Home » යුද්ධය සාමය වන අබුද්දස්ස කාලයක්

යුද්ධය සාමය වන අබුද්දස්ස කාලයක්

by Mahesh Lakehouse
July 5, 2025 12:30 am 0 comment
මහින්ද හත්තක
ඩොනල්ඩ් ට්‍රම්ප්, බෙන්ජමින් නෙතන්යාහු, මසාවුඩ් පෙසෙස්කි

බුද්දස්ස කාලේ ගොමරිති දියේ ගිලී, තිරුවාණා ගල් මතුපිට පාවෙන්නේයැයි ජනවහරේ කියමනක් ඇත. දැන් ලෝකය අත්දකින්නේ එවැනි කාල පරිච්ඡේදයක් බව කිව හැකිය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අමුඅමුවේම උල්ලංඝනය කරමින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට ටොන් තුනක් බරැති මහා බෝම්බ දමා ලොවම භීතියට පත් කළ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ කරන්නේ අප පරිකල්පනයේ අවසනට පැමිණ ඇති නිසාය.

ඉරානයේ නටාන්ස්, පාඩෝ සහ එස්පහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ එල්ල කර දින දෙකකට පසු ජනි 24 දා අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සභිකයකු වූ අර්ල් කාටර්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නිල වශයෙන් යෝජනා කළේය. ඔහු සඳහන් කරන ආකාරයට ජනපති ට්‍රම්ප් ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ඇති කිරීමට සුවිශේෂ මෙන්ම විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළේය. එනිසා ඔහුට මේ වසරේ සාම ත්‍යාගය හිමි විය යුතුය.

ඊට දින කීපයකට පෙර ඉන්දියාව සමඟ මිසයිල සහ ගුවන් ප්‍රහාර යුද්ධයකට එළඹ සිටි පාකිස්තානයද ජනපති ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය සඳහා නම් කිරීමට තීරණය කර තිබිණි. ඒ, යුද වැදී සිටි රටවල් දෙක අතර සටන් විරාමයක් ඇති කිරීමට ජනාධිපති ට්‍රම්ප් මැදිහත් වීම නිසාය. සටන් විරාමයක් ඇති කරගැනීමට එක්සත් ජනපදයේ මැදිහත් වීමක් නොවූ බව ඉන්දියාව ප්‍රකාශ කර තිබීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූයේ නැත. එහෙත් උත්ප්‍රාසය වන්නේ ජනපති ට්‍රම්ප් නොබෙල් ත්‍යාගයට නම් කළ දිනට පසුවදාම පාකිස්තානයට ඔහු දැඩි විවේචනයට ලක් කිරීමට සිදු වීමයි.

අසල්වැසි ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ගුවන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම ගැන පාකිස්තානයට නිහඬව සිටිය නොහැකිය. එනිසා පාකිස්තානය මේ ප්‍රහාර හැඳින්වූයේ පෙර නොවූවිරු ආකාරයට කලාපයේ යුද උණුසුම උත්සන්න කිරීමක් සහ ඉරානය ආක්‍රමණය කිරීමක් සේය. එවැනි ප්‍රහාරයකට නියෝග දුන් පුද්ගලයාට නොබෙල් ත්‍යාගය දීම තවදුරටත් පාකිස්තානය අනුමත කරන්නේද යන්න ගැන මෙතෙක් ප්‍රකාශයක් කර නැත.

කෙසේ වුවත් නොබෙල් සාම ත්‍යාගයට නම් කිරීමෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ ආවේගශීලි, අවිචාරවත් සහ අපරික්ෂාකාරි හැසිරීම් වෙනස් වන්නේයැයි කිව නොහැකිය. ජූනි 22 එල්ල කළ ප්‍රහාරයෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බරපතළ හානි සිදුව නැතැයි පළ වූ වාර්තාවලට ප්‍රතිචාර දැක්වූ ඔහු එම මධ්‍යස්ථාන විනාශ වී නැති නම් නැවත වරක් මහා ප්‍රහාරයක් එල්ල කිරීමට තමා සූදානම්යැයි අනතුරු හැඟවූයේය. එපමණක් නොව ඉරානයේ උත්තරීතර නායකයා සැඟව සිටින තැන තමා දන්නා බවත් අවශ්‍ය නම් ඔහු මරා දැමීීමට පියවර ගන්නා බවටත් සපථ කළේය.

මීට අමතරව ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල් දෙකම සටන් විරාමය කඩ කරන බවට පළ වූ වාර්තාවලට ඔහු ප්‍රතිචාර දැක්වූයේ රාජ්‍ය නායකයකු නොව සාමාන්‍ය පුද්ගලයකු පවා භාවිතා නොකරන අසභ්‍ය වචනයකිනි. වත්මන් තත්වය යටතේ එයද සාම ත්‍යාගය සඳහා සුදුසුකමක් විය හැකිය.

