ පදනම මත චීනයට මෙහි හිමිකාරිත්වය, අන්තර්ජාතික නීති ප්‍රකාරව හිමි නොවන බව එහිදී ප්‍රකාශ වී ඇති බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබුණි. එහෙත් ඓතිහාසික සිතියම් වාර්තා මත පදනම් ව චීනය මේ මුහුදු කලාපයේ ඓතිහාසික හිමිකාරිත්වය ඔස්සේ යමින් ක්‍රියාකාරි වීමක් දක්නට ලැබේ. මේ පසුබිම ඔස්සේ දකුණු චීන මුහුදු කලාපයේ අර්බුදයට ලක්ව ඇති මේ භූමි ප්‍රදේශයේ චීන ආධිපත්‍යය අදටත් ඉතා ප්‍රබලව ක්‍රියාත්මක වේ.

චීනය දකුණු චීන මුහුදු කලාපය අරබයා ආරක්ෂක, උපායමාර්ගික මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ පැතිකඩයන් ද ආවරණය කිරීමේ ප්‍රබල වෑයම වැදගත් ඇසුරෙන් කලාපීය මෙන්ම ගෝලීය වශයෙන්ද ස්ථිතික බවක් සලසා ගැනීම බව හොඳින්ම ප්‍රත්‍යකෂ වන බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කර තිබිණි.

You may also like

Leave a Comment