නොබෙල් සාම ත්‍යාගය පිරිනැමෙන රාජ්‍ය නායකයන් හැම විටම සාමයට කැප වූවන් නොවීම මීට පෙර කරන ලද ප්‍රදානයන්ගෙන්ද තහවුරු වේ. ඒ තවත් අමෙරිකානු ජනාධිපතිවරයකු වූ බැරක් ඔබාමාටද එම ත්‍යාගය පිරිනැමීමය. ජනාධිපති තනතුර භාර ගැනීමටත් පෙර සාමය සඳහා ඔහුගේ ඇපකැප වීම අගය කළ නොබෙල් කොමිටිය බැරක් ඔබාමාට ඒ ත්‍යාගය පිරිනැමුවේය.

ඊට හේතු පාඨය වූයේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ඔහු අමෙරිකාවේ මැදිහත් වීමෙන් ලොව බොහෝ තැන්වල සිදු වෙමින් පවතින යුදමය ගැටුම් අවසන් කරන බවට දුන් ප්‍රතිඥාවයි. එහෙත් බලයට පත් ඔහු අනුගමනය කළේ සාමයට වඩා යුද්ධය ඵලදායි වන්නේය යන ප්‍රතිපත්තියයි. ඔහු පාලන බලයේ සිටි වසර අට ඇතුළත ඇෆ්ගනිස්තානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය, සෝමාලියාව සහ පාකිස්තානය යන රටවල හමුදාමය මැදිහත්වීම් සිදු විය. 2011 මැයි මාසයේදී පාකිස්තානයට ගුවන් මෙහෙයුමක් දියත් කළේ අල් කයිඩා නායක බින් ලාඩන් ඝාතනය කිරීමටය. ඔබාමාගේ පාලන සමයේ ඩ්‍රෝන ගුවන් ප්‍රහාර එල්ල කොට පුද්ගලයන් ඝාතනය කිරීම හමුදා උපාය මාර්ගයක් බවට පත් විය.

මෙවැනි පසුබිමක නොබෙල් සාම ත්‍යාගය, සාමය වෙනුවෙන් ඇපකැප වී වැඩ කිරීම ඇගයීමකට වඩා දේශපාලන අරමුණු පදනම් කර ගත් තවත් රැවටීමකට වඩා වෙනස් නොවේ. මෙවැනිම පදනමක් යටතේ ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුටද නොබෙල් සාම ත්‍යාගය පිරිමනැමුව හොත් පුදුම විය යුතු නැත.

ඇත්තෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් සාමය හෝ සාධාරණත්වය අගය කරන නායකයෙක් නොවේ. ඔහුගේ අරමුණ අමෙරිකාව දැනට හිමි කරගෙන සිටින ලෝක ආධිපත්‍යය අභියෝගයක් නැතිව ඉදිරියටත් පවත්වාගැනීමය. ‘අමෙරිකාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු‘ උද්ඝෝෂණ පාඨයේ සැබෑ අර්ථය එයයි. එහෙත් ඒ ආශ්චර්ය සියලු අමෙරිකානුවන් සඳහා නොවේ. ආර්ථික සමෘද්ධිය යනුවෙන් ඔහු අදහස් කරන්නේ එලොන් මස්ක් වැනි ප්‍රකෝටිපතියන්ට ධනය වඩ වඩාත් රැස් කරගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සකස් කිරීමය.

ලෝකයේ දෙවැනි විශාල ආර්ථිකය වන චීනයේ අපනයනවලට 150%ක තීරු බදු පැනවූයේ අමෙරිකානු වෙළෙඳපොළ සුවිශේෂ වශයෙන්ම අමෙරිකානු ආයෝජකයන් සඳහා වෙන් කරගැනීමටය. එහෙත් එම තීරු බදු අමෙරිකානු නිෂ්පාදකයන්ටද බලපාන නිසා ඒවා ඉවත් කරගැනීමටද ඔහුට සිදු විය. නිදසුනක් වශයෙන් අමෙරිකානු තීරුබදුවලට ප්‍රතිචාර වශයෙන් චිනය අමෙරිකාවට අපනයනය කරන දුර්ලභ ගණයේ ඛනිජ වර්ග තහනම් කළ විට ට්‍රම්ප්ට තීරු බදු හකුළා ගැනීමට සිදු විය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යප්තවාදී ප්‍රතිපත්තිය නිසාම ඔහුට කැනඩාව එක්සත් ජනපදයේ 51 වැනි ප්‍රාන්තය ලෙස එක් කර ගැනීමට අවශ්‍ය විය. මෙය පැරණි යටත්විජිත සමයේ හමුදා බලයෙන් රටවල් අත්පත් කරගැනීමට වෙනස් වන්නේ නැත. විසි එක් වැනි සියවසේ හමුදා බලය නොයොදා රටවල් අත්පත් කරගැනීමට ඇති පහසු ක්‍රියාමාර්ගය මූල්‍ය බලය යෙදවීමය. කැනඩාවට එරෙහිව සම්බාධක සහ වෙනත් තහංචි පැනවීමෙන් එය අත්පත් කරගත හැකියැයි ට්‍රම්ප් අදහස් කරයි. ඛනිජ සම්පත්වලින් පොහොසත් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමට හමුදා බලය පවා යෙදවීමට ඔහු සූදානම්ය.

ට්‍රම්ප්ගේ යුදවාදි ප්‍රතිපත්තියට තවත් නිදසුනක් වන්නේ නේටෝ සංවිධානයේ රටවල ආරක්ෂක වියදම් වැඩි කිරීමට බලපෑම් කිරීමය. මුලින්ම නේටෝ සාමාජික රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.5%ක් ආරක්ෂක වියදම් වශයෙන් වෙන් කළ යුතුයැයි ඔහු බලපෑම් කළේය. පසුව ඒ අනුපාතය 5% දක්වා වැඩි කෙරිණ. ස්පාඤ්ඤය වැනි රටවල් ආරක්ෂක වියදම් වැඩි කිරීමට විරුද්ධ වුවද අනෙක් නේටෝ රටවලින් දැඩි විරෝධයක් මතු වූයේ නැත. කලින් සෝවියට් කඳවුරේ සිටි සමහර රටවල් හැරෙන්න ප්‍රංසය, ජර්මනිය සහ බ්‍රිතාන්‍යය වැනි රටවල් ආරක්ෂක වියදම් වැඩි කිරීම ප්‍රමුඛතාවක් සේ දකී. ඔවුන් දකින ආකාරයට 2030දී රුසියානු ආක්‍රමණයක් එල්ල විය හැකි බැවින් ඊට මුහුණ දීමට සමාජ සුභසාධන වියදම් කපාහැර ආරක්ෂක වියදම් වැඩි කළ යුතුය.

පසුගිය සතියේ බ්‍රසල්ස් නුවර පැවති නේටෝ රාජ්‍ය නායක හමුවේදී යුද වියදම් වැඩි කිරීමට එකඟතාව මැනැවින් ප්‍රකාශ විය. සමහර විචාරකයන් දක්වන ආකාරයට එහිදී සිදු වූයේ එකඟතාව ප්‍රකාශ කිරීමට වඩා යුරෝපිය රටවල නායකයන්ගේ දීන භාවය ප්‍රකාශ කිරීමකි. නේටෝ මහලේකම් මාර්ක් රූට් ජනාධිපති ට්‍රම්ප් හැඳින්වූයේ නේටෝ සංවිධානයේ පියා සේය; ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීම ඔහු හැඳින්වූයේ ට්‍රම්ප්ගේ පෞරුෂත්වය සහ සාමයට ඇති කැප වීම විදහාපාන්නක් සේය. ට්‍රම්ප් වැනි නායකයකු නොවන්නට එවැනි දෙයක් කිසි සේත්ම සිදු විය නොහැකියැයි රූට් සහතික වූයේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරට ජනපති තනතුරට පත් වීමෙන් පසු මෙතෙක් ක්‍රියා කර ඇත්තේ සාමය සහ සාධාරණත්වය අගය කරන නායකයකු සේ නොවේ. ඔහු අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීමට සූදානම් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තමන් නොදන්නා බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කෙළේය. ඔහුට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට නීතියෙන් බාධාවක් නැතැයි පසුගිය සතියේ අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයද තීන්දු කර ඇත. වෙනත් ආකාරයෙන් කිව හොත් ඔහුට ඒකාධිපතියකු සේ ක්‍රියා කිරීමට නීතිමය හෝ පරිපාලනමය බාධාවක් නැත.

පුදුමයට කරුණ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව නොසලකා හිතුවක්කාර ලෙස ක්‍රියා කරන නායකයකුම සාම කුමරකු සේ පිළිගැන්වීමට ගන්නා උත්සාහයයි. ගාසා තීරයේ කෙරෙන ජන ඝාතනයට අවි ආයුධ සහ දේශපාලන රැකවරණය සපයන, තම සාහසික ක්‍රියාවලට එරෙහි වන ඕනෑම කෙනකු ඝාතනය කිරීමේ අයිතියක් ගැන කතා කරන නායකයකු සාම ත්‍යාගයක් සඳහා නම් කළ හැකි වන්නේ පරිකල්පනයේ අවසානයට පැමිණි විටය.

You may also like

Leave a Comment